Glorious iconic සම්මාන උළෙලෙදී මට සම්මානයක් ලැබුණා

0
125

ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සැකසුණු වයස් භේදයකින් තොරව අතිදැවැන්ත වේදිකාවක තම ගායන කුසලතා විදහාපෑමට අවස්ථාව ලබා දෙන සිරස The Voice Teens තරගාවලිය, ගායනයට උපන් හපන්කම් දක්වන සැමට කදිම තෝතැන්නකි.

එලෙස එම තරගාවලියෙන් තම ගායන කුසලතා ජාත්‍යන්තරය තෙක් විදහා පෑමට භාග්‍ය උදා කර ගනිමින් ගායන කුසලතා ඔපමට්ටම් කර ගන්නටත් එය තම ගායන ජීවිතයේ නව හැරවුම්  ලක්ෂ්‍යයක්  කර ගන්නටත් හැකි වූ ඇය සිරස The Voice Teens තරගාවලියේ Voice Teens 01 යටතේ තරග කළ ඉෂිතා ප්‍රේම්නාත්ය. ඇයගේ තොරතුරු බෙදාගන්නට අපත් සමඟ මෙසේ කතා බහට එක් විය.

  • – ඔබට ගායනයට පසුබිම සැකසුණේ කොහොමද?

මම වයස අවුරුදු හතරේ සිටම සංගීතය හදාරනවා. මම මුලින්ම හදාරන්නෙ කර්ණාටක සංගීතය. පාසලේ වැඩසටහනකට සහභාගි වීමත් සමඟ තමයි මට ඉංග්‍රීසි ගීත ගායනා කරන්න හැකියාව තිබෙන බව මුලින්ම දැනගත්තේ. මම පාසලේ බටහිර තූර්ය වාදන කණ්ඩායමෙත් හිටියා. ඒ එක්කම පාසලේ ජන ගායනා තරග, සිංහල ගීත ගායනා තරග, දෙමළ ගීත ගායනා තරග හා ඉංග්‍රීසි ගීත ගායනා තරගවලට සහභාගි වෙලා ප්‍රථම ස්ථාන ලබා ගත්තා. එහෙම තමයි මගේ ගායනයට පසුබිම නිර්මාණය වුණේ.

– ඔබ ගායනා කිරීමට වැඩි කැමැත්තක් දක්වන ගීත මොනවාද?

මම වැඩියෙන්ම ගායනා කරන්න කැමැති ඉංග්‍රීසි ගීත.

– ඔබට The Voice Teens තරගයට ඉදිරිපත් වීමට පසුබිම සැකසුණේ කෙසේද?

මම මුලින්ම සුපර් ස්ටාර් තරගයට ගිය නිසා රියැලිටි වැඩසටහන්වලින් අෑත්වෙලා අධ්‍යාපන කටයුතු කරන්න ඕන කියලා සිතුවා. නමුත් තාත්තා කීව නිසා The Voice Teens තරගයට අයැදුම් කළා.

– සිරස The Voice Teens තරගයට ඔබ සහභාගි වුණේ කුමන ප්‍රදේශයේ සිටද යන්න සඳහන් කළොත්?

මම තරගයට සහභාගි වෙන්නේ වත්තල ප්‍රදේශයේ සිට.

– Voice Teens 01 කණ්ඩායම සමඟ කටයුතු කරන විට ඔබට ලැබුණු අත්දැකීම් ගැන සඳහන් කළොත්?

මුලින්ම මම කවුරුවත්ම හඳුනන්නේ නැහැ. නමුත් වැඩසටහන්වලින් ඉදිරියට යද්දී හැමෝම යාළුවෝ වුණා. එයාලා එක්ක සුහද වීමෙන් පසුව ගොඩක් ගීත පිළිබඳවත් දැනගන්න ලැබුණා. එයාලත් මට නිතරම ගීත පුරුදු පුහුණු වෙන්න උදවු කළා. ඊට අමතරව එයාලගේ දැනුමත් මා සමඟ බෙදා ගත්තා.

මගේ පුහුණුකරුත් මට ගොඩක් උදවු කළා. මගේ voice එක හදාගන්න එයා උගන්වපු ගොඩක් දේවල් උපකාරී වුණා. දැනටත් එයා උගන්වපු Breathing exercises හා vocal exercises මම Follow කරනවා. තව එයා මට හොඳ කටහඬක් පවත්වා ගන්න සුදුසු බෙහෙතක් හදන හැටි කියලා දුන්නා. ඒ නිසා වැඩසටහන්වලට වගේම ප්‍රසංග ළංවෙද්දී මම ඒ බෙහෙත් එක හදාගෙන බොනවා.

  • – ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු සිරස The Voice Teens තරගාවලිය ඔබේ ගායන හැකියාව තව තවත් දියුණු කරගන්න කෙසේද සහාය වුණේ?

 වැඩසටහනේ සිටින විටදී වැඩියෙන් voice exercises කළා. ඒ අනුව Vocal පැත්ත වැඩියෙන් දියුණු කරගන්න මම උනන්දු වුණා. ඒ නිසාම මට ඕනෑම ගීතයක් පහසුවෙන් ගායනා කරන්න පුළුවන් වුණා.

-ඔබට ළඟදී ලැබුණු සම්මානය ගැනත් මතක් කළොත්?

මම Glorious Iconic (ග්ලෝරියස් අයිකොනික්) Award 2022ට අයැදුම් කළා. ඒකෙදි ඉංග්‍රීසි සින්දුවක් තමයි මම ගායනා කළේ. 2022/06/06 සඳුදා තමයි මට සම්මානය ලැබුණේ. චන්දිමාල් ජයසිංහ මහත්මා සහ විනූ සිරිවර්ධන මහත්මිය අතින් තමයි වේදිකාවේදී මට සම්මානය ලැබුණේ.

– ළඟදී ඔබ  කරන ලද අලුත් ගීත නිර්මාණ මොනවාද?

පසුගිය දිනවල සිට මේ දක්වා පාසලේ විභාග කටයුතු පැවැත්වුණු නිසා ළඟදි මම කිසිදු ගීතයක් නිර්මාණය කළේ නැහැ.

– ඔබගේ පාසල් අධ්‍යාපන කටයුතු ගැනත් සඳහන් කළොත්?

මේ දවස්වල සාමානය පෙළ විභාගය තිබෙනවා. සතියකට පසුව අපට උසස් පෙළ පන්ති ආරම්භ කරනවා.

– සිරස The Voice Teens තරගයට ඔබට සහාය වන පිරිස සඳහන් කළොත්?

මට ගොඩක්ම උදවු වුණේ මගේ මවුපියන්. එයාලා මාව නිතරම දිරි ගන්වනවා. මට මුලින්ම ගීත පුරුදු පුහුණු කළේ මගේ අම්මා. ඇයටත් සංගීතය පිළිබඳව දැනුම තිබෙනවා.

–  ඔබටම විශේෂිත වූ ගායන ශෛලියක් තිබෙනවාද?

ගොඩක්ම මම ගායනා කරන්නේ ඉංග්‍රීසි ගීත වුවත් මම එක ගායන ශෛලියකටම සීමා වෙලා නැහැ. අමතරව දෙමළ ගීත වගේම සිංහල ගීතත්  මම ගායනා කරනවා.

–  ඔබේ පවුල සහ පාසල වගේම  ඔබේ ඉදිරි අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කළොත්?

මගේ පවුලේ සිටින්නේ මමයි අම්මයි, තාත්තායි, මගේ පාසල වත්තල Lyceum (ලයිසියම්)  International School එක. මට මගේ තරගයට පාසලේ යහළුවන්ගෙන් නිරන්තරයෙන්ම සහාය තිබුණා. මගේ අනාගත බලාපොරොත්තු  තමයි සංගීත අංශයෙන්ම ඉදිරියට ගිහින් ඒ අංශයෙන්  උපාධියක් හදාරන එක. ඊට අමතරව මගේ ප්‍රධාන ඉලක්කයක් තමයි music academy එකක් විවෘත කිරීම.

සංවාදය සහ සටහන – ටී. නිපුනි සමෝද්‍යා වත්තෙගම