රනිල්ගෙන් ශානක්කියන්ට රතු එළියක්

0
297

ගෝල්ෆේස් අරගලයට  පහරදීම හා පසුගිය මැයි 9දා ගෙවල් ගිනි තැබීම ගැන පොදු රාජ්‍ය  මණ්ඩල  පාර්ලිමේන්තු සභාවේ මහලේකම්වරයාට පරීක්ෂණයක් පවත්වන ලෙස  දන්වා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.  ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි  අමරකීර්ති  අතුකෝරල මහතා වෙනුවෙන් වෙන් කළ ශෝක යෝජනාව අතරතුර අගමැතිවරයා මේ බව කීය.

ගෙවල් ගිනි තැබීම ගැන මන්ත්‍රි ශානක්කියන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී කළ වැරදි ප්‍රකාශ ගැන ලබන පාර්ලිමේන්තු සතිය අවසන් වන විට කනගාටුව පළ කර එකී කතාව ඉල්ලා අස්කර ගත යුතු බවත්  එසේ නොකළහොත් කථානායකවරයා  එය විභාග කොට අදාළ කමිටුවට යොමුකර  වාර්තාවක් ලබාදෙන ලෙස තමා දන්වා සිටින බවත් වික්‍රමසිංහ මහතා පැවැසීය.

“මේ සිදු වූ දේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි. ලංකාවේ ඒ පරීක්ෂණ කටයුතු කිරීම ප්‍රශ්නයක් තිබෙනවා නම් පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවේ මහ ලේකම් ස්ටීවන් ට්වික් මහතාට මේ ගැන විභාග කරන්නැයි ලියා දන්වා තිබෙනවා. ගෝල්ෆේස් සිද්ධිය විභාග කරන ලෙස දන්වා තිබෙනවා. මුල් දවසේ පාර්ලිමේන්තුව වට කළා. මේ සියල්ලම ගැන විභාග කරන්නැයි මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමාට කතා කරන ලෙස මා කථානායකතුමාටත් දැනුම් දුන්නා. මේ අය මෙහි කැඳවා විභාග කරමු. එවිට අප සැමට ස්වාධීන වාර්තාවක් ලැබෙනවා. ඒ වනවිට පොලිසිය සියලු වැඩකටයුතු අවසන් කළ යුතුයි.

දුරකථන ගැන සෙවීමට උසාවියෙන් ඉඩදී නැතැයි සමහර මන්ත්‍රිවරුන් මට පැවැසුවා. ඒ සඳහා උසාවියට පොලිසියට යා යුතු යැයි මා සිතන්නේ නැහැ. ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ පාර්ලිමේන්තු බලතල යටතේ ඩයලොග්, මොබිටෙල් ආයතන දෙකේ ප්‍රධානීන් ගෙනැවිත් තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලන්නට කථානායකතුමාට පුළුවන්.

මේ අවස්ථාවේදී අප සියලුමදෙනා එකට එක්ව කනගාටුව පළ කරනවා. පළමුවෙන්ම සිදුවුණේ බණ්ඩාරනායක ඝාතනයයි. එතුමා  කිසි විටෙක මිනිසුන්ගෙන් පළිගත්තේ නැහැ. එලෙස මේ සිද්ධි ගොඩක් ඇති වුණා. අප සියලුමදෙනා එකට නැඟිට ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය හෙළා දැක්කා. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් එතුමා විවේචනය කළා. මේ සභාවේ සම්ප්‍රදාය එකට යෑමයි. මේ අවස්ථාවේදීත් විපක්ෂ නායකතුමා ඇතුළු සියලුමදෙනා කනගාටුව ප්‍රකාශ කළා. නමුත් එක මන්ත්‍රිවරයෙක් එය කළේ නැහැ. මේ ක්‍රියාවලට අනුබල දුන්නා. මැයි 20 වැනිදා ශානක්කියන් රාසමානික්කම්  කළ කතාවේ කොටසක් හැන්සාඩ් වාර්තාවෙන් මා කියවන්නම්. ඒ මහතා මෙහෙම කියනවා.

“විසිවැනි සංශෝධනය වගේ රටට අහිතකර දේවල්වලට ඡන්දය දුන් නිසා තමයි ගෙවල් ගිනි තැබුවේ. 2020-2021 බජට් එකට වැරදි ප්‍රතිපත්ති තිබුණා. ඒවාට අත එසවූ මිනිස්සු නිසා තමයි ගෙවල් ගිනි තැබුවේ. ජනමතය පාවාදීම නිසා මෙය සිදු වූ බව මතක තබා ගන්න” එයින් කියන්නේ විරුද්ධ අදහසක් තිබූ නිසා ගෙවල් ගිනි තැබූ බවයි. කුමාර වෙල්ගම මහතා ඒ කිසිම දෙයක් කළේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් එහෙම කතා කරන්නේ කොහොමද? ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කළ අවස්ථාවේ එතුමා විවේචනය කර කතා කළේ කොටි සංවිධානයයි. දැන් මෙය ඇතුළෙන් කරනවා.

මේකෙ තේරුම මොකක්ද? ගෙවල් ගිනි තියන එක එතුමා අනුමත කරනවාද? මෙහෙම මරන එක අනුමත කරනවද? වෙල්ගම මැතිතුමාට ගැහුව එක අනුමත කරනවාද? මේ සභාවෙන් මා ඒ ප්‍රශ්නය අහනවා. මේ පාර්ලිමේන්තුව වට කරද්දි එතැන ඇවිත් අපට හානියක් වුණේ නැතැයි පැවැසුවා. ඊළඟ දවසේ පෙරටුගාමී කුමාර් ගුණරත්නම් එක්ක පින්තූරෙත් තියෙනවා. පෙරටුගාමින් ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරන එකට කවුරුවත් විරුද්ධ නැහැ. පාර්ලිමේන්තුවේ සිදුවන්නේ මේකද?

පාර්ලිමේන්තු සතිය අවසන් වන විට කනගාටුව ප්‍රකාශ කොට මේ කතාව ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් එය විභාග කොට අදාළ කොමිටියට දමා ප්‍රථම වාර්තාවක් ලබාදෙන ලෙස කථානායකතුමාට මා කියනවා” යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත්  පැවැසීය.

“මට බොරු චෝදනා කරන හය පාරක් අගමැතිගේ බටලන්ද වාර්තා ගැන මටත් කියන්න පුළුවන්” යැයි දෙමළ ජාතික  සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රිවරයා ඊට පිළිතුරු දෙමින් පැවැසීය.  “අද උදෑසන 6 පාරක් අගමැති මා ගැන කියලා තියෙනවා. අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන් මම ශෝකය පළ කරනවා. මම මේ ප්‍රකාශය සභාගත කරනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා මමත් එල්ටීටීඊ එකත් සම්බන්ධ කරලා කතා කරලා තියෙනවා.  මම පිල්ලෙයාන් සමඟත් සම්බන්ධයි කියලා බොරු කියලා තියෙනවා. හය පාරක් වූ අගමැතිගෙන් මං ඉල්ලන්න කැමැතියි බොරු ප්‍රකාශ කරන්න එපා.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි