කටින් බතල හිටවීමෙන් කුස පිරෙයිද?

0
101

ජනතාවගෙන් පිරිසක් තෙල් පෝලිම්වලය. තව පිරිසක් ගෑස් පෝලිම්වලය. ගෑස් නැව, තෙල් නැව මූදේ නැංගුරම්ලාගෙන සිටියත් මිලට ගන්නට ඩොලර් නැතිව කොහෙන් හෝ ගතමනාවක් ලැබෙනතුරු වගකිවයුතු පිරිස් බලා සිටිති. ලැබුණු ණය වියපැහැදම් වී හමාරය. තවත් ණය ඉල්ලා තිබේ. දෙනවා කී අයත් දැන් අදිමදි කරමින් සිටිති. හේතුව ආපසු ලැබීම ගැන විශ්වාසය සිඳී බිඳී ගොසින්ය. හදිසියේ කොහොමහරි මුදලක් සොයා ගත්තත් ප්‍රමාද ගාස්තුවත් ගෙවන්නට සිදුවුණු විට තවත් නැවකට ගාණ හරිය. මේ අප රටේ වසර කිහිපයක සිට පවත්වාගෙන පැමිණි මූල්‍ය කළමනාකරණයේ හැටිය.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ නම් කියන්නේ අගමැති කාලගුණ දෙපාර්තමේන්තුව වාගේ අනාවැකි කිය කියා ඉන්නා බවය. ණය ගැනීම මිසක වෙනත් විසඳුමක් ගැන ඔහුගෙන් හෝ වෙනත් බලධරයකුගෙන් මෙතෙක් අදහසක් ඉදිරිපත් වී නැත. ඉදිරියේ මුහුණදෙන්නට සිදුවන බරපතළ ආහාර අර්බුදයක් ගැන දැනටමත් පුරෝකථන ඉදිරිපත් වෙමින් තිබේ. වගා සංග්‍රාමයක් ගැනද කතා කරති. එහෙත් මේ රටේ මෙතෙක් කතා කරමින් සිටි, සාකච්ඡා කරමින් සිටි ‘වගා සංග්‍රාම’ ගැන හිතන විට නම් මේ රට සුරපුරයක්ම විය යුතුය.

‘53 හර්තාලයට මුහුණ දෙන්නට සිදුවුණේ බරපතළ ආහාර අරබුදයක් හේතු කොටගෙනය. ඊට විසඳුමක් වශයෙන් සහල් මිල වැඩි කිරීම හේතුවෙන් අර්බුදය තව තවත් උග්‍ර අතට හැරුණා මිස එයින් නිසි විසඳුමක් ලැබුණේ නැත. එවකට රටේ අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක ගෙදර ගියේය. 70 දශකයේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවද වගා සංග්‍රාමයක් දියත් කරමින් අල, බතල, මඤ්‍ෙඤාක්කා හිටවමින් දේශීය ආහාර නිෂ්පාදන කාර්යයකට ජනතාව පොලඹවාලන්නට කටයුතු කළේය. එහෙත් සිදුවූයේ කුමක්ද? හාල් පෝලිම්, මිරිස් පෝලිම්, පාන් පෝලිම් පැනනැඟී රටේ ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට ඇද දැමීමය. 77 මහ මැතිවරණය එළැඹෙන තුරුත් ජන පීඩනය උග්‍රව පැවැති අතර එම මහ මැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත්තේය. රටේ ආහාර හිඟයට කඩිනමින් විසඳුම් ලැබුණත් දේශීය නිෂ්පාදන ආර්ථිකය සහමුලින්ම බිඳවැටෙන තත්ත්වයක් පැනනැඟිණි. ‘අපි වවලයි අපි කන්නේ’ යන සංකල්පය විවෘත ආර්ථිකය හමුවෙහි මැකී, වියැකී ගියේය. එසමයෙහි විවෘත ආර්ථිකය බොහෝදෙනාට පෙනුණේ රෞද්‍ර යක්‍ෂයකු ලෙසය.

පසුව බලයට පත්වුණු ආණ්ඩු විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් දෙන බව කීවත් එය හුදු මැතිවරණ ප්‍රකාශනයක් පමණක්ම විය. විවෘත ආර්ථිකයට කෙසේ වෙතත් වැඩි පිරිසක් මානුෂීය මුහුණුවරක් දුන්නේ යුද්ධයටය. ආර්ථිකයේ බිඳ වැටීමට හේතු සාධකය කරගත්තේද යුද්ධයයි. රටේ ජනතාව යුද්ධය නිමාවීමෙන් පසුව හෝ රටේ ආර්ථිකය යහපත් අතට හැරේවිය යන අපේක්‍ෂාව ඇති කරගෙන සිටියහ. ණය වෙනුවට සහනාධාරවලින් යැපෙන ආර්ථිකයක් ගැන සිතුවද එය අසාර්ථක විය. චීනය, ඉන්දියාව හා තවත් රටවල් කිහිපයක් වරින් වර අපට සහනාධාර දුන්නත් එම ගනුදෙනු දිගින් දිගට පවත්වාගෙන යෑම අසීරු බව රටේ පාලකයන්ට අවබෝධ වූයේ නැත.

දැන් මෙරට අග්‍රාමාත්‍ය පදවියට පත්ව සිටින්නේ විවෘත ආර්ථිකයෙන් උපරිම පල නෙළාගත් ආණ්ඩුවල ඇමැති තනතුරු හා අග්‍රාමාත්‍ය පදවිය දරමින් කටයුතු කළ රනිල් වික්‍රමසිංහය. පෙර අත්දැකීම් හා සබඳකම් මත රට රටවල හා ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගය ලබාගෙන තාවකාලික පිළියමකට මඟ පාදාගන්නට ඔහු යම් සමත්කමක් පෙන්වන්නට ඉඩ තිබේ. විමල් සඳහන් කරන පරිදි රනිල්ගේ අනාවැකි සත්‍ය විය හැකිය. එහෙත් තවමත් ස්ථිර විසඳුමක් හෝ පැහැදිලි වැඩපිළිවෙළක් ළඟමානයක පෙනෙන්නට නැත. දැන් ඉතින් දෙවේලක් කන්නට හුරුපුරුදු වෙන්න වේවි කියා ජනතාවට අනතුරු ඇඟවීම මේ මොහොතේ කළ යුතු දේ නොවේ. අනුන්ගේ දරුපැටවා මගේ අතේය. වැල්පාලමේ ගමන අපහසුය. හෙළ ගැඹුරුය කියා ප්‍රශ්නයෙන් කරඇර යෑමද කළ නොහැකිය.

මේ මොහොතේ අප සියල්ලන්ම එකමුතුව පක්‍ෂ, පාට, කණ්ඩායම් වාද භේද පසෙකලා රට වැටී සිටින තැනින් ගොඩගන්නට ඕනෑය කියා කවුරු කවුරුත් කීවාට එහෙම එකමුතු වන ලකුණක් නම් පෙනෙන්නට නැත. විපක්‍ෂ නායක සජිත් කියන්නේ අපට වැඩේ භාරදුන්නොත් රට කිරියෙන් පැණියෙන් උතුරවන බවය. තෙල්-ගෑස් පෝලිම් නැත්තටම නැති කරන බවය. අනුර දිසානායකලා කියන්නේ ආණ්ඩුව වෙනස් කොට මහ මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් ගෙනැවිත් රටේ අර්බුද විසඳිය හැකි බවය. ඒ අතරේ මේ කවුරු කවුරුත් දැන් වගා සංග්‍රාමයකටද හවුල් වන්නට සැරසෙති. ආචාර්ය බන්දුල ගුණවර්ධන කියන්නේ රේල් පාර දෙපැත්තේ වගා කටයුතු පටන්ගත යුතු බවය. කෘෂිකර්ම අමාත්‍යවරයාට තවමත් රටට අවශ්‍ය පෝර ටික ගෙනත් දෙන්නට වැඩපිළිවෙළක් නැත. මේ කාගෙ කාගේත් වගා සංග්‍රාමයේ හැටිය.

සිකුරාදා අප මව්බිම මුල්පිටු හෙඩිම “පෝලිම්වල ආවේග වී සිටින ජනතාවට ඡන්ද මානසිකත්වයක් නෑ” යන්නය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා ඉකුත් 9දා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී කී කතාවකි ඒ. මේ ගෑස් නැවට, තෙල් නැවට ගෙවා ගන්නටවත් අතමිට කීයක්වත් නැතිව වේළෙන වෙලාවකි. සාමාන්‍යයෙන් මේ කාලයේ මැතිවරණයක් සඳහා ආණ්ඩුව පැත්තෙන් කෝටි දාහකටත් වැඩි පිරිවැයක් දරන්නට සිදුවනු ඇත. ඒ මුදලත් දරන්නට සිදුවන්නේ හුස්මක් කටක් ගන්නට බැරිව කෙඳිරි ගගා සිටින රටේ ජනතාවටය.

මැතිවරණ තියන්නට අඩුම තරමින් තෙල් – ගෑස් පෝලිම් ටිකවත් නැවැතී තිබිය යුතුය. ජනතාවට එදාවේල හොයාගෙන ජීවිතේ ගෙන යන්නට ක්‍රමයක්, වැඩපිළිවෙළක් සැකසී තිබිය යුතුය.

කටින් බතල සිටුවන්නට දැඟලුවාට පලක් නැත. අර්බුදය විසඳන ලකුණු ජනතාවට පෙනී යා යුතුය. ජනතා පීඩනය තවමත් එසේමය. කළ යුත්තේ කල දුටු කල වළ ඉහ ගැනීම නොවේ. වඩ වඩාත් ඇප කැපවී රට වෙනුවෙන් ඉදිරිපත් වීමය. මුලින් රට හැදිය යුතුව තිබේ. දේශපාලන පක්‍ෂ ටික හදා ගැනීම ඊළඟට කළ හැකිය.