වීනස්ගේ උපත ළඟදීම සිදුවෙනවා

0
96

මතකද ඉස්සර ටෙලිවිෂනයේ ගිය, අපේ අතීත ලෝකය ආලෝකවත් කරපු වෛවර්ණ ටෙලිනාට්‍යය. සංගීතයත් සමඟ මුසුවුණු ඒ කාලෙදී අපිට සිතාගන්නවත් බැරි වර්ණ රසායනයක් වගේම සත්සරයෙන් පිරුණු ස්වර පුවරුවක ඇතිරුණු අමුතුම කාව්‍යාත්මක බවකුත් ඒ නිර්මාණයේ තිබුණා. ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙක්. කාල නදිය අසබඩ බුලත්සිංහල, නාහල්ල නම් ගම්පියසෙහි තම පැටිවිය ගත කළ මේ සොඳුරු මිනිසා ටෙලිනාට්‍ය කලාව මඟින් අපේ ජීවිතය ලස්සන කළා ඔබට මතක ඇති. අද හදගැස්ම හා එක්වෙන්නේ රවීන්ද්‍ර විජේරත්න නම් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා.

මේ දවස්වල ඔබේ වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල මගේ නිර්මාණයක් වන බොනිකර තරු ටෙලිනාට්‍ය ස්වර්ණවාහිණියේ රාත්‍රි 7.00ට පමණ විකාශය වනවා. එහි තිරි පිටපත රචනා කරන්නේ අරුණ ප්‍රේමරත්න කියන විශිෂ්ට පිටපත් රචකයා. දැන් දර්ශන වාර 20ක් පමණ විකාශය වී අවසන්. මෙහි නිෂ්පාදන දායකත්වය දරන්නේ දුරුතු ක්‍රියේෂන්ස් ආයතනයේ තරංග දිසානායක.

ඔබේ අලුත්ම නිර්මාණය බොනිකර තරු, කොහොමද මේක නිර්මාණය වෙන්නේ?

මෙය පවුලක් වටා ගෙතිච්ච කතාවක්. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා මේ වර්ගයේ නිර්මාණවලට බොහොම ළැදිකමක් දක්වනවා. ඇත්තටම මෙය පවුල් කිහිපයක් වටා ගෙතුණු, මීට පෙර ප්‍රේක්ෂකයා නොදැක්ක ආකාරයේ නිර්මාණයක්. ගතවුණු කෙටි කාලයට ප්‍රේක්ෂකයා ඉතා හොඳින් මේ නිර්මාණය වැලඳගෙන ඇති බව තමයි පෙනෙන්න තිබෙන්නේ. දූදරුවන් මවුපියන් අතර සම්බන්ධය, වැඩිහිටියන් අතර තිබෙන සම්බන්ධය, යොවුන් ආදරය ගැබ්වෙලා තිබෙන මෙම නිර්මාණය පොදුවේ ඕනෑම ප්‍රේක්ෂකයෙක්ට නරඹන්න පුළුවන් විධියටි නිර්මාණය වෙලා තිබෙන්නේ.

ඔබ හාස්‍ය හරහා ගැඹුරු දේශපාලනික සමාජීය කියවීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙනවා. එතරම් සියුම්ව මේ දේවල් මතු කරන්නේ කොහොමද?

ඕනෑම නිර්මාණයක් තුළ දේශපාලනය ගැබ්වෙලා තිබෙන්නත් පුළුවන්. හාස්‍ය තිබෙන්නත් පුළුවන්. ඒ වගේම රටෙහි පවතින අර්බුද පිළිබඳ කතාබහ කරන්නත් පුළුවන්. නමුත් නිර්මාණයකදී මේ දේවල් සෘජුව කතාකරන්නේ නැහැ. ඕනෑම නිර්මාණයක් නරඹන ප්‍රේක්ෂකයා තමන්ට ආවේණික අර්ථකථනයකට යනවා. ලංකාව තුළ පවතින දේශපාලනික, සංස්කෘතික අර්බුද මැද්දේ ඔවුන් නාට්‍යය අර්ථකථනය කරනවා. ඕනෑම පවුලකට තමන්ට උරුම සංස්කෘතියක් වගේම ඔවුන්ටම අනන්‍ය වූ දේශපාලනයක් තිබෙනවා.

ඔබගේ ජීවිතය ලස්සනයි කියන ටෙලිනාට්‍යය ටෙලිවිෂන් කලාවේ මාස්ටර් පීස් එකක්. එය අදටත් වලංගුද?

ඒක ඇත්තටම අදටත් වලංගුයි. මේක මම නිර්මාණය කළේ 2006දී. එය තමයි ලංකාවේ පළමු මෙගා ටෙලිනාට්‍යය. ඒ වනතුරු ලංකාවේ මුල් බැසගත්ත දුර්මතයක් තිබුණා ලංකාවට මෙගා නාට්‍යය උචිත දෙයක් නොවෙයි කියලා. හැබැයි සුසිල නිෂ්පාදන ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය මේකට ප්‍රබල දායකත්වයක් දැක්වූවා.

ඇගේ අදහස වුණේ විදේශීය අධ්‍යක්ෂවරුන් ගෙන්වලා ශ්‍රී ලාංකික ශිල්පි ශිල්පිනියන් සමඟ කරනවා වැනි දැවැන්ත වැඩක් කරන එක. මාස හයක විතර පූර්ණ සැලසුමකට පස්සේ අපි ඉතා හොඳ අවධානයකින් මෙහි තිරපිටපත රචනා කළා. අපි විශාල කැප කිරීමක් කරලා තමයි මේ නිර්මාණය සිදු කළේ. මේකේ කොටස් හයසිය හැට ගණනක් විකාශය වුණා.

මම සිතන විධියට මේ වගේ අර්බුද කාලෙක ටෙලිවිෂන් කලාවට ලොකු කාර්යභාරයක් තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස?

ඇත්තටම මේ අර්බුදයට වගේම කොවිඩ් අර්බුදයටත් අපි මුහුණ දුන්නා. නිරෝධායන ඇඳිරිනීතිය යටතේ පවා ඉතා වෙහෙසකාරි කාල පරිච්ඡේදයක අපි වැඩ කළා. ඒ කාලේ මිනිස්සු අතරට ගිය ප්‍රබලම කලා මාධ්‍යය වුණේ ටෙලි නාට්‍ය තමයි. ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍ය කලාව අත්හැරියේ නැහැ.

අපි දිගුකාලීනව වැඩ කරන පිරිසක් විධියට ප්‍රේක්ෂකයන්ට ගුණාත්මක දේ ලබා දෙන්න බැඳී සිටිනවා. අපි නිරෝධායන නීතිරීති පිළිපදිමින් ඉතා අපහසුවෙන් තමයි මේක කරගෙන ගියේ. මේ මොහොතෙත් අපි දැඩි ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. උදේ 6.30ට නිර්මාණ ශිල්පීන් රැගෙන එන වාහනය ඔවුන්ව රැගෙනවිත් නැවත උදේ 7.00 වෙද්දී තෙල් පෝලිමට යනවා. නැවතත් හවස 7.00ට වාහනය තෙල් ගහගෙන එයිද? නැද්ද? කියලා ප්‍රශ්නයකුත් තිබෙනවා. වෙනදට අපිට හිතන්න තිබෙන්නේ නිර්මාණය පිළිබඳ විතරයි. අද ඊට වඩා තත්ත්වය වෙනස්. වෙනදා නිර්මාණයක් කරන්න තිබෙන මානසික නිදහස අද නැහැ.

අද යූ ටියුබ් එකෙන් ටෙලිනාට්‍ය බලන තත්ත්වයකට ප්‍රේක්ෂකයෝ පත්ව තිබෙනවා. මේ පිළිබඳ ඔබ මොකද සිතන්නේ?

ඒක ඉතා හොඳ ප්‍රවණතාවක්. ටෙලිනාට්‍ය විකාශය වෙන බොහෝ වෙලාවන්වලදී ප්‍රේක්ෂකයො බස් රථයක නැත්නම් කෝච්චියේ ගෙදර යමින් ඉන්නේ. යූ ටියුබ් නාළිකාවල සජීවීව පවා ටෙලිනාට්‍ය විකාශය වෙනවා. මෙය ඉතා හොඳයි.

ඇතැම් ප්‍රේක්ෂකයෝ කියන විධියට ඔවුන් ටෙලිනාට්‍ය නරඹන්නේ යූ ටියුබ් එකේ විතරයි. බහුතරයක් විදෙස්ගත වූ පිරිස සතියක් පුරා විකාශය වුණු ටෙලිනාට්‍ය සති අන්තයේ නිවාඩුවේ බලන බව තමයි අපිට කියන්නේ. යූටියුබ් එකේ නිතරම අප්ලෝඩ් වෙලා තිබෙන නිසා ඇතැම් ප්‍රේක්ෂකයෝ නැවත නැවත බලන්නත් හුරුවෙලා තිබෙනවා. මේක ඉතා හොඳ දෙයක්.

ඔබ කවිය සහ සාහිත්‍ය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙක්. මේ හැදෑරීම කොහොමද නිර්මාණයකට බලපාන්නේ?

ඒක ඉතා වැදගත්. මට මේ ආසාව ලැබෙන්නේ මගේ පියාගෙන්. ඔහු වේදිකා නාට්‍යකරුවෙක්. පොඩි කාලේ මාත් ඒ නාට්‍යවල රඟපෑවා. මම කවියට සහ කලාවට හරිම ළැදි කෙනෙක්. විශේෂයෙන්ම මම ගොඩක් කියවන කෙනෙක්. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්ට චරිතයක් අධ්‍යයනය කරන්න හොඳම දේ තමයි අත්දැකීම් කියන්නේ. ඒක රංගන ශිල්පියාට වගේම පිටපත් රචකයාටත් ඉතා වැදගත්. මට ගමේදී ගොඩක් සුන්දර මිනිස්සු මුණගැහුණා. ඔවුන්ගේ ඇසුර මට ලොකු බලපෑමක් කළා. නිර්මාණකරුවෙක්ට සාහිත්‍ය කියන්නෙ ඉතා වැදගත් දෙයක්.

ඉදිරියට එන්න තිබෙන නිර්මාණ ගැන දැනගන්න පුළුවන්ද?

මගේ නවතම නිර්මාණය “වීනස්ගේ උපත”. ඒක මගේ ජීවිතයේදී නිර්මාණය කරපු වෙනස්ම ආකාරයක නිර්මාණයක්. මෙහි නිෂ්පාදකවරයා වෙන්නෙ දුරුතු ක්‍රියේෂන්ස් ආයතනයෙහි තරංග දිසානායක. මෙහි තිරපිටපත රචනා කරන්නේ අසංක සායක්කාර. සම්මානනීය ලේඛිකාවක් වන ශමෙල් ජයකොඩි මහත්මියගෙ වීනස්ගේ උපත කියන නවකතාව ඇසුරෙන් තමයි මේ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ.

මට මේ නවකතාව කියවන විටම මෙය ඉතා හොඳ ටෙලිනාට්‍යකට උචිත කතාන්දරයක් කියලා සිතුණා. ඒ ඔස්සේ තමයි මම ශමෙල් ජයකොඩි මහත්මියගෙන් මීට අවසර අරගෙන තිරපිටපත ලියන්න සායක්කාරට භාර දුන්නේ. ඔහු නවකතාවේ ඉතා සියුම් තැන් පවා අධ්‍යයනය කරමින් ඉතා සුමට ඒත් ප්‍රබල තිරපිටපතක් ලියා දුන්නා. මම වීනස්ගේ උපත ටෙලිනාට්‍ය පිළිබඳ විශාල බලාපොරොත්තුවකින් ඉන්නේ. ඒක ආදරයෙන් වැලඳගැනීම ආදරණීය ප්‍රේක්‍ෂක ඔබට භාරයි.

ගිහාන් සචින්ත