ඔසප් කාලයේදී පිටවන්නේ අපිරිසුදු රුධිරයද?

0
193

සමාජයේ මුල් බැසගත් මතයක් වන්නේ ආර්තවය සිදුවන කාල සීමාව තුළ පිටවන රුධිරය අපිරිසුදුයි යන්නයි. මෙම ගැටලුව නිසා ඇතැම් කාන්තාවෝ ඔසප් වන කාල සීමාව තුළදී නිවෙසේ අනෙකුත් පුද්ගලයන්ගෙන්ද දුරස් වී සිටිති. ඔසප් රුධිරයේ පිටවන දුගඳ සමඟ ඔවුන් සිතන්නේ ශරීරයෙන් පිටවන ඔසප් රුධිරය අපිරිසුදු බවයි. එහෙත් එම දුර්මතය බිඳ හෙළමින් ඔසප් රුධිරය අපිරිසුදු නැත යන්න වෛද්‍ය විද්‍යාවට අනුව ඔප්පු කොට හමාරය.

ඔසප් සමයේ ඔබේ ශරීරයේ පිටවන රුධිරයෙහි ගැබ් වී ඇත්තේ යෝනි ද්‍රාවණ, ගර්භාශ පටලය ගැලවීම මඟින් පිටවන සෛල සහ ද්‍රාවණයන් යන ශාරීරික ද්‍රාවණ තුනක්ය. එමෙන්ම ඔසප් වීමේදී වහනය වන රුධිරය ඔබේ ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්හි ඇති රුධිරයට සමාන වේ.

කාන්තාවකට ඔසප් වීම කියන්නේ අලුත් අත්දැකීමක් නොවෙයි. නමුත් ඒ නිසා පීඩාවට පත්වෙන කාන්තාවන් බොහෝමයක් සිටීයි. වයස අවුරුදු 30-50 අතර සෑම කාන්තාවන් 20 දෙනකුගෙන් එක් අයෙක් ඔසප් වීමත් සමඟ අධික රුධිර වහනය නිසා ප්‍රතිකාර ලබාගනු ලබයි. සාමාන්‍ය කාන්තාවකගේ ඔසප් වීම චක්‍රයක් ආකාරයෙන් මසකට වරක් සිදුවන අතර එහිදී දින කිහිපයක් සාමාන්‍ය රුධිර වහනයක් පවතිනු ලබයි. 

එහිදී පිටවන රුධිර ප්‍රමාණය සහ ඔසප් වීම පවතින දින ගණන එකී එක් එක් කාන්තාවට වෙනස් වෙන්නට පුළුවන් වගේම එම රුධිර වහනය කාන්තාවගේ එදිනෙදා වැඩ කටයුතුවලට බාධාවක් වන අවස්ථාද ඕනෑ තරම් ඇත.

සමාජය විසින් ඔසප් වීමේදී පිටවන රුධිරය පිළිබඳ වැරැදි අර්ථකථන ලබාදීම තුළින් බොහෝ දෙනකු අනිසි බියක් ඇතිකර ගනී.  එබැවින් මෙම ලිපියෙහි අරමුණ වන්නේ කාන්තාවකගේ මාසිකව පිටවන ඔසප් රුධිරය පිරිසුදු රුධිරය බව වෛද්‍ය විද්‍යාවට අනුව ගෙන හැර දැක්වීමයි.

කාන්තාවක වැඩිවියට පත්වූ පසු ආර්තවහරණය සිදුවන තෙක් මාසිකව ඇයගේ ආර්තවය සිදුවීම සාමාන්‍ය දෙයකි. ආර්තවයේදී සිදුවන්නේ ගර්භාශයේ අභ්‍යන්තරයයෙන්ම පිහිටා ඇති පටකය එනම් එන්ඩොමෙටි්‍රයම නම් පටකය කාන්තා හෝර්මෝනවලට දක්වන ප්‍රතිචාරය මත වර්ධනය වීම සහ විනාශ වී යෑම සිදුවීමයි. ආර්තව චක්‍රයක් ආරම්භ වීමේදී ඊස්ට්‍රජන් නමැති හෝර්මෝනයට ගර්භාශයේ අභ්‍යන්තර පටක සංවේදී වන අතර එමඟින් එම පටකයේ ඝනකම වැඩිකරනු ලැබේ.

දින දාහතරක් ගෙවී ගිය පසු ඩිම්බ කෝෂයේ කාන්තා බීජාණුවක් පිටවන අතර එය සංසේචනය නොවුණහොත් නැවත දින දාහතරක් ගෙවී ගිය පසු කාන්තාවකගේ ශරීරයේ පවතින ඊස්ට්‍රජන් නමැති හෝර්මෝනය සහ ප්‍රොජෙස්ටරෝන් නමැති හෝර්මෝනය  විශාල ලෙස අඩුවීමකට ලක්වේ. එහිදී ගර්භාශ අභ්‍යන්තර බිත්තිය වන එන්ඩොමෙටි්‍රයම ලෙස හඳුන්වනු ලබන ස්තරය කැඩීමකට ලක්වෙයි. එමඟින් රුධිර වහනයක් සිදුවේ. එම රුධිර වහනය මාසික ආර්තවය ලෙස හඳුන්වයි.

මෙම රුධිරය සාමාන්‍ය රුධිරයම වන අතර මෙම රුධිරයට අමතරව ගර්භාශ අභ්‍යන්තර බිත්තියේ විනාශ වන පටක නැතිනම් එන්ඩොමෙටි්‍රයම ලෙස හඳුන්වනු ලැබූ පටකවල කොටස් අන්තර්ගත වේ. මෙම රුධිරය පිටවන ආකාරය අනුව, කාන්තාවක් තමාගේ රුධිරයේ පැහැය අනුව තමාට යම්කිසි රෝග ලක්ෂණයක් තිබේද යන්න අනියත බියක් ඇතිකර ගනු ලැබේ.

මෙහිදී බොහෝ විට රුධිරයේ වර්ණය දීප්තිමත් තද රතු පැහැයේ සිට තද රතු පැහැය, දුඹුරු පැහැය සහ කළු පැහැති (තාර) වැනි ස්වභාවයක් දක්වා විවිධ පරාසයන්හි පවතී. මෙම වර්ණයන් සියල්ලම නිරෝගී කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රයේදී දැකගත හැකිය. උදාහරණයක් ලෙස යම්කිසි කාන්තාවකගේ රුධිරය පිටවන්නේ සෙමින් නම්, යෝනි මාර්ගයෙන් පිටවීමට යම්කිසි කාලයක් ගත වේ නම්, එය යෝනි මාර්ගයේ යම්කිසි කාල සීමාවක් රැඳී තිබේ නම්, එම රුධිරය බොහෝ විට තද රතු පැහැති නැතිනම් දුඹුරු පැහැති ස්වරූපයෙන් පිටවීම දක්නට ලැබේ. මෙහිදී රුධිරය ඔක්සිකරණයට ලක්වීම මඟින් මෙම වර්ණය ඇතිවේ.

ඊට අමතරව යම්කිසි කාන්තාවකට ආර්තවය ආරම්භ වීමට පෙර හා ආර්තවය ආරම්භ වීමෙන් පසු තද දුඹුරු පැහැති නැතිනම් කළු පැහැයට හුරු ශ්‍රාවයක් පිටවීම දැකිය හැකිය. මුලින් සඳහන් කළ පරිදි මෙය බොහෝ විට සිදුවන්නේ නියමිත කාල සීමාවකට වඩා (ගර්භාශයේ හෝ යෝනි මාර්ගයේ යම්කිසි තැනක) රුධිරය රැඳී පැවැතීම නිසයි. එසේත් නොමැතිනම් ඉතාමත් සුළු වශයෙන් රුධිර වහනය සිදුවන කාන්තාවන්ගේ ප්‍රමාණවත් තරම් රුධිරයක් පිටවීමට නොමැති නිසා ඔසප් රුධිරය ශරීරයේ රැඳී පවතී. මෙයද යම්කිසි රෝගී තත්ත්වයක් යැයි හඳුන්වා දිය නොහැක. මෙය නිරෝගී කාන්තාවන් සතු ලක්ෂණයකි.

දීප්තිමත් තද රතු පැහැයෙන් යුතු රුධිරය යනු, සාමාන්‍යයෙන් රුධිර ප්‍රවාහයක් පිටවන කාන්තාවකගේ, රුධිරය රැඳීමකින් තොරව දිගටම (ගර්භාශයේ සිට යෝනි මාර්ගය දක්වා) රුධිරය පිටවේ නම් එම රුධිරයද ශරීරයේ සාමාන්‍ය රුධිරයට සමානවේ. මෙම රුධිරය පිටවීම මඟින් යම්කිසි රෝගී තත්ත්වයක් තිබේයැයි කිසි විටෙකත් සඳහන් කළ නොහැකිය.

මෙයට අමතරව රුධිරය පිටවීමේ ඇතැම් අවස්ථා යම්කිසි රෝගී තත්ත්වයන් ලෙස හඳුන්වා දිය හැකිය. මෙහිදී කුමන ආකාරයකින් රුධිරය පිටවූවත් කුමන වර්ණයකින් රුධිරය පිටවූවත්, එය පරීක්ෂණයකට ලක්කර නිගමනයකට එළැඹීම කාන්තාවකගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් නිරෝගීවේ.

උදාහරණයක් ලෙස

දඉතාමත් අධික වේදනාවකින්

  රුධිය පිට වේ නම්

දකාන්තාවක් දරා ගැනීමට

  නොහැකි වේදනාවකට

  ලක්වේ  නම්

දරුධිරය කැට ලෙස හෝ

  කැදලි ලෙස පිට වේ නම්

මෙයින් අදහස් වනු ලබන්නේ රුධිරය විශාල වශයෙන් පිටවන බවත් එම නිසා කැටි ගැසී පිටවන බවත්ය. එයට අමතරව ආර්තවයන් දෙකක් අතරතුර කාන්තාවකට රුධිරය පිට වේ නම් එයද ඉතාමත් සැලකිය යුතු කාරණයකි. එසේම ලිංගික එක්වීමකට පසු යම් කිසි කාන්තාවකට රුධිරය පිට වේ නම් මෙය Postcoital bleeding ලෙස හඳුන්වා දිය හැකි අතර එයද වෛද්‍ය උපදෙස් ලබාගත යුතු ගැටලුවකි.

වයස්ගත කාන්තාවක් ආර්තවහරණයෙන් පසු කිසියම් ආකාරයකට රුධිර පිටවීමක් සිදුවූවා නම් එයද වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුය. එය නිරෝගී සම්පන්නභාවයටද ඉමහත් රුකුලක් වේ.

ගර්භාශය ආශි්‍රත පවතින ආසාදන, ගැබ් ගෙල ආශි්‍රත පවතින ආසාදන, යෝනි මාර්ගය ආශි්‍රත පවතින ආසාදන යන කාරණා ත්‍රිත්වයම නිසා යම්කිසි කාන්තාවකට රුධිරය පිටවීමක් යෝනි මාර්ගය ආශි්‍රතව සිදුවිය හැකිය.  බොහෝ විට මෙය ආර්තවයට සම්බන්ධතාවක් නොදක්වයි.

මෙහිදී යෝනි මාර්ගයෙන් පිටවන්නේ යම්කිසි දුර්ගන්ධයකින් යුතු ශ්‍රාවයක් වන අතර මෙය රතු පැහැයෙන් යුතු ශ්‍රාවයකි. මෙය රුධිරයමද නැතිනම් වෙනත් ශ්‍රාවයක්දැයි රෝගියාට බොහෝ විට හඳුනාගත නොහැකිය. එයට අමතරව රෝස පැහැයට හුරු ශ්‍රාවයක් පිටවීමද ලිංගික ප්‍රදේශ ආශි්‍රත ඇතිවන ආසාදනයන්ගේ සුලභ ලක්ෂණයකි. මෙවැනි තත්ත්වයන් ඔබට තිබේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම බොහෝ  වැදගත්වේ.

ආර්තවයේදී කාන්තාවකට රුධිරය කැදලි ලෙස පිටවේ නම්, සාමාන්‍ය ප්‍රමාණයට වඩා රුධිරය පිටවේ නම් (උදාහරණයක් ලෙස දින තුනකින් දින පහකින් පමණ ඔසප් වීම නවතියි. නමුත් යම් කෙනකුට දින පහකට වඩා ආර්තවය පවතියි නම්) හෝ ආර්තවය සිදුවන කාන්තාවක් නීරක්තියෙන් පෙළෙයි නම් එය ඩිම්බකෝෂ ආශි්‍රත රෝගයක රෝග ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකිය. එය ඉතා පුළුල් ලෙස කතා කළ යුතු කාරණයකි. ඒ පිළිබඳ අප ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.

සචිනි බස්නායක