බංකොලොත් කියලා ආයතනයක් වගේ රටක් වහලා දාන්න බෑ

0
303

ශ්‍රී ලංකාව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ණය ගෙවීමට නොහැකි වීම, ඩොලර් අර්බුදය හා කොවිඩ් වසංගතය යනාදී නොයෙක් හේතු ඔස්සේ මෙම අර්බුදය සමාජය පුරා විවිධ ගැටලු රැසක් නිර්මාණය කරමින් පවතී. ආර්ථික අර්බුදයෙන් යළි හිස එසවීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යා යුතු බව බොහෝ විද්වතුන්ගේ මතයයි.

මේ අතර මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳ නොයෙකුත් මතද සමාජයේ ගොඩනැඟෙමින් පවතී. මෙම කාරණා සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා කළමනාකරණ පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය රුවනි ප්‍රනාන්දු සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් මෙම සංවාද සටහන පෙළගැසිණි.

• මූල්‍ය ස්ථාවරත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? පවත්නා අර්ථික අර්බුදය රටේ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි බලපාන්නේ කෙසේද?

මූල්‍ය පද්ධතියක් තුළ මුදල් අතිරික්තය තිබෙන පිරිසක් සහ මුදල් උෟනතාවක් තිබෙන අය එකිනෙකට සම්බන්ධ කිරීම මූල්‍ය පද්ධතිය හරහා සිදු වේ. කිසියම් ආර්ථිකයකට අවශ්‍ය ණය අතරමැදිකරණය සහ ගෙවීම් සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ හැකියාව මූල්‍ය ස්ථාවරත්වය ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. නිසි පරිදි සම්පත් නිවැරදි මාර්ගවලට යොමුවන්නේ නැත්නම් මූල්‍ය පද්ධතිය බිඳ වැටෙන්න පුළුවන්.

මූල්‍ය පද්ධතියක මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම මහ බැංකුවේ ප්‍රධාන අරමුණුවලින් එකක්. ස්ථාවර මූල්‍ය පද්ධතියකින් බලාපොරොත්තු වනුයේ රටේ තියෙන සම්පත් කාර්යක්ෂමව ඵලදායි ආයෝජන වෙත යොමු කිරීම, ආර්ථිකයක් සහ කිසියම් ආතතියක පවතින අවස්ථාවකදී පවා මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමයි. ඒ වගේම ආර්ථික අවපාතයක් තුළදී පවා මහජනතාවගේ සුබසාධනය නිසියාකාරව පවත්වාගෙන යෑම සහ ආර්ථික වර්ධනය පවත්වාගෙන යෑමත් මහ බැංකුවේ කාර්යයක්.

ආර්ථික අර්බුදයත් එක්ක මූල්‍ය පද්ධතියට වන බලපෑම නම් මූල්‍ය පද්ධතියේ අවිනිශ්චිතතාවක් ඇති වීම හා මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසය බිඳ වැටීමයි. මෙය තවදුරටත් විග්‍රහ කළහොත් පද්ධතිය තුළ සිටින ව්‍යාපාරිකයන් පවත්නා අවිනිශ්චිතතාව නිසාත් අනාගත පුරෝකථනයක් කිරීමට බැරි වීම නිසාත් ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට මැළිවෙනවා. රට තුළ ආයෝජන කිරීමට තියෙන ඉඩකඩ අඩු වෙනකොට ව්‍යාපාරිකයෝ මූල්‍ය පද්ධතිය ඇතුළට පැමිණ මුදල් ලබා ගැනීමට අකැමැතියි. ඒ සඳහා තියෙන ඉල්ලුම අඩුයි. අනෙක් අතට මූල්‍ය පද්ධතියේ කොඳු නාරටිය වන බැංකු ව්‍යාපාර සඳහා ණය දීමට මැළිකමක් දක්වනවා.

මොකද ආර්ථිකයේ තියෙන අවිනිශ්චිතතාව නිසා ව්‍යාපාරිකයන්ට නැවත ණය ගෙවීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ බැංකුවට තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. අවසානයේදී සමාජය තුළ සිටින මුදල් අතිරික්තය හා උෟනතාවක් ඇති පිරිස එකට ගළපා ගැනීමට නොහැකි වෙනවා. මෙම නොගැළපීම තුළ ආයෝජන සඳහා තිබෙන ඉඩකඩ ඇහිරෙනවා වගේම අවසාන වශයෙන් මහ බැංකුව බලාපොරොත්තු වන පරිදි ආර්ථික වර්ධනයට තිබෙන අවස්ථාවද අහිමි වෙනවා.

• සාමාන්‍ය ජනයාගේ පැතිකඩින් මෙම මූල්‍ය අවිනිශ්චිතතාව විග්‍රහ කරන්නේ කෙසේද?

මූලික වශයෙන්ම මූල්‍ය අවිනිශ්චිතතාවක් පවතින විට සාමාන්‍ය මහජනතාවට මූල්‍ය පද්ධතිය සම්බන්ධයෙන් තියෙන විශ්වාසය අඩුවීම නිසා බැංකු සමඟ ගනුදෙනු කරන ප්‍රමාණය අඩු වෙනවා. ජනතාව තමා බැංකුවල යෙදවූ මුදල් සඳහා පොලිය අඛණ්ඩව ලැබේද යන්න ගැන සැක කරනවා. මීට අමතරව තමාගේ බිල්පත් ගෙවීමේ හැකියාව නැතිවෙයි දැයි අවිනිශ්චිතතාවක් ඇති විය හැකියි. මූල්‍ය අවිනිශ්චිතතාවක් පවතින විට මිල මට්ටම් ස්ථාවර නැති වෙනවා. උදාහරණයක් ලෙස විනිමය අනුපාතය, කොටස් වෙළෙඳපොළ මිල ගණන් දැක්විය හැකිය.

• මෑතකදී සිදු කරන ලද බැංකු පොලී අනුපාත වෙනස් වීම කොහොමද අපට බලපාන්නේ? 

2022 වර්ෂය ගත්තොත් තුන් වතාවක් පොලී අනුපාත වෙනස් වෙලා තියෙනවා. ජනවාරි මාසයේදී මහ බැංකු පොලී අනුපාත වන ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 5.5% ලෙසත් ස්ථාවර ණය පහසුකම් අනුපාතය 6.5%ක් ලෙසත් සඳහන්ව තිබුණේ. පසුව එය 2022 මාර්තු වෙද්දී 1%කින් වැඩි වෙලා තියෙනවා. ඊට පසුව අප්‍රේල් 8 වැනිදා අවසන් වරට පොලී අනුපාත වෙනස් වුණා. එය 7%ක වැඩිවීමක්. ස්ථාවර තැන්පතු පොලී අනුපාතය 13.5% ලෙසත් ණය

පහසුකම් අනුපාතය 14.5% ලෙසත් වැඩි වුණා. මහ බැංකු පොලී අනුපාත වෙනස් වීමේ ඉතිහාසය ගත්තොත් මේක තමා වැඩිම අනුපාතයකට වෙනස් වුණ කාලපරිච්ජේදය. මඳක් ආපස්සට ගිහින් බැලුවොත් 2001 පොලී අනුපාත වෙනස් වෙලා තියෙනවා. 17%කින් එය 2001 ජනවාරි වෙද්දි 20%කට වැඩි වෙලා තියෙනවා දැන් තියෙන ප්‍රතිශතය අනුව 2001දී විශාල ප්‍රමාණයකින් වෙනස් වෙලා තිබෙන නමුත් එම වැඩි වීම සිදු වෙලා තියෙන්නේ 2000 සිට 2001 දක්වා 3% වගේ අඩු ප්‍රතිශතයකින්. නමුත් 2022 වර්ෂයේ ජනවාරී සිට අප්‍රේල් දක්වා මාස තුනක කෙටි කාලයක් තුළ 7%ක වැනි විශාල ප්‍රතිශතයකින් වැඩිවෙලා තියෙනවා.

මෙම වැඩි වීම අපට බලපාන්නේ කොහොමද කියලා බැලුවොත් තැන්පතු අනුපාතය වැඩි නිසා මහජනතාව වැඩි පොලී ආදායමක් බලාපොරොත්තුවෙන් බැංකුවල මුදල් තැන්පත් කරනවා.  ඉන් මහජනතාවට පවතින උද්ධමනය හමුවේ වියදම කළමනාකරණය කරගැනීමට වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා. මෙය රට ඇතුළේ තියෙන මුදල් බැංකු පද්ධතිය වෙත ගෙන්වාගැනීමට සිදු කළ හොඳ උපක්‍රමයක් හා අවස්ථාවක්. සාමාන්‍යයෙන් ආර්ථික අර්බුද තිබෙන වෙනත් රටවල් දිහා බැලුවහම උද්ධමනය වැඩි වෙනකොට පොලී අනුපාත වැඩි වීම දකින්න පුළුවන්.

අනෙක් අතට ණය අනුපාතිකය වැඩි වීම නිසා ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් බැලූ විට වැඩි පොලියක් ගෙවලා ව්‍යාපාර සඳහා ණය ලබා ගැනීම සිදු කරන්න අපහසුයි. ඒ නිසා ආයෝජකයන්ගේ පැත්තෙන් මෙය අවාසියි. රට තුළ ආයෝජනය අඩු වීම නිසා අවසානයේ ආර්ථික වර්ධනය අඩු වීමට මෙය බලපානවා. ඒ වගේම තමයි පොලී අනුපාත වැඩි වීම ආනයනික ව්‍යාපාරවල නිරතවෙලා සිටින ව්‍යාපාරිකයන් අධෛර්යවත් කරනවා. මන්ද ඔවුන් වැඩි පොලියක් ගෙවා ණය ලබාගෙන ආනයනික කටයුතුවල නිරත වෙන්නේ නැහැ. ඒ නිසා රට තුළින් පිටතට මුදල් ගලා ගෙන යෑම අඩු වෙනවා. අනෙක් අතට තැන්පතු පොලී අනුපාත වැඩි නිසා විදේශීය ආයෝජකයෝ තැන්පතු කෙරෙහි ආකර්ෂණය වෙනවා.

නමුත් මේ වගේ ආර්ථික අර්බුදකාරී වෙලාවක අපිට විදේශීය ආයෝජකයන් එයි කියල හිතන්න අමාරුයි. ඒ වගේම බැංකු වෙත මහජනතාවගේ මුදල් ගලා ඒම වැඩි නිසා මේ වෙලාවේදී බැංකු මුදල් ද්‍රවශීලතාව අතින් ශක්තිමත්. මොකද අනෙක් අතට බැංකු වෙත ණය පොලී ආදායම අඩු වෙනකොට තැන්පතු සඳහා ගෙවීමට ඇති හැකියාවත් බැංකුවට අඩු වෙන්න පුළුවන්. පොලී අනුපාතය වැඩි වූ විට මූල්‍ය පද්ධතියට මුදල් ගලා ඒම වැඩි නිසා ආර්ථිකය තුළ මුදල් සැරිසරන ප්‍රමාණය අඩු වීමෙන් උද්ධමනය අඩු වීමටද කිසියම් බලපෑමක් කරනවා. ඒ වගේම පොලී අනුපාත ඉහළ යෑම නිසා යම්තාක් දුරකට ඩොලරයක මිල ඉහළ යෑමත් පාලනය වුණා.

• මෙම ආර්ථික අර්බුදය පෞද්ගලික හා රාජ්‍ය බැංකු පද්ධතිය කඩා වැටීමකට බලපානවද?

බැංකු පද්ධතියක් කඩා වැටුණහොත් එය ප්‍රධාන වශයෙන්ම පාර්ශ්ව තුනකට බලපානවා. තැන්පත්කරුවන්ට, ව්‍යාපාරිකයන්ට හා සාමාන්‍ය පාරිභෝගිකයන්ට. අපි කොවිඩ් වසංගතය හමුවේ බැංකු සමඟ මාර්ගගත ක්‍රමයට බොහෝ සේවා හා පහසුකම් ලබාගත්තා. අද වන විට මිනිසුන්ට බැංකු නොමැතිව පැවැත්මක් නොමැති තැනකට පත් වී අවසන්. ඒ තරමට මිනිසුන් බැංකු සේවා මත යැපෙනවා.

  බැංකු ගනුදෙනු නොමැතිව මිනිසුන්ට තම ජීවන රටාව පවත්වා ගැනීමට නොහැකි වෙනවා. තැන්පත්කරුවන්ට තැන්පත් මුදල් අහිමි වීමෙන් එහි පොලී ආදායමත් අහිමි වෙනවා. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකු ණය මත ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. නමුත් බැංකු පද්ධතිය කඩා වැටුණහොත් ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන නොමැතිව ආර්ථික වර්ධනයත් අඩාල වෙනවා. අනිත් අතට පාරිභෝගිකයන් විදිහට අපට එදිනෙදා වැඩකටුයුතු සිදු කිරීමට නොහැකි වෙනවා. පවතින ආර්ථික අර්බුදය තුළ

පළමුව කඩා වැටෙන්නේ රාජ්‍ය බැංකුද පෞද්ගලික බැංකුද යන්න විමසුවහොත් ලංකාවේ බැංකු පද්ධතිය තුළ වැඩිම වෙළෙඳපොළ කොටස් තිබෙනුයේ රාජ්‍ය බැංකුවලට. එම නිසා රාජ්‍ය බැංකු සඳහා කිසියම් හානිදායක බලපෑමක් ඇති වුවහොත් එය මෙරට ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා. නමුත් තැන්පතු පොලී අනුපාත ඉහළ යෑම නිසා බැංකු තුළට මුදල් ගලා ඒමත් සිදු වුණා. ඒ නිසා වර්තමානයේ බැංකු රුපියල් අතින් ශක්තිමත්. ශ්‍රී ලංකාවේ බැංකු සඳහා ප්‍රධාන අරමුදල් මූලාශ්‍රය වන්නේ දේශීය ව්‍යවහාර මුදල් තැන්පතු. 2021 සිවුවන කාර්තුවේදී සියයට 10ක වාර්ෂික වර්ධනයක් දක්වා අනුපාතය මන්දගාමී වුවද වර්තමානය වනවිට දේශීය තැන්පතුවල වර්ධනය ධනාත්මකව පවතී. එසේ වුවත් රටේ අඩාල වූ ආර්ථික ක්‍රියාකාරකම් දේශපාලන අවිනිශ්චිතතාව සහ දුර්වල මූල්‍ය ප්‍රතිපත්ති බැංකුවලට හානියක් විය හැකිය.

• ශ්‍රී ලංකාව මේ වන විට ණය ගෙවීමට නොහැකි තත්ත්වයට පත්වෙලා අවසන්. මේ නිසා ඉදිරියට ඇතිවන බලපෑම කෙසේද?

ණය ගෙවීමේ ශ්‍රේණිගත කිරීම් හරහා බලාපොරොත්තු වනුයේ කිසියම් රටකට ණය ගෙවීමට කොපමණ හැකියාවක් තිබෙනවාද යන්න මැන බැලීමයි. මේ වන විට අපි එම ශ්‍රේණිගත කිරීම්වල අන්තිම අගයට එකක් උඩින් ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි ණය ගෙවීමට නොහැකි යන කාණ්ඩයට අයත් රටක්. අවසන් අගයට ගියොත් අපිට ණය ගෙවීමට කොහෙත්ම හැකියාවක් නැති වෙනවා.

බැංකුවක් කිසියම් ආයතනයකට ණය දෙන විට එම ආයතනයට ණය ගෙවීම සඳහා කොතරම් හැකියාවක් තිබේද යන්න පරීක්ෂා කරනවා. එම ආයතනයට ගෙවීමේ හැකියාවක් තිබෙනවා නම් එම ප්‍රමාණය සලකා බලා ණය මුදලක් දෙනවා. එම ආයතනය ණය ගෙවීමේ හැකියාවක් නැත්නම් ණය නොදීමට ක්‍රියා කරනවා. එසේත් නැත්නම් වැඩි පොලී අනුපාතයකින් එම මුදල අය කර ගැනීමට ක්‍රියා කරනවා. ඒ වගේ මෙම කාරණය රටක් වශයෙන් බැලුවහම අපේ රට ණය ගෙවීමට නොහැකි රටක් නිසා තවදුරටත් ණය දෙන රටවල් හෝ ආයතන ඒ සඳහා අධෛර්යවත් වෙනවා. මේ අනුව තවදුරටත් අන්තර්ජාතිකව අපිට ණය ලබාගැනීමට ඇති ඉඩ ඇහිරෙනවා.

ණය ගෙවීමේ හැකියාව අඩු රටකට කවුරුත් ණය දෙන්න පෙලඹෙන්නේ නැහැ. ඒත් අපිට තවත් ණය අවශ්‍යතාවක් තියෙනවා නම් හා ඒ සඳහා ණය දෙන්න අය සිටිනවා නම් එතැනදි ණය පොලී අනුපාතය වැඩි කරනවා.  ණය හිමියාට තිබෙන ණය දීමේ අවදානම අඩු කරගන්න අවශ්‍ය නිසයි වැඩි පොලී අනුපාතයකට ණය දෙන්නේ. ඒ අනුව ලංකාව වැඩි පොලී අනුපාතවලට ණය අරගෙන තියෙනවා සහ ඉදිරියේදී තවත් ණය ගන්නවා නම් වැඩි පොලී අනුපාතයකට ගන්න සිදු වෙනවා.

• ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යෑම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම හරහා අපිට තිබෙන වාසිය කුමක්ද?

ණයක් අරගෙන තව ණයක් පියවෙන එක අපිට දීර්ඝකාලීන විසඳුමක් නෙවෙයි.  ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගත කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම තමා මේකට තියෙන විසඳුම. ඉන්දියාවත් ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාර්ථකව ආර්ථික අර්බුදයෙන් ගොඩට පැමිණි රටක්.

ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ගියොත් අපිට පුළුවන් ණය සපයලා තියෙන රටවලින් පොලී අනුපාතය පමණක් ගෙවීමට එකඟ කරගන්න. එහෙමත් නැත්නම් යම්කිසි කාලසීමාවකට එකඟ කරගන්න මේ කාලයෙන් පස්සේ ණය ගෙවනවා කියලා. ඒ වගේම පොලී අනුපාතයේ ප්‍රමාණය අඩු කරගන්න හෝ ණය ප්‍රමාණයේ කොටසක් අඩු කරගන්න එකඟතාවකට එන්න පුළුවන්. විවිධ ආකාරයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන්න හැකියාව තියෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න නම් ඔවුන්ගේ කොන්දේසිවලට අපට එකඟ වීමට සිදු වෙනවා. ඔවුන්ගෙන් ණයක් ගන්නවා නම් එම ණය ගෙවීමට හැකි වතාවරණයක් අපි හදාගන්නවද යන කාරණය මෙහිදී සලකා බලනවා. ඒ වගේම රාජ්‍ය අදායම වැඩි කරගැනීමත් අවශ්‍ය වෙනවා. පසුගිය කොවිඩ්  කාලසීමාවේදී සමහර බදු අඩු කළා. එම අඩු කිරීමත් රාජ්‍ය ආදායම පහත වැටීමට බලපෑවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනව නම් ඔවුන්ගේ කොන්දේසිවලට අනුව අනිවාර්යෙන්ම බදු වැඩි කිරීම අවශ්‍යයි. එනම් රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. ඊට අමතරව වියදම් කළමනාකරණය අලාභ ලබන රාජ්‍ය ආයතන තීබේ නම් ඒවා නැවැත්වීම හෝ ලාභ ලබන තත්ත්වයට ගැනීම අවශ්‍යයි. දැනට තිබෙන ණය සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි පසුවයි IMF එක අපිට ණයක් දෙන්නේ.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙනු ලබන සහනදායි ණය සඳහා කිසිදු පොලියක් අය කරන්නේ නැත. එම ණය මුදල නිවැරදිව කළමනාකරණය කිරීම හරහා ආර්ථික අර්බුදයට විසඳුම් සොයාගත හැකියි. එහිදී අපිට විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට හැකියාවක් තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකියි.

• දිගින් දිගටම ණය ලබා ගැනීමෙන් මෙම අර්බුදය විසඳිය හැකිද? මෙලෙස ණය ගැනීමේ සීමාව කොතැනද? 

රටකට ණය ගන්න නම් ණය ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. අපි ණයක් ගන්නේ අපිට ගෙවන්න පුළුවන් නම් පමණයි. ණය ගැනීමේ සීමාව ගැන කතා කරන විට දළ දේශීය නිෂ්පාදිතයට ණය අනුපාතය බැලීම සිදු කළ යුතුයි. න්‍යායාත්මකව බලන විට මෙම අනුපාතය සංවර්ධිත රටක 60% දක්වා යනව නම් එය සමාන්‍යයි. ඊට වඩා යනව නම් ණය ගැනීමේ සීමාවෙන් එහාට ගිහින් තිබේ. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ණය අනුපාතය 104%ක්. ඒ කියන්නේ උපරිමයටම ගිය තත්ත්වයකයි ඉන්නේ.

මෙම අනුපාතය සංවර්ධනය වෙමින් පවතින රටක 30% අනුපාතයේ තිබීම තමා සාමාන්‍යය මට්ටම වෙන්නේ. දැන් අපි ඉන්නේ ණය ගැනීමට සුදුසු ස්ථානයක නෙවෙයි. ඒ සීමාව පැනලා තියෙන්නේ. රටක් විදිහට බංකොලොත් මට්ටමකයි අපි ඉන්නේ. මේ තත්ත්වය ව්‍යාපාර ආයතනයකට සිදු වුණොත් එය වසා දැමීමට සිදු වෙනවා. නමුත් රටක් එහෙම වහලා දාන්න බැහැ.

• දැනට මෙම අර්බුදයෙන් යථා තත්ත්වයට පත් වීමට අපට ගත හැකි මූල්‍ය විසඳුම් මොනවාද?

ණය ගෙවීම අතින් අප පහළ මට්ටමේ තැනකයි ඉන්නේ. නමුත් ණය ගෙවීම බංකොලොත් මට්ටමට පත්වෙලා නෑ. බංකොලොත් කියන්නේ කිසිම ගෙවීමක් කරන්න බැහැ කියන එක. බංකොලොත්භාවයට පත්වෙන එක නවත්තගන්න එක තමයි මෙහිදී වැදගත්. කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යෑම අවශ්‍ය වෙන්නේ මෙතැනදි. ආජන්ටිනාවේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ 2020 වෙනකොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යනවා. හැබැයි ඉතාමත් කෙටි කාලයක් තූළ ඉතා සාර්ථකව එම ක්‍රියාවලිය සිදු කරනවා.

එහිදී ඔවුන් ඉල්ලා තිබෙනවා වසර තුනක් ඔවුන්ගේ ණය ගෙවීම සඳහා. ඒ වගේම ගත් මූලික ණය ප්‍රමාණයෙන් 5.5% අඩු කිරීමටත් පොලී අනුපාතය 6.2% අඩු කිරීමටත් ඉල්ලා තිබෙනවා. ඒ වගේ ලංකාවත් මේ වෙලාවේ කරන්න ඕනේ. එවැනි එකඟතාවලට යන එකයි. අපිට තිබෙන්නේ ඩොලර් අර්බුදයක් නම් පවතින ඩොලර් ණය ගෙවීමට හා අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමටත් මදි නම් මොකක්ද අපි කරන්න ඕනේ හැකි ඉක්මනින් එකඟතාවලට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කරන එක. එතැනදි අපට ලැබෙන සහනදායි කාලසීමාව හොඳට සැලසුම් කරලා රාජ්‍ය මුදල් කළමනාකරණය කළොත් ජාත්‍යන්තර අරමුදලට ගිහින් ඔවුන්ගේ කොන්දේසි අනුව හා ඔවුන්ගේ පහසුකම් ලබාගෙන අපිට ඉදිරි වසර කිහිපය තුළ කිසියම් ආකාරයේ ස්ථාවරත්වයක් ලබාගන්න පුළුවන්.

හැකි තරම් රට බංකොලොත්භාවයට යන එක අඩාල කරගන්න උපාය මාර්ග යොදන අතරතුර යථා තත්ත්වයට පැමිණීමට සැලසුම් යෙදිය යුතුයි. එහිදී අදායම් වැඩි වන මාර්ග එනම් විදේශ විනිමය ඉපැයීම අපනයන විවිධාංගීකරණය වගේ ක්‍රමවලට යන්න අවශ්‍යයි. අපි ණය ගත්තේ ඩොලර්වලින් වුණාට එම මුදල් යොදවා සිදු කළ ව්‍යාපෘතිවලින් ආදායම් සෙව්වේ රුපියල්වලින්. සමහර ව්‍යාපෘති තිබෙනවා ආදායම් ඉපයීමක් නොමැති. එතැනින් තමයි මේ ප්‍රශ්නය පැනනඟින්නේ.

ණය ගත්තට කමක් නැහැ. ණය අරන් දියුණු වුණු රටවල් ඕන තරම් තියෙනවා. නමුත් ගන්න ණය නිවැරදිව කළමනාකරණය කරගැනීමයි කළ යුත්තේ. ඒ සඳහා රට අභ්‍යන්තරයේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරගැනීම අත්‍යවශ්‍යයි. දේශපාලන ස්ථාවරත්වය නොමැතිව ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම අපහසුයි. එම නිසා කාලය අපතේ නොයවා දේශපාලන ස්ථාවරත්වයකට පැමිණ ආර්ථික ස්ථාවරත්වයට අවශ්‍ය සැලසුම් දියත් කිරීම මෙහිදී වැදගත්.

සාකච්ඡා කර ලීවේ-අමානි ඉරේෂිකා රූපසිංහ

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය.