ඉන්දියාවේ ගාන්ධි පවුලට දූෂණ චෝදනා

0
1260

ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි තමන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් එරට මූල්‍ය අපරාධ විමර්ශන ආයතනයක් හමුවේ අද (ජූනි 13) පෙනී සිට තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිය ගණනක් වූ පාක්ෂිකයින් සමග රාහුල් ගාන්ධි දිල්ලියේ පිහිටි මූල්‍ය අපරාධ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්ෂ කාර්යාලය වෙත පැමිණි බව ය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂය පවසා තිබුණේ, ගාන්ධිගේ පැමිණීමට සමගාමීව තම පක්ෂ කාර්යාලයේ සිට මූල්‍ය අපරාධ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්ෂ කාර්යාලය වෙත විරෝධතා පා ගමනක් පවත්වන බව ය. කෙසේ වෙතත්, එම පා ගමනට පොලිසිය අවසර දී නොතිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නැෂනල් හෙරල්ඩ් නඩුව ලෙස හැඳින්වෙන මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා එම අධ්‍යක්ෂක කාර්යාලය විසින් රාහුල් ගාන්ධි සහ ඔහුගේ මව වන කොංග්‍රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධි කැඳවා තිබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෝනියා ගාන්ධිට කොවිඩ්-19 වැළඳී තිබීම හේතුවෙන් ඇයට මූල්‍ය අපරාධ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්ෂ කාර්යාලය හමුවේ ජූනි 23 වන දා පෙනී සිටින ලෙස නව සිතාසියක් නිකුත් කර ඇති බව ය.

ගාන්ධි පවුල නැෂනල් හෙරල්ඩ් පුවත්පත් ආයතනය මිල දී ගැනීම සඳහා පක්ෂ අරමුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.