අමරණීයත්වය ලබාදෙන දියකිඳුරු මාංස

0
636

සාමාන්‍යයෙන් අප දන්නා දෙයක් තමයි විද්‍යාත්මක කාරණා මත සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයකුගේ ආයු කාලය අවුරුදු 70 – 80කට සීමා වන බව. නමුත් ගැහැනු කෙනකුගේ ආයුෂ කාලය පිරිමි පුද්ගලයකුට සාපේක්ෂව වැඩි අගයක පවතිනවා. ඔවුන්ගේ ආයු කාලය වසර 80-85 අතර අගයක පවතිනවා.

කාලය ටිකෙන් ටික වැඩි වන විට ආයු කාලයත් වැඩිවන බවට ඔබ විශ්වාස කරනවාද? විද්‍යාවෙන් උරුම වුණු සෞඛ්‍ය ක්ෂේත්‍රයට පින් සිදුවන්නට අපේ ශරීරය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම සහ අපේ ශරීරය නඩත්තු කරන ආකාරය අනුව අප හිතුවටත් වඩා ආයුෂ වළඳන්න වර්තමානයේ දී පුළුවන් වෙලා තිබෙනවා.

මිනිස්සුන්ගේ ආයු කාලය වැඩි වෙන බව අපට පෙනී යනවා. නමුත් විද්‍යාඥයන්ගේ අවසාන අරමුණ වන්නේ බෙහෙත්වලින් නඩත්තු වීමක් නොවෙයි. ඔවුන්ගේ අරමුණ වන්නේ සදාකාලික ජීවය සොයා ගෙන යෑමයි. එහි අදහස සදාකාලික තරුණ බව ලබා ගැනීම නෙවෙයි.

ඊටත් එහා ගිය දෙයක්. මිනිසා අමරණීය බවට පත්වී නඩත්තු කිරීම ප්‍රායෝගික නැහැ. සරලව කිව්වොත් කවදාවත් එය කරන්න බැහැ. මේ වන විට බොහෝ විද්‍යාඥයන් සිතා සිටින්නේ අපි මියයෑමට පෙර අපේ විඥානය පරිගණකයට download කරගන්න. ඊට පස්සේ වෙනත් ශරීරයකට ගන්න හෝ පරිගණකය තුළ චරිතයක් වෙලා අපිව නිර්මාණය කළ simulation එකක තබා ගන්න. නමුත් අතීතයේ පටන් පුරාවෘත්තවල සහ මිථ්‍යාව තුළ අමරණීයත්වය ලබාදෙන ක්‍රම කිහිපයක් පිළිබඳවම සඳහන් වෙනවා. ඒවා එකින් එක ගැන අපි විමසා බලමු.

 අමරණීයත්වය ලබාදෙන පීච් ගෙඩි

ආයු වළඳන්න පුළුවන් එකම රහස නිරෝගී දිවි පෙවෙතක් පැවතීමයි. මේ සඳහා නිරෝගී ආහාර පාන පරිභෝජනය කරන අතර වාරයේ සෑම දිනකම ක්‍රියාශීලීව ව්‍යායාම් කරන්න ඕනෑ. මිථ්‍යාවේ පවසන ආකාරයට ආයුෂ වැළඳීමට ඇති එකම ක්‍රමය වන්නේ නිරෝගී ලබා ගැනීම පමණක් නොවේ. මොවුන් එක්තරා ආකාරයක විශේෂ පීච් වර්ගයක් ගැන සඳහන් කරනවා. මෙම පීච් කන ඕනෑම කෙනෙක්ට සදාකාලික ජීවය හිමි වෙනවා නැතහොත් අමරණීය බවට පත් වෙනවා. නමුත් මේවා සත්‍ය දේවල් නෙවෙයි. මේවා මිථ්‍යා දේවල් පමණයි. මෙම චීන කතාවේ වඳුරු රජෙක් ඉන්නවා. දෙවියන්ට භාර සදාකාලික ජීවය ලබාදෙන පීච් වගාව බලාගන්න භාර දීලා තිබෙන්නේ වඳුරු රජාටයි.

පීච් ගෙඩි අනුභව කරන්න අවසරදී ඇත්තේ දෙවියන්ට සහ දේවතාවන්ට පමණයි. ඒ නිසා කිසිම මිනිසකුට පීච් ගෙඩි කන්න තහනම්. මෙම තහනම මෙම වඳුරු රජාටත් අදාළයි. නමුත් දිනක් වඳුරාට ඇතිවුණු කුතුහලය නිසා වගාවට ගොස් පීච් ගෙඩියක් හොරකම් කරගෙන අනුභව කළා. ඊට පස්සේ ඒ වඳුරු රජාටත්  සදාකාලික anime cartoon අමරණීයත්වය ලැබුණා කියලා පවසනවා.

මේ විදිහට පීච් ගෙඩිය කාපු නිසා සෑහෙන කරදර සිද්ධ වුණා. දෙවියන් මේ පිළිබඳව දැනගත් විට වඳුරු රජාට විශාල දඬුවමක් ලබාදී තිබෙනවා. දෙවියන් විසින් වඳුරු රජාව වසර 5,000 සිර කරලා තිබෙනවා. නමුත් කාලෙකට පස්සේ දෙවියන්ට අනුකම්පා හිතුන නිසාම වඳුරු රජාව දිව්‍යලෝකයට අරගත්තා කියලා තිබෙනවා. මෙය 16 වැනි සියවසේ රචිත කෘතියක සඳහන් වෙලා තිබෙනවා. එම ග්‍රන්ථයේ නම වන්නේ “The journey to the west”. පසුකාලීනව එම කතාව පසුබිම් කරගෙන anime cartoon එකක්ද නිර්මාණය වුණා.

දියකිඳුරියන්ගේ මාංස 

 මිථ්‍යාවේ  පවසන ආකාරයට දිය කිඳුරියන් ජීවත් වුණේ බොහෝ කාලයකට පෙරයි. ජපන් මිථ්‍යා කතාවක් තුළදී කිඳුරු මස් පිළිබඳව අපූරු කතාවක් හමු වෙනවා. නමුත් එම කතාවේ සිටින දිය කිඳුරිය අපි සිතා සිටින කිඳුරියකගේ පෙනුමට සමාන වන්නේ නැහැ. එනම් මෙම කතාවේ සඳහන් දියකිඳුරිය අප සිතන ආකාරයට ඉතා ලස්සන සහ සුරූපී කෙනකු නෙවෙයි.

මේ කතාවේ සඳහන් වන ආකාරයට ධීවරයෙක් ගැඹුරු මුහුදේ සිය බෝට්ටුවෙන් තනිව මාළු අල්ලමින් සිටින විට ඔහුගේ දැලට අපූරු මාළුවෙක් අහුවෙනවා ඔහු  දැක තිබෙනවා. ටිකක් වෙලා බැලුවට පස්සේ ඒ මාළුවෙක් නෙවෙයි කියලා ඔහුට අවබෝධ වෙලා තිබෙනවා. ඔහු වහාම එම ජීවියාව ඔහුගේ බෝට්ටුවට අරගෙන තිබෙනවා. මේ ආකාරයට දැලට අහුවෙලා තිබෙන්නේ දිය කිඳුරියක්. මේ කතාවේ කියන විදිහට දිය කිඳුරිය අපි සිතෙන් මවාගෙන සිටින කිඳුරියකට වඩා ප්‍රමාණයෙන් කුඩායි.

ඉණෙන් පහළ කොටස සාමාන්‍ය මත්ස්‍යයකු වගේ වුවත් ශරීරයේ උඩ කොටස කුඩා වඳුරකුගේ පෙනුමක් සහිතයි. මේ ධීවරයා මේ සතාව රාත්‍රි ආහාරය සඳහා පිළියෙල කර, එම මාංසවලින් කොටසක් සිය දියණියට ලබාදී තිබෙනවා. නමුත් ඔහු එහි අතුරු ප්‍රතිවිපාක පිළිබඳව දැනගෙන සිටියේ නැහැ. මෙම මාංස ඔහුගේ දියණිය ආහාරයට ගත් නිසා ඇයට අමරණීයත්වය ලැබී තිබුණා. කතාවේ පවසන ආකාරයට මෙය සාපයක්. ඇය දැක්කා ඇගේ මිතුරන් සහ මවුපියන් ඇය ඉදිරිපිට මියයනවා. නමුත් ඇය මැරෙන්නේ නෑ. ඇය වසර 800 පමණ මේ විදිහට නොමැරී ජීවත් වුණා. නමුත් උඩ ඉන්න දෙවියන්ට ඒ ගැන අනුකම්පා හිතිලා ඇයව දිව්‍ය ලෝකයට භාර ගත්තා යැයි මෙම මිථ්‍යා කතාවේ තිබෙනවා.

රත්රන් ඇපල්

ඔබ Viking කෙනෙක්ගෙන් ඇසුවොත්, අපි මැරෙන්නෙ නැතුව සිටින්නේ කොහොමද කියලා ඔවුන් ඔබට අනිවාර්යෙන්ම කියාවි, ඔවුන්ගේ මිථ්‍යාවේ තිබෙන සදාකාලික ජීවය ලබාදෙන රත්රන් ඇපල් ගෙඩියක් පිළිබඳව. මෙම පලතුර පෘථිවියේ වර්ෂ ගණනාවක් පුරා පැවැතිලා තිබෙනවා. එය තමයි එතෙක් මෙතෙක් පැවැති වඩාත් විශේෂම පලතුර බවට පත්වුණේ. ඔවුන් පවසන ආකාරයට අනුව මෙම පලතුර, දෙවියන් විසින් සහ දේවතාවන් විසින් පමණක් ආහාරයට ගනු ලැබුවා. එම පලතුරේ පවතින රසවත්භාවය නිසාම සදාකාලික ජීවනය පැවැතුණු බවට එම මිථ්‍යාවේ පවතිනවා.

මෙම පලතුර ඔබව අමරණීය කරනවා පමණක් නොව ඒ තුළ සදාකාලික තරුණභාවයත් අත්කර දෙනවා. වස්සානයට අධිපති දේවතාවා විසින් තමයි මෙම ඇපල් වගාව බලාගෙන තිබෙන්නේ. ඇයට පමණක් එහි අයිතිය පැවැතිලා තිබෙන්නේ. නමුත් “ලෝකි” නම් දෙවි කෙනෙක් කපටි උපායකින් මේ ඇපල් සියල්ලම හොරකම් කරලා තිබුණා. ඒ නිසා දේවතාවන් කලබල වෙලා ලෝකි ලවා නැවත සියලුම ඇපල් ගෙන්වාගෙන තිබෙනවා කියලා මේ කතාවේ සඳහන් වෙලා තිබෙනවා.

ශුද්ධ වූ පාත්‍රය

කතෝලික දහමේ විදිහට ජේසුතුමා කුරුසපත්  වී මරණයට පත්වන්නට පෙර එතුමා සිය ගෝලයන් සමඟ අන්තිම රාත්‍රි භෝජනය වැළඳු බව අපි හොඳින් දන්නා කරුණක්. පුරාවෘත්තයේ එන විදියට ජේසුතුමා වයින්  පානය කර ඇත්තේ ඉතා සුවිශේෂී පාත්‍රයක. එම පාත්‍රය මේ වන විට ඉතිහාසගතව ඇත්තේ ශුද්ධ වූ පාත්‍රය ලෙසයි. සමහර ස්ථානවල කියන විදිහට මේක එහෙම දෙයක් නෙවෙයි.

ඇතැම් අය කියන විදිහට ජේසුතුමා කුරුසියේ ඇණ ගහලා තිබෙනවිට රුධිරය මෙයට එකතු වුණු බව පවසනවා. නමුත් අද වන තෙක්ම එම පාත්‍රය ඇත්තටම පැවැතුණා ද නැද්ද යන්න අපි දන්නේ නැහැ. ජේසුතුමාගේ චරිතය දෙසට හැරුණොත් එතුමා ඉතාම සුපිරිසුදු චරිතයක්. කොපමණ නිරහංකාර සහ නිහතමානී කිව්වොත් සිය ශ්‍රාවකයන්ගේ පාද සෝදන්න තරම් එතුමා යටහත් පහත් වෙලා තිබෙනවා.

මේ වගේ දේවල් අනුව එතුමා සිය අන්තිම රාත්‍රි භෝජනය වෙනුවෙන්ම සුවිශේෂී පාත්‍රයක් ඉල්ලුම් කළ බවට සහ භාවිත කළ බවට අපට හිතන්න අමාරුයි. නමුත් අප සාමාන්‍යයෙන් දන්නා දෙයක් තමයි එතුමා  සාමාන්‍ය කෝප්පයකින් වයින් පානය කර තිබෙන බවට. නමුත් එතුමා කුරුසිය පත් කර සිටියදී  රුධිරය එකතු කරගත් පාත්‍රයක් පිළිබඳව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

ඇම්බ්‍රෝෂා පානය

පුරාවෘත්තවල ග්‍රීක දෙවිවරු සිටින කාලයේ ඇම්බ්‍රෝෂා යන පානයක් පිළිබඳව සඳහන් වෙනවා. මෙය ලොව තිබෙන වටිනාම සහ සුවිශේෂීම පානයයි. මෙලෙස පුරාවෘත්තවල  දැක්වෙන ආකාරයට එම පානය ලොව ඇති අනෙකුත් පානවලට සමාන කරන්නවත් බැරි බව සඳහන් වෙනවා. එය පානය කරන ඕනෑම කෙනෙක්ට අමරණීයත්වය ලබා දෙනවා කියලත් සඳහන් වෙනවා. මෙය සකසනු ලබන්නේ දෙවිවරුන්ට, දේවතාවන්ට සහ සුවිශේෂී තෝරාගත් පිරිසකට පමණයි. මින් එක හොරෙක් තමයි “ටැන්කල්” කියන්නේ.

මෙම රහස් වට්ටෝරුව හොරකම් කිරීම නිසා ඔහුට අමානුෂික දඬුවම් දී තිබුණා. කතාවේ සඳහන් වන පරිදි ඔහුගේ නිකට දක්වා වතුර පෙරන පොකුණක සිරකර තබා තිබෙනවා. ඔහුට කිසිදාක වතුර බොන්න බැහැ. ඔහු වතුර බොන්න කට අරින විට වතුර මට්ටම පහළ යනවා. ඒ වගේම ඔහුගේ හිසට ඉහළින් පලතුරු තිබුණු බවට සඳහන් වෙනවා. නමුත් ඒවා ආහාරයට ගන්න බැහැ. පලතුරු කඩාගන්නට ළංවෙනවාත් සමඟ ලොකු සුළඟක් ඇවිත් පලතුරු ගස ඉහළට එස වුණා  කියලා සඳහන් වෙලා තිබෙනවා.

අමරණීයත්වය  ලබාදෙන අමෘත පානය

දැනට වසර ගණනාවක් මුළුල්ලේ අමරණීයත්වය ලබාදෙන අමෘත පානය පිළිබඳව කතාවක් පැතිරෙනවා. මෙම පානය පිළිබඳ කතාව ලොව බොහෝ සංස්කෘතීන් හා ආගම් තදින්ම විශ්වාස කරන සංකල්පයක්. පුරාවෘත්තවල  පැවැතෙන ආකාරයට චීන අධිරාජයා මෙම පානය සොයන්න විශාල සේනාවක් යැවූ බවට පැවැසෙනවා.

නමුත් එවැනි අමෘත පානයක්  හමුවී නැහැ. මේ පුරාවෘත්තය සත්‍යයක් බවත් මීට වසර දහස් ගණනකට පෙර යම් කෙනකු විසින් මෙම පානය නිර්මාණය කළ බවත් පැවැසෙනවා. මේ සුවිශේෂී පානය, පානය කිරීමෙන් පසු ඔහු වසර 400 පමණ ජීවත් වූ බවට සඳහන් වෙනවා. ඔහු එම අවුරුදු පුරාවටම ලෝකය පුරා ඔහු සංචාරය කර ගවේෂණය කර තිබෙනවා. ඊට පසු ඔහුට නොමැරී ජීවත් වීම පිළිබඳ විශාල කලකිරීමක් ඇතිවී ඔහු සිය දිවි හානි කරගෙන තිබෙනවා.

 PHILOSOPHER’S STONE

 PHILOSOPHER’S STONE සෙවීම සිදු කළේ හැරී පෝටර් පමණක් නොවේ. එම ගල පිළිබඳව ලෝක ඉතිහාසයේ කරුණු සඳහන් වෙනවා. වසර ගණනාවක් මුළුල්ලේ  PHILOSOPHER’S STONE ස්පර්ශ කරන ඕනෑම දෙයක්  රත්රන් බවට පත්වෙන බවට කටකතා පැතිරෙනවා. ඒ නිසා මෙම ගල තිබෙන පුද්ගලයා නිරායාසයෙන්ම  පොහොසත් කෙනෙක් බවට පත්වෙනවා.  ඒ හේතුව මත ඔහුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. එම නිසා ඒ  ගලට  පුළුවන් සිය ස්වාමියාව  අමරණීයත්වයක් ලබා දෙන්න. කතාවේ දක්වන ආකාරයට මෙම ගල සාමාන්‍ය ගල් යොදාගෙන  යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුකර නිර්මාණය කළ හැකියි. 14 වැනි සියවසේ මෙවැනි ගලක් පුද්ගලයෙක් විසින් සෑදීමට  උත්සාහ කළ බවට කතාවක් පවතිනවා. නමුත් එම පුද්ගලයා පරීක්ෂණ අතරතුර මියගොස්  තිබෙනවා. මෙම ගල පිළිබඳව  විද්‍යාත්මකව බැලූ විට මිථ්‍යා කතාවක් බවට පැහැදිලි වෙනවා.

 සුමේරියාවේ අමරණීයත්වය ලබා දෙන ශාකය

 සුමේරියානු ශිෂ්ටාචාරයේ එක්තරා ආකාරයක අමරණීයත්වය ලබාදෙන සුවිශේෂී ශාකයක් පිළිබඳව සඳහන් වෙනවා. එම කතාවට අනුව අමුතු ශාකයක් නිපදවන පලතුරක් ආහාරයට ගන්නා ඕනෑම කෙනෙක්ට අමරණීයත්වය ලබාදෙන බවට සඳහන් වෙනවා. ගිල්ගමේෂ්ගේ කතාවට අනුව මෙම පලතුර අනුභව කරන මිතුරා ඔහුගේ ඉදිරිපිට මිය යනවා ඔහු දැක තිබෙනවා. ඒ නිසාම ඔහුට විශාල දුකකුත් මරණය පිළිබඳ විශාල බයකුත් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා ඔහු මේ අමුතු ශාකය සොයා සංචාරය කර තිබෙනවා.

ඒ විදියට සංචාරය කරමින් යන විට ඔහුට යුක්තපිෂ්ටින් නම් මිනිසකු හමුවෙලා තිබෙනවා. එම මිනිසා මොහුට එම පැළෑටිය පිළිබඳ විස්තරත් කියලා තිබෙනවා. ඒ අනුව ඔහුට පුළුවන් වෙලා තිබෙනවා මෙම ශාකය සොයා ගන්න. එම ගසෙන් පලතුරු ගෙඩියක් කඩා ආහාරයට ගන්න යද්දිම එක්තරා සර්පයකු ඇවිල්ලා එම පලතුරු ඔහුගෙන් සොරාගෙන තිබෙනවා. මෙම සුමේරියානු කතා ගත්තම අපට පෙනී යනවා බොහෝ විට කතෝලික ආගමේ කතාවලට යම් සමාන කමක් දක්වන බව. ඒ වගේමයි අපට යම් ප්‍රශ්නයක් මතු වෙනවා මෙම සර්පයා විසින්මද ඒව යන ස්ත්‍රියට ඇපල් ගෙඩිය ලබා දුන්නේ? කියලා.

රමෝද් ජයවර්ධන