කාන්තාවන්ගේ පොරෝ දියර වැගිරීමේ රෝගයට අරළු-බුළු-නෙල්ලිවලින් කසාය වට්ටෝරුවක්

0
115

යටි බඩ රිදෙනවා, වේදනාව තියෙනවා, මුත්‍රා දැවිල්ල වගේ දැනෙනවා. ඒත් වෙලාවකට එහෙමත් නෑ වගේ. යෝනිය පැත්ත කකියනවා. එතැන නිතරවම තෙත් වෙනවා. සමහර වෙලාවට ඇඟට පණ නැහැ. ඇඟම රිදෙනවා. ඔළුව කැක්කුමක් හැදෙනවා. කලන්තෙ වගේ දැනෙනවා. නිදිමත වගේ දැනෙනවා…..’

ඔබ රෝග ලක්ෂණ කියාගෙන යනවා. මං ඒකට තව ටිකක් එකතු කරනවා. ඔබට හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ ගැස්ම තදින් දැනෙනවා නම්, ඇසිපිය වටේ අඳුරු ස්වභාවය පවතිනවා නම්, ඇඟපත සුදුමැලි වී තිබෙයි නම්,  යෝනිය අසල පැහැය වෙනස්වීම හා ඉදිමුම සමඟ තැනින් තැන රතු පැහැ ලප ඇතිවේ නම්, යටිබඩ බරට දැනීම හා මුත්‍රා දැමීමේදී වේදනාව දැනෙයි නම්, නිතරම ඈනුම් යෑ හා කම්මැළි බව දැනෙයි නම්, මුඛයේ වියළි ස්වභාවයක් පවතින්නේ නම් ඔබට සුදයෑමේ රෝග සෑදී තිබෙනවා විය හැකියි. ඉස්සර කාලයේ බඩ පැසවා යෑම කියලා කිව්වෙත් එහෙම නැත්නං පොරෝ දියර වැගිරීම කියලා කිව්වෙත් මේ රෝගයට තමයි. ආයුර්වේදයේදී මෙය සෝම රෝගය හෙවත් ශ්වේත ප්‍රදරය රෝගය ලෙස හඳුන්වනවා.

යම්කිසි දිනක කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් දුගඳ රහිත සුදු පැහැති සීතල වූ ස්‍රාවයක් පිටවීම හා එය අසාමාන්‍ය ලෙස පිටවීම මෙහි ප්‍රධානම රෝග ලක්ෂණයයි. කල් ගතවීමේදී මෙම දියරයේ වර්ණය කහ හෝ දුඹුරු පැහැ ගන්නා අතර මඳක් ගන වූ ස්වභාවයක්ද ඇතිවෙනවා. බොහෝ විට මෙම තත්ත්වය මුත්‍රාතීසාරය කියා හෝ සුදු බින්දුම කියා හෝ වරදවා වටහා ගැනීමට ඉඩ තිබෙන බවද සඳහන් කළ යුතුයි.

ඉතා ළාබාල අවධියේදී විවාහවීම, බලවත් අකැමැත්තෙන් සංසර්ගයේ යෙදීම, යෝනිය අවට අපිරිසුදු බව, ගබ්සාවීම් සිදුවීම, අධික ශෝකය දරා සිටීම, අධික වෙහෙසට පත්වීම, බැක්ටීරියා වයිරස, දිලීර, පරපෝෂිත ආසාදන, උදර ප්‍රදේශයට සිදුකළ විකිරණ ප්‍රතිකාර මහාන්ත්‍රයේ හෝ මුත්‍රවාහිනී පද්ධතියේ අසාමාන්‍ය විවෘතවීම් ආදිය සෝම රෝගය සෑදීම සඳහා හේතු වෙනවා. තරුණ වයසේදී රෝගය සෑදීම හේතුවෙන් ශරීරය කෘශවීම සහ අවසානයේ ඇයව හඳුනාගත නොහැකි තරමට වෙනස්වීමද සිදුවිය හැකිය.

එමෙන්ම අවසානයේ වඳභාවයද ඇතිවිය හැකිය. වයසක කාන්තාවන්ට රෝගය සෑදීම බරපතළ පීඩාව ගෙන දෙන තත්ත්වයක්. යෝනිය ආශි්‍රත නිරෝගී බව කාන්තාවකට මුළු අනාගතය සඳහාම තීරණාත්මක ලෙස බලපාන බැවින් සෝම රෝගය සඳහා ප්‍රතිකාර නියම කිරීමේදී රෝගියා පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. කෑම බීම, තහංචියකින් තොරව සකස් කරන ලද ඖෂධ අප විසින් ලබා දෙන අතර ඒවා පහසුවෙන් භාවිත කළ හැකියි.

සෝම රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට නිසැක ලෙසම ආයුර්වේද වෛද්‍යවරයකු හමුවට යා යුතු අතර එතෙක්  පහත කසාය සති 2ක් බොන්න.

අරළු, බුළු, නෙල්ලි, දිය බෙරලිය, කලාඳුරු අල, දියමිත්ත ග්‍රෑම් 10 බැගින් ගෙන අට එකට සිඳුවා මී පැණි සමඟ උදේ සවස.

වෛද්‍ය

සජානි වාසනා

ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය _

බිම්බාරාම පාර,

පිළියන්දල

0718659179