ආතල් කඩා ගන්නේ නැතිව පාගල් එකක් තෝරාගන්නේ මෙහෙමයි

0
105

ශ්‍රී  ලංකාවේ, බස්නාහිර පළාතේ, කිරුළපන නගරයේ ජීවත් වන ගුණපාල මහත්මයා අවුරුදු 15ක් පුරාවට පාපැදියෙන් ගමන් යෑමට පුරුදුව තිබුණා. ඒත් මෝටර් බයිසිකල් ආ පසු එයට පුරුදු වුණේ ලේසියයි පහසුවයි නිසා පමණක් නොවේ. පාපැදිය පැදීම තමන්ගේ සමාජ තත්ත්වෙට එතරම් සුදුසු නොමැති බව ඔහුගේ බිරිය සහ දරුවන් අමුතුම කතාවකින් ඔළුව පිරවීමත් මෙයට හේතුවක්.

නෙදර්ලන්තයේ ජාකොබ් මහත්මයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්. කිලෝමීටර් 30ක පමණ දුරක් තිබෙන නිසා ඔහු දිනපතා රාජකාරි කටයුතුවලට ගියේ තමන්ගේ පෞද්ගලික මෝටර් රථයෙන්. නමුත් කඩේට යන්න, පාරට යන්න, යාළුවො හම්බ වෙන්න යන්න, කාව හරි බලන්න යන්න, ඉබාගාතේ යන්න, ක්‍රීඩා කරන්න යන්න වගේ අනිත් හැම තැනටම යන්න ඔහු පාවිච්චි කළේ පාපැදියයි. ඒ ක්‍රමයෙන් තමන්ට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා වගේම, හොඳ විනෝදයක් ලැබෙනවා කියලත් ජාකොබ් මහත්තයා විශ්වාස කළා.

පෙට්රල් සහ ඩීසල් මිල ඉහළ යෑමත් එක්ක දුප්පතාගේ හිතවතා වුණු බයිසිකලේ ආපහු අපේ රටේ කරළියට ආවා. ශ්‍රී ලංකාවේ සමහර ලාංකිකයන්ගේ මතය අනුව බයිසිකලයක් කියන්නෙ දුප්පතාගේ හිතවතෙක් වුණත් බොහෝ රටවල ඒ දුර්මතය බැහැර වුණු දෙයක් කියලා ඔවුන්ගේ ක්‍රියාවලින්ම පෙනී යනවා.

‍රටක ජනතාව පාපැදියට හුරු වීමෙන් ඇතිවන ප්‍රතිඵල බොහොමයක් තිබෙනවා. පාපැදිය නුහුරු අපේ රටේ මාර්ග සඳහා අනිවාර්යයෙන්ම මංතීරුවක් වෙන් කළ යුතු වනවා. එසේ නොමැති නම් රිය අනතුරු ඇති වීමේ හැකියාවක් පැනනඟිනවා. ඒ මන්ද යත්, පාපැදියකට අනෙකුත් වාහන සමඟ තරගයට ගමන් කිරීම අපහසුය. මංතීරුවක් සැකසීමෙන් පාපැදිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකිය. ඉන්ධන ගැටලුව නිසා අප රටේ මෑත කාලයේ පාපැදිය කරළියට ආවත් දියුණු රටවල මේ ක්‍රමය එදා සිට පැවැති දෙයක්.

ලෝකයේ පාපැදි සඳහා හිතකාමීම සහ ප්‍රසිද්ධම ස්ථානය වන්නේ නෙදර්ලන්තයයි. එහි ඇම්ස්ටර්ඩෑම්, utrecht වන් නගර මේ සඳහා ඉතා ප්‍රචලිතයි. ඊට අමතරව ඩෙන්මාර්කයේ Copenhagen, කැනඩාවේ Montreal, ස්පාඤ්ඤයේ බාර්සිලෝනා, ජපානයේ ටෝකියෝ, ප්‍රංශයේ පැරිස් සහ ජර්මනියේ බර්ලින් මේ සඳහා නම් දැරූ ස්ථානයන් වෙනවා.

රාජකාරි සහ පාසල් ගමන් වෙනුවෙන් 60%ට වැඩි ප්‍රතිශතයක් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගර වැසියන් පාපැදිය භාවිත කරනවා. පාපැදි මංතීරු, ඒ වෙනුවෙන් සංඥා පද්ධති ආදිය වෙනුවෙන් යටිතල පහසුකම් නිතිපතා සංවර්ධනය කිරීමද, ඒ වෙනුවෙන් යම් මුදලක් පුරවැසියන්ට ආයෝජනය කිරීම ද මෙහි සිදු කරනවා.

නෙදර්ලන්තයේ Utrecht නගරයේ ලොව විශාලතම බයිසිකල් ගාල් කිරීමේ ස්ථානය ඉදිකරමින් තිබුණා. එහි ධාරිතාව පාපැදි විසි දෙදහසක්.

ප්‍රංශයේ පැරිස් නුවර මෝටර් රථ රහිත දින පැවැත්වීමෙන් සහ පාපැදි මාර්ග නිරන්තරයෙන් සකස් කිරීමෙන් ජනතාව මේ සඳහා දිරි ගන්වා තිබෙනවා.

නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර 2017දී පමණ සිට නගර මධ්‍යයේ සිට සැතපුම් 1.3ක තරම් දුරකින් මෝටර් රථ නවත්වා ඒ වෙනුවට පාපැදියෙන් යෑමට කටයුතු සලස්වා තිබෙනවා. එමෙන්ම පාපැදි මිලදී ගැනීමට ජනතාවට ව්‍යාපාර දිරි ගැන්වීම් පවා සිදු කර තිබෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාව පාපැදි ප්‍රචලිත කිරීමට  ඉතා ඉක්මනින් පෙළ ගැසිය යුතුය. මංතීරු සකස් කිරීම, පාපැදි මිලදී ගැනීමට පුරවැසියන්ට මූල්‍යමය සහන ලබාදීම, ප්‍රවර්ධන වැඩසටහන් සකස් කිරීම ආදියෙන් එම ක්‍රමය නංවාලිය හැකිය.

පාපැදි භාවිත කිරීමෙන් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ ද බොහොමයක් තිබෙනවා.

ආඝාතය, හෘදයාබාධ, දියවැඩියාව, තරබාරුකම මට්ටු කිරීමට සහ මානසික අවපීඩනය වැනි රෝගවලින් ඔබව ආරක්ෂා කර ගැනීමට බයිසිකල් පැදීම උපකාරී වෙනවා. එපමණක් නොවේ පාපැදියක් පැදීම ඉතා විනෝදජනක වන අතර සියලු වයස්වල සිටින්නන්ට එය හොඳ අත්දැකීමක් එකතු කරන අඩු බලපෑමක් සහිත හොඳ මාංසපේශි ව්‍යායාමයක්.

ඔබට අවශ්‍ය නම් පාපැදිය පැදීම ඉතා අඩු තීව්‍රතාවකින් ආරම්භ කළ හැකියි. එදිනෙදා ජීවිතයේ කාර්යක්ෂමතාව සඳහාද මෙය උපකාරී වෙනවා.

පාපැදි වර්ග කිහිපයක් අපට සාමාන්‍ය ලෝකයේ දැකගත හැකි වනවා.

මවුන්ටන් බයිසිකල් මාර්ගයෙන් පිටත භාවිතයට සුදුසු රළු වර්ගයක් වන මුත් එය පදික වේදිකාවේද භාවිතය සුදුසු බව Lifehacker වෙබ් අඩවියට එම රටේ ජාතික පාපැදි අලෙවිකරුවන්ගේ සංගමය අදහස් දක්වා තිබුණා.

Road bikes යනු සාමාන්‍ය ගමනාගමනයට එනම් මාර්ගවල භාවිත කළ හැකි පාපැදියකි.

Hybrid (දෙමුහුන්) පාපැදි Road bikes තරම් වේගවත් නොවේ. එමෙන්ම මවුන්ටන් පාපැදි තරම් රළු නොවේ.

පාපැදියක් තෝරා ගැනීමේදී ඔබට සරිලන ප්‍රමාණයෙන් තෝරා ගැනීමට වග බලා ගත යුතුයි. නැතහොත් ඔබට අපහසුතාවක් මෙන්ම එයට හැඩගැසීමේ අසීරුතාවක් ද පැනනැඟිය හැකියි. වැරැදි ආකාරයෙන් තෝරා ගැනීමෙන් බෙල්ලේ වේදනාව, පිටුපස වේදනාව වැනි අහිතකර තත්ත්ව ඇති වෙනවා. වෘත්තීය පාපැදිකරුවන් සිය සිරුරේ මිනුම්වලට අනුව පාපැදි තෝරා ගනී. එමෙන්ම තිරිංග පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා.

ඔබේ පාපැදියට ගියර් අවශ්‍ය වන අවස්ථා ඇත. ඒ ක¾දුකර ප්‍රදේශවල සහ ගැටිති සහිත භූමිවල ගමන් කිරීමේදීයි.

පාපැදියක් මිලදී ගැනීමේදී ඒ සම්බන්ධව දැනුවත්භාවයක් සහිතව, ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන සේ තෝරා ගැනීමට වග බලා ගත යුතුයි.

මේ ලිපිය ලියන මොහොතේද ඉතා සුන්දර මතකයක් මා සිතේ ජනිත වනවා. මා කුඩා කල සිට වසර ගණනාවක්ම මගේ පියා සිය රැකියා ස්ථානයට ගමන් කළේ පාපැදියෙනි. මා පාසල් කාලයේද ඔහු සමඟ පාපැදියෙන් ගමන් කළ අතර වර්තමානයේ වෙනත් වාහනයකින් ගත නොහැකි මිහිරි මතකයන් එතුළ රැඳී තිබෙනවා. ඔහු අදටත් කිසිදු රෝගාබාධයක් නොමැති නිරෝගී පුද්ගලයෙක්.

ව්‍යායාම කිරීමට වෙලාවක් නොමැති නම් එයට හොඳම පිළිතුරක් ලෙස පාපැදිය භාවිත කරන ලෙසට පැවැසිය හැකිය. අප බොහෝවිට පුරුදුව ඇත්තේ දරුණු යමක් සිදුවූ පසු එයට හැඩගැසීමය. නමුත් අප පුරුදු විය යුත්තේ යමක් වීමට පෙර එය වළක්වා ගැනීම හෝ දැඩි අපහසුතා සිදුවීම නතර කර ගැනීමය.

පවතින ඉන්ධන ගැටලු සහ උද්ධමන සමයක් තිබීම මත පමණක් පාපැදියට හුරු විය යුතු නොවේ. සෞඛ්‍ය වෙනුවෙන්, සම්පත් ඉතිරිය වෙනුවෙන් නිතිපතා පාපැදියට හුරුවීම සිදු කළ යුතුය. එය රටේත්, මිනිසුන්ගේත් අනාගතයට ධනාත්මක ප්‍රතිඵල බොහොමයක් එකතු කරනු ඇති බව මගේ විශ්වාසයයි.

තාරිකා ද සිල්වා