ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් කියන්නේ මොකක්ද?

0
283

නව යොවුන් විය යනු, ඔබත් මමත් ජීවිතයේ අත්විඳි සුන්දර කාලයකි. මෙය කියවන ඔබ ඇතැම් විට නව යොවුන් වියේ පසුවන අයෙක්, නැති නම් අදාළ වයසේ පසුවන දියණියක් හෝ පුතකු සිටින ආදර මවක් හෝ පියෙකු විය හැකියි. එසේ නම් මෙම ලිපිය ඔබට, ඔබේ පවුලට වැදගත් ලිපියක් වේවි.

නව යොවුන් වියේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් ඇති වීම, විරුද්ධ ලිංගිකයන් පිළිබඳව කුතුහලයක් ඇතිවීම ඉතාම සාමාන්‍ය කරුණක්. බොහෝ විට මේ වයසේදී පාසල් යන දරුවන් ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නා ආකාරය අප දැක තිබෙනවා. නව යොවුන් වියේ පසුවන ගැහැනු දරුවන් තමන්ට වඩා වැඩිමහල් තරුණයන් සමඟ හෝ පාසල් අධ්‍යාපනය හමාර කළ තරුණයන් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන ගැටලු ඇති කරගන්නා ආකාරයත් අපට නිතර අසන්නට දකින්නට ලැබී තිබෙනවා.

වයස් පරතරය වැඩි වීම නිසා සහ එකිනෙකාගේ හැඟීම්, අවශ්‍යතා වෙනස් වීම නිසා ඔවුන් තම ජීවිතයේ සුන්දරම කාලය නිරපරාදේ මේ ආකාරයට විනාශ කරගනු ලබනවා. මෙවැනි ගැටලු ඇති වන්නේ ලිංගිකත්වය පිළිබඳව ඇති නොදැනුවත්කම සහ කුතුහලය නිසා විය හැකියි. මෙම නව යොවුන් වියේදී දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක්, නිසි මඟපෙන්වීමක් සහ පවුල් තුළින් ලැබිය යුතු ආදරය, රැකවරණය නිසි ලෙස ලබා දෙනවා නම් බොහෝවිට මෙම ජීවිත විනාශ නොවී රැකගන්න හැකියාව තිබෙනවා.

බොහෝ විට මා කොළඹින් පිට නඩු කටයුතු සඳහා යන අවස්ථාවලදී ගරු අධිකරණය තුළ ඇස ගැටෙන දෙයක් තමයි වයසින් මුහුකුරා නොගිය දියණියන් තම ඇකයේ තවත් කුඩා දරුවකු දරාගෙන සිය ස්වාමිපුරුෂයා සමඟ ස්ත්‍රී දූෂණ නඩු සඳහා ගරු අධිකරණයට පැමිණ සිටින අයුරු. මෙහිදී බොහෝ විට වින්දිතයා බවට පත්වනුයේ අදාළ පුරුෂයා සමඟ පැමිණෙන භාර්යාවයි. ඵනම් කුඩා දියණියව ඇකයේ තබාගෙන සිටින මවයි. වයස් පූර්ණත්වයට පත්වන්නට පළමුව සිය පෙම්වතා සමඟ පැනගොස් මවුපියන් විසින් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ පසුව අදාළ තරුණයාට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධ නඩුවක් අධිකරණයට ගොනු කරනු ලබයි. මෙවැනි නඩු කටයුතු අනත්තවත් ශ්‍රී  ලංකාවේ අධිකරණ තුළ පවතී.

මෙම තත්ත්වය පිළිබඳ පැහැදිලි කළහොත් වයස අවුරුදු 16ට අඩු කාන්තාවක් සමඟ ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික ක්‍රියාවල නිරත වන පිරිමියා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නම් වරද සිදුකරයි. එය ශ්‍රී  ලංකාවේ නීතිය අනුව අවම වසර 7ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි. කෙටියෙන් කිවහොත් අවුරුදු 16ට අඩු තරුණ ගැහැනු දරුවකු සමඟ පැනගොස් ඇය සමඟ ලිංගික සබඳතා පවත්වන පුරුෂයා ලංකාවේ නීතිය අනුව අපරාධමය වරදක් සිදුකරනු ලබයි.

මෙවැනි අවස්ථාවලදී චූදිත තරුණයා වැරදිකරු බවට පත්වුවහොත් ගරු අධිකරණය මඟින් ඔහුට දඬුවම් පමුණුවනු ලැබේ. බොහෝ අවස්ථාවලදී දණ්ඩනයට නියම කරන වසර ප්‍රමාණය ගරු විනිසුරුතුමන්ගේ අභිමතය හා ඉදිරිපත් වී ඇති කරුණු මත පදනම්ව තීරණය වේ.

බොහෝ දරුවන්ගේ මවුපියන් තමා විසින් කරන ලද පොලිස් පැමිණිල්ලේ බරපතළකම තේරුම් ගන්නේ මින් අනතුරුවයි. ඔවුන් බොහෝ විට අධිකරණයේ නීතිඥවරුන් ඉදිරියේ මැසිවිලි නඟන්නේ නඩු නොකියා මෙම තත්ත්වයෙන් තමන්ගේ දරුවා මුදාගන්නා ලෙසයි. මක්නිසාද යත් ළාබාල තරුණිය සහ තරුණයා ප්‍රේම සම්බන්ධයක් මත ඇති කරගත් ලිංගික සම්බන්ධතාවක් මත මෙවැනි තත්ත්වයක් ඇති වූ නිසාය. මෙහිදී ගරු අධිකරණය දෙපාර්ශ්වයේම ප්‍රේම සබඳතාව මත ඇති කරගත් ශෝචනීය තත්ත්වය මත සානුකම්පිතව ක්‍රියාකරන්නට වර්තමානයේ පෙලඹී තිබේ.

බොහෝ අවස්ථාවලදී දෙදෙනාගේම කැමැත්තෙන් ලිංගික ක්‍රියාවලිය තුළ නිරත වුවද ලංකාවේ වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවකුට කිසිදු ලිංගික ක්‍රියාවක් සඳහා කැමැත්තක් දීමට තරම් හැකියාවක් නොමැති බව ලංකාවේ අපරාධ නීතිය උපකල්පනය කරනු ලබයි. මෙවැනි අවස්ථාවලදී තරුණයා පොලිස් අත්අඩංගුව පත්වන අතර මෙම අවස්ථාවලට අදාළ නඩු මහාධිකරණයේ ගොනු කරනු ලබයි.

මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ළබාල තරුණියගේ පෙම්වතාට සිර දඬුවමකින් තොරව නඩුව අවසාන කරගත හැකි අවස්ථා ද මහාධිකරණය තුළ දක්නට ලැබේ. එනම් වින්දිත තැනැත්තිය නොහොත් පෙම්වතිය විසින් තමා චූදිත හා විවාහ වෙන්නට යන බව ප්‍රකාශ කරමින් නීතිඥවරයකු මාර්ගයෙන් දිවුරුම් පෙත්සමකින් ගරු අධිකරණයට දැන්විය යුතුයි. එසේත් නැති නම් ඔවුන් විවාහ වී ඇති නම් විවාහ සහතිකය ඉදිරිපත් කර චූදිත සැමියාව නඩුවෙන් නිදහස් කරගත  හැකියි. මෙහිදී තමා චූදිත සමඟ යහපත් පවුල් ජීවිතයක් ගත කරන බවත්  ඔහුගෙන් කිසිදු වන්දි මුදලක් තමා අපේක්ෂා නොකරන බවත් වින්දිත තැනැත්තිය ගරු අධිකරණයට කරුණු දැක්විය යුතුවේ. එවිට සියලු කරුණු සලකා බලා ගරු අධිකරණය විසින් චූදිතව නි‍ෙදාස් කරනු ලැබේ.

නව යොවුන් විය තුළ ආදරය කිරීම හෝ ආදරය ලැබීම වරදක් නොවන අතර හැම මොහොතකදීම හැඟීම්වලට වහල් නොවී වැඩකටයුතු කළ යුතු බවත් ඉන් බොහෝ ව්‍යසනවලින් බේරී සිටිය හැකි බවත් සියලු තරුණ තරුණියන් තරයේ මතක තබාගත යුතුවේ.