රියදුරු දෑතට දෙවි රැකවරණයි යන එන මගියගෙ පඩියම ඉවරයි

0
89

සුපුරුදු පරිදි උදෑසනම අවදිව රාජකාරි සඳහා නික්මෙන බොහෝ දෙනාගේ මුවග තිබෙන්නේ උදෑසනක තිබිය යුතු ප්‍රමෝදය නෙවෙයි. තවත් වෙහෙසකර දවසක පෙරනිමිති පෙන්වන මැලවුණු මුහුණු පමණයි. වෙනත් රටවල උදෑසන ආරම්භය සමඟ අපේ රටේ උදෑසනක ආරම්භය සංසන්දනය කරන්න අවශ්‍යතාවක් ඇති නොවන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෛනික ආරම්භයක් මෙරටට උරුම නිසයි.

කොල්ලෙක්, කෙල්ලෙක් නෙවෙයි මොන වයස් කාණ්ඩයක පුද්ගලයෙක් වුවත් කැමැතිම දෙයක් තමයි අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක දවසක් ආරම්භ කරන එක. බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි නව වසරක නව බලාපොරොත්තු ගොඩනැඟෙනවා වගේම සෑම නව දවසක උදෑසනක් කියන්නෙත් නව බලාපොරොත්තු ගොන්නක ආරම්භයක්. ඒ නිසා උදෑසනම තමන්ගේ බලාපොරොත්තු සුන් කරගන්න කවුද කැමැති.

ශ්‍රී ලංකාවේ බොහෝදෙනා තමන්ගේ ගමන් පහසුව සලසා ගන්න භාවිත කරන රථය තමයි බස් රථය කියන්නෙ. පාසල් සිසුන්ගේ සිට රැකියා සහ වෙනත් රාජකාරි සඳහා පිටත්වන බොහෝ දෙනෙක් තමන්ගේ ගමනාගමන පහසුව බස් රථය මඟින් සපුරා ගන්නවා. එහෙම තත්ත්වයක තිබෙන බස් රථ ධාවනයට සීමා පැනවුණොත් කොහොම තත්ත්වයක් ඇති වේවිද?

මේ තාක්දුරට ලියවුණු බොහෝමයක් ලිපි තුළ සඳහන් වුණ වැකියක් තිබෙනවා. ඒ වැකිය තමයි “මේ මොහොත තුළ උද්ගතව ඇති අර්බුදය”. ඔව්, ඒ වැකිය බස් ගැන කතාබස් සඳහාත් අදාළයි. ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය හමුවේ බස් සඳහා පමණක් ගැලවීමක් ඇති වෙන්නට ඉඩක් නැහැ. ඒ නිසා අපි බස් ගැන වැඩිදුර කතා බස් කරන්නට යමුද බස් එකක.

බස් එකේ ඇවිත් පිටකොටුවෙන් බැහැලා බෝධිය ළඟට එනකොට ළඟ තියෙන ලොතරැයි කූඩුවෙන් හැමදාම ඇහෙන වදනක් තියෙනවා.

“ජීවන ඔරුව පැදයන විට පැයෙන් පැයත්‍ව

හිතවත ඔබට අත්වේවා ජයෙන් ජයත්‍ව”

මේ වනතාක් අපිට අත්වුණ ජයක් නැති වුණත් ඒ හඬ ඇහෙන මානයකට එන්න දරන උත්සාහයම ජයක් වෙන තැනට ඇවිත් තියෙන නිසා ඒකෙ ලොකු වරදකුත් නෑ කියලා ලොතරැයි කූඩුවෙ අයියට හිතෙනවා ඇති.

මිත්‍රවරුනිි, රටක පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළින් ඒ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු කරනවා. ඒකට හේතුව තමයි බහුතරයක් රැකියා සඳහා පිටත්වන පිරිස් තමන්ගේ ගමන් පහසුව සලසා ගන්න පොදු ප්‍රවාහනය භාවිත කිරීම. එයිනුත් බස් රථයට හිමි වන්නේ ප්‍රමුඛ තැනක්. ශ්‍රී ලංකාවේ බහුතරයක් තරුණ ප්‍රජාවට තිබෙන තමන්ගේම වාහනයක් ගැනීමේ සිහිනය භාවිත කරලා බලයට පත්වන පුද්ගලයන් බලයට පත් වුණාම ඒ ගැන කිසිදු තැකීමක් නොකරන නිසාම ඔවුන් පොදු ප්‍රවාහනය භාවිත කරනවා. ඒ නිසා බස් රථය තුළින් සිදුවන මෙහෙය සුළුවෙන් තකන්න බැහැ.

ශ්‍රී ලංකාවේ බස් රථ ඉතිහාසය ආරම්භ වන්නේ 1907දී පමණ කොළඹ සිට හලාවත දක්වා වූ මගීන්ට ගමන් පහසුව සලසා දෙමින් ධාවනය වූ පෞද්ගලික බස් රථයත් සමඟිනුයි. ඒ තරම් දුර අතීතයක් තිබෙන බස් රථය සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානයක් යොමු වී නොමැති බව පැහැදිලියි. ශ්‍රී ලංකාවේ බස් සේවය පිළිබඳව සාකච්ඡා කිරීමේදී බස් රථ සංඛ්‍යාව විශාල වුවත් වාණිජමය පරමාර්ථය ප්‍රමුඛ වීම නිසා එමඟින් සැලසෙන සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව විශාල ගැටලුවක් තිබෙනවා.

අධිකව මගීන් පටවා ගැනීම, අපරික්ෂාකාරී රිය ධාවනය, මාර්ග නීති නොසැලකීම, මගී ජනතාවට අවිනීත ලෙස සැලකීම, දරාගැනීමට අපහසු නියෝන් එළි සහ සංගීතය භාවිත කිරීම වැනි දෑ නිසා සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව විශාල ගැටලුවක් පවතිනවා. මේ ගැටලු කාලයත් සමඟ පැවැතීම නිසාවෙන්ම බස් සේවාවන්ගේ සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්වී අවසන්. ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැකිය හැකි පොදු ලක්ෂණය වන ඕනෑම තත්ත්වයක් වෙනස් කිරීම වෙනුවට ඒ සඳහා අනුගතවීමත් මෙම ගැටලු සඳහා විශාල පන්නරයක් ලබාදී තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය පිළිබඳව සතුටුවිය හැකි තත්ත්වයක් දකින්න හැකියාවක් නැහැ.

එම කරුණු සියල්ල සමඟින් නවතම ගැටලුව ප්‍රවාහන ක්ෂේත්‍රයට එකතු වෙන්නෙ තත්ත්වය තවත් බරපතළ කරමින්. ශ්‍රී ලංකාවේ බරපතළ ඉන්ධන අර්බුදයත් සමඟින් ප්‍රවාහන ක්ෂේත්‍රය පවත්වාගෙන යෑමේ විශාල ගැටලුවක් උද්ගත වෙලා තියෙනවා. මේ නිසා ධාවනයට එක්වන බස් රථ සීමා වීමෙන් පවතින තදබදය උග්‍ර අතට හැරී අවසන්. ප්‍රබෝධයෙන් දවස ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පාරට එන අපේ කොල්ලන්ට බස් රථයේ ‍ෙදාරේ එල්ලිලා යන්න දවසේ ශක්තිය කැප කරන්න සිදුවෙනවා. තමන්ගේ ආරක්ෂාව ගැන නොසිතා නිසි වේලාවට රාජකාරියට වාර්තා කරන්න මේ අවදානම ගන්න මේ රටේ බහුතරයක් වැඩ කරන ජනතාවට සිදු වෙනවා.

ඒ සමඟින්ම ඉතාමත් වේගයෙන් ඉහළ යන බස් ගාස්තුත් දරාගන්න වෙලා තියෙන්නෙ මගීන්ටම තමයි. තමන් උපයන වැටුපෙන් වැඩි කොටසක් ප්‍රවාහන වියදම් සඳහා වෙන් කරන්න ඔවුන්ට සිදු වෙනවා. නමුත් ඉන්ධන ගැටලු, බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් සොයාගත නොහැකිවීම වැනි විවිධ බාධක මධ්‍යයේ වුවත් බස් සේවාව මඟින් සැලසෙන සේවය අගය නොකර සිටීමට බැහැ.

සාමාන්‍යයෙන් රටක් දියුණුවට පත් වීමේදී ජනතාව පොදු ප්‍රවාහනයට එක් වීම දැකිය හැකියි. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ තත්ත්වයක පැවැතීම අත්‍යවශ්‍ය කාරණයක්. ඔවුන්ට තමන්ගේම පෞද්ගලික වාහනයක් තිබුණත් පොදු ප්‍රවාහනය භාවිත කරන්නේ පහසුව නිසයි. ඔවුන්ට තමන්ගේ තත්ත්වයන් හෝ තරාතිරම පෙන්වීම සඳහා වාහන භාවිත කිරීමට අවශ්‍යතාවක් පැන නඟින්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්. තමන්ගේ තත්ත්වය සහ තරාතිරම පෙන්වන එක් උපකරණයක් ලෙස පෞද්ගලික වාහනයක් තිබීම සලකනවා. නමුත් මේ වන විට බොහෝ පිරිස් පොදු ප්‍රවාහනය භාවිත කරන්න පෙලඹිලා තියෙන්නෙ ඉන්ධන අර්බුදයත් සමඟිනුයි. කෙසේ නමුත් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රජයටත් ප්‍රවාහන සේවයටත් සිදුවෙනවා.

බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීම, මගීන්ට සුව පහසුව ගමන් කළ හැකි පරිසරයක් බස් රථය තුළ ඇති කිරීම, ගමන් ගාස්තුවට අදාළ ටිකට් පත ලබාදීමට කටයුතු කිරීම, ස්මාට් කාඩ් ක්‍රමයක් මඟින් මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම, මගී ජනතාවට විනීතව ආමන්ත්‍රණය කිරීම, නියමිත කාලසටහනකට අනුව බස් ධාවනය කිරීම සහ මගී ජනතාවට දරාගත හැකි ආකාරයේ ගාස්තුවක් අය කිරීම ආදිය තුළින් ගුණාත්මක බස් සේවාවකට ඉඩ හසර සකස් කරගැනීමට හැකියි.

ඒ වගේම කාලය, ඉන්ධන, ශක්තිය සියල්ල නාස්ති කරන මාර්ග තදබදයටත් විසඳුම පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමයි. හිතන්න, ඉන්ධන ගැටලුවටත් හොඳම විසඳුමක් බස් සේවාව විධිමත් කිරීම තුළින් ලබා ගත හැකියි. බොහෝ ගැටලු සඳහා පිළිතුරු තමන් අසලම තිබුණත් නිසි අවධානයක් ඒ සඳහා යොමු නොකිරීම නිසා ඒ පිළිතුර මඟහැරී යෑමට තිබෙන ඉඩ වැඩියි. ඒ සඳහා මැලවුණු මුහුණින් සහ ‍තමන්ගේ සේවා ස්ථානයට ලබාදීමට තිබෙන ශක්තිය මහ මඟට දිය නොකර සතුටින් වැඩට යෑමට හැකි බස් සේවාවක් ගොඩනැඟිය යුතුයි.

චතුරංග හතුරුසිංහ