සර්පයන් මෙන් නැණවත්ව  පරෙවියන් සේ අහිංසකව සිටින්න

0
54

අපේ පරිසරයේ කාලගුණ විපර්යාසයන් සිදුවීමට පෙර සතුන්ගේ හැසිරීම්  හා ඉරියව්වල යම් අනාවැකි කීමට පැරැන්නෝ සමත් වූයේ දුරාතීතයේ ලද තම අත්දැකීම් මඟිනි. උදාහරණ ලෙස වැහිලිහිණින් ඈත අහසේ පියාසලන විට එය වර්ෂාවක පෙර නිමිත්තකි. කුහුඹුවන්

ගුල්වලින් මතුවන විට හා රාත්‍රි කාලයේ බකමූණන් හඬනඟන විටද වර්ෂාවක ලකුණු ලෙස පැරැන්නෝ හැඳින්වූහ.

සන්ධ්‍යා කාලයේ ආලෝකය උද්්දීපනය වන ස්ථානවලට මෙරු රංචු ඇදෙන විට කුඩා මසුන්ගේ වාරයක් උදා වෙන බව ඔවුහු දැන සිටියහ.

ශුද්ධ වූ බයිබලයේද ක්‍රිස්තුස් වහන්සේ සිවුපාවුන්, පක්‍ෂීන් සහ උරගයන් නිදසුන් ලෙස ගනිමින් ඇතැම් කරුණු වටහා දී ඇත.

ක්‍රිස්තුස් වහන්සේ සිය ශ්‍රාවකයන් හෙවත් අනුගාමිකයන් ධර්මදූත සේවය සඳහා සූදානම් කළ අන්දම හා පිටත් කළ අන්දම ශුද්ධ වූ ලූක් තුමාගේ සුවිශේෂයේ 9 වැනි පරිච්ඡේදයේ ආරම්භයේ හෙවත් 3 වැනි ඡේදයේ මෙසේ දැක්වේ.

“චාරිකාව සඳහා කිසිවක් නොගන්න;

සැරයටියක්වත්, මල්ලක්වත්, රොටිවත්, මිල මුදල්වත් කමිස දෙකක්වත් නොගන්න. ඔබ යම්කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත්ව යනතුරු එහිම නැවතී සිටින්න,”

මේ දැක්වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයන් (ශ්‍රාවකයන්) ධර්මදූත සේවය සඳහා පිටත්වීමට පෙර දන්වන පූර්ව සූදානමයි. ධර්මදූත සේවයේදී ඔවුන්ට පැවරෙන වගකීම වන්නේ රෝගීන් සුවපත් වනු පිණිස සෙත් ආසිරි පැතීම, දේව වචනය, දහම පහදා දීම, අමනුෂ්‍ය බන්ධන හෙවත් මිනිස් මනසකින් ක්‍රියා නොකොට අමනුෂ්‍ය ගති පැවතුම් ඇතිව ක්‍රියා කරන පුද්ගලයන් දමනය කිරීම ආදියයි. එය ශුද්ධවූ මතෙව්තුමාගේ සුවිශේෂයේ 10 වැනි පරිච්ඡේදයේ 7-8 ඡේදවල මැනැවින් දැක්වේ.

ක්‍රිස්තුස් වහන්සේ තම අනුගාමිකයන් වෙනත් ප්‍රදේශවලට යවන අන්දම හෙවත් ස්වභාවය අපූරුය. මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම වචනය.

“සවන් දෙන්න, මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත්ව පරෙවියන් මෙන් අහිංසකව සිටින්න. ඒ නිසා මිනිසුන්ගෙන් ප්‍රවේසම් වන්න.” (ශුද්ධ වූ මතෙව්තුමාගේ සුවිශේෂයේ 10 වැනි පරිච්ඡේදයේ 16-17 ඡේද)

වෘකයන් මැදට බැටළුවන් යැවීමේ එම උදාහරණය මඳක් ලිහිල් කර මෙසේ වටහා ගනිමු. එනම් වෘක රැළක ග්‍රහණයට බැටළුවෙක් මැදිවුවහොත් බැටළුවාගේ ඉරණම කෙබඳු වේදැයි සිතා ගැනීමට අපට අපහසු  නොවේ. එහෙත් යොදා ගත් සැලසුම අනුව වෘකයන් මැදට බැටළුවන් යා යුතුය. හෙවත් මිනිසුන් (ජනතාව) අතරට ක්‍රිස්තු අනුගාමිකයන් යා යුතුය.

වෘකයා සහ බැටළුවා අතර ඇති සමානකම් හා වෙනස්කම් කෙරේ සිතා බලමු.

වෘකයා සහ බැටළුවා සිවුපාවුන්ය. මුල් අවධියේ මේ සිවුපාවුන් හැදෙන්නේ කිරි උරා බීමෙනි. පසුව උන් වැඩෙන්නේ දෙයාකාරයකටය. එනම්, වෘකයා මාංස භක්‍ෂකය. බැටළුවා ශාක භක්‍ෂකය. වෘකයා හා බැටළුවා  රංචු වශයෙන් ජීවත් වීමට කැමැත්තක් දක්වති. වෘකයාට යම් ගොදුරක් ලද විට රැළේ අනෙක් සතුන් හා පොරකමින් උනුන් මරා ගනිමින් ගොදුර භක්‍ෂණය  කරයි. හෙවත් ගොදුර ආහාරයට ගනියි. එහෙත් බැටළුවා පැළෑටි වර්ග ආහාරයට ගනිමින් කුඩා හෝ සිය දහස් ගණනින් රංචු වශයෙන් සමඟියෙන් ජීවත් වේ.

වෘකයා දඩයම්කරුවනට හීලෑ කරගත හැකි සතෙක් වුවද ගෘහස්ථ සුරතල් සතෙක් නොවේ. බැටළුවාද ගෘහස්ථ සතකු නොවූවද කුඩා කල පටන්ම අහිංසක හීලෑ සතෙකි. වෘකයකුගෙන් මිනිසුන්ට හානිකර විය හැකි වුවද බැටළුවන්ගෙන් කිසිදා එසේ නොවේ.

සත්ත්ව චර්යා යටතේ වෘකයා හා බැටළුවාගේ චර්යාවන් එසේ අධ්‍යයනය කිරීමේදී මානව ගති පැවැතුම් කෙරේද ඒ තුළින් විමසා බලමු.

අද සමාජයට අවැසි වන්නේ දැමුණු සිත් ඇත්තෝය.

සිත දමනය කරගැනීමට කැමැත්තක් ඇති කරගැනීමෙන් සිත දමනය කර ගැනීමට පුරුදු පුහුණු වීමෙන් බොහෝ ගැටලු සංයමයෙන් විසඳා ගත හැකිය.

“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැතිද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න.” ක්‍රිස්තුස් වහන්සේ එසේ දේශනා කළ බව සඳහන් වන්නේ ශුද්ධ වූ මතෙව්තුමාගේ සුවිශේෂයේ 07 වැනි පරිච්ඡේදයේ 12 වැනි වගන්තියේය.

අපට උදවු අවැසි මොහොතක අපට ඔවදනක් අනුශාසනාවක් අවැසි වේලාවක ඒ වෙනුවෙන් කෙනෙක් කැප වන්නේ නම් වැය වන්නේ අප ඊට කෘතඥ වෙමින් ඔවුන්ටද යහපත කළ යුතුය. අපට කළ උදව්වට වඩා ඒ මෙහොතට අවැසි උපකාරයක් කිරීමට පමා නොවිය යුතුය.

මිනිස්කමට පටහැනිව කෙරෙන දේ නම් පළි ගැනීමයි. වෛරය, කේ‍රා්ධය සිතේ තබා ගැනීමයි.

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපට ආසෙන “එකට එක කිරීමේ මුල් පියවර වන්නේ පළිගැනීමේ චේතනාවට ප්‍රවිෂ්ට වීමයි. ඒ නපුරු සිතුවිල්ල රෝපණය වීමේ ප්‍රතිඵලය අවසානයේදී අපට පෙන්වා දෙන්නේ මිනිස් ජීවිත පවා අහිමි කරවන අසුබවාදී දේය. ඒවා පැහැදිලිවම වෘක චර්යාවන්ය. ඒ චර්යාවන් එක් වරම සිදුවන දේ නොවේ. වෘකයන් නම් පළමු කොට කුරුමානම් ඇල්ලීම, ගෙරවීම, මුහුණේ කෘෘර බව පෙන්වා සැර පරුෂ වීම, සිවුපාද ශක්තිමත් කරගැනීම, කඩා පැනීම, සතුරා නියෙන් ගොදුරු කරගැනීම, හෝ සපා කෑම කරනු ලබයි.

මිනිස් ගතිවලදී පෙනෙන්නේ අපිරිසුදු දුෂ්ට වචන, කතා කිරීම, උස් හඩින් බැන වැදීම, තර්ජනය කිරීම, ආයුධයකින් හෝ මුගුරකින් විරුද්ධවාදියාට පහර එල්ල කර ආවේගය පිට කිරීමයි. එවන් සිත් දමනය කර ගැනීමට අපොහොසත් වීමෙන් අවසානයේ ජීවිතාන්තය දක්වා පසුතැවිලි සිතින් දිවි ගත කළ යුතු වේ.

“සාමය ඇති කරන්නේ භාග්‍යවන්තයෝය. ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නෝය.” (ශුද්ධ වූ මතෙව් 5.9) කියා ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරන්නේ සාමය තළින් සහජීවනය ඇති කළ හැකි හෙයිනි.

අප බැටළුවන් ලෙස මොහොතක් සිතීමේදී බැටළුවා එ‍ෙඩ්රාට හෙවත් ගොපල්ලාට කීකරුය. ගොපල්ලාගේ හඬට ප්‍රතිචාර දක්වයි. අප තුළද කීකරුකම සහ සවන් දීම වර්ධනය කර ගත යුතුය

කීකරුකමින් බොහෝ දේ දිනාගත හැකිය. කීකරුකම යනු කෙනකුට යටත්වීම නොව යම් මතයකට අදහසකට අවනත වීමයි. සවන්දීමෙන් අපේ ජීවිත දෙස ආපසු හැරී බැලීමට අවස්ථාවක් උදාවනු ඇත.

“ඔවා දෙනු පරහට – තමා සම්මතයෙහි පිහිටා සිට” යන කියමන අප කාටත් ඉතා යෝග්‍ය වන්නේ තමන් දෙස ආපසු හැරී බලා තමන්ගේ ජීවිතය කොතරම් ආදර්ශවත් දැයි සොයා සෑහීමකට පත් වූ පසුව අපට තව කෙනකුට අවවාද අනුශාසනා කළ හැකිය යනුයි. එසේ තමන් පිළිබඳව සෑහීමකට පත් නොවුණ හොත් මතුවන්නේ බැටළු ගති ගුණාංග නොව කුරිරු වෘකයකුට සමාන වීමය. තමාට තමා පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වීමය.

ක්‍රිස්තුස් වහන්සේ තම ශ්‍රාවකයන් හෙවත් අනුගාමිකයන් ධර්මදූත සේවය පිණිස පිටත් කර යැවීමට පෙර සූදානම් කරන්නේ එසේය. එය නැවත වරක් ආවර්ජනය කළහොත් ප්‍රකාශ වන්නේ “සවන් දෙන්න, මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. (ශුද්ධ වූ මතෙව්) (10,16)

මීළඟට අප විමසා බලන්නේ ජනතාව ඉදිරියේ එම අනුගාමිකයන් සිටිය යුතු අන්දමයි. හෙවත් ජනතාව ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකයන් හෙවත් අනුගාමිකයන් පෙනී සිටිය යුතු අන්දමයි. එය සඳහන් වන්නේ මෙසේය. එහෙයින් සර්පයන් මෙන් නැණවත්ව පරෙවියන් මෙන් අහිංසකව සිටින්න” ශුද්ධ වූ මතෙව් (10,10)

සර්පයන් නැණවත්ද? ඒ පළමු ප්‍රශ්නයයි. ඉන් පැන නඟින දෙවැනි ප්‍රශ්නය නම් සර්පයන් නැණවත් වන්නේ කෙසේද යන්නයි.

සර්පයන් යනු උරග විශේෂයකි. සිරුර ඕනෑම හැඩයකට නම්‍යශීලී කරගත හැකිය. ඇසට පෙනෙන සීමාවට වඩා කනට ඇසෙන සියුම් හඬ වැඩිය. ඇතැම් අයට ඇති වැරදි අවබෝධය නම් සර්පයන් එක් වරම දෂ්ට කරන බවයි. එය එසේ නොවේ. සර්පයාගේ විෂ දළය ඇත්තේ දිව යට යටි තල්ලේ කුඩා සිදුරක් තුළය. උදාහරණයක් ලෙස ගත හොත් කැන්ගරු පැටියා ළදරු වියේදී වෙසෙන්නේ කැන්ගරු මවගේ කුසට මතුපිටින් ඇති “මඩිස්සලයක්” වැනි කොටසකය.

සර්පයාද අනතුරක් ඇති විටෙක ඉතා සියුම් ලෙස අවට සංවේදීව සුපරික්‍ෂාකර තමාට හානිකර තත්ත්වයක් ඇත්නම් පමණක් දෂ්ට කර එම ස්ථානයෙන් බැහැර වෙයි. එසේ බාහිර බලපෑමක් නොවේ නම් නම්‍යශීලී සිරුරෙන් එම ප්‍රදේශයෙන් මඟහැර යයි.

සර්ප චර්යාවෙන් ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයනට පවසන්නේ ප්‍රඥාගෝචරව හා ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. අවවාද අනුශාසනා නොපිළිපදින තැන තරවටු කිරීම සෑහෙන බව අපට හැඟෙන්නේ සර්පයන් දෂ්ට කිරීමට කල් බැලීමේ ස්වභාවය මඟිනි.

ආත්මාරක්‍ෂක ක්‍රමවලදී  මෙන්ම හමුදා පුහුණු පාඨමාලාවලදී ඉවසීම සංයමය හා ස්ථානෝචිත ප්‍රඥාව පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. එය බාල දක්‍ෂ දරුවන්ට ලබා දෙන පුහුණුවේදී දැකිය හැකිය.

ඉවසීම, සංයමය, අන් මත නොරිස්සීම හේතුවෙන් ගැටුම් ඇතිවීමට මුල පිරෙයි. කෝපය ඇති වූ අවස්ථාවක කෝපය පිට කිරීමට පෙර අංක එකේ සිට දහය දක්වා ගණන් කරන ලෙස මනෝ උපදේශකවරු ප්‍රකාශ කරති. ඉන් හදිසි කෝපය මඟහරවා ගැනීමට අවස්ථාවක් ඇතැයි යන්න ඔවුන්ගේ උපදේශයයි. ක්‍රිස්තුස් වහන්සේද සර්පයන් මෙන් නැණවත්ව සිටින ලෙස ශ්‍රාවකයන්ට හෙවත් මුල් අනුගාමිකයනට දෙන අවවාදයේ හරය එයයි.

සර්පයන් ඉතා සියුම් ලෙස හඬට සංවේදී බව ඉහතින් කියවූවෙමු. සර්පයන්ගේ කන් නිරාවරණය වන්නේ පිටුපසටය. ඇසට සමීපව පිටුපසට ශ්‍රවණය වේ.

පොළවේ වියළි කොළ රොඩු මත හෝ වැලිකැට පස් මත හෝ ගසේ අතු පත්‍ර මත යම් ශබ්දයක් මතුවන විට සර්පයා ඊට අවධානයෙන් සවන් යොමු කරයි. එය තමන්ට බාධාවක් වන්නේදැයි සැකහැර දැනගනියි.

අපටද මින් ඉගෙන ගත හැක්කේ යමක් අසන්නට ලැබුණ විට එය එක් වරම විශ්වාස නොකර එහි සත්‍යයක් ඇත්ද යන්න විමසා බැලීමයි. “කනට ඇසෙන සැමදේ නොසිතන් හරි යැයි සබඳේ” කියා අපේ පැරණි කියමනක් ඇත.

ඕපාදූප කේලාම් හිස් වචන පරුෂ වචන අපේ සවනට ඇසීමෙන් සිත දූෂණය වනවා පමණක් නොව, එය අපේ ජීවිතයද නොමඟ යවන වැරදි අවබෝධයක් විය හැකිය. අපට අසන්නට ලැබෙන දේ නිරවද්‍යතාව සැකහැර දැනගැනීමෙන් හදිසි නොවීමේ වාසියද ඇත්තේ අපටමය.

“පරෙවියන් මෙන් අහිංසකව සිටින ලෙස ක්‍රිස්තුස් වහන්සේ අනුගාමිකයනට වදාරන්නේ පරෙවියාගේ චර්යාවට අනුවය.

සාමයේ සලකුණ පරෙවියා ලෙසින් දක්වන්නේ පරෙවියන් කොතරම් රංචු ලෙස ජීවත් වුවත් ඔවුන් එකිනෙකා අතරේ ඇති බැඳීම සමාදානය ඕනෑම තැනෙක විසීමේ ඇති හැකියාව අනුව කුරිරු බවක් ඇති කර නොගැනීමයි.

පරෙවියා හඬ නඟා ශබ්දය පිට කරන පක්‍ෂියකු නොවේ. පරෙවියාට ඉතා කුඩා ඉඩකඩක ජීවත් විය හැකිය. ඉතා සුළු ආහාර ප්‍රමාණයකින් තෘප්තිමත් විය හැකිය. ක්‍රිස්තුස් වහන්සේගේ වදන් ප්‍රකාර සිය අනුගාමිකයන් ඉහත ලක්‍ෂණවලින් පෝෂිත වීමේ වැදගත්කම පෙන්වා දුන් සේක.

 ප්‍රධාන කොටම ජනතාවට සමීප විය හැකි පුද්ගලයකු වන්නටත් ජනතාව අතරේ සමාදානයෙන් ජීවත් විය හැකි පුද්ගලයකු ලෙසත් සේවය කිරීමට අධිෂ්ඨාන කරගත යුතුය යන අරුත ඉන් පැහැදිලි වේ.

අද සමාජයේ ඇතැම් පුද්ගලයන් බාහිර පෙනුමෙන් හැඩිදැඩි ඉතා රළු ස්වභාවයෙන් යුතු බව වරක් දෙවරක් දැකීමෙන් හැඟී ගියද ඇතැම් විට ඔවුන් සිතින් හදවතින් ඉතා අහිංසක පුද්ගලයෝය. කෙනකුට උදවු උපකාර කිරීමට මැළි නොවන පුද්ගලයෝය. එවිට ඔවුන්ගේ පරෙවි ස්වභාවය ඇත්තේ මතුපිට නොව හෘද අභ්‍යන්තරයේය. ඒ ස්වභාවය හඳුනාගැනීමට නම් අප ඔවුන් පිළිගත යුතුය, ඇසුරු කළ යුතුය.

ක්‍රිස්තු අනුගාමිකයන් “වෘකයන් මැදට බැටළුවන්” යවන අන්දමේදී මෙන්ම “සර්පයන් මෙන් නැණවත්ව හා පරෙවියන් මෙන් අහිංසකව සිටීමේ” බුද්ධිමත් බවින්ද අපට ඉගෙන ගැනීමට ඇත්තේ අපට සමාජයේ ඇති තැන හඳුනාගෙන ජීවත් වීමට කරන ආරාධනයයි. මනුෂ්‍යත්වයට ගුණාත්මක වටිනාකමක් පෙන්වන මාර්ගයයි.

මංගල ජයවර්ධන

ගිංතොට

ජාතික කතෝලික සංවිධානය