ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීම හෙවත් ගෙය ගිනිගත් හිටපු ඇමති නිල නිවෙසිනුත් මහ පාරට

0
95

21 සංශෝධනය ආවෝ ගියෝ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම කෙසේ වෙතත්, තවමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන සම්මත කරගත නොහැකි තත්ත්වයක් මතුව තිබේ. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ දැනට සති තුනකට පෙර ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සටහනක් කැබිනට් මණ්ඩලයට මුලින්ම ඉදිරිපත් කළ අතර ප්‍රතිපත්තියක් ලෙස එයට කැබිනට් මණ්ඩලයේ එකඟත්වය ලැබිණි. එහිදී තීරණය වූයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස් හා මතය ලබාගෙන යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සාකච්ඡා කිරීමටත්, එහිදී තීරණයක් ගැනීමටත්ය. එහෙත් දෙවැනි වරද කැබිනට් මණ්ඩලයේ එය සාකච්ඡාවට ගත්තේ නැත. එහිදී තීරණය වූයේ ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී එනම් මේ මස 6 වැනිදා ඒ පිළිබඳව සාකච්ඡා කොට කිසියම් තීරණයක් ගැනීමටය.

එදිනද 21 වැනි සංශෝධන කෙටුම්පත පිළිබඳව කැබිනට් මණ්ඩල සාකච්ඡාව ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට කල්තැබීය. කැබිනට් තීරණ මාධ්‍යට දැනුම් දුන් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන, මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේ, ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවේ සියලුම පාර්ශ්වවල එකඟත්වය ලබාගැනීම අසීරු බවයි. එසේ වුවත් එම සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව තුළ පවතින උනන්දුව නොවෙනස්ව පවතින බවයි.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සියලු පක්ෂවල නායකයන් සමඟ සාකච්ඡා කොට ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කොටුම්පත, පසුගිය 6 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන්ට ඉදිරිපත් කළ බවත් බන්දුල ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබිණි. ඔහු කීවේ එම සංශෝධන ඇතුළත් කෙටුම්පත ඇමැතිවරුන්ට භාර දුන්නේ කැබිනට් රැස්වීම අවසානයේදී බවයි. එසේ වන්නේ ආණ්ඩුවටත් ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නට එතරම් වුවමනාවක් නැති බව දැයි දන්නේ නැත.

අධිකරණ ඇමැතිවරයා මුලින් ඉදිරිපත් කර තිබුණු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නායකයන් සමඟ හුවමාරු වූ අදහස් අනුව සකස් කළ සංශෝධනද සමඟ ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වෙයි කියා හිතනවායිද කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවේදී කීවේ එදාටත් සාකච්ඡාවේදැයි ඔහුටත් විශ්වාසයක් නැති බව අඟවමිනි.

ජනපති විදුලි සමිතිවලට දුන් පොරොන්දුව ඇමැති තුට්ටුවකට සලකා නෑ

ශ්‍රී  ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 9 වැනිදා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 84කින් සම්මත විය. පනතට පක්ෂ විපක්ෂව ලැබුණේ ඡන්ද 120කි. පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රි පිරිස 225කි. පනතට විරුද්ධව ඡන්ද 36ක් ලැබුණි. සභාවට පැමිණ සිටි මන්ත්‍රිවරුන්ගෙන් 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙහිදී වූ වැදගත්ම මෙන්ම විශේෂ සිද්ධිය වූයේ පනත් කෙටුම්පතට සංශෝධන ගෙන එන බව ජනාධිපති විසින් ඊට පෙරදා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට පොරොන්දුවක් දී තිබීමත්, ඒ පොරොන්දුව ගමේ භාෂාවෙන් කියනවා නම් තුට්ටුවකටවත් නොසලකා පනත් කෙටුම්පත සංශෝධනවලින් තොරව සම්මත කර ගැනීමයි.

පසුගිය බදාදා රාත්‍රියේ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති වැඩ වර්ජනය ආරම්භ කළ අවස්ථාවේ රාජ්‍ය නායක ගෝඨාභය වෘත්තීය සමිති නායකයන්ට දුරකථනයෙන් කතාකොට පවසා ඇත්තේ අදාළ පනතට වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලා සිටි සංශෝධන ගෙන එන බැවින් වර්ජනය අත්හරින ලෙසය. රාජ්‍ය නායකයාගේ ඉල්ලීමට ගරු කරමින් වෘත්තීය සමිති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ගරු කරමින් වැඩ වර්ජනය අත්හිටුවුවත්, පොරොන්දු වූ පරිදි පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේදී සංශෝධන කිසිවක් පනත් කෙටුම්පතට ඇතුළත් කළේ නැත. සංශෝධන ඉදිරිපත් කිරීමක්ද සිදුවූයේ නැත. පනත් කෙටුම්පත සම්මත කර ගත්තේ සංශෝධනවලින් තොරවය.

මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා දුමින්ද දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සහාය දැඩිව ලැබී තිබේ. එවැනි තත්ත්වයක් ඇති වූයේ කුමක් නිසා දැයි මේ වන විට තොරතුරක් ලැබී නැතත් පනත ක්‍රියාත්මක වන විට තොරතුරු ලැබෙන්නට බැරි නැත.

ජනාධිපතිගේ කීමට පිටුපා ක්‍රියා කිරීමට විරෝධය පාමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඡන්දය ප්‍රකාශ නොකරම සභා ගැබෙන් පිටතට ගොස් ඇත. 

21ට පොහොට්ටුව හරස් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 වැනි සංශෝධනය ඉදිරිපත් කළේ තමාගේද එකඟත්වය ඇතිව බව ජනාධිපති ගෝඨාභය ඉකුත් සතියේ පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරයා එසේ කීවේ එම සංශෝධනයට විරුද්ධව පොහොට්ටු පක්ෂයේ කිහිපදෙනකු අදහස් ප්‍රකාශ කිරීමත් සමඟය. ඒ අනුව පෙනී යන්නේ පොහොට්ටු පක්ෂයේ සැලකිය යුතු පිරිසක් මෙම සංශෝධනය සම්මත කර ගන්නවාට විරුද්ධ බවයි.

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් එම පක්ෂයේ මන්ත්‍රිවරු 12 දෙනෙක් පසුගිය ඉරිදා (5දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ මෙම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සාකච්ඡාවක් පැවැත්විණි. මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීමට එම පක්ෂය අගමැතිවරයාගෙන් දිනයක් හා වේලාවක් ඉල්ලා තිබුණු අතර ඉකුත් 5 වැනිදා සවස 3.30ට සාකච්ඡාව ලබාදී තිබිණි. මෙදින ඉරිදා දිනයක් වූ බැවින් පක්ෂයේ බොහෝ මන්ත්‍රිවරු තමන්ගේ ඡන්ද කොට්ඨාසවලට ගොස් සිටි නිසා කොළඹ හා අවට සිටි මන්ත්‍රිවරුන් මේ සාකච්ඡාවට සම්බන්ධ කර ගත් බව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් ‘කැබිනට් එක’ තීරුවට පැවැසීය.

බැසිල් රාජපක්ෂ, සරත් වීරසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉන්දික අනුරුද්ධ, විමලවීර දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සාගර කාරියවසම් ඇතුළු 12කට ආසන්න පොහොට්ටුවේ මන්ත්‍රි පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

සහභාගි වූ මන්ත්‍රිවරුන්ගෙන් පිරිසක් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව දැඩි ලෙස අදහස් දක්වා ඇති අතර තවත් පිරිසක් පොදුවේ ප්‍රතිපත්තියක් ලෙස එම සංශෝධනය සම්මත කර ගැනීමට මෙතරම් හදිසියක් දැක්වීම ගැන කැමැත්තක් දක්වා නැත. ඒ අයගේ  මතය වූයේ පළමුව රටේ ජනතාව දැනට මුහුණදෙන බඩුමිල, ඉන්ධන හා ගෑස් හිඟය, කිරිපිටි, පෝර, විදුලිය කැපීම ආදියට පළමුව විසඳුම් දිය යුතු බවයි. එම ප්‍රශ්නවලට විසඳුම් ලබාදී ව්‍යවස්ථා සංශෝධනය ගැන ක්‍රියා කළ හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

ව්‍යවස්ථා සංශෝධනයට වඩා අර්බුදය විසඳීම

ලොකු බව කියයි

රටේ ජනතාව විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ, හර්තාල් ආදී ක්‍රියාමාර්ගවලට ගියේ ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා නොව, ඔවුන් මුහුණ දෙන ජීවන වියදම ඇතුළු දුෂ්කරතාවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් බවද සංශෝධනයට පක්ෂ නැති මන්ත්‍රිවරු කරුණු දක්වා ඇත.

එම ප්‍රශ්නවලට ජනතාවට සහනයක් ලබා නොදී ජනතාව නොඉල්ලූ ව්‍යවස්ථා සංශෝධනවලට ගියහොත් රටේ උණුසුම් තත්ත්වයක් ඇති වී රටේ තවත් ප්‍රශ්න ඇති විය හැකි බව එම පිරිස අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

මෙහිදී දැඩි ලෙසම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අදහස් දක්වා ඇත්තේ සරත් වීරසේකර මන්ත්‍රිවරයාය. ජනතාව ඉල්ලන දේ පළමුව දෙන්නට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පටලවා මිනිස්සු රවට්ටන්න එපායි වීරසේකර මහතා මෙහිදී පවසා තිබේ.

පොහොට්ටු මන්ත්‍රිවරුන් අගමැතිවරයාට පවසා ඇත්තේ ආර්ථික ප්‍රශ්නය ගැන සොයා බලා එයට විසඳුමක් දෙන්න එයට පූර්ණ සහයෝගය දෙන බවයි.

පොහොට්ටු මන්ත්‍රිවරුන්ගේ අදහස් සියල්ල කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බවට අග්‍රාමාත්‍යවරයා එම මන්ත්‍රි කණ්ඩායමට පොරොන්දු වී ඇත.

බැසිල්ගේ ඊළඟ පිම්ම

කුමක් විය හැකිද?

මෙම සාකච්ඡා හා ගන්නට යන තීන්දු තීරණ ගැන දැන් දේශපාලන කරළියේ අලුත් තත්ත්වයක් මතුව තිබේ. ඒ බැසිල් රාජපක්ෂ පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟය. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් පසු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් බැසිල් කීවේ, තමා රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත් වන බව හා තවදුරටත් දේශපාලනයේ යෙදෙන බවයි. ඔහු දැන් රටේ සාමාන්‍ය පුරවැසියකු ලෙස සිටින බැවින්, 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඔහුගෙන් එල්ල වූ බාධාව ඔහුගේ දේශපාලන වෙනස සමඟ වෙනස්වේද? එය නම් දැන්ම කියන්නට බැරිය. බැසිල් දේශපාලනයේ දුර බලන අයකු නිසාය. ඔහුගේ අරමුණ තවදුරටත් පොහොට්ටුව ශක්තිමත් කර අලුත් දේශපාලන පිම්මක් පැනීමටය. රාජපක්ෂලාට දැන් රටේ ලැබෙන සැලකිලි අඩු නිසා බැසිල් ඒවා පරදවා අලුත් දේශපාලන සටනකට එයිද?

වයස 18 තරුණ වියේදීම රට රැකියාවලට යවන්න එපා

රැකියා සඳහා විදේශ ගතවීමේ වයස අවුරුදු 25 සිට 18 දක්වා අඩු කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පසුගිය 06 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. ඇමැති දිනේෂ් ගුණවර්ධන එම යෝජනාවට විරෝධය දැක්වීය.

දිනේෂ් විරෝධය පෑමට හේතු දක්වමින් කීවේ අපේ රටේ ළමයි පාසල් ජීවිතය හමාර කරන්නේ අවුරුදු 18න්. මේ නිසා මේ ළමයි වගේම විශේෂයෙන් ගැහැනු ළමයි ඒ වගේ වයසකදී විදේශ රැකියා සඳහා යැවිය යුතු නෑ කීය.

දිනේෂ් එසේ කියද්දී අග්‍රාමාත්‍ය රනිල්ද දිනේෂ්ට සපෝට් එකක් දුන්නේය. ඒක හරි අවුරුදු 18 කියන්නේ ළමා වයස අවසන් වුණා විතරයි. කමිටුවක් දාලා අපි ඒ ගැන තව සොයා බලමුයි රනිල් කීවේය.

දිනේෂ් යළි කතා කළේය. ළමාරක්ෂක පනත අනුව ළමයින් සඳහා තියෙන නිර්වචනයන් අප සලකා බලන්න ඕනෑ කළ සඳහනට කාගේත් අවධානය යොමුවිය.

අගමැති ඉවත් කරන බලය පාර්ලිමේන්තුවට

ඒ වගේම යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මහජන එක්සත් පෙරමුණ පසුගිය සතියේ සිය යෝජනා ඉදිරිපත් කළේය. මෙයට අදාළ සාකච්ඡාවේදී මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් කීවේ ජනමත විචාරණයකින් හෝ පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ නොකළ යුතුයි යන්න අපේ එක යෝජනාවක්. හැම මන්ත්‍රිවරයකුටම පාලනයට එන්න පුළුවන් වෙන්න යළි විධායක කාරක සභා ක්‍රමය ඇති කළ යුතුයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයකින්ම 21 වැනි සංශෝධනයට අදහස් ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එජාපයේ තරුණයන්ට වැඩි අවස්ථාවක්

දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර කඩිනමින් සම්පූර්ණ කිරීමටත් ඒ සඳහා සමාජ පිළිගැනීමක් ඇති තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබාදිය යුතු බවත් පසුගිය අඟහරුවාදා (07දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මධ්‍ය කාර්යාංශයේ විශේෂ රැස්වීමකදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය.

එජාප සංවිධාන ජාලය විධිමත්ව සහ වේගවත්ව ඉදිරියට ගෙන ආ යුතු ආකාරය පිළිබඳව එජාප නායකයා මෙහිදී කරුණු විස්තර දී ඇත.

පක්ෂයේ සංවිධාන ජාලයේ ප්‍රචාරණ වැඩපිළිවෙළ පවතින තත්ත්වයට වඩා තවත් පුළුල් කරන ලෙසත් එහි පියවරක් ලෙස දිස්ත්‍රික් මට්ටමෙන් සමාජ මාධ්‍යකරුවන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී නායක රනිල් වික්‍රමසිංහ මධ්‍යම කාර්යාංශයේ නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබේ. පක්ෂයේ සංවිධාන කටයුතු ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිලධාරි මණ්ඩලයට පවරන ලද වගකීම් කොපමණ දුරට ඉටුකර තිබෙනවාද යන්න පිළිබඳව පෙර විපරමක නිරත වූ රනිල් පවතින අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කර ඉදිරි සැලසුම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජපක්ෂලා නායකත්වයේ සිටියදී ණය දෙන්න බැරිලු

රාජපක්ෂලාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට ණය ආධාර දෙන්නට බැරි බව ශ්‍රී  ලංකාව සමඟ දිගු කාලයක සිට මිත්‍රත්වය පවත්වාගෙන ගිය පැසිෆික් සාගර කලාපයේ වයඹ දිග පිහිටි නැඟෙනහිර ආසියානු රටක් දැනුම්දීමක් කළ පුවතක් ගැන ‘කැබිනට් එකට’ වාර්තා වේ.

මේ බව ඉහත කී රට දැනුම් දුන්නේ කාටද යන්න ගැන තොරතුරක් ලැබී නැත.

එහෙත් පසුගිය 3 වැනිදා කොළඹ ශ්‍රී  ලංකා පදනම් ආයතනයේදී රකිමු ජයතු ලංකා සංවිධානය සහ නිර්මාණාත්මක, වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ ‘ශ්‍රී  ලංකාවේ ද්විත්ව අර්බුදය’ යන මැයෙන් පැවැති සමුළුවට විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම රට ගැන සදහනක් කරමින් …… 1953 සිට අපේ මිතුරන් වුණා. මෑතකදී සිදුවූ සිදුවීම නිසාවෙන් ඔවුන්ගේ සිත් රිදී ඇත. ඩොලර් බිලියන 3ක් වටිනාකමකින් යුත් විදෙස් ආධාර කිසිදු ස්තුතියකින් හෝ සාකච්ඡාවකින් තොරව ප්‍රතික්ෂ්ප කරන්නේ කුමන රටක්ද?

එවන් රටවල විශ්වාසය යළි ගොඩනඟා ගන්නේ කෙසේද?

මිත්‍ර රටවල් සමඟ සබඳතාව පවත්වාගෙන යෑම ගැන ඔහු මෙවැනි උදාහරණයක්ද දුන්නේය.

ජපානය ප්‍රේමදාස ජනපතිගේ ලිපියට මිලියන 500ක් දෙයි

අපගේ මිත්‍ර රටවල් සමඟ එකතු විය යුතුය. අපේ වරදට සමාව ඉල්ලිය යුතු අතර ඔවුන්ගේ වැරදි ඇත්නම් පෙන්වා දිය යුතුය. විදෙස් රටවල් සමඟ මිතුරුකම් පවත්වා ඔවුන්ව අත්හැර දැමීම කළ නොහැකිය. ඉන් සිදුවන්නේ අපට සාගතයෙන් මිය යෑමටයි. අතීතයේ අපට කරදරයක් සිදුවූ විට ජපානය අපේ පිහිටට ආවේය. කුවේට් යුද සමයේ ජනපති ප්‍රේමදාසගේ නියමයෙන් මා ජපානයට ගොස් අගමැති කයිෆු හමුවිය. මා ගෙන ගිය ලියුම කියවා බලා පසෙකින් තැබූ ඔහු මා මෙය මගේ නිලධාරීන්ට පෙන්වා උපදෙස් ලබා ගන්නම් යැයි පවසා මා ආපසු පැමිණීමට පෙර මෙන්ම ඔබට ඩොලර් මිලියන 600ක් යැයි පැවැසීය. එවන් මුදලක් 1990 ගණන්වලදී අති විශාල මුදලකි. ඒ කාලයේ අප ක්‍රියා කළේ ඒ ආකාරයටයි. ජපානයට ශ්‍රී  ලංකාව සැලකූ මදිපුංචිකම ගැන රනිල් ගිය සතියේ පාර්ලිමේන්තුවේදී සඳහනක් කළේය.

ජනක නිල නිවෙසෙනුත්

පාරට දැමීම

පසුගිය ජුනි 8 වැනිදා ගාලුමුව‍ෙදාර අහිංසක විරෝධතාකරුවනට හා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගමට පහරදී එවායේ තිබූ භාණ්ඩ හා ඉදිකිරීම්වලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියත් සමඟ රටේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන ආදියට පහරදී ගිනි තබා විනාශ කෙරිණි. හිටපු රාජ්‍ය පරිපාලන හා පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ දඹුල්ල නිවසද එසේ ගින්නට දැවී විනාශ විය.

එසේ තිබියදී ජනක බණ්ඩාරට මුහුණ දෙන්නට සිදුවූයේ ගහෙන් වැටුණු මිනිහාට ගෙනා ඇන්නා වැනි දෙයකටය. තමන්ට කියා හිමි නිවෙසක් නැති ජනක ජීවත් වූයේ ඇමැතිවරයා ලෙස සිටියදී ඔහුට ලැබී තිබුණ ස්කෙලිටන් පාරේ අංක බී-20 නිවෙසේයි. ඔහුට ඇමැති ධුරය අහිමිවී සති දෙකකවත් කාලයක් ගතවී නොතිබිණි. සාමාන්‍යයෙන් නිල නිවෙසක් අහිමිවූ ඇමැතිවරයකු පදිංචියට නිවෙසක් සොයා ගන්නා තුරු මාස දෙක තුනක කාලයක් නිල නිවෙසේ තාවකාලිකව පදිංචිව සිටීම සාමාන්‍ය දෙයකි.

ජනක බණ්ඩාරද එසේ සිතාගෙන සිටියදී ආරක්‍ෂක ලේකම්වරයාත්, හමුදාපති හා නාවික හමුදාපතිත් ඇමැතිවරුන්ට දී තිබූ නිවාස පරික්‍ෂාවට පැමිණියේ අගමැති ධුරය අහිමිවූ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඔහුට පදිංචියට නිවෙසක් සෙවීමටය. නිවාස කීපයක් පරීක්‍ෂා කිරීමෙන් පසු ඔවුන් බී-20 නිවෙසට ගොස් පරීක්‍ෂා කරද්දී එය හොඳ තත්ත්වයේ තිබූ නිසා එම නිවෙස මහින්ද රාජපක්‍ෂට පදිංචියට සුදුසු බවට තෝරා ගත්තේය.

හාවාගේ ගුහාවට

ඉත්තෑවා රිංගීම

එම නිවෙස හිටපු අගමැතිගේ පදිංචියට අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම්වරයා ජනක බණ්ඩාරට දැනුම්දී එහි බඩුමුට්ටු ඉවත් කරන බව දැනුම්දී තිබේ. ජනක කියා තිබෙන්නේ එසේ නොකරන ලෙසත්, පදිංචිව සිටි තම නිවෙස ගිනිතබා විනාශකර තිබෙන නිසා පදිංචියට නිවෙසක් සොයා ගන්නා තුරු එම නිවෙසේ මාසයක් දෙකක් සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසය. ඒ ඉල්ලීමට සානුකම්පිතව කන්දීමක් නොකළ හිටපු හමුදා උසස් නිලධාරියා ඔහු රාජකාරි නිලය යොදාගෙන ජනක බණ්ඩාර නොමැති අවස්ථාවක නිවෙසේ බඩු මුට්ටු එළියට ඇද හමුදා ට්‍රක් දෙක තුනකට පටවා තිබුණේ ඒවා වෙනත් ස්ථානයකට ගෙන යෑමටය.

අනේ මහතුනේ මට වූ වියෝයා…

මේ අවස්ථාවේ ජනක හිටපු ඇමැතිවරයා ඔහුගේ නිල නිවෙස පිහිටි භූමියට එන විට දැක තිබෙන්නේ නිවෙසේ තිබූ ඔහුගේ බඩු මුට්ටු හමුදා ට්‍රක්රථවලට පටවා තිබෙන අයුරුයි. ඒ දසුන දුටු ජනක දෑසේ කඳුළු පිරී කඳුළු බිඳු පොළවට වැටෙද්දී මේක කරන්න එපා. මට මගේ ගේත් නෑ පුච්චලා විනාශ කරලා. දැනට ඉන්නේ මගේ බිරියගේ සහෝදරියගේ නිවෙසක. පදිංචියට නිවෙසක් සොයා ගන්නා තුරු මට ටික දිනක් කල් දෙන්න.

හමුදා නිලධාරීන්ගෙන් ඔහුට කාරුණික වදනක් නොලැබුණ තැන ඔහු තමාට අයත් බඩු මුට්ටු සහෝදරියගේ නිවෙසට ගෙන ගොස් තිබේ. අදටත් ඒ බඩු මුට්ටු ආරක්‍ෂිතව තැන්පත් කර ගන්නට ඉඩක් නොලැබුණු බව ජනක කැබිනට් තීරුවට කීවේය.

තමා දැඩි කලකිරීමකින්, දුකකින් කාලය ගත කරන බවත් සිද්ධියෙන් පසු තවමත් තමා පාර්ලිමේන්තු රැස්වීමකටවත් සහභාගි වී නැතැයි ජනක බණ්ඩාර දැඩි වේදනාවකින් පැවැසුවේය.

මහින්ද දුරකථනයෙන් ජනකගෙ දුක සැප අසයි

පදිංචි නිවෙසින් බඩුමුට්ටු එළියට ඇද දැමූ සිද්ධිය ගැනත්, තමාට හිමි දඹුල්ල නිවෙස ගිනි තැබීම ගැනත් දුකෙන් සිටින ජනකට හිටපු අගමැති මහින්ද දුරකථනයෙන් කතා කොට, මල්ලී දඹුල්ලේ තත්ත්වය කොහොමදැයි නිවෙසට ගිනි තැබූ සිද්ධිය ගැන විස්තර විමසා ඇත. ගිනි තැබූ නිවෙස ගැන මහින්ද තොරතුරු ඇසුවත් ඔහු පදිංචිව සිටි නිල නිවෙසෙන් එළියට දැමූ සිද්ධිය ගැන කිසිවක් විමසා නැත. ඒ නිවෙසින් ජනක පන්නා දැමුවේ මහින්දට පදිංචියට ඒ නිවෙස ලබාදීමටයි. ශ්‍රී ලනිපයේ සිටියදී මහින්දට ජනපති අපේක්‍ෂකත්වය දෙන්නැයි මුලින්ම චන්ද්‍රිකාට ලිපියකින් දැනුම් දුන්නේ ජනකයි. මේ ලිපිය නිසා චන්ද්‍රිකා හා ජනක අතර සැර ලිපි කීපයක්ද හුවමාරු විය.

මහින්ද වෙනුවෙන් දේශපාලනයේ විශාල කැප කිරීමක් කළ ජනකට පදිංචි නිවෙසෙනුත් යන්නට සිදුවීම ගැන මහින්ද වචනයක්වත් කතා කර නැත. ජනක මේ ලිපි තීරුවට කීවේ තමාද මහින්දට ඒ ගැන කිසිවක් කියන්නට උනන්දු නොවූ බවයි.

දිනකට වේල් දෙකක් කෑම ගැනීම සෞඛ්‍යයට හොඳලු

පසුගිය සිකුරාදා (4දා) ශ්‍රී  ලංකා පදනම් ආයතනයේ පැවැති වෘත්තීයවේදීන්ගේ විද්වත් සමුළුවට ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවගේ ලේ වතුර කරවන ප්‍රකාශයක් කළේය. ජුනි මාසය අවසන් වන විට රටේ ඇතිවන ආහාර හිඟයට මුහුණ දෙන්නට දිනකට වේල් දෙකක් ආහාර ගැනීමට සිදුවන තත්ත්වයක් උදාවනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීමක් කළේය.

රනිල් අගමැති ධුරය භාර ගැනීමෙන් පසු රටේ ආර්ථික තත්ත්වයත්, ආදායම් ලැබීමේ දුර්වලතාවත්, විදේශ විනිමය සංචිත නැතිකමක්, තෙල්, ගෑස්, ඔෟෂධ ගෙන්වීමට ඇති අමාරුකම් ගැනත් රටට දැනුම්දීමක් කරමින් කීවේ තමා ජනතාවට ඇත්ත වසන් නොකරන බවයි. සැප්තැම්බර් මාසයෙන් ඇරැඹෙන ආහාර හිඟය වෙනත් වචනවලින් කියනවා නම් සාගතය 2024 දක්වා දිග්ගැසෙනු ඇතැයිද රනිල් කියයි.

බොරැල්ල ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෝෂ්‍යදායි ආහාර වේලක් දෙන්නට බැරිව අහිංසක මවුපියන් මුහුණ දෙන දුක්ඛදායක බව ගැන කීවේ රෝහලේ ළදරුවන් 53 දෙනකු සෞඛ්‍ය පරීක්ෂණයට භාජන කිරීමේදී ඒ අසරණ දරුවන් 11 දෙනකු මන්ද පෝෂණයෙන් පෙළෙන බවයි. දරුවකුට පෝෂ්‍යදායි ආහාරයක් දෙන්නට තරම් අද බොහෝ මවුපියන් අතමිට මුදල් නැති තත්ත්වයකට පත්ව සිටී. වෛද්‍යවරයා කීවේ අඩු වශයෙන් වට්ටක්කා, කහ බතල වැනි කහ පාට එළවළු වර්ග,  හාල්මැස්සන් අවම වශයෙන් සතියකට බිත්තරයක් දෙකක්වත් දිය යුතු බවයි. හාල්මැස්සන් ග්‍රෑම් 500ක් අද රුපියල් 900ක් පමණ වේ. බිත්තරයක ගාණ 48 සිට 50 දක්වා ඉහළ ගොස්ය. මාළු කිලෝවක් රුපියල් 3,000 ඉක්මවා ගොස්ය. එළවළු මිලත් අහස උසට ගොස්ය. මාස තුන හතරකට ඉහත රුපියල් 60ත් තරම් මිල වූ පරිප්පු කිලෝව දැන් රුපියල් 600කි. ඉතින් දරුවන්ට පෝෂ්‍ය ආහාරයක් දෙන්නේ කෙසේද?

ළමා පරපුර ඇටසැකිලි බවට පත්වීමේ අනතුර

අද රැකියාව කරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අයට ලැබෙන්නේ මූලික වැටුපයි. දීමනා නැත. අතිකාල දීමනාද නැත.

මුදල් ඇමැති ලෙස රනිල් ‘වැට්’ බද්දේ සිට සියලු බදු වැඩි කළේය. වැඩි කළ බදු ගෙවන්නට රැකියා කරන අයට වැඩිපුර ආදායමක් ලැබෙන්නේ නැත.

අද පවතින තත්ත්වය එසේය. එසේත් රනිල්ගේ උපදෙස් අනුව දිනකට පෝෂ්‍යදායි තත්ත්වයක් නැතිව දෙවේලක් කන විට දරුවාට ඉතිරිවන්නේ ඇටසැකිල්ල පමණකි. දරුවන්ගේ ඒ ස්වරූපය දකින මවුපියන් ඇටසැකිලි බවට පත්වනවාට සැක නැත.

ප්‍රසන්නගේ අත්හිටු වූ සිර දඬුවම හා මන්ත්‍රි ධුරය

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගට පසුගිය සඳුදා (06දා) කොළඹ මහාධිකරණයෙන් අත්හිටු වූ සිර දඬුවම් හිමි වූ අතර දඩ හා වන්දි ගෙවීමට සිදුවිය. ඒ යහපාලන ආණ්ඩුව සමයේ පැවරූ නඩුවක තීන්දුවට අනුවය. මහාධිකරණය හමුවේ ඇමැතිවරයාට චෝදනා 15ක් යටතේ නඩු පවරා තිබූ අතර ඉන් 14කින්ම ඔහු නි‍ෙදාස්කොට නිදහස් කෙරිණ. වරදකරු වූයේ 13 චෝදනාවට පමණි.

සඳුදා සවස තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණි ප්‍රසන්නට මුල්ම ඇමැතුම ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙනි. නඩු තීන්දුව පැහැදිලි කළ ප්‍රසන්න තමන් එදින කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව කීවේය.

“සර් මම තාම ඇපීල් කළේ නෑ. ඇපීල් කරනකන් කැබිනට් රැස්වීමට එන එක සදාචාරසම්පන්න නෑ. ඒ නිසා අද කැබිනට් රැස්වීමට මම එන්නේ නෑ.” ප්‍රසන්න කීවේය.

“ඔව් ඒක හොඳයි ප්‍රසන්න” ජනාධිපති දුන් උත්තරයයි.

නඩු තීන්දුව ඇපිල් කරන තෙක් ප්‍රසන්න කැබිනට් එන්න එපා

කැබිනට් රැස්වීමට සහභාගි නොවුණද ප්‍රසන්න එදින (06දා) සවස ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමට සහභාගි විය. රැස්වීමට ගිය ප්‍රසන්න වටකරගත් මන්ත්‍රිවරුන් නඩු තීන්දුව ගැන ඇසුවේය. ප්‍රසන්න කීවේ නඩු තීන්දුවට එරෙහිව පසුදින අභියාචනාවක් ඉදිරිපත් කරන බවය.

පසුදින උදෑසනම පාර්ලිමේන්තුවට පැමිණි ප්‍රසන්න සභානායක දිනේෂ් හා අගමැති රනිල් හමුවූයේය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටපත්ද සහිතවය. ඒ සමඟ ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්නද වූයේය. ප්‍රසන්නට එරෙහි නඩු තීන්දුවෙන් පසු මන්ත්‍රි ධුරය දැරීම සම්බන්ධ නීතිමය තත්ත්වය සාකච්ඡා කරන අතරතුර ප්‍රසන්න කීවේ, තමන් මේ වනවිටත් අභියාචනය මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කර ඇති බවයි. එය භාර ගන්නා තුරු තමන් සභා ගර්භයට නොපැමිණෙන බව ප්‍රසන්න සභානායකවරයාත්, අගමතිවරයාත් දැනුවත් කළේය.

රනිල්ගේ රට ගොඩදාන යන්තරේ අතරමං වෙලා

ජීවන වියදම උග්‍ර ලෙස ඉහළ යෑම හේතු කොටගෙන දිනෙන් දින පෝලිම් දිග්ගැසීමෙන් ජනතාව පත්ව ඇති පීඩනය සම්බන්ධයෙන් විපක්ෂය හැටියට සමගි ජන බලවේගය දැඩි අවධානය යොමු කර තිබේ.

සජබ මන්ත්‍රිවරු මේ පිළිබඳ පසුගිය දිනවල දැඩි විවේචන මෙන්ම අග්‍රමාත්‍යවරයා විවේචනය කරන්නට පටන්ගෙන ඇත. ගයන්ත කරුණාතිලක මන්ත්‍රිවරයා ඔහුගේ පරණ නායක  රනිල් ගැන කීවේ රට ගොඩදාන යන්ත්‍රය තමන් ළඟ තිබෙනවා කියලා තමයි වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව භාර ගත්තේ. බලාගෙන ගියාම දැන් යන්තරේ අතරමං වෙලා කියායි. රනිල් ගෝඨාභය ආණ්ඩුවේ අගමැතිකම ගත්තේ එජාපයේ තනි මන්ත්‍රිවරයා ලෙසය. තනිවම ඉන්නකොට අතරමං වෙනවායි කියන්න දෙයක් නැත. දැන් ආණ්ඩුව තුළ පොහොට්ටුව ක්‍රියා කරන අන්දම දෙස බලනවිට රනිල් අතරමං වෙලා බව පෙනෙන්නට තිබේ.

ගයන්තගේ කතාවට කදිම පිළිතුරක් දුන්නේ නලින් බණ්ඩාරයි. නෑ – බෑ – භයානකයි කියන වචන තුන ඇරුණම අගමැතිවරයා වෙන වචනයක් නම් කියලම නැති තරම්. එතුමා දැන් ගෝනිබිල්ලෙක් වගේ. කට ඇරියොත් කියන්නේ බය හිතෙන වචනයක්. නලින්ගේ වචන ටිකයි.

රට ගොඩ ගන්න

මොළ නැවක් ඕනෑ

සජබෙ මන්ත්‍රිවරු ආණ්ඩුවත්, අගමැතිවරයාත් විවේචනය කළේ ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමක කතා කරන්නා වාගෙයි. ඒ මන්ත්‍රි පිරිසේ ප්‍රකාශ මෙසේ සටහන් කරමු.

අශෝක් අබේසිංහ – “එක පාරක් කිව්වා රට ගොඩගන්න වීරයෙක් ඕනෑ කියලා. ඊට පස්සේ කිව්ව මොළ හතක් ඕනෑ කියලා. ඊට පස්සෙ කිව්ව මොළ හතක් මදි මොළ නැවක් ඕනෑ කියලා. මේ වගේ තක්කඩි ආණ්ඩුවක් ලෝක ඉතිහාසෙවත් තිබිල නෑ.”

රාජිත සේනාරත්න කීවේ – “අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා කියනකොට, ඒ විතරක් නෙවේ රාජපක්ෂලා ගෙදර යන්න ඕන කියලා කියනකොට බිත්තියට හේත්තු වෙච්ච ජනාධිපතිවරයාට හුස්ම දීපු හැමෝම මේකට වගකියන්න ඕන” කියායි.

මුලදී හිනා වෙච්ච උදවිය

දැන් අඬනවා

“මහ පාන්දර බැලුවත්, උදේ ඉඳන් රෑ වෙනකම් බැලුවත් රටපුරා පෝලිම්. මේ මිනිස්සු විඳින දුක දැක දැක මේ තිරිසන් ආණ්ඩුව පිස්සු නටනවායි.” කොළඹ මුජිබර් රහමන් කීවේය. “කියපු වචනයක් ගාණේ අද වෙනකොට ඇත්ත වෙලා ඉවරයි. මේ ආණ්ඩුව රටට සාපයක්.” එහෙම කී සජිත් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කළේය.

“ අපි සාම්ප්‍රදායක විපක්ෂයකින් බැහැර වෙලා මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඕන. විශේෂයෙන්ම අපි අපේ සමගි ගොවි පෙරමුණ හරහා වගා සංග්‍රාමය වෙනුවෙන් වෙහෙසෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුව විසිඑක් වැනි සංශෝධනය ගේන්නේ නෑ. ඒකට විරුද්ධව අපි අරගල කරන්න ඕන. මේ ආණ්ඩුව රටත් කනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් කනවායි.” සජිත් කීවේය.

“ඔබතුමා හුස්ම හරහා හොස්පිට්ල්වලට උපකාර කළා. සක්වළ ගෙනාවා. දැන් වගා සංග්‍රාමය පටන් ගත්තා. ඒ සේරටම ඒ දවස්වල සමහරු හිනා වුණා. හිනා වෙච්ච අය දැන් අඬනවායි!” ඉමිටියාස් බාකීර් මාකර් කීවේය.

“ඒ විතරක් නෙමේ ඒවට හිනාවෙච්ච සමහර පක්ෂ, දැන් අන්න ඒ වැඩේ පටන් අරගෙන” කීවේ හර්ෂණ රාජකරුණාය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මෙවර විශේෂ මුහුණුවරක් ගත්තේය. ඊට ප්‍රධාන හේතුව වූයේ විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධනය.

“රැස්වීම ආරම්භයේදීම විශේෂ කාරණයක් සිහිපත් කරන්න තියෙනවා. මාත් දශක ගාණක් එකට හිටපු, අපි හැමෝම එක්ක අරගල කරපු, පෞද්ගලිකව මාත් එක්ක පුදුමාකාර සමීපකමකින් හිටපු අපේ ලේකම්තුමා, රවි ජයවර්ධන මහත්මයා විශේෂ ශිෂ්‍යත්වයකට ඕස්ට්‍රේලියාවට යනවා. ඒක මට දරාගන්න බැරි දුකක්. විශාල සංවේගයක්. හැබැයි එතුමා යන්නේ ඉගෙන ගැනීම වෙනුවෙන්. ඒක සතුටක්. සතුටයි දුකයි දෙකම මිශ්‍ර වෙච්ච මේ මොහොත ඇත්තටම මට හිතාගන්න බැහැ.”

බෙනට් රූපසිංහ