අතක් පයක් කැඩෙනවා වගේද හිතක් එහෙම බිඳුණාම

0
107

මිනිසුන් වශයෙන් අප සියලු දෙනාටම ජීවිතයේ ඕනෑම අවස්ථාවක ගැටලු ඇතිවීම ස්වාභාවික සංසිද්ධියක්. චිත්තවේගයන් (emotions) සම්බන්ධ ගැටලු, දූ දරු මවුපිය භාවය සම්බන්ධ ගැටලු, ප්‍රේම සබඳතා පිළිබඳ ගැටලු, සමාජ සබඳතා පවත්වාගෙන යෑමේදී ඇතිවන ගැටලු, වෘත්තීය ජීවිතය සහ විරැකියාව සම්බන්ධ ගැටලු සහ ආර්ථික අපහසුතා ආදී හේතු සාධක නිසා ඕනෑම පුද්ගලයකුගේ යහපත් මානසික සෞඛ්‍යයට බලපෑම් එල්ල විය හැකි අතර ඇතැම් විට මෙම ගැටලු ඒවාට නිසි විසඳුම් ලැබීම සමඟ නිරාකරණය වීමේ හැකියාව තිබෙනවා.

ඒ හා සමඟම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයද යථා තත්ත්වයට පත්වෙනු ලබනවා. නමුත් ඇතැම් ගැටලු මෙසේ නිරාකරණය නොවන අතර ඒවා මානසික සෞඛ්‍ය ගැටලු බවට පත්වන අවස්ථා  සුලභ ලෙස දකින්නට පුළුවන්. මෙසේ මෙලොව ජීවත් වන පුද්ගලයන් ගෙන් බිලියනයකට පමණ ආසන්න කොටසක් කුමන හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් එසේත් නැත්නම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව 2018 දී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා (Our world in data; Scientific Online Publication).

මේ ආකාරයට පුද්ගලයන් අත්විඳින සියලුම මානසික සෞඛ්‍ය ගැටලු නැතහොත් මානසික රෝගී තත්ත්වයන් පිළිබඳව DSM-5 එසේත් නැත්නම් මානසික රෝග වර්ගීකරණය පිළිබඳ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එහි සඳහන් වන ඇතැම් රෝගී තත්ත්වයන් නිසි ප්‍රතිකාර තුළින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වන අතර ඇතැම් රෝගී තත්ත්වයන් වෛද්‍ය ප්‍රතිකාර තුළින් මනාව පාලනය කරගත හැකි වෙනවා. කාංසාව ආශ්‍රිත රෝග (Anxiety disorders) එසේ වෛද්‍ය ප්‍රතිකාර සහ මනෝ ප්‍රතිකාර තුළින් සුවපත් කළ හැකි ලෝකයේ බොහෝ දෙනකුට බහුලව වැලඳෙන මානසික රෝගී තත්ත්වයක්.

Our world in data හි සමීක්ෂණයන්ට අනුව 2018 වන විට ලෝකයේ මිලියන 284ක් පමණ පිරිසක් කාංසාව ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව හෙළි වී තිබෙනවා. නිරන්තරයෙන් පවතින අසාමාන්‍ය බිය (excessive fear), කනස්සල්ල (worry) සහ ආතතිය (Stress) මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දක්වන්න පුළුවන්. ක්ලමතය ආශ්‍රිත රෝගී තත්ත්වයන් (Stress related disorders) ද වර්තමාන ලෝකය පොදුවේ දැකිය හැකි මානසික රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. වෛද්‍ය ප්‍රතිකාර සහ මනෝ ප්‍රතිකාර තුළින් මෙම රෝගී තත්ත්වයන් ද මනා ලෙස පාලනය කරගත හැකි අතර ඇතැම් විට සම්පූර්ණයෙන් සුවය ලබා ගත හැකි වෙනවා.

වත්මන් ලෝකයේ පවතින සංකීර්ණ ගැටලු සමඟ බොහෝ පුද්ගලයන් විෂාදයට (depression)  ගොදුරු වෙනවා. එසේ වුවත් ඒ සඳහාද නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා පහසුයි. මනෝ වෛද්‍ය ප්‍රතිකාර හා සමගාමීව මනෝ උපදේශනය (counseling) සහ  මනෝ ප්‍රතිකාර (psychotherapy) තුළින් මෙම රෝගී තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සුව කර ගත හැකියි. නැතහොත් ඉතා සාර්ථක ලෙස පාලනය කර ගත හැකියි. එහෙත්  සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි නමුත් මනා ලෙස පාලනය කළ හැකි මානසික රෝගී තත්ත්වයන්ද මානසික රෝග අතර දක්නට ලැබෙනවා. භින්නෝන්මාදය (Schizophrenia) ද්වි ධ්‍රැව  මානසික අක්‍රමතාවය (bipolar disorder) පෞරුෂත්ව අක්‍රමතා (personality disorders) ආදිය ඉන් කිහිපයක්.

මානසික ගැටලු ඇති වන්නේ ඇයි?

මානසික සෞඛ්‍ය ගැටලු ඇති වීම සම්බන්ධයෙන්  බලපාන ලබන කරුණු එකින් එක වෙන් කොට දැක්වීම එතරම් පහසු වන්නේ නැහැ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර විවිධ හේතු මත මානසික රෝගී තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ජානමය සාධක සහ පවුල් ඉතිහාසය (Genetic factors and family history) ඒ අතර ප්‍රධාන සාධකයක් ලෙස දක්වන්නට පුළුවන්. ඔබේ පවුලේ සාමාජිකයකුට කාංසාව (Anxiety), විෂාදය (depression), භින්නෝන්මාදය (schizophrenia) වැනි මානසික රෝග තිබේ නම්, ADD/ADHD වැනි ස්නායු සංවර්ධන ගැටලු තිබේ නම්, එම රෝගී තත්ත්වයන්ට ඔබද ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළ බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. එපමණක් නොව ඔබ ජීවත් වන පරිසරය සහ ඔබේ පවුලද ඔබේ මානසික සෞඛ්‍ය කෙරෙහි බලපානු ලබනවා.

ඔබේ පවුලේ සාමාජිකයකු මානසික ගැටලුවක හෝ අධික මානසික පීඩාකාරී තත්ත්වයක සිටින්නේ නම් එය ඔබ කෙරේද බලපානු ලබනවා. උදාහරණයක් ලෙස ඔබ කුඩා කල ඔබේ මවුපියන්ගේ මානසික ගැටලු සහ පීඩාවන් නිසා අපයෝජනය වූ දරුවකු නම් වැඩිහිටියකු වූ පසුවද එය ඔබේ මානසික සෞඛ්‍ය කෙරෙහි  අහිතකර අන්දමින් බලපාන්නට පුළුවන්. ඔබේ මවුපියන්ගේ සිට මුතුන්මිත්තන් දක්වාම, ඔවුන් ජීවත් වූ ආකාරය, ඔවුන් ගත් ආහාර පාන සහ ඖෂධ, ඔවුන්ගේ චර්යා රටා, ඔබේ මානසික සෞඛ්‍ය කෙරෙහි බලපානු ලබන බව ජාන විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. තවද පවුලේ සාමාජිකයකු මත්පැන්, දුම්වැටි සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටී නම් බොහෝවිට ඔබද ඊට ගොදුරු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ චර්යාවන්ද ඔබට මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීම කෙරෙහි බලපාන්නට පුළුවන්.

එසේ නොවූවත් දරුවකු වශයෙන් සිටියදී පවුලේ සාමාජිකයන්ගේ මෙවැනි ඇබ්බැහිවීම් නිසා ඔබට අත්විඳින්නට සිදුවන ව්‍යසනකාරී අත්දැකීම්ද (traumatic experiences) ඔබට  පසු කලෙක මානසික සෞඛ්‍ය ගැටලු ඇති වීම කෙරෙහි බලපාන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබ කුඩා කල ඔබේ පියා මත්පැන් පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් නම්, ඔබ ඔහුගේ බැනවැදීම් හා ශාරීරික හිංසාවට ලක්වූයේ නම්, වැඩිහිටියකු ලෙස වර්තමානය වන විට ඔබට මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඇතිවීමට පුළුවන්.

ආදරය සහ කරුණාව ලොව ජීවත් වන සියලු දෙනාටම එකසේ අත්‍යවශ්‍ය දෙයක්. යම් පුද්ගලයකුට ආදරය සහ කරුණාව නොලැබී යෑමද මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන්නට සමත් හේතු සාධකයක්. කුඩා කල මවුපිය සෙනෙහස හා  රැකවරණය නොලැබුණු නොසලකා හරින ලද දරුවන් වැඩිහිටියන් වූ පසුද මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණපානු ලබනවා. යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය ඇතැම් හෝමෝන නිෂ්පාදනය වීම සඳහා දරුවන්ට සේම වැඩිහිටියන්ටද ආදරය ලැබීම ඉතා වැදගත් සාධකයක්.

එබැවින් ඔබ ඔබට  ආදරය නොකිරීම සහ ඔබ අන් අයගේ ආදරය නොලැබීම යන කරුණු දෙකම මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමට බලපාන ලබන හේතු ලෙස දක්වන්නට පුළුවන්. යම් පුද්ගලයකු සමාජ ඇසුර නොලබයි නම් එයද ඔහුට මානසික ගැටලු ඇතිවීම කෙරෙහි බලපාන ලබන්නක්. හුදකලාව සහ සමාජානුයෝජනය අඩු වීමද මානසික සෞඛ්‍ය කෙරෙහි ඇති කරනු ලබන්නේ අහිතකර බලපෑමක්. එබැවින් ඕනෑම පුද්ගලයකුට යහපත් මිතුරු ඇසුර සහ සමාජ ආශ්‍රය, යහපත් මානසික සෞඛ්‍ය පවත්වාගෙන යෑමට අවශ්‍ය කරුණක් ලෙස දක්වන්නට පුළුවන්.

ඉහත සඳහන් කරන ලද කරුණුවලට අමතරව ගර්භණී කාලය තුළ මවට ඇතිවිය හැකි වයිරස ආසාදන (exposure to viruses), විවිධ රසායනික ද්‍රව්‍යයන්ට නිරාවරණය (toxic chemicals), වීම උපත් සංකූලතා ආදියද දරුවාගේ මානසික සෞඛ්‍ය කෙරෙහි බලපානු ලබනවා. එමෙන්ම මොළයට සිදුවී ඇති හානි (traumatic brain injuries) සහ පිළිකා වැනි බරපතළ රෝගී තත්ත්වයන්ද පුද්ගලයකු මානසික සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු කරවන්නට සමත් හේතු සාධක ලෙස දක්වන්නට පුළුවන්.

මානසික සෞඛ්‍ය ගැටලු ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්ද?

ජීවිත කාලය තුළ ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙක්ට මානසික සෞඛ්‍ය ගැටලු පැනනැඟිය හැකි බව ඉහත සඳහන් කරුණු සියල්ල තුළින් අපට පැහැදිලිවම දක්නට ලැබෙනවා. Our world in data විසින් කරන ලද සමීක්ෂණයන්ට අනුව 2018දී ලෝක ජනගහනයෙන් මිලියන 284ක් කාංසාව ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන්ද (Anxiety disorders),මිලියන 264ක් විෂාදයෙන්ද (depression), මිලියන 178ක් මත්ද්‍රව්‍ය හා මත්පැන් ඇබ්බැහිවීම් ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන්ද (substance abuse disorder) මිලියන 46ක් ද්වි ධ්‍රැව මානසික අක්‍රමතාවයෙන්ද (bipolar disorder) සහ මිලියන 20ක් භින්නෝන්මාදයෙන්ද (schizophrenia) පෙළෙන බව ගණනය කොට තිබෙනවා. මෙතුළින් පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ යම් පුද්ගලයකුට මානසික රෝගයක් වැලඳීම යන්න ඉතා සාමාන්‍ය තත්ත්වයක් බවයි. එය කිසිසේත්ම පුදුමයට පත් වීමට කරුණක් වන්නේ නැහැ. ඕනෑම පුද්ගලයකුට යම් ශාරීරික රෝග තත්ත්වයක් ඇති වූ වහාම ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම සාමාන්‍ය දෙයක්.

උදාහරණයක් ලෙස ඔබට දියවැඩියාව වැලඳුණු විට ඔබ වෛද්‍යවරයකු වෙත ගොස් ඔෟෂධ ප්‍රතිකාර ලබා ගැනීමට මැළි වන්නේ නැහැ. වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම හේතුවෙන් ඔහුට සිය රෝගී තත්ත්වය මනාව පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා නමුත් මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන පුද්ගලයකුගේ තත්ත්වය මෙයට වඩා සම්පූර්ණයෙන් වෙනස් වන්නට පුළුවන්. ඔහු ප්‍රසිද්ධියේ මනෝ වෛද්‍යවරයකු හමුවීමට යෑමට මැළි බවක් දක්වනවා. මනෝ උපදේශනය සහ මනෝ ප්‍රතිකාරවලට ඇතැම් විට ඔවුන් යොමු වන්නේ ඉතාම රහසිගත ආකාරයෙන්. මෙවැනි තත්ත්වයක් ඇති වීම කෙරෙහි සමාජයේ ජීවත් වන අනෙක් පුද්ගලයන්ගේ ආකල්ප විශේෂයෙන් බලපානු ලබනවා.

මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා තුළ ඇත්තේ වැරදි ආකල්පයක්. මානසික සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වූවන් අසාමාන්‍ය පුද්ගලයන් ලෙස බොහෝ දෙනා විශ්වාස කරනවා. එනිසා බොහෝ දෙනා ඔවුන් දෙස බලන්නේ යහපත් ආකාරයෙන් නොවේ. ඇතැම් විට ඔවුන් සමාජයේ උසුළු විසුළුවලට බඳුන් වෙනවා. බොහෝවිට ඔවුන් අපකීර්තියට (stigmatisation) බඳුන්වීම කනගාටුවට කරුණක්. දුරාතීතයේ ජීවත් වූ මිනිසුන් මානසික සෞඛ්‍ය ගැටලු එසේත් නැත්නම් මානසික රෝග, යක්ෂ ආත්මයන් (evil spirits) ගේ බලපෑම් හෝ දෙවියන්ගේ පළිගැනීම් නිසා සිදුවන්නක් බව විශ්වාස කළ නමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟම මෙම මිථ්‍යා විශ්වාසය සමාජයෙන් බැහැර කරනු ලැබුවා.

එහෙත් එම මිථ්‍යාවේ බියකරු සෙවණැල්ල වර්තමානය වන විට හෝ සමාජයෙන් ඉවත්ව ගොස් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තයන්ට අනුව ලොව ජීවත් වෙන සෑම පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකුට ඕනෑම අවස්ථාවක මානසික හෝ ස්නායු (mental or neurological disorders) සම්බන්ධ රෝගයක් වැලඳීමේ අවකාශය තිබෙනවා. එමෙන්ම ඔවුනට නිසි ප්‍රතිකාර තුළින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ හැකියාවද තිබෙනවා. එහෙත් ඔවුන් සුව වූ පසුව පවා සමාජයෙන් කොන් කිරීම, වෙනස්කොට සැලකීම සහ අපකීර්තියට ලක් වීම වළක්වන්නට බැහැ.

ඕනෑම පුද්ගලයකුට මානසික රෝගයක් වැලඳීම, ශාරීරික රෝගයක් වැලඳීම සේම ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක්. පුද්ගලයකුගේ ශරීරය සහ මනස යන කොටස් දෙක වෙන් කොට වර්ග කිරීම අපහසු අතර, ඇතැම් ශාරීරික රෝග ඇතිවීම කෙරේ පවා මානසික සෞඛ්‍ය බලපානු ලබනවා. එබැවින් මිනිස් සිරුර සහ මනස යන ඒකක දෙක තුළ ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවක්.

එහෙයින් යම් පුද්ගලයකු මානසික සෞඛ්‍ය ගැටලුවකින් පීඩා විඳින්නේ නම් ඔහු අසාමාන්‍ය පුද්ගලයෙක් යන මිථ්‍යාව සමාජයෙන් තුරන් කළ යුතු වෙනවා. ඔවුනට සාමාන්‍ය මිනිසුන් ලෙස සැලකීම, වටිනාකමක් දීම සහ අවශ්‍ය සෑම මොහොතකම උපකාර කිරීම මිනිසුන් වශයෙන් අප සියලු දෙනාගේම වගකීමක් බව අවධාරණයෙන් පැවැසිය යුතු වෙනවා.

අරෝෂා මේදිනී දසනායක උපදේශන මනෝවිද්‍යාඥ