දේපළ තණ්හාවට බිරියට වස කවා නැන්දම්මා මරපු නරුම බෑනෙක්..!

0
98

අපරාධයක් කිසිසේත් වසන් කළ නොහැකිය. එවැන්නක් කෙසේ හෝ සඟවන්නට අපරාධකරුවකු උත්සාහ කළද දක්ෂ පළපුරුදු තීක්ෂණ පොලිස් විමර්ශකයා හමුවේ එම සැඟවුණු අපරාධය අනිවාර්යයෙන්ම හෙළිවන්නේය. ඒ අපරාධකරුට වඩා පොලිස් නිලධාරියා දැනුම, කුසලතාව ප්‍රගුණ කර ඇති නිසාය. මෙවන් දක්ෂ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින තාක්කල් අපරාධකරුවකුට නීතියෙන් බේරීමට නම් ඉඩක් නොමැත.

ඉකුත් දිනක කැලණිය කොට්ඨාසයේ මහබාගේ පොලිස් වසමේ වයෝවෘද්ධ කාන්තාවක් සිය නිවෙස තුළ පිලිස්සී මියගියාය. මේ සම්බන්ධයෙන් මහබාගේ පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරීන් පුළුල් විමර්ශනයක් පැවැත්විය. ඒ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ගුරුහරුකම් මැදය. මෙම උපදෙස් මත ඇරැඹූ විමර්ශනයේදී එම කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය. ඒ පැය 20ක් වැනි කෙටි කාලයක් ඇතුළතය.

සිද්ධිය එකිනෙක දිග හැරෙන්නේ මෙලෙසය.

ඒ ඉකුත් ජුනි මස 6 වැනිදාය. වේලාව අලුයම 6ට පමණ ඇත. 119 හදිසි ඇමැතුම් අංශයට ලැබුණු දුරකථන ඇමැතුමකි.

“අනේ සර් අපේ ගෙදර හොරු කඩලා. මගේ අම්මා මරලා පුච්චලා.”

ඇමැතුම ලබාදුන් පුද්ගලයා කියන්නට විය. සිද්ධිය හදිසි ඇමැතුම් අංශය මඟින් මහබාගේ පොලිසියට දැනුම් දුන්නේ අදාළ නිවෙසේ ලිපිනයද සමඟය. ඒ වනවිට මහබාගේ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ගුණතුංගය. ඒ ස්ථානාධිපතිවරයා නිවාඩු ලබාගොස් සිටීම නිසාය. සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කණ්ඩායමක් සමඟ මහබාගේ, ගල්උඩුපිට ප්‍රදේශයේ අදාළ නිවෙස බලා පිටත්ව ගියහ.

නිලධාරීන් නිවෙසට යන විටත් නිවෙසේ ‍ෙදාර විවර වී තිබිණි. නිවෙස අසලම පුද්ගලයකු විය.

“ඔයාද 119 එකට කෝල්  එකක් ගැහුවේ.”

“ඔව් සර්. මම මහබාගේ පොලිසියට කතා කරන්නත් හැදුවා. ඒක එන්ගේජ්. පස්සේ තමයි 119 එකට ගැහැව්වේ.”

නිලධාරීන් විවර වූ ‍ෙදාරෙන් නිවෙසට ඇතුළු විය. නිවෙසේ කාමර අතරින් දෙවැනි කාමරයේ බිම කාන්තාවක් පිලිස්සෙමින් සිටියා. ඒ වනවිට ගින්න මැඬපැවැත්වී තිබුණද ගිනි පුපුරු සමඟ දුමාරය විහිදෙන්නට විය. ඒ සමඟම මහබාගේ පොලිසියේ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති අනුෂ රූපසිංහද අපරාධ විමර්ශන නිලධාරීන් සමඟ සිද්ධිය වූ නිවෙසට පැමිණියහ.

“මොකක්ද වෙලා තියෙන්නේ. කවුද මේ මැරිලා ඉන්නේ…”

ඔහු නිවෙසේ සිටි පැමිණිලිකරුගෙන් විමසුවේය.

“සර්. මේ නැතිවෙල ඉන්නේ මගේ නැන්දම්මා. මම පාන්දර හයට විතර ගෙදර ආවා. ගෙදර ‍ෙදාර වහලා තිබුණේ. ගේ ඇතුළෙන් දුමක් ආවා. ඒ නිසා මම ‍ෙදාර කැඩුවා. එතකොට තමයි මම දැක්කේ අම්මා ගිනි ගොඩක පිච්චෙනවා. මාත් පුළුවන් තරම් උත්සාහ ගත්තා ගින්න නිවන්න. බැරිම තැන තමයි වන් වන් නයින් එකට කතා කළේ.”

පැමිණිලිකරු පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ කියාගෙන ගියේය. පැමිණිලිකරුගේ නැන්දම්මා බව කියන තැනැත්තිය  කාමරයේ ඇඳ ආසන්නයේ බිම ගිනි ගොඩක පිලිස්සෙමින් තිබිණි. ඒ පිලිස්සුණු දෑ අතර රෙදිපිළි, අත්බෑග් ඇතුළු නානාවිධ ද්‍රව්‍ය තිබිණි.

“සර් මේ බලන්න මමයි නෝනයි ඉන්නේ මේ කාමරේ. ඒකේ යකඩ අල්මාරියත් කඩලා. මේකේ නෝනගේ රත්තරන් බඩු, සල්ලි එහෙම තිබුණා. කොච්චර තිබුණද කියලා මම දන්නේ නැහැ. නෝනා තමයි දන්නේ. මේ සේරම රෙදි අවුස්සලා. හොරෙක් ගෙදරට ඇවිත් රත්තරන් බඩුයි සල්ලියි අරගෙන මගේ අම්මවත් මරලා ගිහින් සර්…”

ඔහු කියන දේ සැබෑය. නැන්දම්මා නිදා සිටි කාමරයේ අල්මාරියද අවුස්සා රෙදිපිළි බිම දමා ඇත. සමහර ඇඳුම් නැන්දම්මාගේ ගිනිගෙන දැවෙන සිරුර මත පිලිස්සී ගොසිනි. පැමිණිලිකරු හා බිරිය රැඳී සිටින මුල් කාමරයේ යකඩ අල්මාරියද කඩා එහි තිබූ රෙදිපිළිද ඇද දමා තිබේ. සමහර ඇඳුම් මියගිය කාන්තාවගේ සිරුර මතම දැවී ගොසිනි. බැලූ බැල්මට මෙය සොරකුගේ, සොර මුළකගේ ක්‍රියාවකි.

සිද්ධිය වූ ස්ථානයට සොකෝ නිලධාරීන් මෙන්ම ඇඟිලි සලකුණු නිලධාරීන් කැඳවූයේ ඉන් පසුවය. ඒ අතර පොලිස් සුනඛයාද සිද්ධිය වූ නිවෙසට කැඳවිණි.

සොකෝ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයේ සියුම් සාක්ෂි සොයන්නට වෙහෙසුණු අතර ඇඟිලි සලකුණු නිලධාරීන් කාමර දෙක තුළ අපරාධකරුගේ ඇඟිලි සලකුණු ඇත්දැයි සොයන්නට විය. එම විමර්ශනයේදී අපරාධකරුගේ යැයි විශ්වාස කළ හැකි ඇඟිලි සලකුණු 7ක් නිලධාරීන් සොයා ගත්තේය. ඉන් පහක් පැමිණිලිකරුගේ බිරියට අයත් යකඩ අල්මාරියේ සටහන් වී තිබිණි. අනෙක් සලකුණු දෙක මියගිය කාන්තාව රැඳී සිටි කාමරයේ ‍ෙදාරේය.

මේ අතර සොකෝ නිලධාරීන් කාන්තාව මියගොස් සිටි ස්ථානයේ තිබී ‘මාස්ක්’ එකක් සොයාගත්තේය. කැලණිය නිල සුනඛ ඒකකයෙන් ගෙන්වාගත් නිල සුනඛයාට ඉවට ලබාදුන්නේ එම මුව ආවරණයයි.  එහි ඉව ගත් නිල සුනඛයා කාමරය වටේම කැරකැවෙන්නට විය. වරෙක නිල සුනඛයා පැමිණිලිකරු අසලටද ගියේය. කොතෙක් ඉව දුන්නත් සුනඛයා නිවෙසින් පිටව ගියේ නැත.

මේ අතර පොලිස් පරීක්ෂක අනුෂ තවදුරටත් කාමර දෙකට යමින් එමින් සිය විමර්ශන සිදුකරන්නට විය. එතැනදි මම දැක්කා මෙයයි නෝනයි ඉන්නවා කියන කාමරේ අල්මාරියෙන් බිමට ඇදලා දාපු රෙදි අතරේ හොඳට නවපු ඇඳුම් හත අටකුත් බිම වැටිලා තියෙනවා. මට පොඩි සැකයක් ආවා. හොරෙක් මේ ගෙදරට ඇවිත් අල්මාරි අවුස්සලා රත්රන් හරි සල්ලි හොයනවානම් අල්මාරියේ තියෙන හැම රෙද්දක්ම අවුස්සලා ගසලා සල්ලි හරි රත්රන් හරි හංගලා තියෙනවද කියලා බලනවනේ. මෙච්චර රෙදි අවුස්සපු හොරා මේ නවපු ඇඳුම් ටික උස්සලා ගසලා බැලුවේ නැත්තේ ඇයි කියලා.”

පොලිස් පරීක්ෂක අනුෂට කිසියම් සැකයක් ඇතිවූයේ එතැන් පටන්ය. සාර්ථක විමර්ශන රැසක් සිදුකළ නිලධාරියකු වූ හෙතෙම ඒ අනුව සැක කළේ මෙම නිවෙසට හොරු ඇතුළු වී නැති බවය. ඔහු ඒ බව නොදන්වා දිගින් දිගටම විමර්ශන සිදුකරන්නට විය. පැමිණිලිකරුද ඒ අසලම රැඳී සිටියේය. ඔහුට නිවෙසින් පිටව නොයන ලෙස පොලිස් පරීක්ෂක අනුෂ දැනුම් දී තිබීම ඊට හේතුව විය.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන්නට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ක්‍රියා කළ අතර මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ රසපරීක්ෂකවරයාද දැනුවත් කිරීමට හෙතෙම පියවර ගත්තේය.

ඒ අනුව සිද්ධිය වූ නිවෙසට පැමිණි මහෙස්ත්‍රාත්වරයා මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර ඒ අවස්ථාවේ මියගිය කාන්තාවගේ සිරුර හඳුනා ගැනීමට පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පැමිණිලිකරුට කීවේය.

“අනේ සර්. මට අම්මව බලන්න බැහැ. මට ක්ලාන්තේ හැදෙයි…”

පැමිණිලිකරු එසේ කියමින් මියගිය කාන්තාව හඳුනා ගැනීමද ප්‍රතික්ෂේප කළේය. පසුව අනාවරණය වූයේ මෙසේ පිලිස්සී මරණයට පත්ව ඇත්තේ වනිගසූරියගේ රූපවතී පෙරේරා නමැත්තිය බවය. ඇගේ වයස අවුරුදු 75කි.

පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීයාගේ උපදෙස් මත පිලිස්සී මියගිය කාන්තාවගේ සිරුර සිද්ධිය වූ නිවෙසින් ඉවත්කිරීමට අපරාධ විමර්ශන නිලධාරීන් කටයුතු කළේය. පසුව ඇගේ සිරුර රාගම රෝහල වෙත රැගෙන ගියේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහාය. ඒ මරණයට පත් වූ කාන්තාව කෙසේ මියගියේ දැයි දැනගැනීම සඳහාය. ඉන් අනතුරුව යළි විමර්ශන ඇරැඹීය.

“මේ වෙනකොට මම සැක කළා මේ ගෙදරට හොරෙක් පැනලා නැහැ. මේක කරන්න ඕන ගෙදර කෙනෙක් කියලා. සොකෝ නිලධාරීනුත් කිව්වා සර්, මේකේ මොකක් හරි ගේමක් තියෙනවා කියලා. නිල සුනඛයා ගෙනාපු නිලධාරිනුත් කිව්වා, සර් බල්ලා එළියට යන්නේ නැහැ. මේකේ ඇතුළේම මොකක් හරි සීන් එකක් තියෙනවා කියලා. එතකොට මටත් සැක හිතුණා. මේ පැමිණිලිකරුද මේක කළේ කියලා.  ඒත් ඒ වගක් නොපෙනෙන විදිහට දිගටම මම විමර්ශන කළා.

ඒ වෙනකොට රසපරීක්ෂකවරයාත් ජේ.එම්.ඕ. මහත්තයත් ඇවිත් කාන්තාවගේ සිරුරත් රෝහලට අරගෙන ගිහින් තිබුණේ. පස්සේ මම අර ගෑනු කෙනා පිච්චුණු තැන දැවිලා තිබුණු කොටස් එහෙට මෙහෙට කර කර ඇවිස්සුවා…

ඔය අවුස්සද්දී මට හම්බවුණා රුපියල් පන්දාහේ කොළ ගොඩක්. රත්රන් බඩු ටිකක්. ඒ සේරම අර කාන්තාව මැරුණු ගිනි ගොඩට දාලා තිබුණට ඒවායේ භාගයක් පිච්චිලා, භාගයකට මුකුත් වෙලා නැහැ. එතන තිබුණා පන්දාහේ, දාහේ, රුපියල් ලක්ෂ දෙකයි අසූනවදාහක සල්ලි. ඒ අළුයටම රත්රන් බඩුත් තිබුණා. එතකොට මට තහවුරු වුණා මේක හොරෙක් කරපු දෙයක් නෙමේ කියලා. හොරෙක් කළා නම් පන්දාහේ කොළයි රත්රන් බඩුයි ගින්දරට දාන්නේ නැහැනේ. අරන් යනවා මිසක්. මට තේරුණා මේ කාන්තාව මරලා ඒක සොරුන් කරපු වැඩක් බව ඒත්තු ගන්වන්න මේ විදිහට කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ඒ ගිනිගොඩේ භාගෙට පිච්චිලා තිබුණා කාන්තාවගේ අත්බෑග් එකකුත්. අර පැමිණිලිකරු ඒක හඳුනගත්තා එයාගේ බිරියගේ හැන්ඩ්බෑග් එක කියලා.

පොලිස් පරීක්ෂක අනුෂ විමර්ශන සිදුකළ ආකාරය එසේ කියන්නට විය.

“මට තේරුණා ෂුවර් එකටම මේක කරන්න ඇත්තේ මේ පැමිණිලිකරු වෙන්න ඕන කියලා. මම ඒත් ඒ වගක් හැඟෙව්වේ නැහැ. මම මිනිහට කතා කරලා එතනම මිනිහගේ කට උත්තරයක් ලිව්වා.”

“තමන්ගේ නෝනා කෝ..”

“සර් එයා අසනීප වෙලා. රාගම ප්‍රයිවට් හොස්පිට්ල්  එකේ ඇඩ්මිට් වෙලා ඉන්නේ.”

“කවදද  එයාව හොස්පිට්ල් ඇඩ්මිට් කළේ?

“පස්වැනිදා හවස සර්…”

“කවුද ගියේ එයා ඇඩ්මිට් කරන්න”

“මමයි නැන්දම්මයි සර්… මගේ කාර් එකේ තමයි අරගෙන ගියෙත්”

“කවුද  එයා ළඟ හිටියේ”

“එයාව හොස්පිට්ල් එක්කරගෙන ගිය දවසේ එයත් එක්ක නැන්දම්මා නතර වුණා. මම ගෙදර ගියා. පස්සේ එදා රෑ මම ඉස්පිරිතාලේ නතර වුණා. නැන්දම්මා ත්‍රීවීලර් එකක ගෙදර යැව්වා. හය වැනිදා පාන්දර පහට විතර මම නෝනාට රෙදි වගයක් ගන්න කියලා මගේ කාර් එකෙන්ම ගෙදර ආවා. එතකොට තමයි මම ගේ ඇතුළේ දුමක් දැක්කේ. නැන්දම්මා පොඩි සද්දෙටත් එළියට එනවා. නැන්දම්මා පේන්න හිටියේ නැති නිසා නැන්දම්මාට කරදරයක්ද කියලා ‍ෙදාර කඩලා බැලුවේ.”

“හරි. තමන් කීයටද හොස්පිට්ල් එකෙන් ආවේ?”

“පාන්දර පහට විතර ඇති සර්”

“ඊට කලින් ආවෙම නැහැ”

“අනේ නැහැ සර්. නෝනා ළඟටම වෙලාමයි හිටියේ”

“හරි තමන් පැත්තකට වෙලා ඉන්න. කොහේවත් යන්න එපා මම කියනකම්”

එසේ පැමිණිලිකරුට කී පොලිස් පරීක්ෂක අනූෂ සිය බුද්ධි නිලධාරීන් වූ සැරයන් කරුණාරත්න සහ කොස්තාපල් ලියනගේ කැඳවා පැමිණිලිකරුගේ බිරිය ගැන විස්තර සොයාගෙන රෝහලේ සීසීටීවී කැමරා සියල්ලද පරීක්ෂා කර බලා පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.

“ටික වෙලාවකින් මට ඒ නිලධාරීන් කතා කරලා කිව්වා, සර්. මේකේ ලොකු ඩවුට් එකක් තියෙනවා. මෙයා ඉස්පිරිතාලෙන් පාන්දර තුනයි ගාණට එළියට එනවා. ඇවිත් සුදුපාට බෑග් එකක් අරගෙන පරීක්ෂා කරනවා කියලා”

“එතකොට මට තේරුණා මෙතැන මොකක් හරි තියෙනවා කියලා. පස්සේ මම ඒ නිලධාරීන්ට කිව්වා දිගටම සීසීටීවී චෙක් කරන්න කියලා. එතකොට එයාලා කිව්වා මිනිහා පාන්දර තුනයි ගාණට හොස්පිට්ල් එකෙන් එළියට ඇවිත් කාර් පාක් එකේ තියෙන මිනිහගේ කාර් එක ළඟට යනවා. එතකොට කාර් එක තිබුණේ කා පාක් එකේ මැද. පස්සේ මිනිහා ඒක ස්ටාට් කරගෙන කා පාක් එකේ අඳුරු තැනකට ගිහින් කාර් එකේ තිබුණු සුදු පාට බෑග් එකක් අරන් ඒක ඇතුළ බලනවා කියලා. පස්සේ ටිකක් වෙලා එහෙමම ඉඳලා අර බෑග් එක අරගෙන ගිහින් කාර් එකේ ඩිකියට දානවා කියලා. කැමරාවල ඒවා හොඳට පේන්න තියෙනවා කියලත් එයාලා කිව්වා.”

පොලිස් පරීක්ෂක අනූෂ කියන්නට විය. ඒ වනවිට කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ (ච්ඛ්ච්ඕ) නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශනවලට එක්ව සිටියහ.

“එතකොට මම තීරණය කළා පැමිණිලිකරුම තමයි මේ වැඩේ කරන්න ඇත්තේ කියලා. ඒක මූට තේරිලද කොහෙද මූ ගෙදර තියෙන ඇඳුම් බෑග් එකකට ඇඳුම් දාගත්තා. ඒත් එක්කම මම ඩිවිෂන් සර්ට කතා කරලා කිව්වා සර් මූ පනින්න වගේ හදන්නේ මොකද කරන්නේ කියලා”

පොලිස් පරීක්ෂක අනූෂට ඉදිරියට විමර්ශන සිදුකළ යුතු ආකාරය ගැන උපදෙස් රැසක් දුන් කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැමිණිලිකරු කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට භාරදී ඉදිරි විමර්ශන සිදුකරන ලෙස කීවේය.

“පස්සේ ඩී.සී.ඩී.බී. එකේ නිලධාරීන්ට මම පැමිණිලිකරු භාරදීලා මම නැග්ගා මිනිහගේ කාර් එකට. ඒ වෙනකොට ගේ ඉස්සරහ නතර කරලා තිබුණේ. මම කාර් එකට නැඟලා ඒක සෝදිසි කරලා ඩිකිය බලද්දී සුදු පාට බෑග් එකක් හම්බවුණා. ඒක බලද්දී ඒකේ ලක්ෂ ගාණක රත්රනුයි, සල්ලියි තිබුණා. දැන් මට තහවුරුයි නැන්දම්මා මරලා ඒක හොරුන් කළ බව පොලිසියයි උගේ ගෑනිවයි අන්දන්න තමයි මූ මේක කළේ කියලා.”

ඒ වෙනකොට තවත් තොරතුරක් පොලිස් නිලධාරීන්ට ලැබිණි. ඒ රෝහල්ගතව සිටි පැමිණිලිකරුගේ බිරිය රෝහලෙන් ටිකට් කපාගෙන ඇති බවය. ඒ බව දත් පොලිස් පරීක්ෂක අනූෂ ඇයව සිද්ධිය වූ ඇගේම නිවෙසට කැඳවා ඇගෙන්ද ප්‍රකාශයක් ලබාගත්තේ පැමිණිලිකරුගේ මෝටර් රථයේ තිබී සොයාගත් රන් ආභරණ හා මුදල් තොගයද පෙන්වමින්ය.

“මේ සේරම මගේ රත්රන්. සල්ලිත් මගේ. ඔයිට වඩා තිබුණා. සේරම තිබුණේ අල්මාරියේ” ඇය විමර්ශන නිලධාරීන් හමුවේ කීවාය. පසුව ඇගේ ප්‍රකාශයක්ද ඒ මොහොතේම සටහන් කරගනු ලැබීය. ඇය දන්නා දේ සියල්ලම හෙළි කළාය.

“සර්, මීට කලිනුත් මේ වගේ දේවල් වුණා.. ඒවා ගැන කියලා මහබාගේ පොලිසියට පැමිණිලි තුන හතරකුත් දාලා තියෙනවා.”

ඇය නිලධාරීන් ඉදිරියේ කියන්නට වූවාය. විමර්ශනයේදී අනාවරණය වූයේ මෙම පැමිණිලිකරු මීට කලින්ද නිවැසියන්ට වස මිශ්‍ර වූ කේක් කන්නට දී ඇති බවය. මේ අවස්ථාවේදී මියගිය කාන්තාව විසින් හදා වඩාගත් තරුණියක්ද පැමිණ පැමිණිලිකරු විසින් කරන ලද එවන් ක්‍රියාකාරකම් රැසක් පොලිස් නිලධාරීන් ඉදිරියේ කීවේය.

“ඇයි තමන් හොස්පිට්ල් ඇඩ්මිට් වුණේ?”

නිලධාරීන් පැමිණිලිකරුගේ බිරියගෙන් විමසීය.

“එදා මට මෙයා බත් කැව්වා. ඒ කවනකොට මට බත්වල අමුතු රසක් ආවා. හරියට මින්ට් ලොසින්ජර් රහක්. වතුර බිව්වම වතුරෙත් ඒ රහ ආවා. පස්සේ මට ක්ලාන්තයක් හැදුණා. එච්චරයි මතක”

ඇය කීවාය. ඒ අනුව නිලධාරීන් විශ්වාස කළේ සැකකරු සිය බිරිය සිහිමූර්ඡා කිරීමට හෝ ඝාතනය කිරීමේ අදහසින් කිසියම් ඔෟෂධයක් කුඩු කොට කෑමට සහ වතුරට දමා ඇති බවය.

පොලිසිය දිගින් දිගටම ඇගෙන් ප්‍රශ්න කරන්නට විය. ඒ ඇගේ සැමියා සම්බන්ධ තොරතුරු දැනගැනීම සඳහාය. ඉන්පසු හෙළිවන්නේ මෙවැන්නකි.

“මේ පුද්ගලයා විවාහක පුද්ගලයෙක්. ඒ විවාහයෙන් මෙයාට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. පස්සේ මිනිහා ඒ කසාදෙන් අයින් වෙලා තියෙනවා. මෙයාගේ ගම මාතර”

“මේ කාන්තාවත් මීට කලින් විවාහ වුණු කෙනෙක්. ඒ කෝටිපති දමිළ ජාතිකයෙක් එක්ක. ඒ පුද්ගලයාත් ඊට කලින් විවාහ වෙලා දරුවෝ ඉන්න කෙනෙක්. පස්සේ ඒ ගෑනු කෙනාගෙන් අයින් වෙලා මේ කාන්තාවත් එක්ක ජීවත්වෙලා තියෙනවා. ඔය අතරේදී ඒ දමිළ කෝටිපතියා මියගිහින්. ඒ පුද්ගලයාට කෝටි ගණනක දේපළ තිබිලා. ඒ සේරම මේ කාන්තාවට අයිති වෙලා මෙයා තමයි භුක්ති විඳලා තියෙන්නේ… ඒ අතරේ ඒ පිරිමියාගේ පාර්ශ්වයෙන් භුක්තිය ඉල්ලලා නඩුවකුත් දාලා. මෙයත් නඩු දාලා. ඒවා විභාග වෙනවා තවමත්.”

“ඔය අතරේ තමයි මේ කාන්තාවගේ මව දුවට මංගල යෝජනාවක් පත්තරේ දාන්නේ. ඒකට මනමාලයෝ 50ක් විතර ඇවිත් අවසානයේ ඒ කාන්තාව තෝරගත්තේ අපි සැකකරන පැමිණිලිකරු.”

“මිනිහා මේ ගෑනු කෙනා බඳින්න එන්නේ ඉඩම් හිමි වැවිලිකරුවකු විධියට. ඒත් ඒ කාන්තාවට මේ පුද්ගලයා එක්ක නීත්‍යනුකූලව විවාහ වෙන්න බැහැ. ඒ කාන්තාවට බූදල් නඩු තියෙන නිසා. පස්සේ පොඩි පාටියක් එහෙම දාලා එදා ඉඳලා මේ දෙන්නා නීත්‍යනුකූලව විවාහ නොවී ‘ලිවින් ටුගෙදර්’ විධියට ඉඳලා තියෙනවා.”

“මේ මනුස්සයා දැනගෙන තියෙනවා තමාගේ බිරියට කෝටි ගාණක දේපළක් තියෙනවා කියලා. ඒක ගන්න තමයි මේ සේරම ප්ලෑන් ගහලා තියෙන්නේ.”

“පස්සේ මේ කාන්තාවටයි එයාගේ අම්මටයි තේරිලා තියෙනවා මේ මනුස්සයට මුකුත් නැහැ. මූ නිකම්ම නිකම් නිකමෙක් කියලා. එදා ඉඳන් බිරියගේ අම්මා මේ පුද්ගලයාට එරෙහිව ඉඳලා තියෙන්නේ බොරු කළා කියලා. දුවට මේ පුද්ගලයාට සල්ලි දෙන්න දෙන්නෙත් නැහැ. අම්මා එපා කියනවා.”

“මේ ළඟදි මේ කාන්තාව කෝටි එකහමාරකට විතර ජීප් එකක් අරන් තියෙනවා. ඒක ගන්නකොටත් මේ මනුස්සයා කියලා. තියෙනවා ඒක එයාගේ නමට ලියන්න කියලා ඒත් අම්මා මැදිහත් වෙලා ඒක නතර කරලා. අනික මේ පුද්ගලයා ඔය කාන්තාව එක්ක රණ්ඩු කරනවා. පහර දෙනවා. ඔහොම කරලා දවස් ගාණක් එන්නේ නැතිව ඉඳලා ජුනි මාසේ පළමුවැනිදා තමයි ආයෙත් ඔය ගෙදරට ඇවිත් තියෙන්නේ. මිනිහට සල්ලි දේපළ දෙන්න අම්මා විරුද්ධ නිසා මිනිහා අම්මත් එක්ක තරහින් ඉඳලා තියෙන්නේ.”

එදා මෙයා බිරියට බත් කවලා එයා අසනීප වුණාම ගිහින් ඉස්පිරිතාලේ නවත්තලා රෑම ආයෙත් ගෙදර ඇවිත් නැන්දම්මත් එක්ක රණ්ඩු වෙලා නැන්දම්මාව තල්ලු කරලා. නැන්දම්මගේ ඔළුව කාමරේ තිබුණු මැෂිමක වැදිලා නැන්දම්මා බිම වැටිලා. පස්සේ නැන්දම්මගේ බෙල්ල පාගලා බෙඩ්ෂීට් එකක ඔතලා කාමරේට දාලා ගිනි තියලා.

“මේක හොරෙක් කරපු බවට හඟවන්න අල්මාරි අවුස්සලා රෙදි සේරම නැන්දම්මගේ ඇඟ උඩට දාලා. අල්මාරියේ තිබුණු රත්රන් බඩුයි සල්ලියි සුදු පාට බෑග් එකේ දාගෙන අනිත් සේරම ගින්දරට දාලා ගෑනිගේ හෑන්ඩ් බෑග් එකත් දාලා. ඒත් මිනිහා දැනගෙන ඉඳලා නැහැ ඒ බෑග් එකේ තවත් සල්ලියි රත්රනුයි තියෙනවා කියලා.”

“ගින්න ඇවිළුණාට පස්සේ නැන්දම්මා මැරුවේ හොරෙක් බවට අඟවන්න ගෙදර තියපු ලොකු මන්නයකුත් ගෙනැත් නැන්දම්මගේ ඔළුව ළඟින් දාලා ‍ෙදාරත් වහලා ඉස්පිරිතාලේ ඉන්න බිරිය ළඟ ඉඳලා පාන්දර ගෙදරට ඇවිත් තමයි ‍ෙදාර කඩලා නැන්දම්මා මැරිලද කියලා බලලා පොලිසියට බොරුවට පැමිණිලි කරන්නේ… මිනිහා දැනගන්න ඇති නැන්දම්මා හිටියොත් ගෑනිගේ දේපළ සල්ලි මුකුත් මිනිහට ගන්න බැරිවෙයි කියලා. ඒ නිසා තමයි මේක කරලා හොරු පිට පටවන්න හැදුවේ”

විමර්ශන සිදුකළ නිලධාරියෙක් සැකකරුගේ පැටිකිරිය සහ සැකකරු නැන්දණිය ඝාතනය කළ ආකාරය එසේ පැහැදිලි කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කළ පොලිසිය එක් දිනක රැඳවුම් නියෝග මත සැකකරු රඳවාගෙන නැවත ප්‍රශ්න කරන්නට විය. ඒ වනවිට මහබාග පොලිස් ස්ථානාධිපතිවරයාද පැමිණ විමර්ශනවලට එක්ව සිටි අතර ඔහුද සැකකාර බෑනණුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමටද කටයුතු කළේය.

සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කැලණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත මහබාගේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතාගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ගුණතුංග, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනූෂ රූපසිංහ ඇතුළු සැරයන් කරුණාරත්න (27557), අත්තනායක හා කොස්තාපල්වරුන් වූ ලියනගේ (67633), ප්‍රේමරත්න (31826), අමිල (96812) හා කාන්තා පොලිස් කොස්තාපල් යශෝධරා (10874) ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.)

කීර්ති මෙන්ඩිස්