මූණ පෙන්නනවාට වඩා දැනුමෙන් පොහොසත් විය යුතුයි

0
90

ඇය නිදහස් මාධ්‍යවේදිනියක් වගේම වෘත්තීයමය වශයෙන් කථිකාචාර්යවරියක්. අධ්‍යාපනික වශයෙන් මෙන්ම තොරතුරු සම්ප්‍රේෂණයෙහිලා මාධ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම අපේ රටේ දරු පරපුර වෙනුවෙන් අපමණ මෙහෙයක් ඉටුකළ ගුරුවරියක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. මෙවර හදගැස්ම තුළින් අප හා එක්වන ඇය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපන පීඨයේ කථිකාචාරිනී රුවනි ගුණවර්ධන.

මේ දවස්වල මොනවද කරගෙන යන වැඩකටයුතු?

මේ දවස්වල නම් මගේ මූලික අවධානය යොමු වෙලා තිබෙන්නෙ පශ්චාත් උපාධියෙ අධ්‍යයන කටයුතු සඳහා. එහි පර්යේෂණ කටයුතුත් සමඟ තරමක් කාර්ය බහුලයි. 

ඔබ වෘත්තීයමය නිවේදිකාවක්ද?

නැහැ. මම වෘත්තීයමය වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නියැළෙන කෙනෙක් නොවෙයි. මම නිදහස් මාධ්‍යවේදිනියක්. මම මුලින්ම මගේ වෘත්තීය ලෙස තෝරාගත්තේ ගුරු වෘත්තිය. පසුකාලීනව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු ආරම්භ කළා. පාසල් කාලයේදීම මා තුළ නිවේදන කටයුතුවලට නැඹුරුවක් තිබුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළාට පසුව තමයි රූපවාහිනිය තුළ වැඩසටහන් මෙහෙයවීමට අවස්ථාව ලැබෙන්නේ.

අධ්‍යාපනික, කාලීන වැඩසටහන් වගේම නුග සෙවණ, ජාතික පාසල ආදී වැඩසටහන්වලත් ප්‍රවෘත්ති නිවේදිකාවක් විධියටත් කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. අනුර ධර්මසේන, උපතිස්ස පී. නිශ්ශංක වගේ එකල ක්ෂේත්‍රයේ සිටි දැවැන්තයන් යටතේ ලැබූ පුහුණුව මාධ්‍ය තුළදී වගේම මගේ වෘත්තියටත් පෞද්ගලික ජීවිතයටත් බොහෝසෙයින් උපකාරී වුණා. 

මේ වෙද්දි රට තුළ තිබෙන වාතාවරණයත් සමඟ සමස්ත ජනමාධ්‍ය අනුගමනය කරන පිළිවෙත සාධාරණද?

දැන් තිබෙන තත්ත්වයත් සමඟ මේ කාරණාව සාධාරණද අසාධාරණද කියලා කියනවාට වඩා මාධ්‍යයේ සැබෑ කාර්යභාරය පිළිබඳව අවබෝධයෙන් සිටීම සුදුසුයි කියලා මම සිතනවා. මාධ්‍යයේ ප්‍රධානම කාර්ය වෙන්නේ සමාජය තුළ සාමය ආරක්ෂා කරමින් ග්‍රාහකයාට නිවැරදි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම. ඒක අපේ රටේ මාධ්‍ය අඩු වැඩි වශයෙන් කරනවා වෙන්න පුළුවන්. ඒක ආයතනයක පරිපාලනය සම්බන්ධ දෙයක් විධියටයි මම දකින්නේ.

අපි ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි. නමුත් මාධ්‍ය පරිහරණය කරන ග්‍රාහකයා ඉතාම බුද්ධිමත්. ඒ නිසා ග්‍රාහකයාට ⁣වැටහෙනවා මොන මාධ්‍යය සාධාරණ සත්‍ය තොරතුරු ලබා දෙන්නේ කියන කාරණාව. යම් අවස්ථාවකදී ප්‍රේක්ෂකයාට තොරතුරු දැනගැනීමට තිබෙන ආශාව, කුතුහලය නිසා යම් දෙයක් පිළිබඳ උනන්දු වුණත්  ඒ ගැන ඉදිරිපත් කිරීමේදී විශ්ලේෂණාත්මකව නිවැරදි තොරතුරු සොයා බලා තමයි අදහස් ඉදිරිපත් කිරීම කරන්න වෙන්නේ.

මාධ්‍යවේදිනියක් විධියට සැබෑ ජීවිතය තුළ වගේම සමාජ මාධ්‍ය තුළත් ප්‍රතිරූපයක් නඩත්තු කළ යුත්තේ කොහොමද?

වර්තමානය වන විට අනෙක් සියලු මාධ්‍යයන් අභිභවා සමාජ මාධ්‍ය බරපතළ ලෙස වර්ධනය වෙලා තිබෙනවා. ඒක විප්ලවීය තත්ත්වයක්. ඒ තත්ත්වය තුළ අපි කියනවා කලාවේ මූලික අරමුණ වෙන්නේ මානව ජීවිතය විවරණය කිරීම කියලා. අපි සමාජ තුළ හැසිරෙද්දී පළමුව බුද්ධිය භාවිත කරන්න ඕනෑ. බුද්ධිය භාවිත කරලා අපේ සැබෑ ජීවන අත්දැකීම් බෙදා හදා ගන්නේ නම් සමාජ මාධ්‍ය තුළ තමුන්ව රැකෙන විදිහට යම් යම් සීමා පනවාගෙන බුද්ධිමත්ව සමාජ මාධ්‍ය භාවිත කිරීම ඉතා වැදගත්. මොකද මේ තාක්ෂණික යුගයත් සමඟ අපිට සමාජ මාධ්‍ය බැහැර කරන්න බැහැ. අපි ඒ තුළ රැඳෙන්න ඕනි, භාවිත කරන්න ඕනි. නමුත් ඒ භාවිත කිරීම අයාලේ යෑමට නොදී තමුන්ව රැකෙන විධියට තමන්ගේ සැබෑ ප්‍රතිරූපය වැදගත් විදිහට ප්‍රචාරය කිරීම හොඳයි කියන එකයි මගේ මතය.

මාධ්‍ය තුළ සංයමයක් සහ විනයක් පවත්වා ගනිමින් වැඩසටහනක් මෙහෙයවන්න පොතපතින් ලද දැනුම පමණක් ප්‍රමාණවත්ද?

තමන් කරන වැඩසටහන සහ එම වැඩසටහන සමඟ රැඳී සිටින ප්‍රේක්ෂකයා පිළිබඳව සම්ප්‍රවේශකයාට හොඳ අවබෝධයක් පැවතිය යුතුයි. ඒ එක්කම වැඩසටහනට පෙනී ඉඳලා මූණ පෙන්නනවාට වැඩිය දැනුමෙන් පොහොසත් වෙන්න ඕනෑ. පොතපත ඇසුරු කරලා තිබෙන්න ඕනෑ. පෙර පුහුණුවක් අත්‍යවශ්‍යයි. පෙර පුහුණුවකින් පසුව අපි වැඩසටහනක් ඉදිරිපත් කරන විට ඒ ලැබූ දැනුම අවස්ථානුකූලව බුද්ධිමත්ව භාවිත කරන්න ඕනෑ. සම්ප්‍රවේශකයා ⁣භාෂාවෙන් පෝෂණය වෙන්න ඕනෑ.

අපිට වචන නැත්නම් ගලායෑමක්, රිද්මයක් එන්නෙ නැහැ. ඒ වගේම භාෂාවේ විනයක් තිබෙන්න ඕනෑ. අපි කතා කරන්නෙ විශාල පිරිසකට. ප්‍රේක්ෂකයාට සමීප වෙනවා කියලා ඉතාම සාමාන්‍ය බස්වහරක් භාවිත කරන්න අපිට බැහැ. සංයමයකින්, විනයකින් හා ශික්ෂණයකින් භාෂාව භාවිත කිරීම අවශ්‍යයි. භාෂාව වගේම ඇඳුම් පැලඳුම්වලත් පිළිවෙළක් තිබෙන්න ඕනෑ. විචිත්‍රවත් බව නෙවේ මම අදහස් කරේ, පිළිවෙළ සහ දකින කෙනාට ප්‍රසන්න බව. ඔය කාරණා සමස්තයක් වශයෙන් සම්ප්‍රවේශකයෙක්ට ඉතාම වැදගත් වෙනවා.

ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ලවන චෝදනා ගැන ඔබේ අදහස මොකද්ද?

ප්‍රවෘත්තියක් කියලා කියන්නෙ වෙනත්  වැඩසටහන්වලට වැඩිය විශ්වසනීයත්වයෙන් ජනතාවට ලබාදිය යුතු දෙයක්. ඒක ලොකු පිරිසකගේ ප්‍රයත්නයක්. ඒ ප්‍රයත්නය ජනතාවට ඉදිරිපත් කරන්නෙ ප්‍රවෘත්ති නිවේදකයා. ඇතැම් අවස්ථාවල ඒ ඒ ආයතනවල අනුගතවීම්වලට අනුව භාෂා භාවිතයේ වෙනසක් තිබෙන්න පුළුවන්.

නමුත් අපිට දැනුණු දෙයක් තිබෙනවා ප්‍රවෘත්ති කියන්නෙ මෙහෙම වෙන්න ඕනි වගේ හැඟීමක්. එතැනදි භාෂාව නිවැරදි සහ සරල වෙන්න ඕනෑ. ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්න ඒ ප්‍රවෘත්තිය ගැන අවබෝධයක් අවශ්‍යයි. ඒ වගේම ඉදිරිපත් කරන ප්‍රවෘත්තිය පිළිබඳව හැඟීම් ප්‍රකාශනයක් කිරීම අනවශ්‍ය දෙයක්. ප්‍රවෘත්තියක විශ්වසනීයත්වය ආරක්ෂා කරන්න සම්ප්‍රවේශකයාගේ ප්‍රවීණත්වය බලපාන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු කිරීමට අධ්‍යාපනික වශයෙන් ලැබෙන මඟපෙන්වීම ප්‍රමාණවත්ද?

අධ්‍යාපනය සන්නිවේදනය සඳහා ඉතාම වැදගත් වෙනවා. සන්නිවේදන විෂය කියන්නෙ මාධ්‍යයක වැඩ කරනවා කියන එක නෙවෙයි. ඊටත් වඩා පුළුල් ක්ෂේත්‍රයක්. වර්තමාන සමාජය විසින් සන්නිවේදනය කියන දේ හඳුනාගෙන තිබෙන්නෙ මේ කවර හෝ මාධ්‍යයක වැඩ කිරීම කියලා. නමුත් ඒක ඊට එහා ගිය පුළුල් සංකල්පයක්. නමුත් සන්නිවේදන විෂය ධාරාව තුළ උගන්නවන කරුණු මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. දැනුමක් සහිතව යමක් කරද්දී එහි සාර්ථකත්වය වැඩියි.

නිකේෂලා රණතුංග