දේශය පාලනය කරන හැටි කෞටිල්‍යගෙන් ඉගෙන ගන්න

0
129

අර්ථ ශාස්ත්‍රය යනු සංස්කෘත භාෂාවෙන් ලියා ඇති රාජ්‍ය පාලනය, ආර්ථික ප්‍රතිපත්ති ආදී විවිධ පැතිකඩයන් පිළිබඳ ඉගැන්වීම් අන්තර්ගත වටිනා ග්‍රන්ථයකි. ආචාර්ය කෞටිල්‍ය මෙහි කතුවරයායි. විෂ්ණුගුප්ත සහ චානක්‍ය ලෙසින්ද ඔහු නම් දරයි. චන්ද්‍රගුප්ත මෞර්යගේ ශ්‍රේෂ්ඨ අගමැති ලෙස කෞටිල්‍ය කටයුතු කළේය. ‘අර්ථ ශාස්ත්‍ර’ යන යෙදුම විවිධ සන්දර්භවල භාවිත වේ. එය ද්‍රව්‍යමය යහ පැවැත්ම, ජීවනෝපාය, ආර්ථිකමය වශයෙන් ඵලදායි ක්‍රියාකාරකම්, වෙළෙඳාම යනාදී අර්ථයෙන් භාවිත වේ.

සරල ආකාරයෙන්, අර්ථ ශාස්ත්‍රය යන්න ‘දේශපාලනය සහ රාජ්‍ය තාන්ත්‍රික විද්‍යාව සහ කලාව’ ලෙස පැහැදිලි කළ හැකිය. මෙම ග්‍රන්ථය රාජ්‍ය ශිල්පය, දේශපාලනය, උපාය මාර්ග, සේවකයන් තෝරා ගැනීම සහ පුහුණු කිරීම, නායකත්ව කුසලතා, නීති පද්ධති, ගිණුම් පද්ධති, බදු අය කිරීම, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, සිවිල් නීති, අභ්‍යන්තර හා විදේශ වෙළෙඳාම වැනි මාතෘකා රාශියක් ඇතුළත් පැරණි දේශපාලන චින්තනය පිළිබඳ විශිෂ්ට කෘතියකි. මෙහි අන්තර්ගත කරුණු අනුව රජුගේ ජීවන චර්යාව සහ අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳ ඉගැන්වීම් මොනවාදැයි විමසා බලමු.

රජුගේ ජීවන චර්යාව

තස්මාත් අරිෂඩ්වර්ගත්‍යාගේන ඉන්ද්‍රියජයං කුර්වීත. වෘද්ධසංයෝගේන ප්‍රඥාං චාරේණ චක්ෂු–, උත්ථානේන යෝගක්ෂේමසාධනං, කාර්යානුශාසනේන ස්වධර්මස්ථාපනං, විනයං විදේ‍යා්පදේශේන, ලෝකප්‍රියත්වම් අර්ථසංයෝගේන, හිතේන වෘත්තම්. (කෞටිලීය අර්ථ ශාස්ත්‍රය – රාජර්ෂිවෘත්ත නම් 7 වැනි අධ්‍යාය)

(එබැවින් කාමාදි සතුරන් සයදෙනා දුරු කොට ඉන්ද්‍රීය ජයග්‍රහණය කළ යුතුය. පඩිවරුන්ගේ ආශ්‍රය මඟින් ප්‍රඥාව වැඩිදියුණු කරගන්නේය, ඇස් හතරක් ඇත්තෙක් වන්නේය, උත්සාහයෙන් යෝගක්ෂේමය ලබන්නේය, කටයුතු කෙරෙහි අනුශාසනා කොට ප්‍රජාව සිය ධර්මයෙහි පිහිටුවන්නේය, විද්‍යා උපදේශය මඟින් ප්‍රජාව හික්මවන්නේය, සුදුසු අර්ථප්‍රධානයෙන් ලෝකයාට ප්‍රිය වන්නේය, ලෝකයාගේ යහපත උදෙසා හැසිරෙන්නේය)

ඉහත දැක්වූ පැහැදිලි කිරීමට අනුව රජු ඉන්ද්‍රියන්ට වසඟ නොවී කාමය, ක්‍රෝධය, ලෝභය මාන, මද, සතුට යන සතුරන් සය දෙනා නසා විනයට හේතු වූ ඉන්ද්‍රීය ජයග්‍රහණය කළ යුතුය. ඉන්ද්‍රීය ජයග්‍රහණය යනු ශාස්ත්‍ර ප්‍රතිපාදිත නියමයන්ට අනුව පංචේන්ද්‍රියන් හැසිරවීමයි. ශාස්ත්‍ර නියමයන්ට විපරීතව, ජයග්‍රහණය නොකළ ඉන්ද්‍රියන් ඇති රජු සිවු දෙසින් සාගරයේ කෙළවර තෙක් පෘථිවියේ පාලකයා වුවද විනාශයට පත්වන බව කෞටිල්‍ය පවසයි. එමෙන්ම තමා සියල්ල දත් කෙනෙකු යැයි නොසිතා ප¾ඩිවරුන්ගේ, වියතුන්ගේ ආශ්‍රය මඟින් රාජ්‍ය පාලනය හා සම්බන්ධ දැනුම වැඩිදියුණු කරගත යුතුය. රජු ඇස් හතරක් ඇත්තකු ලෙස වැඩ කළ යුතුය. රජු චර පුරුෂයන් යොදයි. ඒ මාධ්‍යයෙන් ඔහු රටේ සිදුවන දෑ දැනගනී.

මේ අනුව “රජුට ඇස් හතරක් ඇත්තා” යන සංඥාව ලබාදී ඇත. යෝගක්ෂේම යනු යහපත, අභිවෘද්ධිය යන්නය. උත්සාහයෙන් යුතුව යහපත අභිවෘද්ධිය ළඟා කරගත යුතුය. නියම පරිදි අනුශාසනා කොට, අනුග්‍රහ්‍රහ කොට ප්‍රජාව තම තම කාර්යයන්හි යෙදවිය යුතුය. තමාගේ සහ තම ආශ්‍රිතයන්ගේ වාසිය, ලාභය ගැන පමණක් හිතමින් හිතුමතේ තීරණ, තීන්දු නොගෙන ශාස්ත්‍ර නියමයන්ට, රාජ්‍ය ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රජාව හික්මවිය යුතුය. තම රාජ්‍යයෙහි වෙසෙන දාන, උපහාර ආදිය අවශ්‍ය පිරිසට අර්ථ ප්‍රදානයන් සිදුකළ යුතුය. මේ සියල්ල කරමින් ලෝකයාගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතුය.

එවං වශේ‍ය්න්ද්‍රිය– පරස්ත්‍රීද්‍රව්‍යහිංසාශ්ච වර්ජයේත්. ස්වප්නං ලෞල්‍යම් අනෘතම් උද්ධතවේෂත්වං අනර්ථසංයෝගං ච. අධර්මසංයුක්තං අනර්ථසංයුක්තං ච ව්‍යවහාරම්. (7 වැනි අධ්‍යාය)

(මේ ආකාරයෙන් ඉන්ද්‍රියන් වසඟ කොට පරස්ත්‍රීන්, පරද්‍රව්‍ය හා හිංසාව අත්හරින්නේය. අධික නින්ද, චපල බව, බොරු කීම, උද්ධච්චකම හා අනර්ථකාරී ජනයා ආශ්‍රය කිරීම, අධර්මය හා අනර්ථකාරී ව්‍යවහාරය සෑම ආකාරයෙන්ම දුරු කරන්නේය)

රජු ඉන්ද්‍රියන්ට වසඟ වී පර ස්ත්‍රී, පර ද්‍රව්‍ය ගැනීමෙන් තොරව, හිංසාවෙන් තොරව රාජ්‍ය පාලනය කළ යුතුය. මෙහිදී හිංසාව හා දඬුවම එකිනෙකට වෙනස් අර්ථ දෙකකින් භාවිත වේ. කෞටිල්‍යයට අනුව ලෝක යාත්‍රාව රඳා පවත්නේ දඬුවම මතය. දණ්ඩ නීති යනු රාජ නීති විද්‍යාවයි. සාම, දාන, භේද, දණ්ඩ යනු රාජ නීති විද්‍යාවේ කොටස් හතරයි. දඬුවම සුදුසු ආකාරයට ප්‍රතිපාදනය කරන නීතිය දණ්ඩ නීතියයි. මෙය නොලත් දෙයක් ලබන, ලත් දෙයක් ආරක්ෂා කරන, ආරක්ෂා කළ දෙයක් සංවර්ධනය කරන, සංවර්ධනය කළ දෙයක් සුදුසු පුද්ගලයා කෙරෙහි ප්‍රතිපාදනය කරන්නේ වෙයි.

තීක්ෂණදණ්ඩෝ හි භූතානාමුද්වේජනීයෝ භවති. මෘදුදණ්ඩ– පරිභූයතේ. යථාර්හදණ්ඩ– පූජ්‍යතේ. සුවිඥාතප්‍රණීතොහි දණ්ඩ– ප්‍රජා ධර්මාර්ථකාමෛර්යෝජයති. (වාර්තා තථා දණ්ඩනීති ස්ථාපනා නම් 4 අධ්‍යාය)

(රජු ප්‍රජාවට තියුණු දඩුවම් දීම උද්වේගයට, නුරුස්නා ස්වභාවයට හේතු වේ. මෘදු දඬුවම් දෙන රජු අවමානයට ලක් වේ. සුදුසු පරිදි දඬුවම් දෙන රජු පූජ්‍ය වෙයි. මනා ඥානපූර්වකව දෙන ලද දඬුවම ප්‍රජාව ධර්ම, අර්ථ හා කාම යන ත්‍රිවර්ග සම්පත්තියෙහි යොදවනු ලබයි)

කාමයෙන් හා ක්‍රෝධයෙන් වසඟයට පත්ව අඥානකම නිසා වැරදි ලෙස දෙනු ලබන දඬුවම මුනිවරුන් පවා කුපිත කෙරේ. මේ අනුව රාජ්‍ය ව්‍යවස්ථාවට අනුකූලව නියම පරිදි ජාති, කුල භේද, තරාතිරම් නොතකා සැමට සමානව නීතිය, දඬුවම ක්‍රියාවට නැංවිය යුතුය. යුතුය. පක්ෂග්‍රාහීව නීතියේ හිඩැස් සාදමින්, නීතිය තමාට අවශ්‍ය ලෙස නමමින් දඬුවම් කළ යුත්තාට දඬුවම් නොකිරීම, නිවැරැදි කෙනාට දඬුවම් දීම, දඬුවම් කළ යුතු මහ මොළකරු සිටියදී ඔහු වටේ සිටින පිරිසට දඬුවම් දීම, නීතියෙන්

වරදකරුවන් වී සිරගත වූ අය ජනතා අප්‍රසාදය නොතකා නිදහස් කිරීම ආදිය රටක යහ පැවැත්මට සෘජුවම බලපෑමක් එල්ල කරයි. එවැනි දේ නිසා රටේ නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය භංගත්වයට පත් වේ. ඒ නිසා නීතිය කාටත් සාධාරණ විය යුතුය. කාටත් සාධාරණව දඬුවම් නියම කළ යුතුය. ඥානපූර්වකව සුදුසු පරිදි දෙන දඬුවම රටේ ප්‍රජාව ධර්ම, අර්ථ, කාම යන ත්‍රිවර්ග සම්පත්තියෙහි මැනවින් පිහිටුවීමටද බියක් සැකක් නැතිව ප්‍රජාවගේ එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමටද හේතු වේ.

ධර්මාර්ථවිරෝධෙන කාමං සේවේත. න නිස්සුඛ– ස්‍යාත්. සමං වා ත්‍රිවර්ගම් අනේ‍යා්න්‍යානුබන්ධම්. (7 අධ්‍යාය)

ධර්මයට හා නීතියට අනුව සැප සම්පත් භුක්ති විඳිය යුතුය. තම රාජ්‍ය බලය උපයෝගී කරගෙන අනිසි උපයාගැනීම්, අත්පත් කරගැනීම්, ධර්මයට හා නීතියට එකඟ නොවන වත්කම් රැස්කරගනිමින් අධි සුඛෝපබෝගී ජීවන රටාවක් ගත කිරීම සුදුසු නැත. රජු ජනතාවගේ නායකයායි. රටේ ජනතාව අන්ත අසරණව දුක් විඳිද්දී ඒ ජනතාවගේ නායකයෝ සුර සැප විදීම කෙසේ නම් අනුමත කළ හැකිද? සැප රහිත ජීවිතයක් ගත කරමින් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුය. එවන් නායකයෝ සැමදා වන්දනීය, පූජනීය, අනුස්මරණීය නායකයන් වනු නොඅනුමානය. එමෙන්ම ධර්ම, අර්ථ, කාම මෙම ත්‍රිවර්ග සම්පත්තිය සමතුලිතව සේවනය කළ යුතුය.

අර්ථ එව ප්‍රධාන ඉති කෞටිල්‍ය–. අර්ථමූලෞ හි ධර්මකාමෞ ඉති. (7 අධ්‍යාය)

(අර්ථයම ප්‍රධාන බව කෞටිල්‍යගේ මතයයි. ධර්මය හා කාමයේ මූල්‍ය අර්ථයයි)

ධර්මය හා කාමය, අර්ථය මත රඳා පවතින බව කෞටිල්‍ය පවසයි. මේ බව සැබැවින්ම දැන් අපට පසක් වී ඇත. අර්ථය එනම් ධනය නොමැතිකම නිසා රටේ සියල්ල අඩපණ වී ඇත. ආර්ථිකය බංකොලොත් වී ඇති පසුබිමක ධර්මය ගැන, සැප සම්පත් භුක්ති විඳීම ගැන කවර කථාද? ‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ සියලු සත්ත්වයෝ අහාරය මත යැපෙති.

ආහාර සපයා ගන්නට මුදල් තිබිය යුතුය. මුදල් නොමැතිව ආහාර සපයා ගැනීම අපහසුය, මුදල් තිබුණද අත්‍යවශ්‍ය ආහාර නැතිනම් එයද ඛේදවාචකයකි. කුසගින්න ඇති තැන ධර්මයට ඉඩක් නැත. පංචේන්ද්‍රියන් පිනවීමට අවස්ථාවක් නැත. ඒ නිසා රටේ ආර්ථිකය මැනවින් පාලනය කිරීම රජු සතු ප්‍රධාන වගකීමකි.

මර්යාදාං ස්ථාපයේත් ආචාර්යාන් අමාත්‍යාන් වා. ය ඒනම් අපායස්ථානේභේ‍යා් වාරයේයු–. ඡායානාලිකාප්‍ර‍ෙදා්තේන වා රහසි ප්‍රමාද්‍යන්තම් අභිතුදේයු–. (7 අධ්‍යාය)

තමාගේ මර්යාදාව රැකීම සඳහා ආචාර්යවරුන් නැතහොත් අමාත්‍යවරුන් පත්කරන්නේය. නිසි ලෙස පත්කරගත් ආචාර්යවරු, අමාත්‍යවරු විපත්වලින් රජුව ගලවා ගනිති. හුදෙකලාවෙහි සහ ප්‍රමාදයෙහි ඇලී සිටින රජු අවදි කරති. රජකුට තනිව රටක් පාලනය කළ නොහැකිය. ඒ සඳහා ඒ ඒ විෂයපථ නියෝජනය කරන ඒ ඒ විෂයයන්ගේ මනා දැනුමක් ඇති ඇමැතිවරුන් පත්කරගත යුතුය.

සහායසාධ්‍යං රාජත්වං චක්‍රමේකං න වර්තතේ

කුර්වීතසචිවාංස්තස්මාත් තේෂාං ච ශ්‍රැණුයාන්මතම් (7 අධ්‍යාය)

එක් රෝදයකින් රථය ගමන් කළ නොහැකි සේ රාජකාරියද සහයෝගයෙන් තොරව පවත්වාගත නොහැකිය. ඒ නිසාම රජු ඇමැතිවරුන් පත්කොට ඔවුන්ගේ මත ශ්‍රවණය කළ යුතුය. ඒ අනුව රජු තමාගේ ප්‍රදේශය, රාජ්‍යය සුරැකීම සඳහා ඇමැතිවරුන් පත්කළ යුතුය. එහිදී සැලකිල්ලට ගතයුතු අමාත්‍ය සම්පත් මෙසේ විග්‍රහ කරයි.

ඇමැතිවරයෙකු තුළ තිබිය යුතු සම්පත්:

ජානප‍ෙදා්භිජාත– ස්වවනුග්‍රහ– කෘතශිල්පශිල්ප– චක්ෂුමාන් ප්‍රා‍ෙඥා ධාරයිෂ්ණු– දක්ෂ– වාග්මී ප්‍රගල්භ– ප්‍රතිපත්තිමාන් උත්සාහප්‍රභාවයුක්ත– ක්ලේශසහ– ශුචි මෛත්‍රෝ දෘඪභක්ති– ශීලබලාරෝග්‍යසත්වයුක්ත– ස්තම්භචාපලහීන– සංප්‍රියෝ වෛරාණාං අකර්තේත්‍යම් ඉති අමාත්‍යසම්පත්.

(මන්ත්‍රීපුරෝහිතයෝර්නියුක්ති– නම් 9 වැනි අධ්‍යාය)

(සිය රටෙහි උපන්, කුලවත්, දුර්ගුණවලින් තොර, ශිල්ප දත්, අර්ථශාස්ත්‍රයෙහි උගත්, බුද්ධිමත්, ස්මෘතිමත්, චතුර, කතාවේ දක්ෂ, ප්‍රතිභාපූර්ණ, උත්සාහවත්, ප්‍රභාවශීලී, කෙලෙස් ඉවසීමෙහි සමත්, පිවිතුරු, මිත්‍රගුණවලින් යුක්ත, දෘඪ භක්තිමත්, සිල්වත්, නිරෝගී බව හා ධෛර්යසම්පන්න, අහංකාරය හා චපල බවින් තොර, ප්‍රිය හා වෛරයෙන් තොර පුද්ගලයා ශ්‍රේෂ්ඨ අමාත්‍ය ධුරයට සුදුසු වෙයි)

මූලික වශයෙන්ම ඇමැති තනතුර සඳහා තෝරා ගන්නා තැනැත්තා තම රටෙහි උපන් කෙනකු විය යුතුය. විදේශීය තැනැත්තකු හෝ විදේශ පුරවැසිභාවය ඇති තැනැත්තකුට ඇමැතිකම් පැවරීමේ නොහැකියාව පිළිබඳ ඉඟියක් මේ තුළ අන්තර්ගත වේ. එමෙන්ම සමාජ පිළිගැනීමක් ඇති, දුර්ගුණවලින් තොර අයට ඇමැතිකම් දිය යුතුය. සමාජ විරෝධී ක්‍රියා සිදු කළ, මත්ද්‍රව්‍ය, මත්පැන් හා සම්බන්ධ ව්‍යාපාරවලට සම්බන්ධ, ඒ සඳහා අවසරපත් ඇති අයට ඇමැතිකම් දීම නොකළ යුතුය. විශේෂයෙන්ම

කිසිදු ශිල්පයක් ප්‍රගුණ කොට නැති හුදෙක් කටේ බලයට පමණක් ප්‍රසිද්ධකම් උසුලන වාචාලයන් ඇමැති නතුරුවලට පත් නොකර ශිල්ප දත් හොඳ දැනුමක් ඇති, බුද්ධියක් ඇති අයට ඇමැතිකම් ලබා දිය යුතුය. තවද ඇමැති ධුරයක් දැරීමට, තම විෂය පථයේ වැඩ කටයුතු කිරීමට හොඳ ස්මෘතිමත් බවක් තිබිය යුතුය. එමෙන්ම ප්‍රතිභාපූර්ණ එනම් ලෝකය දෙස, ප්‍රශ්න දෙස, නව ව්‍යාපෘති දෙස, රටේ අභිවෘද්ධිය ඇති කිරීම උදෙසා අලුත් විධියට හිතන්නට අලුත් විදියට දකින්නට හැකි උදවියට ඇමැතිකම් දිය යුතුය. අවුරුදු 70, 80 පසුකළ උදවියට එවැනි ස්මෘතියක් තිබේද?

නිරෝගී බවක් තිබේද? ප්‍රතිභාවක් කොයින්ද? තවද ප්‍රශ්න, ගැටලු, නින්දා අපහාස ඉවසීමේ හැකියාවද තිබිය යුතුම ගුණාංගයකි. එමෙන්න බලයට පත්වූ දා සිට දේශපාලන තරහ, පෞද්ගලික වෛර පිරිමහ ගන්නා කෙනකු නොවී වෛරයෙන් තොරව මිත්‍රශීලී ගුණාංගයන්ගෙන් යුක්ත විය යුතුය. අහංකාර, උඩඟු බවින් තොර අන් මතවලට සවන් දෙන අය ඇමැති ධුරවලට පත් කළ යුතුය. මෙම අමාත්‍ය සම්පත්වලින් තොර දුර්ගුණවලින් පිරි පිරිසක් රටේ ඇමැතිකම් කරද්දී රටක් අගාධයෙන් අගාධයට යෑම පුදුමයට කරුණක් නොවනු ඇත.

තේෂාං ජනපදභිජනමවග්‍රහං චාප්ත– පරීක්ෂතේ, සමානවිදේ‍යභ්‍ය– ශිල්පං ශාස්ත්‍ර චක්ෂුෂ්මත්තාං ච. කර්මාරම්භේෂු ප්‍රඥාං ධාරයිෂ්ණුතාං දාක්ෂ්‍යං ච. කථායෝගේෂු වාග්මිත්වං ප්‍රාගල්භ්‍යං ප්‍රතිභානත්වං ච. ආපද්‍යුත්සාහප්‍රභාවෞ ක්ලේශසහත්වං ච. සංව්‍යවහාරාත් සෞචං මෛත්‍රතාං දෘඪභක්තිත්වං ච. සංවාසිභ්‍ය– ශීලබලායෝග්‍යසත්වයෝගමස්තම්භමචාපල්‍යං ච. ප්‍රත්‍යක්ෂත– සංප්‍රියත්වමවෛරිත්වං ච. (9 වැනි අධ්‍යාය)

එම ගුණයන් අතරට මන්ත්‍රිවරයාගේ දේශය, කුලය, හා සුදුසුකම් පිළිබඳව විශ්වාසවන්ත ජනයාගෙන් අසා දැනගත යුතුය. ශිල්ප ශාස්ත්‍ර හා නිපුණ බව සහාධ්‍යායින්ගෙන් හෙවත් එකට ඉගෙනගත් අයගෙන්, ප්‍රඥාව, ස්මෘතිය, හා දක්ෂතාව, කාර්යයන්හි වාග් චාතුර්ය, ප්‍රගල්භ බව, හා ප්‍රතිභාව, වාගාලාප කරන විට ද, උත්සාහය, ප්‍රභාව හා සහනශීලිත්වය, උපද්‍රව කාලයේදී කටයුතු කරන ආකාරය දෙසද බලා තීරණය කළ යුතුය. පිවිතුරු බව, මිත්‍රත්වය හා දෘඪ භක්තිය, ව්‍යවහාරයෙන්ද, ශීලය, බලය සහ නිරෝගගීකම ධෛර්ය, අහංකාර බවෙන් තොර බව චපල නොවන බව, සහවාසීන්ගෙන්ද අසා දැනගත යුතුය. ප්‍රියත්වය හා අවෛරීභාවය ප්‍රත්‍යක්ෂ වශයෙන්ද අවබෝධ කරගෙන අමාත්‍ය තනතුරට පත් කළ යුතුය.

මෙයින් කියැවෙන්නේ ඇමැතිවරුන් පත් කිරීමේදී රජු සැබෑම දක්ෂයකු විය යුතුය. ඔවුන් ගැන හොඳ කියවීමක් ඇති තැනැත්තකු විය යුතුය. තම පෞද්ගලික හිතවත්කම්වලට, තමාව බලයට ගෙනෙන්නට කටයුතු කළ පමණින්, තමා ගන්නා ඕනෑම තීරණයකට අත උස්සන අය අමාත්‍ය ධුරවලට පත් නොකළ යුතුය.

කෞටිල්‍යගේ කාලයෙහි අද මෙන් ජනමත විචාරවලින් රජයක් පත්කරගන්නා න්‍යායක් නොතිබුණි. රජු විසින් තෝරාගත් පිරිසකට අමාත්‍ය තනතුරු පිරිනමා ඇත. නමුත් අද තත්ත්වය වෙනස්ය. ජනමත විචාර මඟින් තෝරා පත්කර යවන පිරිස අතරින් තෝරාගත් පිරිසකට රජු අමාත්‍ය ධුර ලබා දෙයි.

ඇමැතිවරුන් පත් කිරීමේදී රජතුමා ඉහත දැක්වූ කරුණු පිළිබඳ කියවීමක් ඇති කෙනකු විය යුතු වගේම ඔවුන් පත්කරන, ඔවුන්ට ඡන්දය දෙන ජනතාවද තමන් ඡන්දය දෙන අය කෙරෙහි හොඳ කියවීමක් තිබිය යුතුය. එමෙන්ම රටක් අභිවෘද්ධිය කරා රැගෙන යෑමට රජු හෝ ඔහුගේ පාලනය, අමාත්‍යවරුන්ගේ චර්යාවන්, තනතුරු මේ සියල්ලම නිසි ලෙස පාලනය වන, ක්‍රමවත් රාමුවක්, පොදු ක්‍රමවේදයක් සකස් කළ යුතුය, සකස් විය යුතුය.

එවිට තම තම පෞද්ගලික න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරනවා වෙනුවට පොදු රාමුවට, ක්‍රමවේදයට අනුව රජුට හා අමාත්‍යවරුන්ට කටයුතු කරන්නට සිදු වේ. එවිට අප විසින් පත්කොට යවන, පාලනයට ගෙනෙන උදවිය අප බලාපොරොත්තු වූ තරමටම හොඳ නායකයන් නොවුණද ඇතිවිය හැකි විනාශකාරී බව අවම වනු ඇත.

රාජකීය පණ්ඩිත

මාවෙල

සීලරතන හිමි