මේ විශාල රාජ්‍ය සේවය නඩත්තු කරන්න ජනතාවට බෑ

0
440

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. කේ. මායාදුන්නේ මහතා එම තනතුරට පත්වීමෙන් පසු මාධ්‍යයට ලබා දුන් පළමු සම්මුඛ සාකච්ඡාව.

මේ ර‍ටේ මහජනතාවට තවදුරටත් මේ තරම් විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කළ නොහැකි තැනට පැමිණ තිබේ. අපේ රටේ වසර ගණනාවක් තිස්සේ සිදුවූයේ රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා  ගැනීම නොව  රැකියාවලට බඳවා ගැනීමය. එයද පිළිවෙළක් ඇතිව නොවේ.

උදාහරණයක් පෙන්වා දුන්නොත් 2012දී බඳවාගත් පසු යළිත් 2016දී උපාධිධාරීන් බඳවා ගන්නා විට 2013, 2014 හා 2015 වසරවල පිටවූ උපාධිධාරීන් බඳවා ගත යුතු නමුත් සිදුවන්නේ උපාධිය ලබාගත් වසර නොසලකා වයස අවුරුදු 45 දක්වා වන උපාධිධාරීන් බඳවා ගැනීමය. අනෙක් අතට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටවන උපාධිධාරීන්ට අමතරව බාහිර උපාධිය හැදෑරූ උපාධිධාරීන් හා මෙරට මුදල් අයකර උපාධි පාඨමාලා පවත්වන ආයතනවලින් පාඨමාලා හදාරා ඇති උපාධිධාරීන්ද එහිදී බඳවා ගනී.

 ඇත්ත වශයෙන්ම රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස හා සලකා බැලීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිටවන ශිෂ්‍ය පිරිසට රාජ්‍ය  සේවයට ඇතුල් වන්නට අවස්ථාව සලසා දිය හැකි වුවද ‍බාහිර උපාධිධාරීන් හා වෙනත් දේශීය විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ද ඊට ඇතුළත් වීම හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් පිරිස දෙතුන් ගුණයක් බවට පත්වෙයි. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් එන පිරිස හැරුණු විට තවත් විශාල පිරිසක් එක්වීමෙන් මෙවැනි පීඩනයක් ඇතිවේ.

මෙසේ තනතුරු නැතිව විශාල පිරිසක් බඳවා ගෙන රාජකාරියක් නැතිව සිටින්නට වීමෙන් රාජ්‍ය සේවය පුළුල් වුවද ඵලදායී හා ගුණාත්මක රාජ්‍ය සේවයක් මෙම බඳවා ගැනීම්වලින් සිදුවූයේ නැත. මේ නිසා රාජ්‍ය  වැය බර වැඩි වී ඇතිවා පමණක් නොව රටේ බදු ගෙවන ජනතාවට නඩත්තු කළ නොහැකි රාජ්‍ය සේවයක්ද ඇතිවී තිබේ. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දුන්නත් නැතත්, මේ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුව ඇත. අනිවාර්ය‍යෙන් රාජ්‍ය සේවය අඩු කළ යුතුව ඇත.

එපමණක් නොව විශ්‍රාම වැටුපද මේ වනවිට බදු ගෙවන මහජනතාවට බරකි. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් වැඩි වීමත් සමඟ විශ්‍රාම යන පිරිස ද වැඩි වී තිබේ. වර්තමාන විශ්‍රාම වැටුප සකස් කර ඇත්තේ ලක්ෂ පහක් පමණ වූ රාජ්‍ය සේවයටය. එය ලක්ෂ අටක් දක්වා දරා ගෙන කළමනාකරණය කරගැනීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමත් වී ඇත්තේය. එහෙත් ඊට වඩා එහා ගිය රාජ්‍ය‍ සේවයකට විශ්‍රාම වැටුප් ගෙවීමට අපේ ර‍ටේ ආර්ථිකය සමත් නොවේ. රාජ්‍ය සේවය ලක්ෂ 16ක් වෙද්දී විශ්‍රාම වැටුප දරාගන්නට කිසිසේත්ම හැකියාවක් නැත.

අද වනවිට බිලියන ගණනාවක් බවට විශ්‍රාමිකයන්ට ගෙවිය යුතු පාරිතෝෂික මුදල් එකතු වී ඇත්තේ මේ හේතුවෙනි. එහෙත් පාරි‍තෝෂිකය නැතිව  විශ්‍රාම වැටුප් ගන්නට ඕනෑම රාජ්‍ය සේවකයකුට අවස්ථාව ඇත. ගෙවිය නොහැකි තැනට පැමිණ ඇත්තේ පාරිතෝෂිකයයි. ‍එහෙත් බොහෝ රාජ්‍ය සේවකයෝ පාරිතෝෂිකයයෙන් බොහෝ දේ කරන්නට සැලසුම් කරති. මේ වනවිට බිලියන හතක් පමණ පාරිතෝෂික මුදල් ගෙවීමට එකතු වී තිබේ.

එමෙන්ම රාජ්‍ය‍ සේවය අවුරුදු 65 වනතුරු දීර්ඝ නොවිය යුතුය. එයට හේතුව වන්නේ අවුරුදු පතා එකතුවන උපාධිධාරීන් ප්‍රමාණයට අසහනයක් ඇතිවීමයි. අත්‍යවශ්‍ය  වෘත්තිකයන් විශ්‍රාම ගියත් ආපසු රාජ්‍ය සේවයේ රඳවා ගනී. අනෙක් පිරිස නිසි වයසේදී විශ්‍රාම ගැන්විය යුතුය. අවුරුදු 65 විශ්‍රාම වයස ආපස්සට ගත යුතු අතර මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇත. අධ්‍යයනයකින් පසු එය සිදු කරනු ඇත.

‍රාජ්‍ය සේවයේ සිටින මේ විශාල ශ්‍රම බළකායෙන් නිසි ප්‍රයෝජන ගැනීමේ අවශ්‍යතාවක් මේ වනවිට පැනනැඟී ඇත. එය ප්‍රතිසංවිධානය විය යුතුය. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන අතරතුර ඔවුන් අතරින් වසර කිහිපයකට විදේශ රැකියාවන්හි යෙදෙන්නට කැමැති පිරිසට ඒ සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇත. ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වැඩපිළිවෙළ යටතේ විදේශ ගත වනු ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් විදේශ ගතවීමට අවස්ථාව ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන වෘත්තීන් නැතිවය. අත්‍යවශ්‍ය සේවාවන්හි කඩාවැටීමක් සිදුනොවන අන්දමේ ආයතනවල කාර්යමණ්ඩල සාමාජිකයන්ට මෙසේ විදේශ ගත වීමට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ.

‍කෙසේ වෙතත් උපාධිධාරීන් අති බහුතරය වෘත්තීය පුහුණුව හෝ විදේශ භාෂා පුහුණුව ලබා නැත. විදේශ රැකියාවලට යෑමේදී වෘත්තීය පුහුණුව මෙන්ම භාෂා පුහුණුව යන දෙකම හෝ එකක් අනිවාර්යයෙන් අවශ්‍ය වේ. මේ නිසා විදේශ රැකියාවලට යෑමට බලාපොරොත්තු වන රජයේ සේවකයන් පුහුණු කිරීමටද රාජ්‍ය  පරිපාලන අමාත්‍යාංශයට සිදුවනු ඇත. එය අමාත්‍යාංශයේ වගකීමක් වනු ඇති අතර විධිමත් ක්‍රමවේදයක් යටතේ එය සිදු කිරීමට බලාපෙ‍ාරොත්තු වන්නේ ඔවුන් යළි රාජ්‍ය සේවයට එන්නට බලාපොරොත්තු වන බැවිනි. මෙයින් එක්තරා ප්‍රතිශතයක් තමන් විසින් රැකියා සොයා ගෙන  යනු ඇති නමුත් අනෙක් පිරිස යම් මට්ටමකට සූදානම් කරවා යැවිය යුතුය.

රාජ්‍ය සේවය පෙර කී පරිදිම ප්‍රතිසංවිධානය කිරීම අනිවාර්යයෙන් විය යුතුය. එහිදී ඊ තාක්ෂණය යොදා ගැනීම තවදුරටත් විධිමත් කිරීම හා ජනප්‍රිය කිරීමද සිදුවිය යුතුය. කෙසේ වෙතත් ඊ තාක්ෂණයට යන්නට පෙර සාමාන්‍ය පරිදි තාක්ෂණය විධිමත් ලෙස යොදා ගැනීමේ කටයුතු ද සමහර

ක්‍ෂේත්‍රවල සිදුවිය යුතුව තිබේ. උදාහරණයක් ලෙස යම් ආයතනයක භාවිත කරන දුරකථන ප්‍රමාණය, ලිපි ප්‍රමාණය අවම කළ හැකි අවස්ථා තිබේ. අනවශ්‍ය ලිපි යැවීම්, කඩදාසි වැඩි ප්‍රමාණයන් භාවිත කිරීම් ආදිය මෙන්ම අනුමැතීන් සඳහා ස්ථාන විශාල සංඛ්‍යාවකට එක් ලිපියක් යැවීම වැනි කටයුතු අවම කළ හැකි අවස්ථා රාශියකි. කෙටියෙන්ම කිවහොත් ක්‍රියාවලින් අවම කිරීම සිදුකළ හැකිය. පිටු ගණනාවක් ඇති පෝරම පිටුවකට දෙකකට සීමා කළ හැකිය. මේවා කළ හැකි දේවල් වේ. 

මෙවැනි දේ සිදුකළ හැකි ව්‍යාපෘති රාශියක් රාජ්‍ය සේවය වෙනුවෙන් ආරම්භ කර ඇතත් ඒවා බොහොමයක් අවසන් කර නැත. අනෙක් කටයුත්ත වන්නේ බොහෝ දුර ‍අවසන් කර ඇති ව්‍යාපෘති ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාවයි. උදාහරණ ලෙස ගමන් බලපත්‍ර සැකසීමේ සේවාව ගන්න. එහිදී එය තවදුරටත් දියුණු කර අයදුම්කරුගේ ඇඟිලි සලකුණුද ඔහු හෝ ඇය පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකර ගන්නට කටයුතු කළහොත් එහිදී ඉතිරිවන ඩොලර් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයක් වනු ඇත. ඔවුන්ගේ ගමන් බලපත්‍රයද තැපෑලෙන් හෝ කුරියර් ක්‍රමයක් මඟින් යැවිය හැකිය. එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කළහොත් අයදුම්කරුවන් කොළඹට නොපැමිණ ගමන් බලපත්‍රය ලබාගැනීමට හැකි බැවින් ඔවුන්ගේ ප්‍රවාහන වියදම් ඉතිරි වේ. එය අපට රුපියල්වලින් පෙනුනත්, සැබැවින්ම ඉන්ධන වැය වීම ගණන් බැලිය යුතු ඩොලර්වලිනි.

මෙවැනි තවත් රාජ්‍ය සේවා රාශියක් සංවිධිත කර ගැනීමට හැකියාව ඇත. ජාතික හැ¾දුනුම්පත, උප්පැන්න සහතිකය ආදිය යම් ස්ථානයකට ඉදිරිපත් කිරීමේදීද මෙවැනි අවස්ථා ඇතිවේ. පාසලකට දරුවකු ඇතුළු කරන අවස්ථාවේ ඉල්ලා සිටින්නේ මාස හයක වලංගු එකකි. එවන් අවස්ථාවක උප්පැන්න සහතිකයක් ලබා ගන්නට අයදුම්කරු පැමිණිය යුතුය. එහෙත් ඊට වඩා සුහුරු අන්දමින් ඕනෑම පුද්ගලයකුගේ උප්පැන්න සහතිකය බලා ගැනීමට ඒ ඒ දෙපාර්තමේන්තු හෝ ආයතනවලට පහසුකම ලබාදීම තුළින් උප්පැන්න සහතිකයක් ලබාගැනීමට යන පුද්ගලයාගේ කාලය ඉන්ධන දෙකම ඉතිරිවේ.

එහිදී උප්පැන්න සහතිකයක් ලබාදීමට යම් මුදලක් අයකළත් ඊට වඩා වැයක් විනිමය පැත්තෙන් සිදුවන බව කිවයුතුය. එවැනි අවස්ථාවක අයදුම්කරු ගෙන එන උප්පැන්න සහතිකය සත්‍ය එකක්ද යන්න බලා ගැනීමට අදාළ ආයතනයට හැකියාව ලැබේ. එයින් වංචාවන්ද දුරුවන අතර රටටද ඉතිරියක් සිදුවේ. මේවා සම්බන්ධව ඉක්මනින් කටයුතු කිරීමට ඇති හැකියාව ගැන මේ වනවිටත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙමින් සිටියි.

එපමණක් නොවේ ලිපියක ඇති වටිනාකම ඊමේල් පණිවුඩයකත් ඇති බව ජනතාව අතරින් අති බහුතරය තවමත් විශ්වාස නොකරයි. බොහෝ දෙනා තවමත් සිතන්නේ ලිපියක්ද ලිවිය යුතු බවය. එහෙත් විද්‍යුත් තැපෑලට පිළිතුරක් ඉක්මනින් යවමින් එයට වැදගත්කම ආරෝපණය කර පෙන්වීමේ වැඩපිළිවෙළක් ‍පිළිබඳවද අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. කෙටියෙන්ම කිවහොත් දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළවල් තවදුරටත් දියුණු කරමින් වැඩි වියදමක් නොදරා මහජනතාව මහමඟ රස්තියාදු නොකර ඔවුන්ගේ කාලය, ධනය හා ශ්‍රමය ඉතිරිකරන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට යෝජනා කළෙමි.

තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් එවන අයකුට සුළු මුදලක් ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවේ. එය රුපියල් හතරක් පහක් එසේ නොමැති නම් රුපියල් දහයක් වන්නට පුළුවන. එහෙත් එය ගෙවීම සඳහා කිලෝමීටර් ගණනාවක් ගෙවා අයදුම්කරු අදාළ ආයතනය වෙත පැමිණිය යුතුය. එහිදී ගෙවන මුදලට රිසිට් පතක්ද නිකුත් කළ යුතුය. ගෙවන මුදල සමහර විට එම රිසිට් පත මුද්‍රණයට යන වියදමටද වැඩිවන අවස්ථා තිබේ. එවන් අවස්ථාවලදී එම මුදල අය කරනවාට වඩා අය නොකර සිටීමෙන් රටට ලාභ සහගතය.

මේ අතර රජයේ සේවකයන්ට සිකුරාදා දිනවල නිවාඩු ලබාදීමට තීරණය කර ඇත්තේ ඔවුන්ට විවේක ගැනීමට නොව ජාතික ආහාර වැඩසටහනට සහාය දීම සඳහාය. රජයේ වියදම් පිරිමසා ගැනීමත්, රජය ප්‍රාග්ධන වියදම් අඩුකර ඇති ආයතනවල සාමාජිකයන් මෙම වැඩසටහනට සම්බන්ධ කිරීමටත්ය. පලදායි ආර්ථික කටයුතුවලට යෙදවීමටය. ඇත්ත වශයෙන්ම සිකුරාදා දවස පලදායී වන කාර්යයකට යෙදවීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

රාජ්‍ය සේවයේද අනෙක් සේවාවන්හි මෙන්ම සොරකම් කරන වංචා දූෂණවලට හවුල් වන පිරිසක් වෙති. ඔවුහු එයින් කෝටිපතියෝ වෙති. එහෙත් ඒ සියලු රාජ්‍ය සේවකයෝ නොවේ. ඉතා සුළු පිරිසකි. මන්ද රාජ්‍ය සේවකයා වග කියන්නේ හෘද සාක්ෂියටයි.

අනෙක් අතින් රාජ්‍ය සේවකයා වෙත එන මහජනතාව එන්නේ ඔවුන්ට කලින් මුදල් ගෙවා බව අමතක කළ යුතු නැත. මන්ද රාජ්‍ය සේවකයාගේ අධ්‍යාපනය, වැටුප්  ඇතුළු සියල්ලට මුදල් ගෙවන්නේ මහජනතාවගේ බදු මුදලිනි. රාජ්‍ය ආයතනය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල එහි ඇති විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම්වලටද මුදල් ලැබෙන්නේ මහජනතාවගේ මුදලිනි. එසේ නම් මහජනතාව රජයේ ආයතනවලට  “ප්‍රී පේඩ්” කර සේවාවන් ලබා ගන්නා  අය නොවේද?  එසේ නම් කලින්ම  මුදල් ගෙවා රජයේ සේවකයාගෙන් යම් සේවයක් ලබාගන්නට එන මහජනතාවට සේවාවන් ලබාදීම රජයේ සේවකයාගේ යුතුකමක් නොව වගකීමක් බව සියලු රජයේ සේවකයෝ අමතක කළ යුතු නැත.

සංලාපය – විනීතා එම්. ගමගේ