නිල් තණ තිල්ලේ රත්තරන් මිනිසා ජෝ රූට් ගැන නොමැකෙන සටහනක්

0
65

ක්‍රිකට් ක්‍රීඩාවට කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියාය. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් ජය පරාජය කුමක් වුවත් පිටියේදී සදාචාරසම්පන්න හා ආදර්ශවත් ලෙස හැසිරෙනවා ඇතැයි යන්න ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තුවයි.^Gentleman of
cricket& ඊට පසු කලෙක ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මයා යන ගෞරව නම්බුනාමය සඳහා ටෙස්ට් ක්‍රිකට් නායකයන් විසින් තෝරා ගනු ලැබුවේ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනය.

ශ්‍රී ලංකාව නියෝජනය කළ හැමවිටම ආචාරශීලී ලෙස ක්‍රීඩා කරමින් මහේල ක්‍රිකට් ක්‍රීඩාවටත් අපටත් විශාල ගෞරවයක් ගෙන දුන්නේය. නවසීලන්ත බ්‍රෙන්ඩල් මැකලම්, ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ්, එංගලන්තයේ ජෝ රූට් මෑත අතීතයේ “ක්‍රීඩාවේ මහත්මයා” ^Gentleman of cricket& පදවිය ලැබූ ටෙස්ට් නායකවරු වෙති.

ජෝ රූට් වනාහි ක්‍රිකට් ලොවේ ජයකෙහෙලි නැඟූ අති දක්ෂ ක්‍රීඩකයෙකි. 2012 සිට අද දක්වා එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු 2017 දෙසැම්බර් 25 සිට පසුගිය අප්‍රේල් 15 වැනිදා දක්වා වාර්තාගත 60 වාරයක් එංගලන්තයේ නායකයා ද විය. ඔහු පිටියේදී හැමවිටම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්මයකු ලෙස ක්‍රීඩා කළේය. ජෝගේ මහත්මා භාවයට ලොව පුරාම ප්‍රශංසා ලැබුණේ 2021දී මැන්චෙස්ටර් Old Trafford ක්‍රීඩාංගණයේදී යෝක්ශයර් හා ලැන්කශයර් ප්‍රාන්ත අතර පැවැති තියුණු T 20 තරගයේදීය.

මෙම තරගයේ එක් අවස්ථාවකදී ලැන්කශයර් පිලේ දක්ෂ පිතිකරුවකු වූ Steve Croft ලකුණක් දිනාගැනීමට දුවද්දී මස්පිඬු පෙරළීම නිසා පිච් එක මැද ඇද වැටුණි. ඒ වනවිටත් බෝලය විකට් කීපර්ගේ අතට ලැබී තිබිණි. බෝලයෙන් විකට් එක කැඩුවා නම් ක්‍රිකට් නීති අනුව ඉබඥමඥ නියත වශයෙන්ම අවුට් වෙනවාය. තුවාල වී බිම වැටුණු පිතිකරුවකු අවුට් කිරීම සදාචාරසම්පන්න නොවන බව දැන සිටි යෝක්ශයර් පිලේ නායක ජෝ රූට් විකට් එක නොකඩන ලෙස කීපර්ගෙන් ඉල්ලා සිටියේය.

ජෝ රූට්ගේ මහත්මා ගුණය නිසා අභය දානය ලැබූ Croft වෛද්‍ය ප්‍රතිකාරවලින් යථා තත්ත්වයට පැමිණ යෝක්ශයර් බෝලර්ලාට දිගට හරහට හයේ හා හතරේ පහරවල් එල්ල කොට ඔවුන්ගේ ලකුණු 128 අභිභවා යමින් තමන්ගේ ලැන්කශයර් පිලට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දුනි. සදාචාර ගති කඩ කරමින් ක්‍රීඩා කරමින් ජය ගන්නවාට වඩා මහත්වරු ලෙස ක්‍රීඩා කරමින් ලබන පරාජය උතුම් යැයි ජෝ රූට් එදා ලොවට පෙන්වා දුනි.

ජෝ රූට් මේ දක්වා එංගලන්තය වෙනුවෙන් ශතක විසිහයක් රැස් කොට තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව ශතක දෙකක් හා ද්විත්ව ශතක දෙකක් ලබා ගනිමින් ඔහු දස්කම් පා තිබේ. එසේම එක්දින තරගවලින් ඔහු රැස්කළ ශතක 16න් දෙකක්ම ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ඒවාය. එංගලන්ත නායකයාව සිටි අවධියේ ජෝ රූට්ගේ ප්‍රධානතම සගයා වූයේ බෙන් ස්ටොක්ය. ටෙස්ට් ක්‍රිකට් ලොවේ අති විශිෂ්ට පිතිකරුවකු වන බෙන් ස්ටෝක් තමන්ගේ තනි දස්කම්වලින් ජෝ රූට්ගේ එංගලන්ත පිලට ජය ලබා දුන් අවස්ථා එමටය.

2015දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති අළු බඳුන තරගාවලියේදී ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිලේ 9 වැනි කඩුල්ල වැටුණේ ලකුණු 269දීය. පරාජය අත ළඟ තිබුණු නමුත් බෙන් ස්ටොක් සැලුණේ නැත. අවසන් පිතිකරුවා සමඟ එකතු වී පිටියේ හතර වටේම හතරේ, හයේ පහරවල් ගසමින් බෙන් ස්ටොක් ලකුණු 115ක් ලබා ගනිමින් එංගලන්තය අනපේක්ෂිත විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන ගියේය. තරගය අවසානයේ බෙන්ව බදාගත් නායක ජෝ රූට් කීවේ “පරාජයේ කට තුළින් ජය උදුරාගත් උඹ නම් මාර බඩුවක්” කියාය.

ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙස හැඳින්වෙන Wisden සඟරාව එදා කීවේ පසුගිය වසර 50 තුළ එංගලන්ත ක්‍රීඩකයකු දැක් වූ අති විශිෂ්ටතම පිතිහරඹය එය බවය. එසේම 2019 ලෝක ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී නවසීලන්තයේ ලකුණු 241 හඹා ගිය එංගලන්ත පිල ලකුණු 86ට කඩුලු 4ක් දැවී අසරණ වී සිටි අවස්ථාවේ පිටියට පැමිණි බෙන් ස්ටොක් තම පිල සුපිරි ඕවරය කරා ගෙන ගොස් එංගලන්තයට විශිෂ්ට ජයක් ලබා දුන් අන්දම ඉතිහාස ගතවී අවසන්ය.

2020 අළු බ¾දුන තරගාවලිය 4-0කින්ද, බටහිර කොදෙව් පිල සමඟ පැවැති තරගාවලිය 1-0 කින්ද පැරදී ආපසු සිය රටට පැමිණි ජෝ රූට්ට දැනගන්නට ලැබුණේ තමාව නායක ධුරයෙන් පහ කිරීමට ක්‍රිකට් මණ්ඩලය තීරණය කිරීමට නියමිත බවය. ඊට කලින් ඔහු නම්බු පිටින් නායකත්වයෙන් අස්විය. ඉන් අනතුරුව එංගලන්ත පිලේ නායකයා වූයේ ජෝගේ ගජ මිතුරා වූ බෙන් ස්ටොක්ය. පරණ නායකයකු අලුත් නායකයකු යටතේ සෙල්ලම් කරන විට නොයෙක් ප්‍රශ්න ඇතිවේ.

සමහර පරණ නායකයෝ එසේ ක්‍රීඩා කරන්නේ හිත යට තරහ සඟවාගෙනය.  “බෝඩ් එක මගෙන් කැප්ටන්සිය උදුරාගෙන මෙයාට දුන්නානේ. අපෝ මිනිහා ඉස්සරහට එන මැච් පැරදෙන එක හොඳයි” යැයි සිතමින් නව නායකයාට ඉරිසියා කරන පරණ නායකයෝද සිටිති. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මයා වූ ජෝ එසේ හීනෙකින්වත් සිතුවේ නැත. බෙන් ස්ටොක්ගේ නව පදවිය ගැන ආරංචි වූ වහාම ඔහුට සුබපතා ජෝ රූට් මෙසේද කීය.  “මම කැප්ටන් කාලේ උඹ තනියම මට මැච් පහක්ම දිනලා දුන්න හැටි මට මතකයි. මමත් උඹට කවදහරි කෙළෙහිගුණ සලකන්නම්කෝ.”

ජෝ රූට් මිතුරා අප්‍රේල් මාසයේදී තමන්ට දුන් කෙළෙහිගුණ පොරොන්දුව ඔහු ඉක්මනටම ඉටු කරාවි යැයි බෙන් ස්ටොක් එදා හීනෙන්වත් හිතන්නට නොමැත. නමුත් පසුගිය සතියේ නවසීලන්තය සමඟ පැවති පළමු වැනි තරගයේදීම ජෝ රූට් තම යුතුකම් ඉටු කළේය. තරගයේ හතරවැනි වැනි දිනයේ ලකුණු 277ක් හඹා යමින් සිටියදී එංගලන්තයේ හතර වැනි විකට් එක වැටුණේ ලකුණු 69ටය. විශාල පරාජයක් එංගලන්ත පිලට අත වනන්නට විය. ඊළඟට පහරදීමට පැමිණි පිතිකරුවා වූයේ නව නායක බෙන් ස්ටොක්ය. ජෝ රූට් ඇමැතූ බෙන්  “අයියෝ ජෝ මම කැප්ටන් වුණු පළමු වැනි මැච් එක පැරදුනොත් මට ඉතින් ඉඳලා වැඩක් නැහැ” කීවේ ඉතා කනස්සල්ලෙනි. එයට හිනා වුණු ජෝ,  “පිස්සු නැතුව ඉඳපන් මචං උඹ පොල් අඩි ගහන්නේ නැතුව පරිස්සමෙන්

බැට් කරපන්. මම මේ පැත්තෙ ඉඳන් කොහොමහරි උඹට මැච් එක දිනලා දෙන්නම්” කියා කීවේය. නව නායක බෙන්ව අස්වසාලීය. ඉන්පසු බෙන් ස්ටොක් සමඟ ලකුණු 90ක සම්බන්ධතාවක යෙදෙමින් 159ක් දක්වා ලකුණු පුවරුව කැරකැවීමට ජෝ රූට් සමත්වීය. බෙන් ස්ටොක් දැවී යන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 120කි. ඊළඟ පිතිකරු සමඟ එකතු වී මනා පිති හරඹයක යෙදුණු

ජෝ රූට් තම ශතකය ලබා ගත්තේ ලකුණු 10,000ක් රැස් කළ එංගලන්තයේ දෙවැනි හා ලෝකයේ දාහතර වැනි ක්‍රීඩකයා වීමේ වාර්තාවක්ද පිහිටු වීමෙන්ය. පරාජය කරා යමින් සිටි එංගලන්ත පිල කඩුලු 5ක විශිෂ්ට ජයක් ලබන විට ජෝ රූට් නොදැවී ලකුණු එකසිය පහළොවක් ලබා සිටියේය. බෙන් ස්ටොක් වහා පිටියට දුව ගොස් තමන්ගේ නායකත්වයේ මංගල ටෙස්ට් තරගය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට පුරෝගාමී වූ ජෝ රූට් බදා ගත්තේ ඔහුට මුව පුරා ස්තුති කරමින්ය.

“මචං මම කිව්වනේ උඹට කවදහරි කෙළෙහිගුණ දක්වනවා කියලා. ඔන්න මම පොරොන්දුව ඉෂ්ට කළා. දැන් පැවිලියන් එකට ගිහින් මට බියර් එකක් අරන් දීපන්”

ජෝ රූට් හෙවත් ක්‍රිකට් ලොවේ මහත්මයාට තවම වයස අවු: 32කි. බෙන් ස්ටෝක් ඔහුට වඩා මාස 6කින් බාලය. ආබාධවලට ලක් නොවුවහොත් ඔවුන් දෙදෙනාම තව අවුරුදු හතක්වත් එංගලන්ත පිල තුළ පිත්තෙන් දස්කම් පානු ඇත.

ලෝකයේ වැඩිම ලකුණු ගණන වූ වාර්තාගත 15,921 ලබාගෙන සිටින්නේ වසර 24ක් ඉන්දියාව නියෝජනය කළ සචින් තෙන්ඩුල්කාය. එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ කුමාර සංගක්කාරද, (12,400)ද, 9 වැනි ස්ථානයේ මහේල ජයවර්ධනද (11814) සිටී. සචින් තෙන්ඩුල්කා වැඩිම ලකුණු ලබා ගැනීමේ ලෝක වාර්තාව පිහිටු වූයේ ටෙස්ට් ඉනිම් 329 ක්‍රීඩා කිරීමෙනි.

ජෝ රූට් ඊයේ පෙරේදා ලකුණු 10,000ක් ඉක්මවා ගියේ තම 218 වැනි ටෙස්ට් ඉනිමේදීය. හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් කියන්නේ තව වසර පහ හයක් ඇතුළත ජෝ රූට් සචින් තෙන්ඩුල්කාගේ බැටින් රෙකෝඩ් එක කඩන බවයි.

වත්මන් ලෝකයේ “ක්‍රිකට් මහත්මයා” වූ ජෝ රූට් කවදා හෝ එම වාර්තාවද බිඳ හෙළනු ඇතැයි එංගලන්ත ක්‍රිකට් ලෝලීහුද ඉතා ආසාවෙන් බලා සිටිති.

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන

ලන්ඩන් නුවර සිට…