දැන් රටට ඕනෑ ආර්ථික විද්‍යාඥයෝ මිසක් දේශපාලන  සටන්කරුවෝ නොවෙයි

0
79

රටේ පවතින දැවැන්ත ආර්ථික කඩාවැටීම ගැන ඔබේ විග්‍රහය කුමක්ද?

මේ අර්බුදය දේශපාලන අත්දැකීම් මත පමණක් විග්‍රහ කරන්න අමාරුයි. මොකද ඒ සඳහා ආර්ථික විද්‍යාත්මක අවබෝධයක් තිබිය යුතුයි. දේශපාලකයාට සහ පොදු ජනයාට ඒ අවබෝධය නොමැති නිසයි මේ අර්බුදය හරි විධියට කියවගන්න බැරිව තිබෙන්නෙ. මෙය රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වූ ගැටලුවක්. ආණ්ඩුවේ මුදල් ලබා ගැනීම, ලබාගත් මුදල් වියදම් කිරීම, අය-වැය හිඟය පියවීම, එසේ පියවීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීම, ගත් ණයවලට වාරික පොලී ගෙවීම ආදී කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම පැවැරෙන්නෙ පාර්ලිමේන්තුවට.

පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳී අවසන්?

එහෙම වුණේ මේ හේතුවක්් නිසයි. පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම මේ වගකීම ඉටු කිරීමට තරම් ප්‍රමාණවත් තාක්ෂණික හා න්‍යායාත්මක අවබෝධයක් නැති බහුතරය නියෝජනය කිරීමේ හේතුව නිසා මෙය නිලධාරීන් කතිපයාධිකාරයක් මඟින් ඔවුන්ගේ අභිමතය පරිදි අවශ්‍ය වෙනස්කම් පාර්ලිමේන්තුව හරහා කරගෙන කාටවත් විසඳන්න බැරි ආකාරයට අර්බුදය උග්‍රකොට තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සෙ ණය අරගෙන අරගෙන ගත්තු ණය ගෙවන්න බැරිව තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට විදේශීය ණය ගෙවන්න බැරිව තිබෙනවා.

ණය ගෙවාගන්න බැහැයි කියන රටකට ජාත්‍යන්තරය තවත් ණය දෙයිද?

සාමාන්‍යයෙන් ණය බර වැඩිවෙලා ණය ගෙවාගන්න බැරිවුණාම මිනිස්සු කරන්නෙ ලියුමක් ලියලා තියලා සියදිවි හානිකොට ගැනීම. නමුත් ආණ්ඩුවකට එහෙම කරන්න බැහැ. මේ දේශයේ ඉන්න සියලු ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහ මූල්‍ය විශේෂඥයන්ගේ දැනීම ප්‍රමාණවත් නොවන නිසා තමයි මේ වගේ ලෝක පරිමාණයේ තත්ත්වයකදී ගොඩ එන්න පුළුවන් ආකාරයේ සමාගම්වලට යෝජනා කැඳවලා, ලකුණු දීලා විදෙස් සමාගම් තෝරාගෙන තිබෙන්නෙ.

ණය නැවත සකස් කර ගන්නේ කෙසේද සහ ණය නොගෙවීම නිසා ඇතිව තිබෙන නීතිමය ගැටලු විසඳා ගැනීමටත් උපදේශන සභාවක් තෝරාගෙන තිබෙනවා. මේ සමාගම් ඩොලර් මිලියන ගාණක් ගෙවලයි ලබාගෙන තිබෙන්නෙ. සල්ලි ගෙවලා විදේශ විශේෂඥ දැනුම අරන් තිබෙනවා.

ඇමැතිතුමා කියන්නෙ අපේ රටේ ඉන්න ආර්ථික විශේෂඥයන්ට මේ අර්බුදය ලෙහාගන්න තරම් ප්‍රාමාණික දැනුමක් නෑ කියලද?

ඒ නිසානෙ විදේශ විශේෂඥයන්ගෙ සහාය පතන්න සිද්ධ වෙන්නෙ. අපිට ලෙඩක් හැදුණම මුලින් අපි යන්නෙ ගෙවල් ළඟ ඉන්න වෛද්‍යවරයා ගාවට. රෝගය සුව නොවී උත්සන්න වුණොත් ආරෝග්‍යශාලාවකට යනවා. එතැනිනුත් සුව නොවුණොත් හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට යනවා. නමුත් දේශීය විශේෂඥ වෛද්‍යවරුන්ටත් සුව කරන්න බැරි නම් ඇති හැකි අය විදෙස් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය පතනවා. ඒ වගේ තමයි මුළු රටේම ආර්ථික දේහය මරණාසන්නව සිටියදී විදේශීය ආර්ථික විශේෂඥයන්ගේ සහාය ගන්න සිදුවෙනවා.

නමුත් මෙය ක්ෂණිකව ඇතිවූ තත්ත්වයක් නෙවෙයිනෙ. කාලයක සිට ක්‍රමිකව ඇතිවූවක්. මරණාසන්න මොහොතට ඇදවැටෙන්න කලින් ඔබලා මේ රෝග ලක්ෂණ හඳුනා නොගත්තෙ ඇයි?

 මම ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විධියට මට තිබුණු දීර්ඝකාලීන අත්දැකීම් සහ අධ්‍යයන දැනුම අනුව 1989 මාර්තු 20දා මගේ ප්‍රථම මංගල අය-වැය කතාවේදී මම මේ පැමිණ තිබෙන තත්ත්වය ගැන පැවැසුවා. මෙතැනට මේක එන බව මම එදා කිව්වා. මම ඉන්පසුව පාර්ලිමේන්තුව තුළ සහ පිටතත් මේ ගැන කතා කළා. ඒ දිනවල මම රාජ්‍ය මූල්‍ය අර්බුදය ගැන නිතර කියනවිට රාජ්‍ය මූල්‍ය ගැන මෙලෝ දැනුමක් නැති ජවිපෙ මට චෝදනා කළා හැමදාම එකම බණේ කියනවා කියලා. ජනතාවගේ ජීවන වියදම් වැඩිවෙන්නෙ

ලෝක වෙළෙඳපොළේ පවතින මිල සහ රුපියල අවප්‍රමාණය වීම නිසයි. නිදහස ලැබෙන්න පෙර ජීවත්වූ අපේ මවුපියෝ ඩොලර් එකක් වටින බඩු ගන්න රුපියල් 5ක්වත් ගෙව්වෙ නෑ. නමුත් අපි අද ඩොලර් එකකට ඒ බඩු ටිකම ගන්න රුපියල් 360ක් ගෙවනවා. මේ තත්ත්වය දවසකින් දෙකකින් වෙනස් කරන්න පුළුවන් කියලා කවුරු හෝ කියනවා නම් ඒවා බොළඳ සුරංගනා කතා. මේකට උත්තර දේශපාලනඥයෝ ළඟ නෑ. උත්තර තිබෙන්නෙ ආර්ථික විශේෂඥයෝ ළඟ පමණයි.

මේ අර්බුදයෙන් ගොඩ ඒම පිණිස අපි කෙටිකාලීනව කඩිනමින් ගත යුතු තීන්දු මොනවද?

 කෙටිකාලීන වශයෙන් මුළු රටම අපනයන සැකසුම් කලාපයක් බවට පත්කළ යුතුයි. මොන ක්‍රමයෙන් හෝ රටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරගන්නම වෙනවා. අපි හිතුවට තේ, රබර්, පොල්, මැණික් වැනි ඛනිජ වර්ග පිටරට යැව්වම  හුඟක් මුදල් ලැබෙනවා කියලා එහෙම ලැබෙන්නෙ නෑ. මැණික්, ඉල්මනයිට්, ටයිටේනියම් ආදී සියලු ඛනිජ අපනයනවලින් ගිය වසර තුළ අපිට ලැබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 44යි. එක තෙල් නැවක් ගේන්නවත් ප්‍රමාණවත් නෑ.

තේවලින් වසරකට ලැබෙන්නෙ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3යි. වැඩිම ගණන ලැබෙන්නෙ රෙදිපිළි, ඇඟලුම් අපනයනයෙන් කියලා හිතුවට ඒක ඇත්ත නෙවෙයි. අවශ්‍ය කරන රෙදිපිළි අමුද්‍රව්‍ය ගේන්නම අපිට යනවා ඩොලර් බිලියන 3ක්. ඇත්තටම උපයන ආදායම ඩොලර් බිලියන 2යි. රබර්වලින් ඩොලර් මිලියන 1ක් ලැබෙනවා. ඒ නිසා මේ සාම්ප්‍රදායික දේවල් වැඩි කරලා අපට අපනයන ආදායම් උපයන්න බෑ.

වෙනත් විකල්ප ක්‍රම පිළිබඳ අවධානය යොමු කොට තිබෙනවද?

සාම්ප්‍රදායික නොවන සමාජ විරෝධයට ලක්වන කංසා වැනි දෙයක් අපනයනය කළොත් ඔෟෂධ සඳහා අපිට කෙටි කාලයකින් ඩොලර් බිලියන 2 පමණ උපයන්න පුළුවන්. අපේ රටේ නීති විරෝධී කියන කංසා ලෝකයේ අනෙක් රටවල නීත්‍යනුකූල කොට තිබෙනවා නම් අපිත් නීත්‍යනුකූල බාධා ඉවත් කළොත් ක්ෂණිකව අපනයනය වැඩිකළ හැකියි. සේවා අංශය ගත්තොත් ඉන්දියාවට තොරතුරු තාක්ෂණ අපනයනය කරලා වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 200කට වැඩිය උපයනවා. නමුත් එයින් අපි උපයන්නෙ ඩොලර් බිලියන 1.7යි. අපි මෙයට නිසි අවධානය දීලා තොරතුරු තාක්ෂණ අපනයන කටයුතු කළොත් ඩොලර් බිලියන 5ක් – 6ක් සොයාගන්න පුළුවන් වෙයි. බිලියන 6ක් හම්බුණොත් අපිට තෙල් ගේන්න පුළුවන්.

විදේශ ආයෝජන දිරිමත් කිරීම සම්බන්ධයෙන් හැමදාමත් ආණ්ඩු කතා කළා. නමුත් එයත් නිසි ක්‍රමවේදයකට සිදු වෙන පාටක් පෙනෙන්නට නෑ?

අපි හිතන විධියට එයත් කරන්න බෑ. ලෝකයේ වෙනත් රටවල් අපේ රටට වඩා පහසුකම් දීලා විදේශිකයන්ට වැඳලා රෙඩ් කාපට් එළලයි ගෙන්න ගන්නෙ. අපේ තිබෙන සාම්ප්‍රදායික අදහස් නිසා අපි එන්න දෙන්නෙ සීමාවන්, බාධක දාලා. අපේ තිබෙන ජනසතු කළ නොහැකි මෝඩකම් නිසා ලෝකයේ තිබෙන දේ හරියට දකින්නෙ නෑ.

අපි කල්පනා කරන්නෙ නෑ අපිට වඩා පහළින් සිටි බංග්ලාදේශය දියුණු වුණේ කොහොමද කියලා. ඕමානය වැනි රටවල් අපට වඩා වේගයෙන් දියුණු වෙන්නෙ කොහොමද කියලා අපි දකින්නෙ නෑ. බලන් කඩතුරා හැර දෑසේ කියලා මේ රටේ තරුණයන්, උගතුන්, බුද්ධිමතුන් ලෝකය දැකලා මේ අර්බුදයෙන් ගොඩ එන්න හැදුවේ නැත්නම් කවදාවත් විසඳුමක් ලැබෙන්නෙ නෑ.

වගා සංග්‍රාමයක් ගැන කතා කළත් වවන්න අවශ්‍ය ඉඩම් සහ පොහොර ටික, දැනුම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නේද?

පටන් අරන් තිබෙන වගා සංග්‍රාමයේදී  මල්වතු පාර්ශ්වයෙ මහ නායක හිමියෝ ප්‍රකාශ කොට තිබෙනවා, සෑම පන්සල් භූමියකම වවන්න කියලා. අපේ පළාත්වල නායක හාමුදුරුවරු ශාසනාරක්ෂක මණ්ඩල සහ සියලුම පන්සල්වල වගා කරන්න සූදානම් වෙනවා. මම ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා, දුම්රිය  මාර්ගයේ දෙපස ඒ කියන්නෙ කොළඹ සිට කන්කසන්තුරේට, යාපනේට, අනුරාධපුර, පොළොන්නරුව පැත්තට යන මාර්ගය දෙපස වවන්නට සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන ඉඩම්වල වවන්න.

වසරක් වැනි කාලයක් පුරා දුම්රිය රක්ෂිතවල කෙටි කාලීන බෝග වගා කරන්න ගොවි සමිතිවලට අවසර දෙන්න කියලා මම ඉල්ලනවා. පාරට අවහිර වන උස යන බෝග වර්ග වෙනුවට අල, මිරිස්, බටු, බණ්ඩක්කා වැනි එළවළු වර්ග තමයි වවන්න සූදානම් වෙන්නෙ. දුම්රිය මාර්ගය දෙපස මිරිස් වගා කළොත් මිරිස් ආනයනය කරන්න යන සම්පූර්ණ වියදම සහ විවිධාකාරයට සකසලා අපනයනය කරන්නත් හැකි බව මට කෘෂිකර්ම ඇමැතිවරයා කිව්වා.

ඉන්දියාවත් ක්‍රමිකව ආර්ථික අර්බුදයක් කරා එමින් සිටිනවා. ලෝකයේ බොහෝ රටවල තත්ත්වයත් එහෙමයි. එවන් තත්ත්වයක් තුළ අපිට උදවු කරන්න සෙසු රටවලට හැකි වෙයිද? අසල්වැසි ඉන්දියාවත් අපිව අතහැරියොත්?

දැනට මේ බටහිර රටවල් සමඟ ගනුදෙනු කිරීමට ලංකාව තුළ සිටින වඩාත්ම සුදුසු පුද්ගලයා තමයි අගමැතිකම භාරගත්තෙ.

ඒ කියන්නෙ ඇමැතිතුමාට එජාපයේ අගමැතිව හොඳටම විශ්වාසයි?

වර්තමානයේ පවතින තත්ත්වය තුළ අන්තර්ජාතික සබඳතා ගොඩනැඟීම සඳහා වඩාත්ම ගැළපෙන සුදුසුකම් සපුරා තිබෙන පුද්ගලයා වෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ ගැන කිසිම සැකයක් නෑ. ඔහු පස් වතාවක් අගමැතිකම දැරුවා. විවිධ අභියෝගකාරී අවස්ථාවල ජාත්‍යන්තරය සමඟ යහපත් සබඳතා පවත්වා තිබෙනවා. ඔහු යෝජනා කරන්නෙත් අපිට තනිවම ගොඩ එන්න බෑ. ඒ සඳහා ඉන්දියාව, ජපානය, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ආධාර සමුළුවක් කැඳවාගත යුතු බවනේ. එය කිරීමට ජාත්‍යන්තරයේ විශ්වසනීය බවක් තිබෙන දේශපාලන නායකත්වයක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට තිබෙනවා. අපි කැමැති වුණත් නොවුණත් එය තමයි ඇත්ත.

පස් වතාවක් අගමැතිකම් කරපු ආණ්ඩුවලට මොකක්ද වුණේ කියලා මේ රටේ ජනතාව දුටුවා. අසාර්ථක දේශපාලනඥයෙක් විධියට හංවඩු ගැහුණු පුද්ගලයෙක් කෙරෙහි ජනතාවට තවදුරටත් විශ්වාසය තබා ගත හැකියිද?

 එතුමා නෙවෙයිනෙ අසමත් වුණේ. එතුමා මේ ප්‍රශ්නයට නිවැරදිම උත්තරය දුන්න නායකයා. එතුමා තමයි මේ රට මේ තත්ත්වයට ඇද වැටීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට නිවැරදිම දේ කරපු නායකයා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය එතුමා අගමැතිව සිටි ආණ්ඩුවේ මම ග්‍රාමීය කටයුතු කැබිනට් ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැතිව සිටි කාලයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නීතියක් බවට පත්කිරීම සම්බන්ධයෙන් පනතක් ගෙනාවා.

ඔබ පවසන්නෙ විවිධ සංවාදයන්ට ලක්වුණු රාජ්‍ය මූල්‍ය නීති පැනවීම සඳහා බලාත්මක කළ නෛතික විධිවිධානයක් වන 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම පනත පිළිබඳව?

ඔව්. ඒ පනතෙන් කාරණා තුනක් නීතිගත කළා. ඒක අද රටේ බොහෝ දෙනකුට අමතකයි. පළමු වැන්න 2006 වනවිට අය-වැය පරතරය 5%ට පත්කළ යුතු අතර 2006 සිට දිගටම අය-වැය පරතරය 5% නොඉක්මවිය යුතුයි. එහෙම වුණා නම් මේ ණය අර්බුදයක් එන්නෙ නෑ. දෙවැන්න 2013දී සමස්ත රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 60%ට අඩු කළ යුතු අතර ඊට වඩා වැඩි නොකළ යුතුයි යන්න.

එහෙම කළා නම් අද ණය ගෙවාගන්න බැරි වෙන්නෙ නෑ. රජය ණය වන විට ඇප විය හැක්කේ 4.5% දක්වා පමණයි යන්න තුන්වැනි නීතිය. නිලධාරීන් දේශපාලනඥයන්ට ලණු දීලා මේ නීති තුන තුන් වරක් මේ පාර්ලිමේන්තුවේදී  සංශෝධනය කෙරෙව්වා. ඒකෙ අද වන විට ඇතිවුණු ප්‍රතිඵල දන්නවද? අපි ණයවලට ඇප වෙනවා 15%ක්. අපේ ණය දළ දේශීය නිෂ්පාදිතය 100 නම් ණය 119යි. අපේ අය-වැය පරතරය 10%ට වඩා වැඩියි. මේ සියල්ල විනාශ වීම නතර කර ගන්න නිවැරදිම ප්‍රතිකාරය කරපු ලංකාවේ සිටින එකම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. සබ්ජෙක්ට් එක නොදන්න අය එතුමට චෝදනා කරනවා.

ඔබතුමාගේ පාර්ශ්වයේම මැති ඇමැතිවරු තමයි ඔහුව විවේචනය කරන්නෙ?

චෝදනා කරනකොට තම තම නැණ පමණින්නේ කරන්නෙ.

ඔහුට මේක කරගන්න බෑ කියලා චෝදනා නඟලා ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කළෙත් ඔබලම නේද?

නෑ…..නෑ… ඒවා කියලා නෙවෙයි. ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයයේ දැක්මට තමයි අපි සම්මාදම් වුණේ. ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවන්න තමයි එතුමව ජනාධිපති කළේ. නමුත් එතුමගෙ අරමුණට යන්න බැරිවෙන ආකාරයේ ඉතාම සූක්ෂ්ම සටකපට කුමන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මක වුණා.

මම ඒ කාරණාවලින් කිහිපයක් කියන්නම්. දැන් ඔය අමාත්‍යාංශ බෙදන විට නිලධාරි මණ්ඩලයක් පත්කරලනෙ ඇමැතිකම් දෙන්නෙ. අපි අසාමාන්‍ය ලෙස වැඩ කරලා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයට ගෙනාවට මට එතුමගෙ ආණ්ඩුවේ වෙළෙඳ ඇමැතිකම දුන්නෙ තටු ඔක්කොම කපලා. තටු කපලා මට ඉගිල්ලෙන්න කියනවා. ඉතිහාසය පුරාම වෙළෙඳ ඇමැතිවරුන්ට දුන්න කිසිම ආයතනයක් මට දුන්නෙ නෑ. සතොසකුයි එස්.සී.සී. එකකුයි තමා මට තිබුණේ. සිල්ලර කඩයක් කරන්න මාවම ඕන නෑනෙ.

ඒක ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. ඒක ජනාධිපතිතුමාගෙ වරදක් නෙවෙයි. අපේ ඉතිහාසයේ සිට මේ දක්වාම තමන්ගෙ දර්ශනයට අනුව මේ රටේ අය-වැය ලේඛන හදලා තියෙන්නෙ ඇමැතිවරු දෙන්නයි. එක්කෙනෙක් ජේ.ආර්. ජයවර්ධන. අනෙක් කෙනා ආචාර්ය එන්.එම්. පෙරේරා. ඊට පසුව තිබෙන අය-වැය ලේඛන සියල්ල හැදුවේ නිලධාරීන්. දැන් ඒ අය සද්ද නෑ. දේශපාලනඥයන්ට තමයි මුව හමට තඩිබානවා වගේ තඩිබාන්නෙ.

පසුගිය දිනක අගමැතිවරයා කළ විශේෂ ප්‍රකාශය තුළ කරුණු අඩංගු වුණාට ඒවා ක්‍රියාත්මක කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් ගැන පැවැසුවේ නෑ කියන චෝදනාව නැඟෙනවා?

එතුමා පැහැදිලිව කිව්වෙ රටේ දැන් පවතින ආර්ථික තත්ත්වය ගැන. ඒවගෙන් ගොඩ ඒමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ ප්‍රතිශෝධන අය-වැයෙන් පසුව එතුමා ඉදිරිපත් කරයි. එතුමා දිනපතා රැස්වීම් තබලා ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.

නමුත් තවමත් ජනතාව සහ විපක්ෂයේ බලවේග පවසන්නෙ ජනපති, අගමැති ඉවත්වෙලා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ගොඩනැඟීමට ඉඩදිය යුතු බවක්?

ඒ යෝජනාව සම්පූර්ණයෙන්ම මහපොළොව නුහුලන බොරුවක්. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඉවත්වුණාම ණය ගෙවන ක්‍රමයක් ඇතිවෙනවද? එහෙම ක්‍රමයක් ඔය කතා කියන කට්ටියට තිබෙනවා නම් ඒක අපිට කියන්න ඕනා. ඔවුන් කියන්න ඕනා ජාත්‍යන්තරයේ කාත් එක්කද ගිහින් කතා කරන්නෙ, කොහොමද කතා කරන්නෙ කියලා. විනිමය අනුපාතය අතින් හදන්න බෑනෙ. මේක 400/450/500 වුණොත් මොනවද කරන්නෙ කියලා අපිට කියන්න ඕනා.

දැන් අවශ්‍ය වෙන්නෙ දේශපාලන සටන්කරුවෝ නෙවෙයි ආර්ථික විද්‍යාඥයෝ. දවසක රජයේ ආදායම කෝටි 400යි. වියදම කෝටි 1,000යි. සෑම දවසකටම කෝටි 600ක් ඕනා. දවසකට කෝටි 600ක් හොයන්නෙ කොහොමද කියලත් ඔය කියන අය කියන්න ඕනා. මේ දේවල් කරන ක්‍රම ටික කියලා දෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. මාධ්‍යවලටත් මෙතැනදී විශාල වගකීමක් තියෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන් දැනුමැති ප්‍රාමාණිකයෝ සම්බන්ධ කරගෙන සාකච්ඡා කිරීම් වැඩි වශයෙන් මේ කාලයේ සිදුවෙන්න ඕනා.

මට දෙයක් අහන්න අමතක වුණා ඔබ ප්‍රමුඛ ඇමැති මඬුල්ල දැන සිටියද රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් කරන බවක්?

මම නම් යෝජනා කොට තිබුණා. අප්‍රේල් මාසයේ 14 වැනිදා ජනාධිපතිතුමාට පිටු 9ක ලිපියක් දුන්නා. මම එහිදී කිව්වා අගමැති ප්‍රමුඛ මැති ඇමැතිවරු ඉවත්වෙලා තාවකාලිකව තරුණ අයගෙන් ඇමැතිවරු පත්කොට ඉන් අනතුරුව සෑම පක්ෂයක්ම නියෝජනය වන ලෙස ආණ්ඩුවක් හදලා එහෙමත් නැත්නම් ගැටලු විසඳීමට සර්ව පාක්ෂික එකඟතාවක් ඇති කරගෙන ඉන් පසුව අභියෝග සහ වගකීම් භාරගත හැකි අයට තනතුරු දෙන්න කියලා. ඒ වෙනස වන බව මම පැහැදිලිව දැනගෙන සිටියා.

ඒ කියන්නෙ ඔබ කලින්ම දැනගෙන සිටියා?

අග්‍රාමාත්‍ය ධුරය සහ කැබිනට් අමාත්‍ය ධුර සුදුස්සන්ට දෙන්න කියලා අපි කියලයි තිබුණේ.

සැප්තැම්බර් වන විටවත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගන්න හැකිවේවි කියලා අගමැතිවරයා පැවැසුවා. රටක් ලෙස අපට ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබාගන්න හැකි වේවිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ ජාත්‍යන්තර සංවිධානයක්. ඒ අය බැංකුවක්. ඒ බැංකුව වැඩ කරන සිස්ටම් එකක් තිබෙනවා. ඒ සිස්ටම් එක එක එක රටවල දුක්ඛ ‍ෙදා්මනස්ස අනුව වෙනස් වෙන්නෙ නෑ. පසුගිය රජය සමයේ ඔවුන් ඇමෙරිකානු ඩොලර් බිලියන  1.5ක  වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කළා 17/18/19දී. ඒකෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම නතර කළානෙ. ඒ කාලය තුළ අර්බුදය තව උත්සන්න වුණා. දැන් නැවත සැරයක් යන්න සිදුව තිබෙනවා. එතැනින්ම තමයි ගොඩ එන්නත් වෙන්නෙ. ඊට අතිරේකව අගමැතිතුමා ඉන්දියාවට විශේෂ ඉල්ලීමක් කොට තිබෙනවා. ඒ අනුව මෝදි අගමැතිවරයා ජපානය සමඟත් සාකච්ඡා කොට තිබෙනවා ලංකාව අතනොහැර සහයෝගය ලබාදීම සඳහා.

ඉදිරි මාස 6ට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 3,500 පමණ අපි සොයාගත යුතුයි. කොහොමද ඒ ප්‍රමාණය සම්පාදනය කරගන්නෙ?

මිනිස්සු ඉල්ලන ප්‍රමාණවලින් ඉන්ධන දෙන්න බෑ. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවයේ දුම්රියට, සී.ටී.බී. බස්වලට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි. ඉන් අනතුරුව පෞද්ගලික අංශයේ බස් රථවලටත් දෙන්න කියලා අපි ඛනිජ තෙල් ඇමැතිවරයාට කියලා තිබෙන්නෙ. ඒ සඳහා මොකක් හෝ ක්‍රමවේදයකින් යුතු ඇප් එකක් හදන්න කියලත් අපි ඔහුට කිව්වා.

රුසියාවෙන් අපිට අඩු මිලට තෙල් දෙන්න සූදානම් බව කියනවා. අපි ඔවුන්ගේ උදවු ගන්නවාද?

නෑ. අනේ එහෙම නෑ. ඔය කියන තරම් කිසි දෙයක් ලේසි නැහැ. එහෙම ලේසි නම් අපි කරනවානේ. රුසියානු තානාපතිනිය අපේ හිතවතියක්. ඇය මම හඳුනන හිතවත් මහාචාර්යතුමියක්. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය ලෙස කටයුතු කළෙත් ඇය. මේ හිතවත්කම නිසා මම සතියකට දවසක් වගේ කෝල් කරලා අහනවා තෙල් ගේන්න පුළුවන්ද කියලා. කියන තරම් ලේසි නැහැ දේවල් ප්‍රායෝගිකව කරන්න.

බැසිල් රාජපක්ෂ ඉවත්වීම සහ ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පැමිණෙන බවට පළවන මත සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස?

මම ඒ ගැන තවම මුකුත් කල්පනා කළේ නෑ. දැන් ඇති කියන අදහස මට තිබෙන නිසා මම දැන් ඔය දේශපාලන දේවල් ගැන වැඩිය කල්පනා කරන්නෙ නෑ.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා එක් අවස්ථාවක පැවැසුවා බන්දුල ගුණවර්ධන ගැන හක්කෙ හංගාගත්තු තරහක් බැසිල්ට තිබෙනවා කියලා. තටු කපලා ඇමැතිකම් දුන්න එක පිටිපස්සෙත් ඔහු ඉන්නවා වෙන්න බැරිද?

මට නොදෙන ඇමැතිකම් දෙකක් තිබෙනවා. එකක් මුදල්. අනෙක අධ්‍යාපන. එහෙම නොදෙන හේතුව මම දන්නෙ නෑ. පුද්ගලයෝ සම්බන්ධයෙන් පෞද්ගලික තරහවල් මට නෑ. එතුමගෙ තරහක් තිබෙනවද මම දන්නෙ නෑ. සමහරවිට තරහක් තිබුණද දන්නෙත් නෑ. සමහරු හිතන්න පුරුදු වුණු ආකාරය අනුවනේ තරහ මරහ තීරණය වෙන්නෙ. මම ඉතින් ඕවා උපේක්ෂා සහගතව බලනවා. අවසානයේ මමත්් කල්පනා කරන්නෙ තව වෙසක් පෝය කීයක් ඉතිරිද කියන එකයි. හරියට අහුවුණා නම් ගිය 9 දී චූටි මල්ලිලා ඇවිත් වැඩේ දීලා යනවා ඊට කලින්.

21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වැඩෙත් නොකෙරෙන පාටක් නේද තිබෙන්නෙ?

ඒ පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒක පළල් සංවාද විසංවාද ඇතිවිය යුතු වැඩක් සහ ගැඹුරු අධ්‍යයනයක් ඇතිව කළ යුතු දෙයක්. ඉදිරිපත් කරපු කෙටුම්පත සංශෝධන සහිතව ගිය සතියේ කැබිනට් මණ්ඩලයට දුන්නා. දැන් සාකච්ඡා වෙන්න ඕනා ඊට පසුව එන කැබිනට් එකේදී. එවැනි සාකච්ඡා සමඟ මිසක් එක පාරට දඩස් ගාලා මේවා කරන්න බෑ.

අරුණි මල්ලවආරච්චි

ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත