හීනවලට යන්න තියෙන හොඳම කාලය අපිට නැති වෙනවා

0
112

දැනෙනා තුරු මා, වෙරළු මල් ආදී ගීත තුළින් තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් නව පරපුරේ ගායකයෙක් වන දිනේශ් ගමගේ මෑතකදී නිකුත් වූ අලුත් සහ වෙනස් ගීතමය යූටියුබ් සීරිස් එක වන හතේ හත නිර්මාණයට සම්බන්ධ වූ හතේ හතෙන් එක් අයෙක්. එනිසාම ඔහුගේ අලුත් තොරතුරු විමසන්නට හදගැස්ම අපේ කතාබහට සමීප කරගන්නට අප සිතුවා.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල ජීවිතේ හොඳයි කියන්නත් බැහැ. රටේ තත්ත්වය හොඳ වුණා නම් අපේ ජීවිතත් හොඳ වෙන්න තිබුණා.

අලුත් නිර්මාණ කටයුතු මොනවාද?

තිසර ඉඹුලානගේ අධ්‍යක්ෂණයෙන් හත් දෙනෙක්ගේ ගීත හතක් “හතේ හත” කියලා නිර්මාණය කළා. එය වෙනස් විධියේ වැඩක්. එහි මගේ ගීතය නිකුත් වුණා. ඊට අමතරව එහි මම තනු දෙකක් නිර්මාණය කළා. ඒ වගේම ශෂිකා නිසංසලා මහත්මිය සමඟ යුග ගීතයක් කළා සහ සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය සමඟත් යුග ගීතයක් කළා. එම යුග ගීත දෙකම ඉදිරියේදී එළිදක්වන්න සූදානම්. ජූලි මාසයේ 27 වැනිදා මගේ උපන්දිනය වෙනුවෙන් ගීත ඇල්බමයක් නිකුත් කිරීමට සිතාගෙන සිටිනවා. මේ ගීත දෙකත් එයටම ඇතුළත් වෙයි. අමිත් ගුරු, කවිෂ්ක හඳගම, ගයාන් රැන්ඩි යන අය මේ වැඩේට සම්බන්ධ වෙලා සිටිනවා. මේවාට අමතරව මගේ වෙරළු මල් ගීතයේ දමිළ වර්ෂන් එකක් ඉන්දියානු රැපර් කෙනෙක් සමඟ කළා.

ඔබ මීට පෙරත් ගීතයක දමිළ වර්ෂන් එකක් කළා නේද? දමිළ ගීත කිරීමේ අරමුණ අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයට පිවිසීමද?

ඔව්. දැනෙනා තුරු මා ගීතයේ දමිළ වර්ෂන් එකක් කළා. රටේ තිබෙන තත්ත්වය සමඟ මේ වෙලාවේ එම ගීත එළිදක්වන එක සුදුසු නැහැ කියලා අපි සිතුවා. නමුත් අවසානයේ තීරණය කළා මේ වසරේ අවසානය වනවිට දමිළ ගීත ඇල්බමයක් නිකුත් කරනවා කියලා. මට කුඩා කාලයේ සිට සිහිනයක් තිබුණා මගේ ගීතයක් අන්තර්ජාතික මට්ටමට ගෙන යනවා කියලා. ඒ නිසා තමයි මම දමිළ ගීත නිර්මාණය කරන්න සිතුවේ. මේ ගීත නිර්මාණය සඳහා මම ඉන්දියානු නිර්මාණකරුවෙක් එකතු කර ගත්තා. කොහොම හරි දවසක මගේ ගීතයක් වෙන රටක අසන්න සලස්වනවා කියන එක තමයි මගේ එකම හීනය.

වෙරළු මල් ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මුලින් සමහර අය බැන්නා මේ ගීතයට. නමුත් පසුව මමත් නොසිතපු තරම් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මිනිසුන්ට අසන්න වගේම නටන්නත් ගීත නිර්මාණය විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අඩුම කාලයකින් වැඩිම නැරඹුම් වාර ගණනක් හිමිකරගත් මගේ ගීතය වෙරළු මල්. වේදිකාවේදී වුවත් ප්‍රේක්ෂකයෝ වැඩිපුරම ඉල්ලන්නේ මේ ගීතය.

ඔබ ඔය කියන ශෛලීන් දෙකේම ගීත එකම ගායකයෙක් හෝ ගායිකාවක් ගායනා කරන්නේ බොහොම අඩුවෙන්. ඒ ගැන කතා කරමු?

ඔව්. මට බොහෝ දෙනෙක් කියලා තිබෙනවා මේ ශෛලීන් දෙකේම ගීත ගායනා කරන එක හොඳ දෙයක් කියලා. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. එයට සරල ගීත, ක්ලැසිකල්, හිප් – පොප් ආදී සියල්ල අයත් වෙනවා. මම නුවරඑළියේ ඉඳලා කට්ට කාගෙන ආවේ එක ගීතයක් කරලා යන්න නෙවෙයි. මියුසික් කරන්න. එක තැනකට කොටු නොවී මේ වගේ විවිධ ශෛලීන්වල ගීත ගායනා කරන්න හැකියාව ලැබුණු එක ගැන මට ඇත්තටම සතුටුයි.

කට්ට කාගෙන ආපු ගමන ගැන කෙටියෙන් මතක් කරමු?

මට මුලින්ම ගීත ගායනා කරන්න පුළුවන් කියන එක මම දැනගත්තේ උසස් පෙළ කාලයේදී. මගේ පවුලේ කිසිම කෙනෙක් සංගීත හැකියාවන් තිබෙන අය නොවෙයි. ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය දිනා ගන්න තමයි මම ඒ කාලයේ ගීත ගැයුවේ. උසස් පෙළ අවසන් කළාට පසුව ඉදිරි අනාගතය සකස් කරගන්නේ කෙසේද කියන එක ගැන මට ලොකු අදහසක් තිබුණේ නැහැ. රට යන්නත් සිතුවා.

ඔය අතරේ ලහිරු පෙරේරා සහ මනුරංග විජේසේකර එක්තරා රූපවාහිනි වැඩසටහනකට පැමිණිලා පැවැසුවා ඔවුන්ගේ සංගීත පාඨමාලාවක් ආරම්භ කරනවා, එයට නවක සිසුන් බඳවා ගන්නවා කියලා. මම එයට අයැදුම් කළා. ඉන් පසුව මට අවස්ථාව ලැබුණා ලහිරු අයියා සමඟ වැඩ කරන්න. ඒ විධියට තමයි මම ක්ෂේත්‍රයට පිවිසුණේ. මනුරංග අයියා සහ ලහිරු අයියා කියන්නේ අදටත් මගේ ජීවිතයේ ළඟින්ම සිටින දෙදෙනෙක්. මේ තැනට එන්න මගේ හැකියාව වගේම මගේ ළඟින් සිටිය මිතුරන් තමයි විශාලම හේතුව වුණේ.

ඔබේ ගීත වැඩිපුරම රචනා කරන්නේ මනුරංග විජේසේකර. මොකක්ද එයට හේතුව?

මනුරංග විජේසේකර අයියාගෙ සහ මගේ සමාන ගති ලක්ෂණ තිබෙනවා. බොහෝ අය කැමැති කඳු නඟින්න විනෝද චාරිකා යන්න. නමුත් මම සහ මනුරංග අයියා කැමැතියි නිවෙසට වෙලා විවේකීව සිටින්න. එවැනි සමානතා බොහෝමයක් තිබෙනවා. මගේ සිතේ තිබෙන අදහස මනුරංග අයියට තේරෙනවා. ඔහුගේ සිතේ තිබෙන දේ මට තේරෙනවා. මේ ගැළපීම සංයෝගය නිර්මාණකරණයේදී බොහොම වටිනවා. අපේ නිර්මාණ සාර්ථක වෙන්න එය හේතුවක් වුණා කියලා මම සිතනවා.

ඔබව ගායකයෙක් ලෙස බොහෝ දෙනා හඳුනාගත්තත් තනු නිර්මාණ ශිල්පියෙක් ලෙස හඳුනන්නේ සීමිත පිරිසක්. ඒ ගැනත් කතා කරමු?

ඔව්. මම ගායකයෙක් වෙන්න පෙර සංගීත නිර්මාණ කටයුතු කළා. එය මම ආසාවෙන් කළ දෙයක්. තමරාසා ගීතයෙන් තමයි ගායකයෙක් වුණේ. එම ගීතයෙත් තනු නිර්මාණය මගේ. මම ආස දේ සංගීත නිර්මාණය කිරීමයි. නමුත් දැන් කාර්යබහුලත්වය නිසා ඒ සඳහා කාලය ලැබෙන්නේ අඩුවෙන්. නමුත් ලැබෙන සෑම විවේකයකදීම මම කරන්නේ සංගීත නිර්මාණය කරන එක.

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය කියන්නේ දවසින් දවස නව හඬවල් එක්වෙන තරමක් තරගකාරී එකක්. මේ ක්ෂේත්‍රය තුළ ඔබේ අනන්‍යතාව ගොඩනඟා ගන්නේ කොහොමද?

මම හැසිරෙන, අඳින පලඳින විධියක් තිබෙනවා. මම “මම” විධියටම සිටින එක තමයි මගේ අනන්‍යතාව. දිනේෂ් කියලා එක්කෙනෙක් පමණයි සිටින්නේ. මම එලෙස සිටින තාක් ක්ෂේත්‍රය තුළ සිටින කිසිම කෙනෙක් මට අභියෝගයක් නොවෙයි. මම වෙන කෙනෙක් වීමට උත්සාහ කළොත් එදාට මට ක්ෂේත්‍රයේ සිටින අය අභියෝගයක් වෙයි.

මේ දවස්වල රටේ තිබෙන ගැටලුත් සමඟ බැලූවිට ප්‍රසංගවල තත්ත්වය කොහොමද?

පසුගිය කාලයේ ප්‍රසංග විස්සක් පමණ කල් දැමුවා. නමුත් පවත්වපු ප්‍රසංගවලට අපි බලාපොරොත්තු වූවාට වඩා පිරිසක් ප්‍රසංග නරඹන්න පැමිණියා. ප්‍රවේශපත්‍ර සියල්ල විකිණී අවසන් වුණා. ප්‍රශ්න අස්සේ හිර වෙලා සිටින මිනිසුන් පීඩනය නිදහස් කරගන්න සංගීත ප්‍රසංග නරඹන්න පැමිණෙනවා කියලායි මට සිතෙන්නේ.

පෙර තිබූ තරම් ප්‍රසංග පැවත්වෙන්නේ නැහැ. මේක අපේ රැකියාව. අපි ජීවත්වෙන්නේ මේ කර්මාන්තය තුළින්. අපේ ජීවිතයේ හීනවලට යන්න තිබෙන හොඳම කාලය තමයි මේ නැති වෙන්නේ. රටේ තිබෙන තත්ත්වය ඉක්මනින් හොඳ අතට හැරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

දිනේෂ් ආදරය විඳින කෙනෙක්ද?

මම ආදරය කරන්න. ආදරය විඳින්න පුදුම විධියට ආස කෙනෙක්. මම කැමැතියි ඉක්මනින් විවාහ වෙන්න. මොකද මම පවුලකට කැමැතියි. පෙම්වතෙක්ද නැද්ද කියන එක ඉදිරියේදී කියන්නම්.

ශනුද්‍රි හා ඔබ අතර පෙම් සබඳතාවක් තිබෙනවා යැයි කියන කතාව ඇත්තද?

කාලයත් සමඟ ජීවිතේ හොඳම දේවල් හොඳම විධියට සිදු වෙයි කියලා මම විශ්වාස කරනවා. එම නිසා මේ ගැන දැනට කිසිවක් කියන්න මම කැමැති නැහැ.

කුශාන්ති අනුරාධා බණ්ඩාර