ඉන්න විධිය නෙමෙයි යන්නෙ කොහොමද කියන එකයි වැදගත්

0
67

මේ ළඟදි දවසක  ජනාධිපතිතුමා කිව්වා අසාර්ථක නායකයෙක් විධියට තමන් දැම්ම ඉවත් වෙන්නේ නෑ කියලා. අපි ඕනම කර්තව්‍යයක් අවසන් කරන්න ඕනේ සාර්ථක මිනිහෙක් විධියට. අසාර්ථක කෙනෙක් විධියට යම් දෙයක් අපි අවසන් කළොත් අපේ ගෞරවය නැත්තටම නැති වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ කැපවීමෙන් මහන්සියෙන් ගොඩනඟාගත්ත චරිතය පවා එතැනදී විනාශ වෙලා යන්න පුළුවන්.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු විස්සයි 20 ක්‍රිකට් තරග තුනේ පළමු තරග දෙක අපි පැරදුණා. අතිශය අසාර්ථක වුණා. ඒත් අන්තිම තරගය ජයග්‍රහණය කරලා විස්සයි 20 තරගාවලිය සාර්ථකව අවසන් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වුණා. දසුන් ශානක එතැනදී වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළා. ඒ ඉනිම ගැන මුළු ලෝකෙම කතා කළා. පළමුවැනි තරග දෙක පැරදිලා තරගාවලිය පරාජයට පත් වුණත් අවසාන තරගයේදී ලෝක වාර්තා අතරට එක් වෙමින් ගහපු ගේම් එක නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන යහපත් බලාපොරොත්තුවක් ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ ඇති වුණා. ආරම්භය සහ මැද කොහොම වුණත් අවසානය ගැන තමයි මිනිස්සු වැඩියෙන්ම වධ වෙන්නෙ කියලා පේනවා නේද ? මේ හේතුව නිසා මුළු ලංකාවෙම ක්‍රිකට් ලෝලීන් ඉන්නේ මාරම ගැම්මක.

ක්‍රිකට් මැච් එකක වුණත් ඉනිම ආරම්භ කරන විදිය මහා ලොකුවට වැදගත් නෑ. ඉනිම අවසාන කරන්නේ ජයග්‍රාහකයෙක් විධියට ද පරාජිතයෙක් විධියටද කියන එක ගොඩක් වැදගත්. ඒ නිසා පරාජිතයෙක් විදිහට ජීවිතය, ඉනිම, රැකියාව, අධ්‍යාපනය, ව්‍යාපෘති වගේ දේවල් අවසන් කරන්න කිසිම කෙනෙක් කැමැති නෑ. අග කොටස ඉහළ ස්වරයකින් සාර්ථකව ඉවර කරන්න තමයි හැමෝටම ඕනේ. ගෝඨාභය  රාජපක්ෂට ධුරයෙන් ඉවත් වෙන්න බැරි හේතුව ඔන්න ඕකයි.

ඕනම දේක මුල මැද සහ අග කියන කොටස් තුන අතරින් ගොඩක්ම වැදගත් වෙන්නේ අග කොටස. මොකද මිනිස්සුන්ට අවසානෙදී මතක හිටින්නෙ අවසාන කොටස මිසක් මුල හෝ මැද නෙමෙයි. කවුරු හරි කෙනෙක් රැකියාවක් කරද්දී ඔහු රැකියාවේ මුල් කාලයේදී ඉතාමත් අසාර්ථක වුණා කියලා හිතන්නකෝ. ඒත් මුල් කාලේ ඉවර වෙලා මැදි කාලීනව ඔහු ආයෙත් අසාර්ථක වෙනවා. ඒත් අවසාන කාලෙදි ඔහු අතිශය සාර්ථක වෙනවා.

එතකොට මේ පුද්ගලයා අසාර්ථක වුණු මුල් කාලය සහ අසාර්ථක වුණු මැද කාලය කියන එක මිනිස්සුන්ට අදාළ නෑ. ඔහුව මනින්නේ අවසාන කාලයේදී ඔහු ලබපු සාර්ථකත්වයට සාපේක්ෂවයි. ඒ වගේම තමයි ඕකෙ අනිත් පැත්තත්. ඔය පුද්ගලයා මුල් කාලයේදී සහ මැද කාලයේදී අතිශය සාර්ථක වෙලා අවසාන කාලයේදී අතිශය අසාර්ථක වුණොත්, මිනිස්සු කවදාවත් අර සාර්ථක වෙච්ච කාලය ගැන කතා කරන්නේ නෑ. හැම තිස්සෙම මිනිස්සු අල්ලගන්නෙ වැරදි තැනින්. ඒ වැරදි තැන අග කොටසේ තියෙනවා නම් තත්ත්වය තවත් දරුණුයි.

මේ මොහොතේදී මුළු රටම අසාර්ථක වෙලා තියෙනවා. මේ වගේ අසාර්ථකත්වයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දවසක තිබිලා නෑ. මේ අසාර්ථකත්වයට සෘජුව සහ වක්‍රව වගකිවයුතු සියලු දෙනාටම දැන් ඇඟිල්ල දිගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයාට. මේ වෙලාවේ මුළු රටම බල කරන්නේ මේ අසාර්ථක ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වෙන්න කියලා. ජනාධිපතිවරයා මේ වෙලාවේ ජනාධිපති ධුරයෙන් සමුගත්තොත් ඔහු සමුගන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවූ අසාර්ථකම නායකයා විධියට.

එහෙම වුණොත් ඒක ඔහුගේ ආත්මගරුත්වයට ගහන කනේ පහරක් වගේ. ඒ කනේ පාර තමන්ටම ගසා ගන්න කවුරුත් කැමැති නෑ. ඒ නිසා මොකක් හරි ගේමක් ගහලා තව ටික කාලයක් ඉඳලා මේ අර්බුදය පොඩ්ඩක් හරි ෂේප් කරලා තමන්ගේ ගෞරවය යන්තම් හරි බේරගෙන තමන්ගේ ධුර කාලය අවසන් කරනවා කියන මතයේ තමයි ජනාධිපතිවරයා ඉන්නේ. තමන්ගේ ධුර කාලය අවසන් වෙන්න කලින්, අසාර්ථකත්වය හේතු කරගෙන ධුරයෙන් සමුගත්ත ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉඳලා නෑ. ඉතින් ඒ කළු පැල්ලම පළමුවැනි පාරට තමන්ගේ චරිතයේ ගාගන්න ගෝඨාභය සර් කැමැති නෑ.

මේ වෙලාවේදී ජනාධිපතිවරයා ධුරයෙන් සමුගත්තොත්, ඉස්සර ආරක්ෂක ලේකම්වරයා විධියට ඔහු රට වෙනුවෙන් කරපු කාර්යභාරය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ අති සාර්ථක බව අමතක කරලා අසාර්ථක නායකයෙක් විධියට සමුගන්න හේතු වෙච්ච දේවල් ගැන තමයි හැමෝම කතා කරන්නේ. ඒ ලේබල් එක ගහගන්න එතුමා කැමැති නෑ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවැනි පාරට අසාර්ථක වෙලා ලෙල්ලටම වැටිලා ජනාධිපති ධූරයෙන් ඉවත් වුණු පුද්ගලයා වන්නේ තමන් කියලා හිතන්න මොන මිනිහද දෙවියනේ කැමැති. ඔන්න ඕකයි ඔතන තියෙන ප්‍රශ්නේ.

මේක අපේ ජීවිතවලටත් ලොකු ආදර්ශයක්. යමක් අති සාර්ථකව පටන් ගත්තා වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වැඩේ අපි අති සාර්ථකව කරගෙන යනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒ වැඩේ අවසන් කරද්දී අපි අසාර්ථක වුණොත් අපේ ගරුත්වය පිළිගැනීම ඇතුළු හැම හොඳ දෙයක්ම නැත්තටම නැති වෙනවා. ඒ නිසා අපි ගෞරවාන්විත විධියට හැම දෙයක්ම අවසන් කරන්න ඕනේ.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් උදාහරණ ගන්නව නම් කුමාර් සංගක්කාර, ටී.එම්. ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, මුරලිදරන් වගේ අය ඉතාමත් හොඳ තීරණ අරගෙන අති සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයන් විධියට සමුගත්තා. ඒ සමුගන්න වෙලාවේදී අපිට හිතුණේ මේ අය තව ටික කාලයක් ක්‍රීඩා කළා නම් හොඳයි කියලා. මොකද ඒ අය සමුගන්න මොහොත වෙනකොටත් අති සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඒ නිසා අපි ඒ අයට තාමත් ගෞරව කරනවා. ඒ නිසා හැමදේකම අවසානය සාර්ථකව අවසන් කරන්න ආරම්භයේදීම අපි සැලසුම් හදන්න ඕනේ. ඒකට තමයි කියන්නේ Happy Ending කියලා.

ලක්මිණ රණසිංහ