බළන්ගොඩ ඩිපෝවේ බස් 25ක් ටයර් නැතිව නැවතිලා

0
19

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බළන්ගොඩ ඩිපෝවේ බස්රථ විසි පහක් ටයර් නොමැතිකම හේතුවෙන් ධාවනය කිරීම නතර කර ඇති බවට වාර්තා වේ.

බළන්ගොඩ-පැල්මඩුල්ල, බළන්ගොඩ කල්තොට දියවින්න, බළන්ගොඩ-උඩකන්ද ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක ධාවනයට නියමිත ශ්‍රී  ලංගම බස්රථ මෙලෙස නතර වී ඇත. මේ හේතුවෙන් මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන ශ්‍රී  ලංගම බස්රථවල ගමන් කරන පාසල් දරුවන්, රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් මෙන්ම මගී ජනතාවද දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බළන්ගොඩ ඩිපෝවේ කළමනාකාරවරයාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ, බස්රථ සඳහා අවශ්‍ය ටයර් හිඟකම හේතුවෙන් දෛනිකව ධාවනය කරන බස්රථ විසි පහකට ආසන්න ප්‍රමාණයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව ගැන කනගාටුව ප්‍රකාශ කරන බවත්ය. බස්රථ විශාල ප්‍රමාණයක් සඳහා භාවිත කරන්නේ නැවත පිරවූ ටයර් බවද  ටයර් නැවත පිරවුම සඳහා අදාළ ආයතන විසින් රැගෙන යෑම නතර වී ඇති නිසා මෙම ප්‍රශ්නය පැන නැඟී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

බළන්ගොඩ _ නලින්ද වලේබොඩ