හෘදය සාක්ෂිය අවදි කොට දෙවිඳුන්ගේ හඬ අසමු

0
57

ඉහත සඳහන් වදන් ද්විත්වය කියවීමේදී අපට නිරායාසයෙන්ම වැටහෙන දෙයක් ඇත. එනම් දෙවියන් වහන්සේ අදෘශ්‍යමාන වන අතර උන්වහන්සේව සෙවීම අර්ථශූන්‍ය උත්සාහයක් වන බවයි. එහෙත් සත්‍ය වශයෙන්ම මනුෂ්‍යයාගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේව සෙවීමේ ගමනක නිරතවී සිටින බවයි. මෙය ඇතැම් පුද්ගලයන් ප්‍රතික්ෂේප කරන්නකි. එසේ වුව මෙලොව වෙසෙන සෑම අයෙක්ම ඔවුන්ගේ ඇතුළාන්ත ජීවිතය පෝෂණය කිරීමේ වෑයමක නිමග්න වී සිටියි.

මෙම ආකල්ප සමුදාය අපට වෙනත් දෘෂ්ටිකෝණයකින් විශ්ලේෂණය කිරීමට පුළුවන. එනම් මිනිසා ස්වකීය ජීවිත කාලය තුළ සතුට සෙවීමේ පරිශ්‍රමයක යෙදී සිටියි. ඒ සඳහා විවිධාකාර පියවර මෙන්ම උපක්‍රමද මිනිසා භාවිත කරයි. එහෙත් සත්‍ය වශයෙන්ම ඒ මඟින් මිනිසාට ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණි.

මිනිසාගේ අධ්‍යාත්මය සියලු අවස්ථාවලදී පිපාසයකින් පෙළෙන අතර ලොව කිසිදු පුද්ගලයෙක් තමන්ගේ අභ්‍යන්තර කැකෑරිල්ල යටපත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග තුළින් ගම්‍ය වන්නක් තිබේ. එනම් එය දිනෙන් දින සංකීර්ණ වන්නක් බවයි. මෙහිලා මනුෂ්‍යයා විසින් පරිපූර්ණ යථාර්ථයක් කරා යොමු වන්නට ඔහුගේ හෘද සාක්ෂිය නිරන්තරයෙන් තහවුරු කරන්නේ යහපත කරා යොමුවීමයි. හෘද සාක්ෂිය ලෙස අදහස් කරන්නේ අප විසින් යම් දෙයක් සම්බන්ධව නිගමනයකට එළැඹීමේදී කරන්න හෝ නොකරන්න යනුවෙන් සිතට නැඟෙන ආකල්පය ය. අප සියලු අවස්ථාවලදී එයට අවනත විය යුතුය.

මාලිමා යන්ත්‍රයක කටුව උතුරු දෙසට යොමුවී තිබෙන්නාක් සේ අපට ආවේණික හෘද සාක්ෂියද නිරතුරුවම යහපත සඳහා යොමුවී පවතී. හෘද සාක්ෂියෙහි හඬ ලෙස අදහස් කරන්නේ දෙවියන් වහන්සේ (God) අපට කතා කරන හඬයි. මෙම හෘද සාක්ෂියේ හඬට එරෙහිව අප කටයුතු කරන්නේ නම් අයහපත යහපත් බවට සාධාරණීකරණය කිරීමක් පසු කලකදී සිදුවනු නියතය. එබැවින් අප මේ සම්බන්ධව  සංවේදී විය යුතුය. ලොව වෙසෙන සෑම අයෙක්ම බලාපොරොත්තු වන, වචනින් ප්‍රකාශ කළ නොහැකි සහනයක් සන්තුෂ්ටියක් පවතී. එය සාක්ෂාත් කරගැනීම සඳහා මනුෂ්‍යයා විවිධ ක්‍රියාමාර්ග ගනු ලබයි.

මෙහිලා සෑම මිනිසකුම ධාවනයක නිරත වී ඇත. වරෙක ශුද්ධ වූ ඔගස්තීනු නමැති දාර්ශනිකයා ප්‍රකාශ කර තිබෙන්නේ මිනිසා දෙවිඳුන් තුළ සැතපෙන තෙක් ඔහුට ඇතුළාන්ත පිපාසයක් පවතින බවයි. මිනිසා විසින් අපට ලබා දෙන සතුට, සහනය තුළ තාවකාලික බවක් ඇත. එහෙත් අප දෙවියන් වහන්සේට නතු වීම තුළ උන්වහන්සේ තුළ දැහැන්ගත වීම තුළ අප ලබන ආනන්දය පරමානන්දය බවට පරිවර්තනය වේ.

යම් තැනැත්තෙක් තමන් හට ලැබී ඇති බුද්ධිය තුළින් දෙවිඳුන් සෙවීමට ගනු ලබන ක්‍රියාවලිය අපට විද්‍යාව (Science) ලෙස හැඳින්වීමට පුළුවන. ඇල්බට් අයින්ස්ටයින් නමැති ගණිතඥයා එක් අවස්ථාවක ප්‍රකාශ කර තිබෙන්නේ ‘විශ්වයේ බුද්ධියෙන් මා දන්නේ අංශු මාත්‍රයක් පමණි. ඒ ඉදිරිපිට මම නිහඬ වෙමි. ලෝ මැවුම්කාර බලවතාණන් හමුවේ මට කළ හැක්කේ තුෂ්ණිම්භූතව බලා සිටීම පමණි’ යනුවෙනි. මෙලොවෙහි  වෙසෙන යම් පුද්ගලයෙක් තම නිර්මාණ ශක්තිය තුළින් දෙවියන් වහන්සේ සෙවීමට ගන්නා ප්‍රයත්නය කලාව (Art) නිරූපණය කළ හැකිය. මහා කවි රබින්ද්‍රනාත් තාගෝර්තුමා, මෙරට විසූ මහගමසේකර කලාකරුවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙවිඳුන් සෙවීමට නිර්මාණ ශක්තිය යොදා ගත්හ.

එමෙන්ම යම් තැනැත්තෙක් තමන්ගේ ආත්මය තුළින් දෙවියන් වහන්සේ කරා ළඟාවීමට ගන්නා ක්‍රියාවලිය ආගම (Religion) ලෙස සඳහන් කිරීමට පුළුවන. මිනිසා සොයන පී්‍රතිය, මිල මුදල්, යාන වාහන, ඉඩකඩම්, විලාසිතා මඟින් අත්කරගත නොහැකිය. මන්ද ඒ සියල්ල තාවකාලික දේවල්ය. අපගේ ජීවිතයේ ස්වාමිත්වය (Lordship) ලබාදිය යුත්තේ දෙවියන් වහන්සේට පමණි. අප එලෙස නොකළහොත් අපගේ ස්වාමිත්වය හිමිවන්නේ තාවකාලික සැනසුමක් ලබා දෙන දෙයකටය. එමඟින් අප සත්‍ය වශයෙන්ම වල්මත් වේ. දෙවිඳුන් කෙරෙහි ස්ථිර ඇදහිල්ලකින් කටයුතු කර උන්වහන්සේ තුළ යැපෙන විට අප උසස් ලෙස සලකන, තාන්න, මාන්න, ලෞකික වස්තූන් නොවැදගත්, කසළ බඳු දේවල් ලෙස සැලකීමට පෙලැඹෙන බව ශුද්ධ වූ පාවුලු (St paul) තුමා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම අප කුමක් කළද ඒ සෑම දෙයක්ම දෙවිඳුන්ගේ මහිමය සඳහා කළ යුතුය. අප ඒ සඳහා මහත් වීර්යයකින් කටයුතු කළ යුතුය. ලොව සියලු දේකටම හේතුවක් පවතින අතර හේතුවක් නොමැති හේතුව (Caucless Cause) වන්නේ දෙවියන් වහන්සේය. ඒ බව ශුද්ධවර තෝමස් ඇක්වයිනාස් මුනිතුමා (St Thomas Aquinas) ප්‍රකාශ කර තිබේ. දෙවියන් වහන්සේගේ පැවැත්මට හේතුවක් තිබේ නම් එය අද්විතීය වූත්, දෙවිඳුන් අභිභවන වූත් හේතුවක් විය යුතුය. එබඳු හේතුවක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නොමැති බැව් අවධාරණය කළ යුතුය. දෙවියන් වහන්සේ නම් වූ ගැඹුරු පැවැත්ම ගණිතය තුළ පවතින එක (01) (One) යන්නට සමාන කළ හැකිය. එක යන්න නිර්මාණය කිරීම සඳහා කුමක් භාවිත කළද යළිත් එක යන ඉලක්කමම ලැබේ. මෙහිලා අපට එක (01) යන්න පැවැත්ම යන්නට ආදේශ කළ හැකිය.

දෙවියන් වහන්සේ අප සැමට උන්වහන්සේගේ දේව ජීවිතයේ කොටසක් ලබාදී ඇත. නිදර්ශනයක් වශයෙන් හෘද සාක්ෂිය, වින්දන ශක්තිය, ස්මරණ ශක්තිය, බුද්ධිය නිර්මාණාත්මක දක්ෂතා ඒ යටතේ සඳහන් කිරීමට පුළුවන. අව්‍යාජ, අද්විතීය දෙවියන් වහන්සේගේ ආදරය තුළ මැවීමක් පවතී. නව නිර්මාණයක් පවතී. ලෝකයේ බිහිවීමට, මනුෂ්‍යයාගේ බිහිවීමට පාදක වූයේ දේව ආදරයට ආවේණික වූ බෙදා ගැනීමේ ආදරයයි. “නොපෙනෙන දේවල් ගැන විශ්වාස කරන්නේ භාග්‍යවන්තයෝය” යනුවෙන් ශුද්ධ වූ ලියවිල්ල තුළ සඳහන් වේ. එහෙත් අප පෙනෙන දේ ගැන විශ්වාස කරන අතර නොපෙනෙන දේවල් විශ්වාස කරන්නේ නැත. යම් දෙයක් අපගේ පසිඳුරන්ට ගෝචර නොවූවද පැවැතීමට ඉඩ ඇත.

නිදසුනක් ලෙස සුළඟ අපට නොපෙනුනද එය පවතී. එමෙන්ම මෙහිදී අප අමතක නොකළ යුතු දෙයක් ඇත. එනම් පෙනෙන සෑම දෙයක්ම පවතින්නේද යන්නය. මිරිඟුව රාත්‍රි කාලයේ පොල්වත්තක ඇති උස පොල් ගස් අපට මිනිසුන් මෙන් පෙනුණද ඒවා මිනිසුන් නොවේ. යකඩයක් කුඩා කොටස්වලට කඩා ඒවාද තවත් කුඩා කොටස්වලට කඩා අවසානයේදී ඉතිරි වන්නේ පරමාණු ගොඩකි. අප එම පරමාණු ගොඩ යකඩයක් ලෙස හඳුන්වයි. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන්නේ ජීවිත පොතේ පිටු අතරෙනි. විවිධාකාර අත්දැකීම් මඟිනි සිදුවීම් තුළිනි.

එලෙසම අපගේ ජීවිතයේ යම් දෙයක් අප සිතන පතන පරිදි අපට නොලැබෙන්නේ උන්වහන්සේ අපට ප්‍රේම නොකරන නිසා, නොව අපට ඊටත් වඩා උචිත දෙයක් ලබා දෙන්නට උන්වහන්සේ අපේක්ෂා කරන හෙයිනි. අප සිතන පතන සියලු දේවල් එලෙසින්ම අපට ලැබෙන්නේ නම් මුළු ලොවම උම්මත්තකාගාරයක් වී හමාරය. එලෙස සිදු වූ විට ලෝක විනාශයක් සිදු වන්නේ මෙයට වසර ලක්ෂ ගණනකට පෙරය.

එබැවින් අපගේ ජීවිතයේ දෙවිඳුන්ගේ හඬ අවබෝධ කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතුය. ජීවිත සිදුවීම් ජයග්‍රහණ, පරාජයන්, බිඳ වැටීම්, ප්‍රශ්න යනාදිය තුළින් දෙවියන් වහන්සේ අපට කතා කරන සේක. අප ඒ පිළිබඳව නිබඳවම සංවේදී විය යුතුය. අප එලෙස කටයුතු කරන්නේ නම් ස්වර්ගික පරමානන්දයෙන් බිඳක් මෙලොව තුළ අපට අත්දකින්නට අවස්ථාව ලැබේ.

මලින්ත බෝපෙආරච්චි
දලුගම, කැලණිය