ති‍ෙදාර සංවර කරන විදර්ශනාව

0
72

සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් කරුණු රැසක් පසුගිය ලිපි පෙළ තුළින් අපි සාකච්ඡා කළෙමු. මෙවර ලිපිය සකස් වනුයේ එම ලිපි පෙළේම තවත් එක් දිගුවක් ලෙසය. ඔබ පසුගිය ලිපි පෙළ කියවූවා නම් සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව සම්බන්ධව ප්‍රමාණවත් දැනුමක් ලබාගෙන ඇති බවට සැකයක් නැත.

කියවන ඔබ සහ ලියන අපද පෙර භවයකදී සිදුකළ යම්කිසි කුසලකර්මයක් හේතුවෙන් මනුෂ්‍ය ආත්මයක් ලබා ඇත. මනුෂ්‍ය ආත්මයක් ලබාගැනීම “කණ කැස්බෑවකු විය සිදුරකින් අහස බලනවා මෙන්” ඉතාමත් අසීරු දෙයක් බව ධර්මයේද සඳහන් වේ. අප එසේ ඉතාමත් අපහසුවෙන් ලබාගත් මනුෂ්‍ය ආත්මය ඵල රහිතව ගෙවා දමනවාට වඩා, ඉතාමත් ප්‍රයෝජනවත් ලෙස ගත කිරීම ඉතාමත් යහපත්.

මෙහිදී ප්‍රයෝජනවත් යන වචනය භාවිත කළේ ලෞකික වශයෙන් ලබාගන්නා දියුණුව පිළිබඳ අදහසින් නම් නොවෙයි. අද අපගේ මාතෘකාව වන්නේ විදර්ශනා භාවනාවය. එම නිසා අපගේ අරමුණ වන්නේ විදර්ශනා භාවනාවට අනුව ලබාගත හැකි ලෝකෝත්තර ප්‍රයෝජන පිළිබඳ කතා කිරීමය. විදර්ශනා භාවනාව කියන්නේ ඔබ, මම කවුරුත් බලාපොරොත්තු වන සදාකාලික නිවීම හෙවත් නිවනට යෑම සඳහා ඇති ඉතාමත් වැදගත් භාවනා ක්‍රමයකි.

අපි සංසාර චක්‍රයේ නොනවත්වා ගමන් කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ තෘෂ්ණාවයි. විපස්සනා භාවනාවෙන් සිදුකරන්නේ තණ්හාව ඇතුළු අකුසල සිතිවිලි සියල්ලක්ම ප්‍රහානය කොට ලෝකය ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. විපස්සනාව මූලික වන්නේ ප්‍රඥාව මූලික කොටගෙනය. එය අපගේ බුද්ධිය සමඟ සිදුවන ගනුදෙනුවකි. මෙමඟින් අප හට ආධ්‍යාත්මික දියුණුවක් ලබාගැනීමට හැකි වන්නේ ස්වයං නිරීක්ෂණය සහ ස්වයං අවබෝධය මඟිනි.

එහිදී අප අවබෝධ කරගත යුත්තේ ලෝකය පවතින ස්වභාවය ගැන නොව, ලෝකය පවතින සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමටය. විදර්ශනාවේදී අපගේ සිහිය මනාකොට පිහිටුවා ගනිමින් අවබෝධය ලබාගැනීමට වීර්යය කළ යුතුය. අප උපන් පාපයන් ප්‍රහානය කිරීමට, නූපන් පාපයන් නූපදවා ගැනීමට, නූපන් කුසල් ඉපැදවීමට සහ උපන් කුසල් වැඩිදියුණු කිරීමට විර්යය කළ යුතුය. මේවා අප සතර සම්‍යක් ප්‍රදාන ලෙස හඳුන්වනවා. 

විදර්ශනා භාවනාව වැඩීමට නම් අප අවට පරිසරය සාමකාමී වීම අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම අප සිල්වත් වීමද වැදගත්ය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව යමින් සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වායාම ප්‍රගුණ කරමින් සීලයෙහි පිහිටුවිය යුතුය. මන්ද ප්‍රඥාව ලබාගැනීමට නම් ත්‍රිශික්ෂාවේ ඇති සීල, සමාධි, යන කාරණා දෙක සම්පූර්ණ කළ යුතුය. එම නිසා භාවනාව වැඩීමට ප්‍රථමව සිත, කය, වචනය යන තුන්‍ෙදාර සංවර කර ගැනීමටත් චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීමටත් පහසු වේ.

සීලය පිහිටුවා ගැනීමෙන් අනතුරුව ඉවක් බවක්, පරක්-තෙරක් නොමැතිව දුවන සිත එක් අරමුණක පිහිටුවා ගත යුතුය. ඒ සඳහා ආනාපානාසති භාවනාව යොදාගත හැකිය. ආනාපානාසති භාවනාව සමථ භාවනාවට මෙන්ම විදර්ශනා භාවනාවට යොදා ගැනේ. මෙහිදී අප ස්වාභාවිකව ආශ්වාස සහ ප්‍රශ්වාස කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සිහිය පිහිටුවා ගනිමින් සිත එක්තැන් කරගැනීමට වීර්යය කළ යුතුය. පුද්ගලයකු සිල්වත් වූ විට සහ සිත  එකඟ කරගැනීමේ පියවරයන් දෙක සම්පූර්ණ කළ පසු තෙවැනි පියවරට පැමිණිය හැකිය.

මෙහිදී සිල්වත් වීම සහ සිත එකඟ කරගැනීම තනි තනිව හෝ සම්පූර්ණ කළ හැකි මුත්, තෙවැනි පියවරේදී මේ සියල්ල එකට ප්‍රගුණ කළ යුතුය. තෙවැනි පියවර වන්නේ විපස්සනාව වැඩීමය. එනම් නිරන්තරයෙන් වෙනස් වෙමින් සංවේදනා ලෙස ප්‍රකට වන නාමරූප (චිත්ත, ශාරීරික, ක්‍රියාදාම තමා තුළ අත්දකිමින්, ක්‍රමානුකූල හා හැඟුම්බර වීමෙන් තොරව නිරීක්ෂණය කිරීමය.)

මෙය ස්වයං නිරීක්ෂණයෙන් ස්වයං විශුද්ධියට පත්වීම ලෙසද හඳුන්වයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ අග්‍රඵලය ලෙසද මෙය පෙන්වා දිය හැකියි. මිනිසුන් වශයෙන් අප දිනපතා සිදුකරන්නේ ලෞකික වශයෙන් තම ජිවිතය ගොඩනංවා ගැනීමය. නමුත් එමඟින් අපට ලෝකෝත්තර සුවයක් ලබාගැනීමට නොහැකිය. ලෝකෝත්තර සුවය ලබාගැනීමට නම් ප්‍රඥාව දියුණු කරන විදර්ශනා භාවනා ක්‍රමයට අනුව යා යුතුය.

අප නිවන ලෙස හඳුන්වන්නේ ඉතිරියක් නැතිව සියලු කෙලෙසුන් ප්‍රහානය කොට ලැබෙන ශූන්‍යත්වයයි. එකකට  එකක් පසුව ජනිත වන සියලුම කෙලෙස් සිත් එසේ ජනිත විමට ඉඩ ලබානොදීම සඳහා අපමණ වීර්යයක් දැරීමට සිදුවේ. එය ලෙහෙසි පහසු කාර්යයක්ද නොවේ. වර්තමාන සමාජයේ හැල්මේ දුවනා ජීවන රටාව තුළ අප ගත කරන ජීවිතය තුළ අපට මනාකොට සිහිය පවත්වාගත නොහැකිය. සිහිය යනු මේ සියල්ලටම ඉතාමත් වැදගත් වන කාරණාවකි. සිහිය සමථයට, විදර්ශනා මෙන්ම එදිනෙදා ජීවිතයද සැහැල්ලුවෙන් ගත කිරීමටද වැදගත් වේ.

කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබ ලෞකික සැපසම්පත් පසුපසම හඹා යයි. එමඟින් ඔබගේ සිත යොමුවන්නේම කෙලෙසුන්වලමය. සෑම දෙයක් කෙරෙහිම තණ්හාව ජනිත වීමෙන් සසර ගමන දීර්ඝ වේ. නමුත් අප පෙර සඳහන් කළ ලෙසම මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම ඉතාමත් අපහසුය. එම නිසා ලබාගත් ජීවිතය තුළින්ද අප නිසි ප්‍රයෝජනයක් නොලබා අපතේ යැවීම මහත් ව්‍යසනයකි. එම නිසා නොපමාව කුසල් රැස් කරගනිමින්, සීල, සමාධිය වඩවමින් ප්‍රඥා ආලෝකය ලබාගැනීමට උනන්දු වීම ඉතාමත් අගනේය.

මෙහිදී අප සැවොම බලාපොරොත්තු වන සදාකාලික නිවීම ලබාගැනීමට නම් අපමණ වෙහෙස මහන්සියක් සහ වීර්යයක් දැරීමට සිදුවේ. අපගේ ගෞතම බුදුන්වහන්සේද ලෝක සත්‍ය අවබෝධ කරගැනීමට අවුරුදු හතක් පමණ දුෂ්කර ක්‍රියාවේ යෙදුණු බව අපි දනිමු. එම නිසා විවේකයක් ලැබෙන සෑම අවස්ථාවකම උපරිම ප්‍රයෝජනයට ගනිමින් සිත, කය, වචනය දමනය කරගැනීමටත්, පියවරින් පියවර විදර්ශනා භාවනාවට යොමු වී ලෝක සත්‍යය අවබෝධ කරගැනීමට වීර්ය දරන ලෙසත් සඳහන් කරනු කැමැත්තෙමු.

දුමිඳු ලංකා බණ්ඩාර

දියසෙන්පුර විමල ස්ථවිර ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති, කර්මස්ථානාචාර්ය ධර්ම ශාස්ත්‍ර විශාරද, විචිත්‍රභාණි කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ භාවනා අධ්‍යයන අංශයේ භාවනා උපදේශක, බවුන්සෙත් මානසික සුව සෙවණේ ප්‍රධාන අනුශාසක අංක 118/4, අලිකෑහේන පාර හැලුම්මහර, දෙකටන