සර්කස් රනිල්

0
136

“රනිල් අගමැති වෙන්නේ තෙල්, ගෑස්, බෙහෙත් පෝලිම් නැති කරන්නයි. ජනතාව කුසගින්නෙන් බේරාගන්නයි. නැතිව රාජපක්ෂවරුන්ව බේරගන්න නොවෙයි.” රනිල් වටා සිටින කේවට්ටයන්, රනිල් හිටි ගමන් අගමැති ලෙස කරළියෙන් මතු වෙද්දී කීවේ එහෙමය. ඒ නිසාදෝ අරගලයට පහර දී අත පුච්චා ගත් මහින්ද ඇතුළු පොහොට්ටු නඩයත්  ඒ නඩයේ සහචරයනුත් තව තවත් ජනතාවගේ කෝපයට බඳුන් වීම කිසියම් ආකාරයකින් ගල් ගැසුණාක් මෙන් විය. ජනතාවගේ කෝපය වැඩෙමින් පවතිද්දී ගෝඨා සහ මහින්ද ඇතුළු මුළු රාජපක්ෂ නඩයත්, ඔවුන්ගේ ඇච්චෝ _ බැච්චෝ ඇතුළු ඇදහිලිවන්ත අන්තේවාසිකයනුත් බිත්තියට හේත්තු කළ ජනතාව ගල් ගැසී ගියා සේ විය.

“මොනවා වුණත් රනිල් අගමැතිකම් කරලා පළපුරුදු මිනිහනේ. මොන චෝදනා තිබුණත් රනිල්ගෙ කාලෙනේ රු. 10,000කින් පඩි වැඩි වුණේ. ගෑස්, තෙල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මෛත්‍රිගේ කකුල් මාට්ටු මැද්දේ රනිල් ගේමක් ගහලා ආණ්ඩුවත් ඇදගෙන ගියානෙ. රාජපක්ෂලාට ඒක කරගන්න බැරිම තැන දැන් රනිල්ට භාරදුන්නෙ මිනිහා වැඩේ ගොඩදායි කියලා හිතලා වෙන්න ඇති. ජනතා පීඩනය උච්චම තැනක තියෙද්දී තවත් රාජපක්ෂ කෙනෙක් අගමැති හැටියට පත් කරනවාට වඩා රනිල්ට අගමැතිකම දීම හොඳයි. රාජපක්ෂවරු හිතුවේ එහෙමයි. රනිල් කොයිතරම් කට්ටයා වුණත් රාජපක්ෂලාගේ ගැටවලට අනුව මිනිහව දාලා වැඩේ ෂේප් කරගන්න ලැබීම හොඳ තීන්දුවක්.”

රනිල්ව අගමැති හැටියට පත් කරන්න අවසන් සාකච්ඡාව පවත්වා ඉවරවෙලා වුණත් එම තීන්දුවට සහාය වූවන් කීවේ එහෙම කතාවකි. ඒ අනුව රාජපක්ෂ සමාගමේ සියලුම බලවන්තයෝ, තීන්දු තීරණ ගන්නා ඇත්තෝ මාස එකහමාරකට පෙර සිටම සිතා සිටි පරිදි, රනිල්ගේද අනුදැනුම හා බලාපොරොත්තුව මත මේ පත්වීම කෙරුණා යන්න සත්‍යයකි.

එහෙව් රනිල් දැන් කියන්නේ මොනවාද? යන්න ඔහු පසුගිය 7දා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයෙන්ම තහවුරු වෙයි. ඔහු එක දිගටම කියා සිටියේ ආණ්ඩුව කරගෙන යෑම අමාරු බවය. රට පවතින්නේ ඉතා අනතුරක බවය. එහි සාරාංශය වශයෙන් ගත් කල… “ඉදිරි මාස කිහිපය තුළ ආහාර  අතින් බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙනවා. සියලු ජනතාව හැකිතාක් අරපිරිමැස්මෙන් ඉන්ධන හා ගෑස් පරිභෝජනය කළ යුතුයි”ය යන්න මතුවී පෙනෙයි. ඒ අනුව රනිල් වටා සිටින කේවට්ටයන් කියූ පරිදි “රනිල් ආවොත් රට ගොඩ, රනිල් එන්නේ ජනතාවට තුන්වේලම කන්න දෙන්නයි. බලන්නකො රනිල් ආව ගමන් හිතවත් රටවල්වලින් ආධාර කරන හැටි”ය යන්න අද බොරුවක් වී හමාරය.

“කෝ රනිල්ට තියෙනවා කිව්ව ජාත්‍යන්තර සහයෝගය? එක ඩොලර් එකක් තවම ලැබුණෙ නෑ.  කියන්නේ තවම ලැබෙනවාය කියලා කියන කතා විතරයි. ඉන්දියාව එක්ක කතා කරලා කලින් ගිවිසගත්ත ණය මුදල අනුව තමයි තවමත් තෙල් ටික, අත්‍යවශ්‍ය ආහාර පාන ටික ඉන්දියාවෙන් එවන්නේ. ඒ කේ‍රඩිට් ලයින් එකෙත් මුදල් ඉවරවේගෙන එනවා. ඉන් පස්සේ මොනවද කරන්නේ? තවම උත්තර නෑ. රනිල් කතා කළාය කිව්ව පිටරටවල හිතවත්තු තවම උදවු කරන්නේ නැත්තේ ඇයි?”

රනිල්ට අකැමැති වුණත්, වෙන කරන්න දෙයක් නැතිම තැන රාජපක්ෂවරු ඔහුව අගමැති කළ නිසාම පොහොට්ටුවේ අයට ආණ්ඩුව ඇදගෙන යන්නට වී තිබෙන තැනක එහි ඇතුළත ඇච්චෝ බැච්චෝ කතා වෙන්නේ එහෙමය.  ඒවා දැන කියා ගත්තු රනිල් වටා සිටින ඇච්චෝ බැච්චෝ සහ සූත්තර පුංචලා කියන්නේ “ආව ගමන් ඇලඩින්ගේ පුදුම පහන වගේ මවන්න බැහැනේ. රට රටවල් එක්ක කතා කළා තමයි. ණය ගන්නවත් බැරිව හිටිය උන්දැලට ණය ටිකක් අරන් දීලා යාන්තම්වත් රට ශේප් කරලා දෙන්න වලිකද්දී පොහොට්ටුවේ කයිවාරුකාරයෝ ඔහොම කතා කියන එක හරි නෑ, ටිකක් ඉවසන්න වෙනවා. ලොක්කා මොනවා හරි කරලා දෙයි.” රනිල්ගේ ගෝලයෝ “මොනවා හරි රනිල් කර දේවි” කියන කැරට් අලය තව කොයිතරම් කාලයක් බලා ඉඳීවිද කියන්නට බැරිය. පෙනෙන්නට තිබෙන ආකාරයට රනිල් කිව්වා වගේ ඉදිරි මාස තුන ඉතා තීරණාත්මක වන අතර ඉදිරි සති තුනද අතිශය කටුක අත්දැකීම්වලට මේ රටේ ජනතාවට මුහුණදෙන්නට වෙනවාය.

පෙනෙන්නට තිබෙන ආකාරයට ඉතා ඉක්මනින් අපට ඕනෑ වූ ආකාරයට, ඕනෑ ප්‍රමාණයකින් ණය දෙන්න හෝ ආධාර දෙන්නට කිසිදු රටක් මේ මොහොතේ තීන්දු කර නොමැත. පෙනෙන්නට තිබෙන එකම සත්‍යය නම් ශ්‍රී  ලංකාවට මානුෂීය ආධාර දීමට සහාය වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ රටවල් සඳහා විවෘත ආයාචනයක් සිදු කිරීමට තීන්දු කිරීමය. මෙවැනි දෙයක් ලෝකයේ සිදුවන්නේ අන්ත දුගී දුප්පත් බවට පත් ආර්ථික වශයෙන් කඩාවැටුණු, කුසගින්නේ මිය යන්නට වන ජනතාවකට අනුකම්පා කර මානුෂීයව සිතා ආධාර දියල්ලා යනුවෙන් කියන්නේ ඒ තරමටම ඒ රට පහළටම වැටී තිබුණොත් පමණය. අප දැන් සිටින්නේ එවන් ශෝචනීය තත්ත්වයකය. එවන් රටකට යම් කාලයක් යන තුරු, රට ස්ථාවර වී කාලයක් ගත වන තුරු විශ්වාසයෙන් යුතුව විදෙස් ආයෝජන අරන් එන්නට විදෙස් ආයෝජකයන්  පෙලඹෙන්නේ නැත. ඔවුන්ට එහෙම මොළේ අමාරුවක් ඇතිවන්නේ නැත.

ඉදිරිය ඉතා අවදානම් වන්නේ තවමත් තාවකාලිකව හෝ මූලික ගැටලු විසඳාගන්නට විදෙස් ආධාර ලැබී නොතිබීමය. සාමාන්‍යයෙන් ඉන්ධන සඳහා රටට මාසයකට වැයවන මුදල ඩොලර් මිලියන 500ක් පමණ වේ. වත්මන් තත්ත්වය මත තෙල් මිලද ඉහළ යෑමේ අවදානමකය. එවන් තත්ත්වයකට මුහුණදෙන්නට අපට  එදා මෙන් තෙල් සංචිත අඩු මිලට ගෙන ගබඩා කරගෙන තබා, මිල ඉහළ ගියත් එය රටේ ජනතාව මත පටවන්නේ නැතිව නිසිලෙස කළමනාකරණය කරගන්නට සවියක් නැත. මහින්ද හා ගෝඨාභයගේ පාලනයේ නෂ්ටාවශේෂ මත පිනුම් ගහන්නට බලා සිටින රනිල්ට මෙහි ප්‍රාතිහාර්ය පාන්නට බැරි බව ඔහුගේ විශේෂ ප්‍රකාශයෙන් ඔහුම පවසා තිබෙන්නේ ඒ නිසාය.

මහින්ද හෝ ගෝඨා හෝ ඔවුන්ගේ ආණ්ඩුවේ මූල්‍ය පිළිබඳ වගකිවයුත්තෝද ඇමැති බත්බැළයන්ද කිසිදා ආර්ථික අමාරුකම් එන බවක් කීවේ නැත. වරෙක ඩොලර් ප්‍රශ්නය ගැන විමසූ විට ඇතැම් ඇමැතිවරු කීවේ වාචාල කතාය. අපට ඩොලර් ප්‍රශ්නයක් නෑ. ආවත් ඒක විසඳගන්න අපි දන්නවාය කියලාය. එහි රඟ කෙසේද යතොත් “රනිල්ව අගමැති කරන්න පොහොට්ටුවේ අයට පිස්සු නෑ” කියූ මැටිමෝල් ඇමැතිවරුන්ට අද රනිල්ට සර් කියන්නටත්, අගමැතිය කියන්නටත් සිදුව තිබීම දෛවෝපගත සිදුවීමකි.

රනිල් බලන්නේ ද බොරදියේ මාළු බාමින් කල් මර මරා තමන් තමයි “එකම ගැලවුම්කාරයා” බව අඟවමින් බලාපොරොත්තු ඇති කරවමින් මේ කරුමය තවදුරටත් ඇදගෙන යෑමටය. ඔහු කොයිතරම් සිහින දකින්නෙක්ද යන්න හා ගැඹුරේ දිග පළල දැන දැනම බොරදියේ මාළු බාන්නෙක්ද යන්න හඟවමින් “අපේ අවසාන අරමුණ සියවැනි නිදහස් සමරුම පවත්වන 2048 වෙද්දී ශ්‍රී  ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමය” කියාද කීවේය. ඒ අනුව රනිල් හදන්නේ දිග දුර මෙහෙයුමක් කරන්නටද යන්න කෙනකුට සිතෙන්නට පුළුවන්. තවත් වසර 26ක ඉදිරියක් දකින ඔහු මේ සැරසෙන්නේ තමන්ගේ ගේම තනියෙන්ම ගසමින් නාමල්ලාට පාර කපා තියන්නටදැයි කවරකුට හෝ විමසන්නට සිත් වන්නේය.

“රනිල් කිසි දවසක සජිත්ගේ මතුවීම සිදුවනවාට කැමැති නැත. ඔහු පිනට ගත් මන්ත්‍රිකමට ආවෙත් රාජපක්ෂලා එක්ක හොඳින් කතා බහ කරගෙන ඉලක්කගතවයි. ඒ ඇවිත් අගමැතිකම ගන්න ඉලක්කයත්් සැලසුම් කළේ රාජපක්ෂවරුන්ගේ උපදෙස් හා ආරක්ෂාව මතයි. මහින්දගෙන් පස්සේ බැසිල්ට හෝ ඉන්පස්සේ නාමල්ට පුටුව හදා දෙන්න උදවු වෙන්නයි. හැබැයි ඒ අතරේ එයාගේ ඉලක්කය සජිත්ට බැටේ දෙන්න. සජබ දිය කර හරින්න. ඒ මන්ත්‍රිවරු එජාපය තුළට ගන්න. ආයෙත් යූඑන්පී ආණ්ඩුවක් ගන්න. හැබැයි එයා රාජපක්ෂවරුන් එක්ක මොනතරම් ගේම් ගැහුවද? ගේම් තවමත් ගහනවද? එයා මොනවද කරන්නේ කියලා යූඑන්පීකාරයෝ දන්නවා. අද යූඑන්පීයක් නැති වූයෙත් රනිල් නිසා. ඒ මිනිසුන්ට අද සජබ තියෙනවා. රනිල් කරන්න හදන දේ ගැන ජනතාව දන්නවා. මැතිවරණයක් තියලා බලන්න කියන්න. ජනතාව දෑත බදලා හොඳ ප්‍රතිඵලයක් දෙන්න තමයි බලන් ඉන්නේ.”

සජබය තුළ සිටින රනිල් හා කලක් උන්නු ඉතා ප්‍රබල ක්‍රියාකාරිකයන් කියන්නේ එවැනි කතාවක්ය. ඒ කෙසේ වෙතත් රනිල් භාරගත් මේ කුණ අදින්නටම සිදුවන්නේ දැන් ඔහුට එය අතහැර ගන්නට බැරි තැනක තිබීම නිසාය. අගමැතිකම අතහැර “අනේ මටත් බෑ”ය කියලා යන්නට සූදානම් නැති රනිල් පුළුවන් තරම් කල් මරන්නට පෙලඹෙනවා ඇත. ඒ ඔහුගේ ඉලක්කය රාජපක්ෂවරුන් රැකගෙනම තමන්ද ගොඩ ඒම නිසාය. ඒ සඳහා ඔහු ඕනෑම නෙයියාඩමක් නටනු ඇත. එහි පළමු පියවර වූයේද අගමැතිකම හොඳට හිතලා භාර ගැනීමය. ඔහු දැන් ඔහුගේම නියමයට හා පිළිවෙළට අනුව කපටි ක්‍රීඩාවක නිරත වන්නේය. ඒ ක්‍රීඩාවේ අනාගතයත් කාලයත් තීන්දු කරන්නේ අන් කවරකුත් නොව මේ සත්‍යයන් දිහා උපේක්ෂාවෙන් බලා සිටින මහජනතාවය. ජනතාව රනිල්ට කරන්න යන්නේ මොනවාදැයි ඉදිරියේදී බලා ගන්නට පුළුවන් වන්නේය.

සජිත් රෝහිත ලියනගේ