හෙම්බත් වෙලා ඉන්න මිනිසුන්ට අගමැතිගේ අඳෝනාවලින් වැඩක් නෑ

0
45

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය ගැන කියන කාරණා ඇහුවම ඇත්තටම අපේ ඇඟ හිරි වැටෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද අග්‍රාමාත්‍යවරයා කරන සමහර ප්‍රකාශ ඔහු අතිශෝක්තියෙන් ප්‍රකාශ කරන බව?

මේ අගමැතිතුමා අග්‍රාමාත්‍ය තනතුරට ගත්ත දවසේ ඉඳලා අපට පේනවා එතුමා මේ රටේ තිබෙන බරපතළ තත්ත්වය පිළිබඳ විග්‍රහ කිරීම පමණයි කරන්නේ. රාජපක්ෂලා මේ පවුලක් මේ රටට කරලා තිබෙන ආර්ථික විනාශය ගැන එතුමා පෙන්වා දෙනවා. එතුමා මේක භාරගත්තේ අර්බුදයෙන් ගොඩ එන්නනෙ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නෑ අමුතුවෙන් දුක කියන අගමැති කෙනෙක්. අවුරුදු දෙකක් තිස්සේ මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ විසඳුම් මිස අගමැතිගේ දුක් අඳෝනා නොවේ. රාජපක්ෂලාගේ දුක්ගන්නාරාල කෙනෙක් නෙමෙයි. එතුමගේ කතා ටික ඇහුවම අපිට පේන්නෙ රනිල් කියන්නෙ රාජපක්ෂලාගේ දුක්ගන්නාරාල බවයි.

 අගමැති  අර්බුදයේ ප්‍රකාශක වගේ. එවැනි අගමැති කෙනෙක් රටට අවශ්‍ය නැහැ කියන මතය දැන් ගොඩනැඟිලා තිබෙන්නේ. ඇයි මෙහෙම වෙන්නෙ?

 මෙහෙමයි එතුමා අගමැතිකම භාර ගත්තට රටේ අර්බුදය ගොඩගන්න නිසි සැලැස්මක්, නිසි ක්‍රමවේදයක් හෝ කිසිම පක්ෂයක් සමඟ සාකච්ඡා කිරීමක් නොකර තමයි අගමැතිකම භාර ගත්තේ. අපි දන්නේ නැහැ රාජපක්ෂලා සමඟ රනිල් වික්‍රමසිංහ මහතා දාගත්තු කොන්දේසි මොනවද කියලා. පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රිවරයෙක් හැටියට එතුමා අගමැති තනතුර ගත්තා. දැන් පේන්න තියෙන කාරණය ප්‍රශ්න ගැන කිය කිය ඉන්නවා මිසක මසකට ආසන්න කාලයක් තිස්සේ එතුමා කරපු දෙයක් නැහැ. අගමැති බවට පත්වෙලා මාසයකට පමණ කිට්ටුයි. නමුත් පෝලිම් වැඩිවෙලා. අර්බුදය දිනෙන් දින වැඩි වෙලා. ඒ හින්දා අගමැති දුක ජනතාවට කියනවා. ජනතාවට දුක කියන්නට කෙනෙක් නෑ.

 ඔබට මොකක්ද රනිල් වික්‍රමසිංහ පිළිබඳ ඇති තක්සේරුව, එතුමාට විදේශ සම්බන්ධතා තිබෙන බවට ඇති මතයේ ඵලක් තිබෙනවද?

  මෙහෙමයි, මම හිතන්නේ පිටරටවල්වල පවා  මේ රටේ ආණ්ඩුව ගැන තියෙන  මතය බිඳ වට්ටලා ඉවරයි. ජනාධිපතිතුමාට මේ රටේ ඉන්න හැමෝම කියනවා Gota Go Home කියලා. ඉහළ ව්‍යාපාරිකයාගේ  සිට පහළ ව්‍යාපාරිකයා දක්වා කියනවා මේ විනාශයට වගකිව යුත්තා පොහොට්ටුවේ ආණ්ඩුව කියලා. ඒ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ගේ සහයෝගයෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ අලුත් ආණ්ඩුව කියන එක හැදුවේ. නමුත් මේක අලුත් ආණ්ඩුවක් නෙමෙයි. පරණ පොහොට්ටුවේ ඇමැතිවරුන් එක්ක එකතු වෙලා හදපු ආණ්ඩුවක්. අගමැති විතරයි  අලුත්.

ඉතින් මේ ආණ්ඩුවට  ජාත්‍යන්තර සහාය ලැබෙයිද කියන ප්‍රශ්නය තිබෙනවා. මේ රටේ නීතිය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. මිනිස්සු තැන් තැන්වල මරලා දාන තත්ත්වයක් මතුවෙලා. ඊළඟට පොලිස්පතිතුමාගේ ප්‍රකාශ තුළ පැහැදිලි වෙනවා පොලිසිය කොයිතරම් දුරට දේශපාලනීකරණය වෙලාද කියලා. මේ ඔක්කොම බැලුවම අපිට නම් තියෙන ගැටලුව තමයි ජාත්‍යන්තරය මේ ආණ්ඩුවට උදවු කරයිද කියන එක. මේක ජනමතය නැති ආණ්ඩුවක්. පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන විකෘති භාවයකින් හදාගත්තු ආණ්ඩුවකට  ජාත්‍යන්තර සංවිධාන හෝ ආයතන ඇවිත් උදව් කරයි කියලා මට හිතන්න බෑ.

ඔබ කියන්නෙ ඔහුට ඔය කියන ජාත්‍යන්තර සම්බන්ධතා නෑ කියලද?

 රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයේ දීර්ඝ කාලීනව නියැළී ඉන්නවා. ඉතින් එතුමාට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා. ඒවා නැතුව නෙමේ. හැබැයි එතුමාට ජාත්‍යන්තර සම්බන්ධතා තිබූ පලියට ජාත්‍යන්තරයෙන් උදවු කරන්නෙ නෑ. යාළුකම්වලට ජාත්‍යන්තර සහාය ගන්න බෑ. එතුමා ආණ්ඩුවක් හදාගෙන ඉන්නෙ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු  රාජපක්ෂ කණ්ඩායම එක්ක. ඉතින් මේ රාජපක්ෂ කණ්ඩායම් එක්ක තමයි තවම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්නේ. රාජපක්ෂ කල්ලියත් එක්ක තමයි මෙහෙයවන්නේ. දූෂිත කල්ලියක්  එක්ක තමයි එතුමා ආණ්ඩු හදන්නේ. එහෙව් ආණ්ඩුවකට ලෝකයක් උදවු කරයිද? ජාත්‍යන්තර සංවිධානයක් උදවු කරයිද?

ඔබ කියන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඇතුළු ඒ කණ්ඩායම ඉවත් වුවහොත් ඔය කියන ජාත්‍යන්තර සබඳතා ලැබෙයිද?

 ඔව් අනිවාර්යෙන්ම. ගෝඨාභය මහත්තයා එක්ක මේ පාර්ලිමේන්තුව තුළ තිබෙන මේ රාජපක්ෂ කල්ලිය  පාලනයෙන් ඉවත් වුණොත් ජාත්‍යන්තර  සංවිධාන, රටවල් අපි වෙනුවෙන් පෙනී සිටියි. මේ තත්ත්වය උඩ කිසිම  රටක්   අපි වෙනුවෙන් පෙනී හිටින්නෙ නෑ. ඒක තමයි යථාර්ථය.

 ඇත්තටම මේ වගේ ලොකු අර්බුදයක් ආවේ කොතනින්ද?

 පහුගියදා මුදල් කාරක සභාව තිබුණා. ඒකේ මමත් සාමාජිකයෙක්. ඒකට ගෙන්නුවා  මහ බැංකුවේ හිටපු අධිපතිතුමා. ඊළඟට මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල,  පී.බී. ජයසුන්දර වගේම වර්තමාන මහ බැංකු අධිපතිතුමා ඇවිත් හිටියා. එහිදී අපි ප්‍රශ්න කරා මේ තත්ත්වයක් එන බව දැනගෙන ඇයි වැරදි තීන්දු ගත්තෙ කියලා. එතුමන්ලා  ඉතින් ළඟ හිටපු දේශපාලකයන් ලබාදුන් උපදෙස් සහ එතුමන්ලා හදපු සෞභාග්‍යය ප්‍රතිපත්ති කරුණු කාරණා ඉටු කරන්න ගියේ කියලා උත්තර දුන්නා. එතකොට මහ බැංකුවේ වර්තමාන අධිපතිතුමා කිව්වා එහෙම හරියන්නේ නෑ.

රජයේ නිලධාරීන් හැටියට අපිට වගකීමක් තියෙනවා  දේශ්පාලනඥයන් වැරදි තීන්දු  ගන්න කොට ඒකට විරුද්ධව පෙනී හිටින්න ඕනේ කියලා. අපිට පෙනුණා ඒ සාකච්ඡාවේදී මේ රටේ වැරදි ආර්ථික තීන්දු තීරණ උඩ තමයි මේ අර්බුදය ඇති වෙලා තිබෙන්නේ කියලා. මේක ස්වභාවික වූ දෙයක් නෙමෙයි කියලා පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ 2019 ගත් බදු ප්‍රතිපත්තිය සම්බන්ධ තීන්දු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ ප්‍රමාදය, ණය  ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු නොකිරීම වැනි කරුණු කාරණා එක්ක තමයි මේ ආර්ථික අර්බුදය ඇතිවී තිබෙන්නේ. පැහැදිලිවම ඒකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු පොහොට්ටුව වගකියන්න ඕනේ. ඒ කතාවේ වෙනසක් නෑ.

මේ අර්බුදය වසර දෙක හමාරකට ලඝු කිරීම සාධාරණ නැහැ නේද? මේක දීර්ඝකාලීන ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් නේද?

 දීර්ඝකාලීනව මේ රටේ වෙන ප්‍රශ්න තියෙනවා. ඊළඟට ආර්ථිකය ගත්තොත් 1977න් පස්සේ ලෝකෙ තිබෙන ආර්ථික තත්ත්වයන් වෙනස්  වෙද්දී අපේ ආර්ථික  තත්ත්වයත් වෙනස් වුණා. නමුත් මෙවැනි අර්බුදයකට තල්ලු වෙන්න බලපෑවේ  පහුගිය  අවුරුදු දෙකහමාරක වැරදි ආර්ථික  ප්‍රතිඵලය. මෙහෙම එකපාරම රට කඩන් වැටෙන්න අවුරුදු 74 බලපෑවේ නෑ.  බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව, නේපාලය ගත්තත් ඒගොල්ලොත්  කොවිඩ්  තත්ත්වෙ මත තමන්ගේ ආර්ථිකය ආරක්ෂා කරගන්න කටයුතු කළා.  ඇයි එහෙනම්  අපිට බැරිවුණේ? ආණ්ඩුව අර්බුදය  වහන්න  කොවිඩ්  තත්ත්වය දඩමීමා කරගෙන තිබෙනවා.

 නමුත් 2020 වෙනකොට අපිට ජාත්‍යන්තර ණය දෙන්න බැහැ කිව්වා. එතනින් නේද මේ  අර්බුදයේ පිපිරීම වුණේ?

 2020 ජාත්‍යන්තර ණය දෙන්න බෑ කියන කාරණය මතු වුණේ 2019 බදු සහන දුන්න හින්දා. ඊළඟට රාජ්‍ය ආදායම් අඩු කරගත්තා. ණය ප්‍රතිව්‍යුහකරණයට ගියේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රතික්ෂේප කළා. ඒක  ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුවක්. 2019  ආණ්ඩුව ආපු ගමන් බදු තීන්දුවලට යාම අපේ ආර්ථිකයට  විශාල වශයෙන් බලපෑවා.

නමුත් අපට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයන්න දිගින් දිගටම අපි අසමත් වෙලා තිබෙනවා. අපි ඩොලර් හිඟය පියවන්න හැමදාම කරලා තියෙන්නෙ ණය ගැනීම සහ විකිණීම. මේකට මේ සියලු දෙනා මැදිහත්කරුවන් කියන කාරණය බැහැර කරන්න බැහැ නේද?

 ඔබ දන්නවා 2019 ජනාධිපතිවරණයේ  ආණ්ඩුව ඇති වෙද්දි විදෙස් සංචිත ඩොලර් බිලියන 7.6ක් තිබ්බා. ඇයි ඒ සංචිත ඉස්සරහට ගෙනියන්න බැරිවුණේ.  මෙතුමන්ලා ගත්තු වැරදි ආර්ථික ප්‍රතිපත්ති හින්දා. රාජ්‍ය ආදායම අඩු කර ගැනීම තුළ, රාජ්‍ය ආදායම අඩු වීම තුළ එකපාර සංචිත අඩු වුණා. සංචිතය ආරක්ෂා කරගන්න බැරි වුණා. ඒ තුළ  ණය ගන්න බැරි වුණා. විශේෂයෙන්ම මේ තිබෙන්නෙ ඒගොල්ලන්ගෙ වැරදි නොදියුණු ආර්ථික ප්‍රතිපත්ති.

ණය ප්‍රතිව්‍යූහගත නොකිරීම, බදු සහන දීම වැනි කාරණා තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා ඕගොල්ලන්ට ණය දෙන්න බෑ, ඕගොල්ලන් ණය ශ්‍රේණිගත කිරීම්  ජාත්‍යන්තරව Ratings වලින් පහළ කියලා. ඒ තත්ත්වය තුළ තමයි මේ බලපෑම වුණේ. හොඳට මතක තියාගන්න ඕන ජපානයේ ණය තියෙනවා විශාල ප්‍රමාණයක් දියුණු රටක් වුණත්. ඇමෙරිකාවත් ණය අරන්  තියෙනවා. ලෝකේ හැම රටක්ම ණය අරගෙන යන්නෙ. නමුත් ණය අරගෙන කරන ව්‍යාපෘති හා ඒවාට වියදම් කරන්නේ කොහොමද කියන කාරණාව  ප්‍රධාන දෙයක්. මෙතුමන්ලා අවුරුදු දෙක තුළ ආර්ථිකයේ වැරදි තීන්දු ගැනීම නිසා සංචිත නැතිවෙලා මෙවැනි තත්ත්වයකට රට පත්වුණේ.

  මේ වැරදි තීන්දු ගන්න ප්‍රධානව බලපාපු පංගුකරුවන් කවුද?

 එවකට හිටපු ජනාධිපතිතුමා, ඔහු කැබිනට්ටුවේ ප්‍රධානියා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා හිටපු මුදල් ඇමැති. අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමැති හැටියට, ඊළඟට එතුමාම මහ බැංකුවේ අධිපතිතුමා හැටියට නැවත පත්වුණා. ඊළඟට බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැති විදිහට හිටියා. ඒ කණ්ඩායම ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම මේකට වගකියන්න ඕනෑ. ප්‍රධාන කොටස්කාරයා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. පුද්ගලයෝ නිසි තැන්වලට දාලා  හරියට මෙහෙයවන එක තමයි එතුමාගේ කාර්ය. ජනාධිපති නිසි පුද්ගලයෝ ඒ තැන්වලට දැම්මේ නැහැ. බැසිල් රාජපක්ෂට මුදල් ඇමැතිකම දරන්න මොකද්ද තියෙන සුදුසුකම? තමන්ගේ සහෝදරයා හින්දා ගෝඨාභය රාජපක්ෂ බැසිල්ව මුදල් ඇමැති කළා.

මේ තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියනවා මම අසාර්ථක නායකයෙක් හැටියට ධුරයෙන්  යන්නේ නැහැ කියලා?

 එතුමා ෆේල් වෙලා යන්නෙ නැහැ.  පාස් වෙලා යන්නේ කියනවා. එතුමාට තව අවුරුදු දෙකක් වගේ කාලයක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ අවුරුදු දෙකක කාලය තුළ එතුමා පාස් වෙලා රට ෆේල් වෙයි. ඒ කියන්නෙ  ඊළඟ අවුරුදු දෙකේත්   ජනාතාව ෆේල්. ජනතාව දැඩි අසහනකාරී පීඩාවකට මෙමඟින් තල්ලු වෙයි. මේ රට වෙනුවෙන් එතුමා කරන්න පුළුවන් හොඳම දේ ගෙදර  යන එකයි.

නොගියොත්?

 ජනතා විරෝධය මීට වැඩිය දරුණු වේවි. එදා මැයි 9 වැනි දා ආවේ Trailer එක. ෆිල්ම් එක තවම ආවේ නැහැ.

ඔබ කියන්නේ නැවත ප්‍රචණ්ඩත්වයක් ඇතිවෙයිද?

 ඔව්, මේ සමාජය ඉතාම අසහනකාරී දරිද්‍රතාවයෙන් පෙලෙන සමාජයක්. ඒක තමයි යථාර්ථය. අද මිනිස්සුත් එක්ක කතා කරන්න බෑ . ගහගන්නවා. මිනිස්සු පෝලිම්වල ඉන්නකොට පෙට්ට්‍රල් කෑන්වලින් ගහගන්නවා. භූමිතෙල් පෝලිමේ ගහගන්නවා.

9 වැනිදා සිද්ධියෙ ඒ කම්පනය තවම තියෙනවා. මේක සමනය කරන්න නේද දේශපාලනඥයෝ කතා කළ යුත්තේ. ජනතාව කුපිත වෙයි නේද මේ ප්‍රකාශ තුළින්?

කුපිත වීම නෙමෙයි. මේ කාරණාව මේ රටේ පාලනය කරන පාලකයෝ තේරුම් ගන්න ඕනේ. නමුත් පාලකයන්ට තවම තේරෙන්නේ නැහැනේ. පාර්ලිමේන්තුවේ මම මේ කොළඹ නගරයේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න කිහිපයක් මතු කරනවා. තවම ඒ ප්‍රශ්න ගැන සංවේදී නැහැ. ඉතින් මේ දේශපාලන නායකයන් මේවා ගැන සංවේදී වෙන්නේ නැත්තම් මිනිස්සු කුපිත වෙන එක ඉතාම සාධාරණයි.

තමන්ගේ ප්‍රශ්න ගැන මේ පාලකයෝ සංවේදී වෙන්නෙ නෑ කියලා  මිනිස්සුන්ට තේරෙනව නම් අපේ ප්‍රශ්න මුන් බලන්නේ නැහැ. විසඳුම් දෙන්නෙ නැහැ කියලා තේරෙනවා නම් එහෙම හිතෙද්දි මිනිස්සු ප්‍රචණ්ඩත්වයට යනවා. ඒක තමයි මැයි නව වැනිදා ඇති වුණේ. නැවත වතාවක් මිනිසුන්ට තේරෙනවනම් මේ ඉන්න අලුතින් පත් කරපු අය  නායකයෝ ටික තමන්ගේ ප්‍රශ්නවලට විස¾දුම් දෙන්නෙ නැහැ කියලා ඉතින් ආයෙත් ප්‍රචණ්ඩත්වය එන්න පුළුවන්.

ඔබට  කොළඹ ජනතාවගේ ප්‍රශ්න හොඳට තේරෙනවා. මේ ගෑස් ප්‍රශ්නය   විශේෂයෙන්ම කොළඹ ජනතාවට බලපෑමක් ඇති කරනවා. මොකක්ද ක්‍ෂණිකව ගත හැකි ක්‍රියාමාර්ග?

ක්‍ෂණිකවම මා මේගොල්ලන්ට යෝජනා කිහිපයක් කරා. පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ගෑස් ප්‍රශ්නය විසඳන්න අඩුම ගානේ නැව් පහළොවක් එකවර ලංකාවට එන්න ඕනේ. ලක්ෂ 40ක ගෑස් හිඟයක් තියෙනවා. ඉල්ලුම මාසෙට ලක්ෂ විස්සක්.  ගෑස් ටැංකියක් අරගෙන ජීවිත කාලෙම පාවිච්චි කරන්න බැහැ. ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන කාලෙ උපරිම  දවස් 45ක් වගේ. මේ ප්‍රශ්න විසඳන්න නැව් පහළොවක් එකවර ගේන්න බෑනේ. දැන් කරන්න තියෙන  දේ තමයි අඩුම තරමේ මේ භූමිතෙල් ටික හරි ජනතාවට බෙදන්න ඒකට ක්‍රමවේදයක් හදන්න.

ඒක කළොත් යම් ප්‍රමාණයකට ගෑස්වල තියෙන තදබදය හා මිනිසුන්ගේ අසහනකාරී තත්ත්වය අඩු කරගන්න පුළුවන් වෙයි. ගෑස් නැති වුණොත් විකල්පයක් විදිහට භූමිතෙල්වලට හරියන්න පුළුවන්. එතකොට විකල්පයක්වත් මේ ආණ්ඩුව දෙන්නේ නැත්නම් මොකක්ද කරන්නේ. මම දැන් තුන් හතර පාරක් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. අගමැතිතුමාටත් කිව්වා. මට පේන්නෙ නෑ මේ අය මේ ගැන  සංවේදී කියලා. ලොසින්ජර පොරොන්දුවක් දෙන්නෙ නෑ මේ ආණ්ඩුව දැන්. ඉස්සර  ලොසින්ජර කතා හරි තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට අගෝස්තු වෙනකොට ණය දෙයි කියලා කියනවා. ලැබෙයිද?

අගෝස්තු වෙනකොට කියන්න බැහැනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ණය දෙයි කියලා. අගමැතිවරයා මේ කියන විදිහට  ඊළඟ මාස තුන ඉතා බරපතළයි. ජනතාවට පටි තද කරගන්න කියනවා. තව මාස තුනක් කියන්නේ අගෝස්තු පහු වෙනවනේ. එතකොට ජාත්‍යන්තර අරමුදලෙ ණය ගන්න සැප්තැම්බර්වත් බැරි වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිශ්චිතව කියලා තියෙනවද අපිට උදවු කරනවා කියලා?

එහෙම නැහැ. මට දැනගන්න තියෙන කරුණු කාරණා අනුව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙන්නේ මේ ප්‍රශ්නයෙන් ඕගොල්ලන්ට ගොඩඒම සඳහා අපි සහයෝගය ලබා දෙන්නම් කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා චීනෙන් ගත්තු ණය ප්‍රතිව්‍යුහගත  කරන්න  කියලා. ඒ වගේ යම් යම් යෝජනා ලබාදීම තමයි අපිට පහුගිය දවස්වල කරලා තියෙන්නේ. නමුත් නිශ්චිත වශයෙන් අපි මේ ප්‍රමාණයක් ඕගොල්ලන්ට ණය දෙනවා කියලා IMF එක  කොහෙවත් කියනවා මම දැකලා නැහැ.

ඇයි අපේ රට එතකොට රුසියාවෙන් අඩු මිලට තෙල් නොගන්නෙ?

 මම දැක්කා ඇමතිතුමාම කියනවා රුසියාවත් කොන්දේසි දැම්මා අපිත් කොන්දේසි දාලා තියෙනවා කියලා. ඒ අනුව ඒ කොන්දේසි පිළිගන්නවා නම් අපිට තෙල් ගන්න පුළුවන් කියලා තමයි එතුමා කියන්නේ. දැන් අපිට ඉන්දියාව දෙන තෙල් ඉන්දියාව ගන්නෙ රුසියාවෙන්.   එහෙනම් එහෙම තියෙද්දි ඇයි අපිට රුසියාවෙන් සෘජුවම ඒ ගනුදෙනු කරන්න බැරි කියන ප්‍රශ්නය තියෙනවා.

ඔබ හිතනවද මුදල් ටි්‍රලියනයක්  අච්චු ගැසිය යුතුයි කියලා?

මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මුදල් අච්චු ගහන්න වෙනවා. ආණ්ඩුවට වෙන විකල්පයක් නැහැනේ. පඩි ගෙවන්න තියෙනවා. ජනතා සහන දෙන්න තියෙනවා. ඒ ඔක්කොම එක්ක මුදල් අච්චු ගැසීමෙන් තොරව කොහොමද මේවා කරගන්නෙ. පහුගිය කැබිනට් එකේ අපි දැක්කා බදු ඔක්කොම වැඩි කරනවා. ඒ බදු වැඩි කිරීම තුළ සියලුම පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල  වැඩි වෙනවා. ජීවන වියදම  වැඩි වෙනවා. මේ කරුණු කාරණා එක්ක මුදල් අච්චු ගැසීම තුළ තව තවත් උද්ධමනය වැඩි වෙනවා. වෙන විකල්පයකුත් නෑ ආණ්ඩුවට. අපිට දැන් ඩොලර් විතරක් නෙමෙයි රුපියලුත් නැහැ.

මේ තත්ත්වයත් එක්ක මහ මැතිවරණයකට යා යුතුයි කියලා විවිධ  පාර්ශ්ව යෝජනා  කරනවා?

පාර්ලිමේන්තුව ඇතුළේ ජනතාවට  ජනතාවාදී, ජනතාවගේ මතය ගත හැකි ආණ්ඩුවක් හදන්න බැරි නම් මැතිවරණයකට යන්න වෙනවා. මැතිවරණයකට යෑම තුළ ජනතාව නිවැරැදි තේරීමක් කරයි. ඒගොල්ලන්ට පුළුවන් කාවද බලයට ගෙන ආ යුත්තෙ කියලා. ඒ අවස්ථාව ජනතාවට දිය යුතුයි. එතකොට මේ ජනතාවගේ විරෝධය, අසහනේ, පීඩනය බොහෝ ප්‍රමාණයකට සමනය වෙලා යම්කිසි ආකාරයක අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.

ඔබ මීට කලින් කිව්වා මිලියන 600ක බදු සහනදීම ආර්ථිකයට කළ විශාල බලපෑමක් බව. ආණ්ඩුව  නැවත බදු පනවා තිබෙනවා. දැන් විරුද්ධ ඇයි?

එදා රටේ ආර්ථිකයේ එහෙම විශාල  අර්බුදයක් නැති මොහොතක තමයි බදු සහන දුන්නේ. නමුත් ඒ බදු සහන දුන්නෙ ජනතාවට නෙමෙයි. සහන ලැබුණේ කූට ව්‍යාපාරිකයන් කිහිපයකට. ජනතාව දැඩි දරිද්‍රතාවයකින් ඇති මොහොතක මෙවැනි බදු වැඩිකිරීම තත්ත්වය තවත් බරපතළ කරනවා. ආණ්ඩුවට විකල්පයක් නැති හින්දා බදු පනවනවා. නමුත් මෙවැනි තත්ත්වයක බදු පැනවීම තව තවත් ජනතා ආවේගය වැඩි කිරීමක්.

දැන් මේ තිබෙන තත්ත්වය තුළ ඔබත්, මමත්, රටේ ජනතාවත් දන්නේ නැහැ ඊළඟට වෙන්නේ මොකද්ද කියලා. ඒ තරමට පැය කිහිපයක් තුළ භාණ්ඩ මිල ඉහළ යනවා.  ඔබට දැනෙන්නේ මොකක්ද. ඊළඟට අපේ ජනතාව කොහේ නතර වෙයිද?

මට නම් පේන්නේ අපි ඉතාම අරාජිකත්වයට මේ ගමන් කරමින් සිටින්නේ. ජනතාවගේ ප්‍රතික්‍රියාවන් මීට වැඩිය දරුණු වෙන්න පුළුවන්. මිනිස්සු මිනිස්සු අතර ඒ ප්‍රතික්‍රියාවන් වැඩි වෙන්න පුළුවන්. අන්තිමට මිනිස්සු පාරේ කෑම පැකට් එකක් අරගෙන යද්දී උදුරාගෙන තත්ත්වෙට පත් වෙන්නේ. මොකද අපිට තේරෙන දේ තමයි විසඳුම් නෑ. එන්න විසඳුම් පමා වෙනවා. ඒ පමා වීම මත රටේ විශාල ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා. සමහර අයට මුදල් තියෙනවා භාණ්ඩ නෑ.

එක කණ්ඩායමක් ඉන්නවා ආර්ථික වශයෙන් ගැටලු නැහැ. ඔවුන්ට ඕනෑම මුදලකට භාණ්ඩ  මිලදී ගන්න පුළුවන්. නමුත් භාණ්ඩ නැහැ. අනිත් ප්‍රශ්නේ තමයි භාණ්ඩ ගන්න අනිත් මිනිස්සුන්ට සල්ලි නෑ. මේ වර්ග දෙකක් තියෙනවා. සල්ලි නැති මිනිස්සු තමයි විශාලම ආතතියකට අර්බුදයකට ගමන් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ මං හිතන්නේ ඉදිරි කාලයේ දැඩි පීඩනයක් එක්ක දැඩි විරෝධතාවන්වලට පත්වේවි.

ඡන්දෙකට ක්‍ෂණිකව යන්නත් බැරි නම් ජනාධිපති අයින් වෙන්නෙත් නැති නම් මොකද්ද විසඳුම. ඔබලාත් මේවා  කියනවා විතරයි?

ඒක තමයි මේ පාර්ලිමේන්තුවේ 225ම උදවිය තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තීරණ ගන්න එපැයි. මේකෙදි අපි හැම කෙනාම පිළිගන්නවා අද ජනතාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒක පොහොට්ටුවේ අයත් දන්නවා. නොදන්නවා වගේ ඉන්නවා. නමුත් ඒගොල්ලො තමන්ගේ දේශපාලන වාසි උඩ ඇමැතිකම්වලට ලොල්වීම මත එහෙමම ඉන්නවා. ඒ 225ම තමන්ගේ හෘද සාක්ෂියට අනුව රටේ යථාර්ථය අවබෝධ කරගෙන වැඩ කළොත් විසඳුම් හොයන්න පුළුවන්. නමුත් අපිට පේන්නේ නෑ එවැනි අවබෝධයක් යථාර්ථයත් තේරුම් ගත්ත කවුරුහරි ඉන්නවා කියලා. නමුත් කවුරු අගමැති වුණත් ඇමැති වෙන්න ඕන අයත් ඉන්නවා. ඔය ඇමැති මණ්ඩලයේ බහුතරයක් ඉන්නේ ඇමැතිකමක් නැතුව ඉන්න බැරි අයනෙ.

හරීන් – මනූෂ  දෙදෙනාත් එහෙමද?

මට තේරෙන්නෑ හරීන්, මනූෂ  ගිය එක ගැන. ඒගොල්ලො පහුගිය කාලේ දැඩිවම ආණ්ඩුව විවේචනය කරපු දෙන්නෙක්. එහෙම විවේචනය කරලා ඒගොල්ලෝ කියනවා තියෙන අර්බුදය හින්දා ඇමැතිකම් ගත්තෙ කියලා. අර්බුදය විසඳන්න ඇමැතිකම් ගන්නම ඕනැද? විස¾දුම් දෙන්න කියලා ඇයි ඇමැතිකම් අරගෙන ආයෙ මේ රටට බරක් වෙන්නෙ.

අපි අරගලය ගැන ටිකක් කතා කරමු. ඒ අරගලයට  දේශපාලන නායකත්වයක් දෙන්න තවම කවුරුත් නැහැ. අරගලය අයාලේ  යනවා නේද?

මෙහෙමයි මම නම් ඔය අරගලයෙ  සාධනීය ලක්ෂණත් දකිනවා. සාධනීය නොවන ලක්ෂණත් දකිනවා. මේ රටේ ජනතාවගේ පැත්තෙන් ශක්තිමත් සිවිල් සංවිධාන එකතු වෙලා හැම බහුජන ව්‍යාපාරයක්ම හැදෙන එක හොඳයි. ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි දැක්කා මැයි 9 වැනිදා සිද්ධියෙන් පසු අරගලයෙ යම් කඩා වැටීමක් තිබුණා. මිනිස්සු එතැනට යන එන එක ගැන යම් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. ඒකෙදී යම් වගකීමක් අරගල භූමිය භාරව ඉන්න අය භාරගන්න ඕනෙ. එතැන සමහර අයෙක් හුදු දේශපාලනය උදෙසා කටයුතු කරනවා. එතැන දේශපාලනයක් නෑ කිව්වට දේශපාලනය කරන අය ඉන්නවා. ඒකනෙ විපක්ෂ නායකතුමාට එන්න නොදී විරෝධය පෑවේ.

ඒ අරගලය තුළ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කරන්න ඔබත් යටින් හිටියා කියලා යම් චෝදනාවක් තිබුණා. එහි සත්‍යතාවක් තියෙනවද?

ඒගොල්ලලන් කුපිත කරවන්න, ප්‍රචණ්ඩත්වයට ගේන්න  වුවමනාවක් නෑ. ඒක සාමකාමී අරගල භූමියක්. පොහොට්ටුවේ අය ඇවිල්ල එතන ප්‍රහාරය එල්ල කළේ. ඒ ප්‍රහාරය තුළ රට පුරාම ප්‍රචණ්ඩත්වයක් ඇති වුණේ. මට එතැන ගිහිල්ලා ඒ ගොල්ලන් ප්‍රචණ්ඩත්වයට  ගේන්න දෙයක් නෑ. අරගලය පටන් ගත්ත දවසෙ ඉඳලා තිබූ ඒ අරගල සටන් පාඨ ගේන්න අපි තමයි කලින් ඉඳලා කටයුතු කළේ. අපි රාජපක්ෂලාට විරුද්ධව සටන් කළේ. රාජපක්ෂලා මේ රටට පිළිලයක් කිව්වේ අපි මුලින්ම 2005.  නමුත් සමහර අයට ඒක තේරුණේ පරක්කු වෙලා. සමහර කට්ටිය රාජපක්ෂලාව දිනවන්න වැඩ කරපු අය මේ අරගලයෙ වීරයෝ බවට පත් වෙලා ඉන්නවා. කෙසේ වෙතත් මම දකින්න එක දෙයක් අරගලයේ තියෙනවා.

ඒ මේ සමාජයට අවශ්‍ය  දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ලක්ෂණ රාශියක් එහි තිබීමයි. ඒ හින්දා මේ අරගලය අපි ජයග්‍රහණයකින් අවසන් කරන්න ඕනේ. ඒ අවසන් කිරීම තුළ තමයි මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ හා ජනතාව බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න පුළුවන්. අරගලය පරාජය වුණොත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා වෙනස බලාපොරොත්තු වෙන සියලු දෙනාට ඒකේ බලපෑමක් ඇතිවෙනවා.  කිසි විටෙකත් අරගලය පරාජය කරන්න ඉඩ නොතැබිය යුතුයි.

ඒ කියන්නෙ ඔබලා ඊට  නායකත්වය දෙනවද?

අපිට දේශපාලන නායකයෝ හැටියට එහෙම කියන්න බෑ. මොකද මේ අරගලය නිර්පාක්ෂිකයි.  එතැන යම් යම් අය අපේ උපකාර ඉල්ලු විට ඒවා කරලා තියෙනවා. දැනුත් උපකාර කරමින් පවතිනවා. අවශ්‍ය වෙලාවට අපිට කැඳවීමක් ලැබුණොත් අපි ඉතින් යන්න ලෑස්තියි.

වැඩියෙන්ම කතාබහට ලක්වී සිටි  හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගෙ ඇමැතිකමින් නික්ම යෑම ඔබ කොහොමද දකින්නෙ?

මන්  හිතෙන්නේ  බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ එක අඩියක් පස්සට අරන් ඉන්නවා පමණයි.

ඔබ හිතන්නෙ බයට කියලද?

මං හිතන්නේ සමහරවිට 21 වැනි ව්‍යවස්ථා  සංශෝධනය ගැන තිබෙන ප්‍රශ්නයත් එක්ක බැසිල් අඩියක් පස්සට ගන්න ඇති. මං හිතන්නේ නෑ ඒකෙන්  සම්පූර්ණයෙන් එතුමා දේශපාලනයෙන් නිෂ්ක්‍රිය වෙයි කියලා. තිරයේ පිටුපස ඉඳගෙන පිරිස මෙහෙයවයි. සමහරවිට එතැනට එන එක්කෙනා එයාගේ අනුදැනුම උඩ එන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ව්‍යපාරිකයෙක් එනවා කියනවා. ඔය කියන ව්‍යාපාරිකයා පහුගිය කාලෙම රාජපක්ෂලා එක්ක ගනුදෙනු කරපු එක්කෙනෙක්.

ඔබට හිතෙන විදිහට අපේ දේශපාලනඥයෝ පාඩමක් ඉගෙනගෙන නැද්ද මේ ජනතාවගෙන්?

මට පේනවා දේශපාලනඥයෝ බහුතරයක්  තවමත් ජනතාවගෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ. මේ සිද්ධීන් වෙන්න කලිනුත් දේශපාලනඥයො පාර්ලිමේන්තුව තුළ ඉන්නවා යම් පිරිසක් යථාර්ථය අවබෝධ කරගෙන. නමුත් මේ සිද්ධියෙන් පස්සේ යම් පිරිසක් යථාර්ථය  අවබෝධ කරගත්තා. බහුතරයක් ඒ අවබෝධය අරගෙන නැහැ කියලයි මට හිතෙන්නේ.

සංවාදය – අනුරාධා හේරත්