මම නිර්මාණ භාර ගන්නේ ප්‍රසිද්ධිය බලාගෙන නෙවෙයි

0
98

ගීතිකා රාජපක්ෂ රංගන ශිල්පිනිය ඔබට අමුතුවෙන් හඳුන්වාදිය යුතු රංගන ශිල්පිනියක් නොවෙයි. දශකයට ආසන්න කාලයක් කලා ලොව පෝෂණය කරමින් විවිධ චරිත හරහා ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන ගීතිකා ඔබට මේ දිනවල මුණගැසෙනු ලබන්නෙ ඉර හඳ පායන ලෝකය ටෙලිනාට්‍යයෙන් සහ නීල පබළු ටෙලි නාට්‍යයෙනුයි. එසේම ඇගේ කුලුඳුල් චිත්‍රපටය වන the game හරහාද ඔබ හමුවට එන ගීතිකා සමඟ හදගැස්ම අපිත් පිළිසඳරක යෙදුණා.”

මේ දිනවල කොහොමද ඔබේ වැඩ කටයුතු?

“රටෙහි ඇති වී තිබෙන අර්බුද තත්ත්වය සමඟ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම මගේ රංගන ජීවිතයේ ප්‍රථම චිත්‍රපටය the game රිදී තිරයට මුදාහැරුණා. එහි ප්‍රධාන චරිතය වන්නේ රන්ජන් රාමනායක. රන්ජන් වටා ගෙතුණු ලස්සන කතාවක් තමයි එහි තිබෙන්නේ. ඒ වගේම ටෙලිනාට්‍ය පැත්තෙන් බැලුවොත් සෑම සති අන්තයකම රාත්‍රි අටයිතිහට ජාතික රූපවාහිනියෙ විකාශනය වන, ඉර හඳ පායන ලෝකය ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙන්නට අවස්ථාව ලැබුණා. ඊට අමතරව නීල පබළු ටෙලිනාට්‍යයෙනුත් ප්‍රේක්ෂකයන්ට මාව මුණගැසෙනවා.”

ඉර හඳ පායන ලෝකය කියන්නෙ තරමක් වෙනස් අන්දමක ටෙලි නිර්මාණයක්. ඒ පිළිබඳව කතා කරමු?

“ජාතික රූපවාහිනියේ විකාශනය කෙරෙන මේ නාට්‍යය වෙනස්ම විධියේ නිර්මාණයක්. මුලින්ම මෙය අධ්‍යක්ෂණය කළේ දයාරත්න යටගෙදර ප්‍රවීණයා. මේ දිනවල නම් එය අධ්‍යක්ෂණය කරන්නෙ ඉරේෂ් ලොකුබණ්ඩාර. එකල ශ්‍රී  ලංකාව විදේශීය ආක්‍රමණවලට නතු වූ පසු සාමාන්‍ය ජන ජීවිතයේ සිට සංස්කෘතිය දක්වා වෙනස් වූ හැටි ඒ වගේම එදා හෙළයන් මේ ආක්‍රමණ හමුවේ සටන් කළ හැටි මෙයින් අපූරුවට දිග හැරෙනවා. ඒ දවස්වල එක ගෙයි කෑම කියන එක ගමේ සංස්කෘතියෙ තිබුණු දෙයක්. මගේ චරිතය විකාශනය වෙන්නෙ එතැනදියි. තාත්තගෙ අක්කගෙ පුතාලා දෙන්නගෙ බිරිය වෙන්නෙ මම. මගෙ චරිතය වන්නෙ මද්දූමී. ඇය ජීවිතයට කොහොම මුහුණ දෙයිද කියන දෙය මේ නාට්‍යය නරඹනකොට අපට බලන්නට පුළුවන්.”

රංගනයෙන් ඉඳහිට ප්‍රේක්ෂකයා අතරට පැමිණියත් නොවෙනස්වන ප්‍රතිචාර බොහොමයක් ලැබෙනවා නේද?

“ඔව්, මම ක්ෂේත්‍රයට පැමිණෙන මුල් කාලයේදීත් අදටත් නොවෙනස් වන ප්‍රතිචාර බොහොමයක් ලැබෙනවා. අපි බොහෝ වෙලාවට සිතන දෙයක් තමයි කලින් කලට ප්‍රේක්ෂකයා අතරට  ගියවිට ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් තිබෙන බව. නමුත් එහෙම නැහැ. මම කිසිම වෙලාවක නිර්මාණයක් භාර ගන්නෙ ප්‍රසිද්ධියක් බලලා නෙවෙයි. හදවතින්ම නිර්මාණය භාරගෙන හරි කැපවීමෙන් තමයි එයට රංගන දායකත්වය ලබා දෙනු ලබන්නෙ. මම හරි ආදරෙයි කලාවට. එම නිසා මට ලැබෙන සෑම නිර්මාණයක්ම උපරිමයෙන් හැඩ කරන්නට මම උත්සහ කරනවා. මම රංගනයෙන් දායක වන චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන නිසා වෙන්න ඇති ප්‍රේක්ෂක ආදරය මට මේ තරමට ලැබෙන්නෙ.”

කලින් කලට මඳ විරාමයන් ලබාගෙන රංගන ක්ෂේත්‍රයට පැමිණීම ප්‍රේක්ෂකයන් හට කරන අසාධාරණයක් නේද?

“මෙහෙමයි, අපි ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වුවත් එම ටෙලිනාට්‍යය විකාශනය වීමට යම් කාලයක් ගතවනවා. මම දැනට රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය විස්සක් පමණ විකාශනය වන්නට තිබෙනවා. ඇත්තටම ටෙලිනාට්‍ය විකාශනය වන ක්‍රමවේදයක් අපේ රටේ සෑදිය යුතුයි. යම්කිසි මුදලක් වියදම් කරලයි අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා නිර්මාණයක් සිදු කරන්නෙ. ඒ වගේම මම මගේ වෘත්තීය කරන ගමන් තමයි රංගනය සිදු කරන්නෙත්. ඒ නිසා කාල කළමනාකරණය මට බොහොම වැදගත්. ඒ දේවල් සමඟ මාව නිතරම රූපවාහිනියෙ දකින්නට අපහසුයි.”

ඇතැම් රූපවාහිනි නාළිකා ඔවුන්ටම ආවේණික ටෙලිනාට්‍ය සංස්කෘතීන් ගොඩනඟා ගෙන තිබීම නිසා ක්ෂේත්‍රයේ සිටින බොහොමයක් කලාකරුවන් හට අසාධාරණයක් සිදු වී තිබෙනවා නේද?

“එය නම් ලොකු ඛේදවාචකයක් ලෙසයි මම දකින්නෙ ඇතැම් රංගන ශිල්පීන් එම නාළිකාවල තිබෙන ටෙලිනාට්‍යවල පමණයි සිටින්නෙ. නමුත් රංගන ශිල්පියෙක් කියන්නෙ එක් සීමාවකට කොටුකර තබන්නට පුළුවන් කෙනෙක් නෙවෙයි. කුමක් හෝ නාළිකාවක් එසේ කරනවා නම් එය කලාවට කරන විනාශයක්. දක්ෂතා තිබෙන රංගන ශිල්පීන් පසෙකට වී සිටියදී මුදල් මත පදනම් වී රඟපාන රංගන ශිල්පීන් කලාව තුළ වැජඹෙනවා. එය කනගාටුදායක කරුණක්.”

ගීතිකා කියන්නෙ වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්ද?

“මම වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්. මම රඟපාන්නෙ විනෝදයට නෙවෙයි. රංගනය කියන්නෙ මගෙ ජීවිතය. ඒ වගේම මම වෙනත් රැකියාවක් කරන අතරතුර තමයි රංගනය කරන්නෙත් විනෝදය වෙනුවෙන් රඟ නොපාන නිසා තමයි මම මාව වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක් ලෙස හැඳින්වූයේ”

ඔබේ රංගනය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

“ඇත්තටම මගේ රංගනය පිළිබඳ මම තෘප්තිමත් නැහැ. මම බොහෝ වෙලාවට ෂූටින් ඉවර වෙලා ඇවිත්  සිතන්නෙ අනේ මට තව ටිකක් කරන්න තිබුණ නම් කියලයි. ඒ වගේම මම සෑම විටම උත්සහ කරන්නෙ හැකි උපරිම අයුරින් දෙයක් කරන්න. රංගනය ගැන ඉගෙන ගැනීමට බොහෝ දේවල් තව තිබෙනවා. මම මේ චරිතය හොඳටම කළා කියලා මම කවදාකවත් තෘප්තිමත් වෙලා නැහැ”

වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ තිබෙන දුර්වලතා පිළිබඳ කතා කළොත්?

“දුර්වලතා නම් බොහොමයක් තිබෙනවා. නිෂ්පාදකවරයාගේ පැත්තෙන් ගත්තොත් ඔහුට ගැටලුව තිබෙන්නෙ නාළිකාව සමඟ. එයට හේතුව වන්නෙ ටෙලිනාට්‍යය විකාශනය කර ගැනීමේ අපහසුතාව. ඇත්තටම නාළිකාවක ටෙලිනාට්‍යයක් විකාශනය කර ගන්නවා කියන්නෙ තරමක් අපහසු කටයුත්තක්. ඒ වගේම රංගන ශිල්පීන්ගේ පැත්තෙන් ගත්තොත් රූගත කිරීම් කරන්න නිසි වෙලාවක් කලාවක් නැහැ. අපි කලාවට ආදරය කරන නිසා ඒ දේ කැපවීමෙන් කළත් ඇත්තටම ඕනෑම කෙනකුට මනසට නිදහසක් තිබිය යුතුයි. මේ දේවල්වලට ක්‍රමවේදයක් හැදෙනවා නම් එය ඉතාමත්ම වටිනවා”

කලා ජීවිතය තුළ ඇගයීමක් නොලැබීම පිළිබඳ ඔබට තිබෙන්නෙ කනගාටුවක්ද?

“විනෝදය වෙනුවෙන් රඟපාන්නෙ නැති නම්, රංගනයට ආදරය කරනවා නම්, කැපවීමෙන් වැඩ කරනවා නම් ඇත්තටම සම්මානයක් සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා. නමුත් ඇගයීමක් නොලැබුණත් හොඳින්ම තමාගේ කාර්ය කරන එක තමයි ඔහුගේ හෝ ඇයගේ අරමුණ. මට තවම සම්මානයක් ලැබිලා නැහැ. ඒත් සම්මානයක් බලාපොරොත්තුවෙන් රඟපෑ ටෙලිනාට්‍ය නැතුවාම නොවේ. නමුත් මම දුක් වෙන්නෙ නැහැ. ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ඇගයීම මට බොහොම වටිනවා”

වර්තමානයේ රට තුළ තිබෙන අර්බුදකාරී තත්ත්වය කලා ක්ෂේත්‍රයට දැඩි සේ බලපා තිබෙනවා. ඒ පිළිබඳව කතා කළ යුතුමයි නේද?

“ඔව් අනිවාර්යෙන්ම. වර්තමානයේ රටේ තිබෙන තත්ත්වය කලාවට මරු පහරක්. විශේෂයෙන්ම තෙල් ප්‍රශ්නය අපිට ලොකුවටම බලපෑවා. මොකද අපි දුර පළාත්වල ෂූටින් එහෙම යනකොට ප්‍රවාහන පහසුකම් සපයන්නට සිදුවනවා. දැන් ඒ අපහසුතා නිසා අපිට දුර පළාත්වල ෂූටින්වලට යන්න අපහසුයි. මේ දිනවල තිරගත වන ටෙලි නාට්‍යවල නිෂ්පාදකවරුන් හට මම ස්තුති විය යුතුයි මෙවැනි කාලයක අත නොහැර ටෙලිනාට්‍යය ක්ෂේත්‍රය දැඩි ලෙස අල්වාගෙන සිටීම සම්බන්ධයෙන්. කන්න බොන්නත් අපහසු කාලයක ටෙලි නාට්‍ය වෙනුවෙන් පිරිවැයක් දරනවා කියන්නෙම ඒක ලොකු කර්තව්‍යයක්”

ඔබේ වැඩකටයුතුවලට නිවසින් ලැබෙන සහයෝගය කොහොමද?

“මගේ අම්මා තාත්තා වගේම සැමියගෙනුත් පුදුම සහයෝගයක් ලැබෙනවා. මගේ සහෝදරියන්ගෙනුත් එහෙමයි. බොහෝ වෙලාවට මගේ වැඩකටයුතු මම තනියම කර ගන්නට උත්සහ කරනවා. රැකියාව සමඟ රංගනය කරන නිසා තරමක් කාර්යබහුලයි. ඒ වගේම රටේ තත්ත්වය සමඟ ඉදිරි වැඩකටයුතු පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැහැ. නමුත් එන විධියකට මුහුණ දෙනවා කියන බලාපොරොත්තුවෙන් සිටිනවා.”

සචිනි බස්නායක