සමරිසි රිසි නැති අයත් දේදුණු වර්ණයෙන් හැඩවන Pride month

0
109

1969 ජුනි මාසේ විසිඅට වැනිදාවක ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ මෑන්හැන්ට්න්වල “ස්ටෝන්වෝල්” ආපනශාලාව තුළ සමකාමී – සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාවගේ  එහෙමත් නැත්නම් දන්න කියන වචනෙන් LGBTQ සමාජයක් පොලිසිය විසින් හදිසි වැටලීමකට ලක් කරනවා. බලහත්කාරයෙන් කඩා වැදී සිදුකරපු මේ වැටලීමෙන් ආපනශාලාව තුළ සිටි සමකාමී – සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාව අසාධාරණ ලෙස අත්අඩංගුවට ලක් වුණා සහ දැඩි ලෙස ක්‍රෑර ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් බවට පත් වුණා. දශක ගණනාවක් තිස්සේ බහුතර සමාජය තුළ වෙනස් කොට සැලකීම් නිසා දිගින් දිගටම බැට කෑ මේ සුළුතර ප්‍රජාවගේ දරාගැනීම පුපුරා යන්නේ මෙතැනදී. ලෝක ඉතිහාසයේ පළමු වතාවට එහිදී ඔවුන් තමන්ගේ අනන්‍යතාව සහ අයිතීන් වෙනුවෙන් නැවත ආපස්සට සටන් කරන්නා හඬ නඟන්න තීරණය කරනවා.

ඒ අනුව පොලිසිය සිදු කළ ක්‍රියාව තරයේ හෙළා දකිමින් ඔවුන් තමන්ට සිදු වෙන අසාධාරණයට එරෙහිව අරගල කිරීම තමන් අතට ගත්තා.  එහෙම ගෙවුණ දින හයක විරෝධතා කාලසීමාව අවසානයේදී “ස්ටෝන් වෝල් කැරැල්ල” විධියට ඉතිහාසගත වෙනවා. ඉන්පසුව 1970 සිට සෑම වසරකම ජුනි මාසයේදී නිව්යෝර්ක්හිදී ස්ටෝන් වෝල් කැරැල්ල සැමරීමත් සමඟ ජුනි මාසය අභිමානයේ මාසය විධියට සථීර වශයෙන්ම ලෝකය පුරා දේදුනු පාටින් පාට වෙනවා. 2022 වසරේ මේ සැමරෙන්නේ පනස් දෙවැනි අභිමානයේ මාසය.

මේ වෙද්දි හැම ජුනි මාසයකම වගේ සමාජ මාධ්‍ය ජාලා තුළ විවිධ හෑෂ් ටැග්, දේදුනු වර්ණ ප්‍රොෆයිල් පින්තූර හරහා උත්කර්ෂයෙන් සැමරෙන අභිමානයේ මාසයේ කතාව ඇරඹෙන්නෙ එහෙමයි. නමුත් ජුනි මාසය ගෙවී අවසන් වීමත් එක්කම රැල්ලේ උදේ‍යාගය වියැකිලා නැවතත් පැරණි හණමිටි පටු දෘෂ්ටිකෝණය තුළටම සමාජය කිඳා බැහැ ගැනීම නිසාවෙන් බහුතරයක් දෙනා මේ සැමරීම සහාය දැක්වීම සිදු කරන්නේ සමකාමී – සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව හරිහමන් කියවීමක්, අධ්‍යයනයක් සහ දැක්මක් සහිතවද? යන්න ඉදිරි තවමත් මහ පරිමාණයේ ප්‍රශ්නාර්ථයක් ඉතුරුයි.

සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ උප්පැන්න සහතිකයේ තියෙන ස්ත්‍රී/පුරුෂභාවය එහෙමත් නැති නම් ජෙන්ඩර් එක සහ ලිංගික අනන්‍යතාව (Sexuality)  කියන්නෙ ස්වභාවයෙන්ම එකිනෙකට පරස්පර විෂය කරුණු දෙකක්. උපතේදී කායිකව, ශරීර අවයවවල පිහිටීමත් සමඟ ස්ත්‍රී/පුරුෂභාවය තීරණය වුණත් ලිංගික අනන්‍යතාව තීරණය වෙන්නේ මානසිකව ඔහු/ඇය ආකර්ෂණය දක්වන පුද්ගලයා/යන් අනුවයි. නව යොවුන් වියේ අත්දකින තීරණාත්මක කායික සහ මානසික වෙනස්කම් එක්ක මිනිස්සු නිරායාසයෙන්ම තම තමන්ගේ ලිංගික අනන්‍යතාව ගැන කුතුහලාත්මක විමර්ශනයක් අරඹනවා. එහිදී හැමවිටම එක්තරා පුද්ගල කාණ්ඩයක් තමන්ගේ ලිංගික අනන්‍යතාව ගැන ගැටලුකාරී බවක්, අනාරක්ෂිත බවක් අත්විඳිනවා. LGBTQ හෙවත් සමකාමී – සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාව තුළට අයත් වෙන්නේ එකී උප කුලකයේ සාමාජිකයන්.

Lesbian – සමාන ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය දක්වන කාන්තාවන්

Gay – සමාන ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය දක්වන පිරිමි

Bisexual ‐විශේෂයෙන් තෝරාගත් එක් කාණ්ඩයක් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් නොදක්වන පුද්ගලයන්

Transgender ‐ සංක්‍රාන්ති ලිංගිකයන්

කෙසේ වෙතත් පොදුවේ දීර්ඝකාලයක් තිස්සේ සමාජය තුළ එක්තරා අනු කණ්ඩායමක් විධියට විවිධාකාර අඩන්තේට්ටම්වලට ලක් වුණ සහ මේ විසිඑක්වන සියවසේ පවා ලක් වෙමින් සිටින ඔවුන්ට ජුනි මාසය සැමරුමක් විධියට වගේම මෙතෙක් කාලයක් තමන් මුහුණ දෙන අසාධාරණකම් වෙනස් කොට සැලකීම්වලට සාමකාමීව විරෝධය දක්වන්න සහ ඔවුන්ගේ අනන්‍යතාව වෙනුවෙන් සමාජ කතිකාවතක් නිර්මාණය කරන්න ලැබෙන හොඳ අවස්ථාවක්.

නමුත් සමකාමී – සංක්‍රාන්තික සමාජභාවය මානසික රෝගයක් හෝ සමාජයෙන් කොන් කර තැබිය යුතු ප්‍රතික්ෂේප කළ යුතු තත්ත්වයක් විධියට තවමත් අර්ථකථනය කරමින් පවතින ගල් යුගයේ පටු ආත්මාර්ථකාමී මතවාද එක්ක සාධාරණත්වය වෙනුවෙන් ගැටීම තරමක වෙහෙසකර උඩුගම් බලා පිහිනීමක්. කෙල්ලෙක් නම් රෝස පාට, කොල්ලෙක් නම් නිල් පාට විධියට කාලාන්තරයක් තිස්සේ මුල් බැහැපු ස්ටීරියෝටයිප්ස් සම්පූර්ණයෙන්ම කුඩු කිරීම ලෙහෙසි නෑ. නමුත් එය විය යුත්තක්. 

ප්‍රධාන කුලක දෙකක් විතරක් සාමාන්‍යකරණය කරගෙන එයින් වියුක්ත කුඩා අනු කුලක සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම ඉදිරියේ, බාහිරින් කායිකව පරිණාමය වීමට සමපාතවම මානසිකවත් මිනිස්සු ඇත්තටම පරිණාමය වෙලාද කියන දේ ආයෙ ආයෙමත් අපි සංවාදයට ලක් කළ යුතුයි.

කෙසේ වෙතත් පසුගිය දශක දෙකක කාලය තුළ සමගාමී සංක්‍රාන්තික සමාජභාවය සාමාන්‍ය තත්ත්වයක් ලෙස පිළිගැනීමේ ගෝලීය ප්‍රවණතාව සාධනීය තත්ත්වයක්. 2011 එක්සත් ජාතීන්ගේ මහ සමුළුව විසින් සමගාමී සංක්‍රාන්තික සමාජභාවය  විශේෂිත නොවන සාමාන්‍ය තත්ත්වයක් සහ ඔවුන්ටද සමාජය තුළ පොදු අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහස හිමි බවත් පිළිගත්තා.

නමුත් බටහිරට සාපේක්ෂව ශ්‍රී ලංකාවද ඇතුළුව ආසියානු පැසිපික් කලාපයේ බහුතරයක් රටවල් තුළ සමගාමී සංක්‍රාන්තික ප්‍රජාවගේ අයිතිවාසිකම් කෙරෙහි යොමු වෙන සීමා සහිත අඩු අවධානය ගොඩනැඟෙමින් පවතින සුබවාදී ගෝලීය ප්‍රවණතාව මන්දගාමී කරන්නක්. සමාජය ඉදිරියට ඒමට ඇති ලැජ්ජාව, ප්‍රතික්ෂේප වීමේ බිය සහ අනාරක්ෂිත බව සමකාමී – සංක්‍රාන්තිකයන්ගේ මානසික සෞඛ්‍යය සහ ආත්ම විශ්වාසය මොට කරනවා. මෙහි අධි අවදානම් කලාපය නියෝජනය කරන සංවේදීම කාණ්ඩය වන්නේ නව යොවුන් විය ආශ්‍රිත දරුවන්. 

සමාජයෙන් එල්ල වන පීඩනය සහ එහි ප්‍රතිඵල ලෙස පවුලෙන් පවා ප්‍රතික්ෂේප වීම, නිර්‍ෙදා්ෂී ඔවුන්ව ජීවිතය තුළ අසරණ, අතරමං තත්ත්වයකට ඇද දමනවා සහ වඩාත්ම බරපතළ කාරණාව වන්නේ ඔවුන් සමාජයේ පටු අරමුණුවල ගොදුරු බවට පත් වීමයි.

ලංකාව වැනි ආසියාතික රටවල්වලට ලිංගික සාධාරණත්වය පිළිබඳ දැනුවත් කිරීමක්, විවිධ සමාජභාවයන් පිළිගැනීමට දිරිගැන්වීමක් සහ ප්‍රමාණවත් මඟපෙන්වීමක් අත්‍යවශ්‍යයි. අනෙක් විෂය පථ කෙරෙහි ඉතාම ප්‍රගතිශීලී මිනිස්සු පවා සමාජභාවය පිළිබඳ ගැටලුවේදී අතිශය ආත්මාර්ථකාමී සහ අන්තවාදී වීම ඒ අවශ්‍යතාව ප්‍රබල කරනවා.

සමකාමී සංක්‍රාන්තික ප්‍රජාව ජුනි මාසය තුළ පමණක් උත්කර්ෂයට නැඟිය යුතු පුද්ගල කාණ්ඩයක් නොවෙයි. දේදුනු පාට කොඩි ඇතුළු ඔවුන්ගේ අනන්‍යතාවයේ සංකේත, කාලයෙන් කාලයට ඔබේ පොරත්වය පෙන්වීමේ සහ අන්‍යන්ගේ ආකර්ෂණය ඔබ වෙත ඇද ගැනීමේ අතකොළු නොවෙයි. සරලවම ඔවුන් ඔබේ කටගැස්ම නොවෙයි. ඔවුන්ට ඔබේ එවන් භූමිකම්පා සහගත අනුකම්පාවකින් ඵලක් නැහැ. ඒ නිසා එය ඔබ ළඟම තියාගන්න. නමුත් ඔවුන්ට සහකම්පනය අවශ්‍යයි. සහානුභූතියෙන් යුතු පිළිගැනීමක් අවශ්‍යයි. ඔවුන්ගේ අනන්‍යතාවයේ පැවැත්ම වෙනුවෙන් ඔබේ පෙනීසිටීම ඔවුන්ට අවශ්‍යයි.

ඒ නිසා මෙතැන ගැටලුව ලෙස්බියන්ද කැන්ඩියන්ද, ගේ ද, බයි ද,  ටොයි ද  කියන දේ නොවේ. සමකාමී – සංක්‍රාන්තික සමාජභාවය නිරන්තරයෙන් උලුප්පා පෙන්වමින් අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නැඟිය යුතු නැති වීම. එය අතිශය සාමාන්‍ය භාවිතාවක් වන තරමට සාමාන්‍යකරණයකට, පොදු සමාජ පිළිගැනීමක් දෙසට ඇදගෙන යා යුතුයි. ඔවුන්ද සමාජය තුළ පොදු අයිතිවාසිකම් හිමි කොටසක් බව මූලික අධ්‍යාපන ක්‍රමයේ සිටම එන්නත් කිරීම අත්‍යවශ්‍යයි.

ගෝලීය වශයෙන් අපි විවිධ සංස්කෘතීන්වල දේශසීමාවලට යටින් උන්නත්, ඒ සියල්ලට ඉහළින්, අප තවමත් පොදුවේ මනුෂ්‍යයන්. මල් සහ බඹරුන් වූ පළියට අපිට දේදුන්නක් ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් නැහැ. ඒ නිසාවෙන් මේක මනුෂ්‍යත්වය පිළිබඳ පරීක්ෂණයක්. ෆේල් වෙනවද, පාස් වෙනවද  තීරණය අයිති ඔබට! 

ප්‍රහර්ෂි පෙරේරා