නව යෞවන වියේ දරුවන්ගේ ශාරීරික වෛද්‍ය ගැටලු

0
302

පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කරනු ලැබුවේ නව යෞවන වියේ පසුවන දරුවන් හට බලපානු ලබන ශාරීරික වෛද්‍ය ගැටලු කිහිපයක් පිළිබඳව බව ඔබට මතක ඇති. එහිදී ඇදුම රෝගය, තරුණ දරුවන් හට විශේෂ බලපෑමක් ඇති කරනු ලබන රෝගයක් වන ස්ථුලතාව යන රෝග දෙක සම්බන්ධවය. එනිසාම අද දින අතිරේකය තුළින් පසුගිය සතියේ පළ වූ ලිපියෙහිම තවත් එක් දිගුවක් නොහොත් දෙවැනි කොටස වශයෙන්. නව යොවුන් වියේ දරුවන් හට ශාරීරිකව බලපාන ශාරීරික රෝග කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප සිතුවා. මෙවර අප ගෙන එන්නේ  අපස්මාරය රෝග තත්ත්වය සම්බන්ධයෙන් සහ නව යොවුන් වියේ දරුවන් හට විශේෂයෙන් ඇතිවිය හැකි පෝෂණ උෟනතා පිළිබඳවයි.

එසේ නම් ඒ පිළිබඳව සවිස්තරාත්මක කරුණු කාරණා මොනවාදැයි දැන් අපි පහතින් කියවා බලමු. ඔබත් නව යොවුන් වියේ දරුවන් සිටින මවක් හෝ පියෙක් නම් අප ගෙනහැර දක්වන මෙම කරුණු කාරණා ඔබටත් ඉතාම ප්‍රයෝජනවත් වේ යැයි අපි විශ්වාස කරන්නෙමු.

– අපස්මාර තත්ත්වයන්

උපතේ සිට ඕනෑම වයසකදී අපස්මාර (වලිප්පු) තත්ත්වයන් හටගත හැකියි. අපස්මාර තත්ත්වයන් අතරතුර සිහි නැතිවීම හෝ නොවීම පදනම් කරගෙන එය මූලික වර්ග දෙකකට බෙදනවා. ඒ ඒ වර්ග යටතේ විවිධාකාර වලිප්පු වර්ග විවිධ වයස්වලදී ඇතිවන අතර සමහර වර්ග ජීවිත කාලය තුළ ඕනෑම වයසකදී ඇතිවිය හැකියි. කෙසේ වුවත්, අපස්මාර රෝග පරම්පරාවෙන් ආවේණිගත ලෙස උරුමවීමට හැකියාව තිබෙනවා. අප සාකච්ඡා කරන නව යෞවනවියේදී මේ ඕනෑම වර්ගයක් මතුවීමට හැකි අතර, මෙම වයසේදී සාමාන්‍ය බුද්ධියක් ඇති දරුවන් තුළ ආවේණිකව ඇරඹෙන වර්ග දෙකක්

ලෙස Juvenile Myoclonic epilepsy (JMV) සහ Juvenile absence epilepsy නම් කළ හැකියි. JMV වර්ගයේදී පැහැදිලි අපස්මාර ලක්ෂණ වෙනුවට දරුවා තුළ පෙනෙන්නේ වෙනදා පහසුවෙන් කරන හිස පීරීම, දත් මැදීම වැනි සියුම් ක්‍රියාකාරකම් නොකළ හැකි තරමට අත් පා අසාමාන්‍ය ලෙස සෙලවීම හෝ පාලනයෙන් තොර වීමයි. එසේම, පසුව සඳහන් කළ වර්ගයේදී, සාමාන්‍ය ක්‍රියාකාරකම් අතරතුර හදිසියේ තත්පර  කිහිපයක් හිස් බැල්මෙන් බලා සිට නැවත කරමින් සිටි දෙයට යොමුවීම සිදු වෙනවා. මෙලෙස, දිනකට කිහිප වරක් හෝ බොහෝ වරක් දරුවාට නොතේරී සිදුවිය හැකියි. එනිසා මෙවන් විශේෂ අපස්මාර තත්ත්ව ගැන මවුපියන්ට අවබෝධයක් තිබිය යුතුයි.

අපස්මාර තත්ත්වයන් සැකකරන සෑම විටම නොවලහා ළමා හෝ ස්නායු වෛද්‍ය අංශවලට දරුවා යොමු කළ යුතුයි. අපස්මාර අවස්ථාව තුළ පෙනෙන ලක්ෂණ හා මොළයේ ක්‍රියාකාරිත්වය බලන EEG වැනි පරීක්ෂණවලින් අපස්මාර වර්ගය නිගමනය කර, ගැළපෙන ඖෂධ ලබාදීම සිදු කරනවා. ඇතැම් විට මොළයේ පිළිකා සහ වෙනත් භෞතික රෝග තත්ත්වයන් සැකකරන විට, CT,, සහ MRI වැනි ස්කෑන් පරීක්ෂණද සිදු කරනවා.

කෙසේ නමුත්, බොහෝ අපස්මාර තත්ත්ව හොඳින් පාලනය කළ හැකි බැවින් නිසියාකාරව ඔෟෂධ පාවිච්චිය ඉතා වැදගත්. හොඳින් පාලනය කළ විට එම දරුවාට සියයට සියයක්ම සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි. එහෙත්, පිහිනීම, උසක නැඟීම වැනි යම් අවදානමක් ඇති කටයුතුවලදී, වැඩිහිටියන් හොඳ අවධානයෙන් සිටිය යුතුයි.

– පෝෂණ ගැටලු

බොහෝ නව යෞවන දරුවන් සිය පෝෂණය ගැන එතරම් අවධානයක් දක්වන්නේ නැහැ. අධ්‍යාපන සහ වෙනත් සිය කටයුතුවල තදින් යොමු වූ දරුවන් වෙලාවට ආහාර නොගැනීම, ආහාර වේල්, විශේෂයෙන්ම උදෑසන කෑම නොගෙන පාසල් හෝ බාහිර පන්තිවලට පිටත් වී යෑම නිතර දැකිය හැකියි. එසේම, නිවෙසේ පෝෂ්‍යදායී ආහාර වෙනුවට කෙටි ආහාර සහ අධික කැලරි සහ සීනි අඩංගු ආහාර ගැනීමට බොහෝ දෙනකු පෙලඹී සිටිනවා. මෙය පෝෂණ උෟනතාවලට මෙන්ම, ඉහත දැක්වූ ස්ථුලතාව ඇතුළු බෝනොවන රෝග සඳහාද හේතුවක් වී තිබෙනවා.

පෝෂණ ඌනතා අතර බෙහෙවින් දැකිය හැකි දෙයක් වන්නේ යකඩ උෟනතාවයි. යකඩ වැඩිපුර  අඩංගු මාංස ආහාර සහ නිවිති, රනිල බෝග වැනි ශාක ආහාර කෑමට අඩුවෙන් එක් කර ගැනීම මෙයට ප්‍රධාන හේතුවයි. එසේම ඇතැම්  ගැහැනු දරුවන්ගේ ඔසප් වීමේදී වැඩිපුර රුධිරය වහනය වීම තවත් හේතුවක්. යකඩ උෟනතා ඇති විට, නිතර වෙහෙස ගතිය, මහන්සි වීමට අපහසුව, අලස බව, වැඩි නිදිමත සහ අවධානය තබා ගැනීමට සහ ඉගෙනුමට අපහසුව ඇති විය හැකියි. එබැවින්, මෙවන් ලක්ෂණ ඇතිවිට රුධිර පරීක්ෂණ මඟින් එය තහවුරු කරගෙන , යකඩ අඩංගු ඔෟෂධ හා නිසි පෝෂණ පුරුදු මඟින් ඉතා පහසුවෙන් සුව කිරීමට වෛද්‍ය උපදෙස් මත හැකියි.

අද අප ඔබ සමඟ සාකච්ඡා කළේ නව යෞවන වියේ දරුවන් තුළ දැකිය හැකි මූලික ශාරීරික හා පෝෂණ ගැටලු කිහිපයක් පිළිබඳවයි. මේ කරුණු කිහිපය මවුපියන්ගේ අවබෝධය පුළුල් කිරීමට හේතු වේ යැයි අප සිතනවා. ශාරීරික ගැටලු මෙන්ම ඉතා වැදගත් වන මෙම වයසේ දරුවන් අතර දැකිය හැකි ප්‍රධාන මානසික ගැටලු පිළිබඳවද නුදුරේදීම සාකච්ඡා කරන්නෙමු.

– තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග

තයිරොයිඩ් ග්‍රන්ථිය අපගේ බෙල්ලේ ඉදිරිපස පිහිටා තිබෙයි. දරුවකු නව යෞවන වියට පත් වනවිට මෙම ග්‍රන්ථිය මඳක් විශාල වී බෙල්ලේ ඉදිරිපසින් නෙරා ඇති අයුරු ඔබ දැක ඇත. මෙම ග්‍රන්ථිය මඟින් තයිරොයිඩ් නම් හෝර්මෝනය ස්‍රාවය කරනු ලබයි. එය ස්‍රාවය කිරීම උත්තේජනය කරනු ලබන්නේ මොළයේ ඇති නඪබභඪබචපර නම් ග්‍රන්ථිය මඟින් නිපදවන ඊඉඩ් හෝර්මෝනය මඟිනි. තයිරොයිඩ් යනු නිසි කායික සහ මානසික වර්ධනයට අත්‍යවශ්‍ය හෝර්මෝනයකි. තයිරොයිඩ් ඌනතාව හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් එම දරුවා උසින් නොවැඩුණු, මන්ද මානසික දරුවකු බවට පත් විය හැකියි. මෙය විශේෂයෙන්ම උපතින්ම මෙම තත්ත්වය සමඟ බිහිවුණු දරුවන් හට සිදු විය හැකිය.

මේ හේතුව නිසාම සියලු අලුත උපන් දරුවන්ගේ රුධිර බිඳු පරීක්ෂාවකින් තයිරොයිඩ් හෝර්මෝනය සාමාන්‍ය පරිදි තිබේදැයි පරීක්ෂා කරයි. එබැවින් උපතේ සිට පවතින තයිරොයිඩ් ඌනතාව නව යොවුන් විය දක්වාම හඳුනානොගෙන සිටීමට ඇති අවස්ථාව බොහෝ අඩුයි. කෙසේ නමුත් නව යොවුන් වියේ දරුවන් හට මෙම වයසේදී වැලඳෙන තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරි තත්ත්වයන් තිබෙයි. මෙයින් වඩාත් දකින්නට ලැබෙන්නේ ඉංග්‍රීසි බසින් Thyroiditis නමින් හඳුන්වන ප්‍රත්ශක්තියේ අක්‍රමවත් බව නිසා සිරුර තුළ නිපදවෙන ප්‍රතිදේහ මඟින් ඇති කරන තත්ත්වයයි.

මෙහිදී බෙල්ලේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍ය විශාල වීමක් සිදුවන අතර බොහෝවිට මෙම ලක්ෂණය හඳුනාගන්නා අවස්ථාවේදී හෝ පසු කාලීනව තයිරොයිඩ් උෟනතාව ඇතිවනු ලබයි. කලාතුරකින් තාවකාලික ලෙස මෙම හෝර්මෝනය වැඩියෙන් ස්‍රාවය වන අවස්ථා හඳුනාගෙන තිබෙයි.

මෙම වයසේදී ඇති වන ඉහත තත්ත්වය ආශ්‍රිත තයිරොයිඩ් උෟනතාවයේදී තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම සමඟ අලස බව, වැඩි සීතල දැනීම, අවධානය, මතකය අඩු වීම, ඉගෙනීමේ දුර්වලතා, මලබද්ධය සහ බර වැඩිවීම වැනි රෝග ලක්ෂණ පෙන්වයි. එබැවින් සැක කටයුතු රෝග ලක්ෂණ ඇතිවිට වහා වෛද්‍යවරයකු වෙත යොමු වී රුධිරයේ තයිරොයිඩ් හෝර්මෝනය සහ ඊඉඩ් හෝර්මෝනය පරීක්ෂා කරගත යුතුයි.

Thyroiditis තත්ත්වයට අමතරව අයඩින් උෟනතාව නිසාද (වැඩිහිටියන්ගේ මෙන්) අවතයිරොයිඩ් තත්ත්වය ඇති විය හැකිය.

එතරම් සුලබ නොවූවත්, තවත් අඳුනාගත් තත්ත්වයක් වන්නේ තයිරොයිඩ් අධි ක්‍රියාකාරීත්වයයි. මෙයද අක්‍රමවත් ප්‍රතිශක්තිය නිසා නිපදවෙන ප්‍රතිදේහ මඟින් තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කිරීම මඟින් ඇති වන අතර රෝග ලක්ෂණ ලෙස ඉහත සඳහන් කළ තයිරොයිඩ් උෟනතාවට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ පෙන්වයි. එනම් අධික දහඩිය දැමීම, කෙට්ටු වීම, හදවතේ ස්පන්දනය වැඩිවීම, දියර ගතියෙන් මල පිටවීම, ඇස් ආශ්‍රිත පටකවල වෙනස්කම් නිසා ඇස් බෝල ඉදිරියට නෙරා ඒම (proptosis) සහ විවිධාකාර මානසික ව්‍යාකූලතා ආදියයි. එසේම මෙම දරුවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම සිදුවනු ලබයි.

තයිරොයිඩ් ඌනතාව සඳහා පෙති වශයෙන් තයිරොයිඩ් හෝර්මෝනය ලබාදෙන අතර වරින් වර රුධිර මට්ටම පරීක්ෂා කර මාත්‍රාව අදාළ ලෙස වෙනස් කිරීම සිදු කරයි. දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය වුවත්, රෝග ලක්ෂණවලින් මිදී සම්පූර්ණ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිය.

තයිරොයිඩ් අධික්‍රියාකාරීත්වය පාලනය කිරීමට විශේෂ ඔෟෂධ අවශ්‍ය වන අතර බොගෝ විට අන්තරාසර්ග වෛද්‍ය විශේෂණ අංශ වෙත යොමු කිරීමට සිදුවෙයි.

– උස යෑමේ ගැටලු

වයසට සරිලන ලෙස උස නොයෑම මෙම වයසේදී හඳුනාගත හැකි තත්ත්වයකි. සාමාන්‍ය පාසලක ඉගෙන ගන්නා සාමාන්‍ය දරුවකුගේ අඩු උසට විවිධාකාර හේතු තිබිය හැකියි. මුලින්ම වෛද්‍යවරුන් උස වර්ධක සටහන් සහ ප්‍රස්තාරවල සටහන් කර අඩු උස ලෙස තහවුරු කර ගනියි. එසේම මවගේ සහ පියාගේ උසත් සමඟ දරුවාගේ උසත් විශේෂ ප්‍රස්තාරයක සටහන් කර ගනියි. ඒ බැලූ බැල්මට උස අඩු වුවත්, උසින් අඩු මවුපියන්ගේ දරුවන්ගේ උස වර්ධක සටහන්වල පහළින් සලකුණු වීම ඇතැම් විට සාමාන්‍ය විය හැකි නිසයි. පරම්පරාවෙන් උරුම වන මෙම අඩු උස සඳහා විශේෂයෙන්ම ප්‍රතිකාර කළ යුතු නැත. නමුත් එසේ නොවන අවස්ථාවලදී සුදුසු සායනික සහ අනෙකුත් පරීක්ෂණ සිදුකළ යුතුය. ඇතැම් විට මෙම තත්ත්වයට උස යෑම සඳහා අත්‍යවශ්‍ය වන මොළයෙන් ස්‍රාවය වන වර්ධක හෝර්මෝනයේ හෝ ඉහත සඳහන් කළ තයිරොයිඩ් හෝර්මෝනයේ අඩුපාඩු හේතුවිය හැකියි. එසේම ශරීරයේ දීර්ඝ කාලීන ලෙස පවතින පාලනය නොකළ අසනීප තත්ත්ව සහ විවිධ පද්ධතිවල (හදවත, වකුගඩු වැනි) රෝග සහ දුර්වලතා හඳුනාගැනීම වැදගත්ය.

කෙසේ නමුත් මෙසේ උස යෑම අඩු බොහෝ දරුවන් ඉංග්‍රීසි බසින් constitutional growth delay නමින් හඳුන්වන වැඩිවියට පැමිණීම ප්‍රමාද වීම හා බැඳී ඇති තත්ත්වයෙන් පෙළෙයි. මෙවන් නව යොවුන් දරුවන් ප්‍රමාද වී හෝ ප්‍රතිකාර නොමැතිව ඔවුන්ගේ සාමාන්‍ය උසට ළඟා වෙයි.

දිනූෂා මනෝරි නිශ්ශංක