අඳුරේ අතපත ගගා සිටිනු වෙනුවට…

0
112

එක් අර්බුදයක් නොව දැන් අර්බුද වැලකි. විසඳුම් ලෙස ගෙන එන යෝජනාද අලුත් අර්බුද මවාලන සෙයකි. පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එහි ‍ෙදාස් පරොස් ගැන සොයා විමසා වාද විවාද කොට බුද්ධිමය කතිකාවකට ලක්කොට සම්මත කර ගැනීමටය. එහෙත් වර්තමාන පාර්ලිමේන්තුවෙහි එවැනි බුද්ධිමය කතිකා සඳහා ඉඩ සැලසෙයිද? රට බරපතළ අර්බුද රැසකට මුහුණදෙමින් සිටින මේ මොහොතේ අනවශ්‍ය වාද විවාද සඳහා කල්මැරිය යුතු නැත. එහෙත් විදුලිය ගැන කතා නොකරම බැරිය. රට ඉදිරියට ගෙන යන්නට විදුලි බලය අත්‍යවශ්‍යය.

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මත වී තිබේ. පෙර දින විදුලි ඉන්ජිනේරුවන්ගේ වෘත්තීය සමිති කිහිපයක් ජනපති හා කළ සාකච්ඡාවකින් පසු මුලදී අපේක්ෂා කළ වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයක් අත්හිටුවා තිබිණි. කෙසේ වෙතත් ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය ඇනහිටීම්ද වාර්තා විය. විරෝධතා ඉබ්බා දියට දමන්නට ගිය විට ඇන්නෑවේ කීවා වගේ වැඩක් වූ බව පෙනෙන්නට තිබිණි.

විදුලිබල මණ්ඩලය කැපිලි කෙටිලිවලට පමණක් නොව විවිධ ආකාරයේ ගැහිලිවලටත් කියාපු තැනකි. ඉතිහාසයේ කිසිම දවසක ලාභයක් ගැන කතා නොකළ මණ්ඩලයකි. උන්හිටි ගමන් සමහර බලාගාරවල යන්ත්‍ර සූත්‍ර අක්‍රිය වෙයි. එක්කෝ තාක්ෂණික දෝෂයි. නැතිනම් ඉන්ධන ප්‍රශ්නයයි. ඒත් නැතිනම් ජලාශවල ජල මට්ටම නරක අතට හැරීමයි.

සාමාන්‍යයෙන් අවුරුද්දේ මුල් මාස හතරේ අප රටේ පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි. මේ කාලයට කොහොමටත් ජලාශවල තත්ත්වය අයහපත්ය. ඒ නැතිනම් යන්ත්‍රසූත්‍රවල ගැටලුය. නොරොච්චෝලේ කිහිපවරක්ම ලෙඩ වුණු හැටි අපට අමතකව නැත. පසුගිය කාලයේ විදුලිය බිඳ වැටීම් පිටුපස ඉන්ජිනේරු මාෆියාවක් සිටින බවටද කතන්දරයක් පැතිරිණි. ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැත.

විදුලිය බිඳවැටීම් හමුවෙහි හදිසි මිලදී ගැනීම් උදෙසා වැය කරන්නට සිදු වන්නේ මේ රටේ බදු ගෙවන, බිල් ගෙවන ජනතාවගේ මුදල්ය. බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමටද මුදල් අවශ්‍ය වෙයි. සියල්ල ජනතාවගේ පිට මතය. විදුලිබල ක්‍ෂේත්‍රයේ පැනනඟින අර්බුද විසඳාලීම සඳහා රටේ ජනතාවගේ ගෙල සිරකරන තැනට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත අර්බුදයට සාධාරණ විසඳුමකියි අපට කියන්නට හැකිකමක් නැත. එහිද යම් යම් අඩු පාඩු තිබේ. ඒ සම්බන්ධව බුද්ධිමත් සංවාදයක් නොතිබීම බලවත් අඩුපාඩුවකි.

පනතට එරෙහිව වැඩ වර්ජනයට සැරසුණු ඉන්ජිනේරුවන් හිතන්නේ ජනතාව ගැන නොව තම තමන්ට අහිමිව යන පුද පඬුරු හා පරිෂ්කාර ගැන බවට ද චෝදනාවකි. එසේ චෝදනා නඟන අය කියන්නේ මොවුන්ගේ මාසික වැටුප් හා වරප්‍රසාද ගැන සලකා බලන විට විදුලිබල මණ්ඩලයට මේ තරම් අලාභ _ පාඩු විඳින්නට සිදුව තිබෙන්නේ අසීමිත වැටුප් වැඩි කිරීම් හා අසාධාරණ වරදාන හේතුකොට ගෙන බවය.

සාමාන්‍යයෙන් විදුලිබල මණ්ඩලයේ රැකියා නියුක්තිකයන් වෙත වැටුප් ගෙවීම සඳහා මාසිකව මිලියන තුන්දහසක් වැය වන බවට ගණන් බලා තිබේ. එයින් 20%ක් එනම් මිලියන හයසියයක් තරම් ප්‍රමාණයක් වැයවන්නේ එහි සේවය කරන ඉන්ජිනේරුවන් සඳහාය. සාමාන්‍යයෙන් පළමුපෙළ ඉන්ජිනේරුවකු සඳහා හිමිවන මාසික වැටුප දස ලක්ෂයකට ආසන්න බව කියයි. එවැනි වැටුප් ලබන දහදෙනෙක් මණ්ඩලයේ සේවය කරති. මෙසේ ලක්ෂපති වාසනා හිමි ඉන්ජිනේරුවෝ වැඩි පිරිසක් මේ මොහොතේත් මණ්ඩලයේ සේවය කරමින් සිටිති. පනතට විරෝධය පැනනැඟුණේ මෙසේ වැටුප් ලබමින් සේවයෙහි යෙදෙන පිරිස් අතරිනි.

අප රටේ විදුලිබල මණ්ඩලය වෙනත් රටවල විදුලි සම්පාදන ආයතන හා සසඳන කල අරුම පුදුම තැනකි. උපරිම කාර්යබහුල වේලාවන්ද ඇතුළත්ව මෙරට සාමාන්‍ය දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,500ක් පමණ වේ. මේ මෙගාවොට් ප්‍රමාණය රටට ලබාදෙන්නට දහසකට වැඩි විදුලි ඉන්ජිනේරුවන්ට මිලියන හයසියයක් තරම් මුදලක් මාසිකව වැය කරන විට මේ ආයතන හැමදාම පාඩු පිට පාඩු ලබන කතාව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අතරේ හදිසි මිලදී ගැනීම් ලෙස දක්වා අත යට ගන්නා ප්‍රතිලාභවලින් අත මිට සරු කරගන්නට ගිය විට රට බිමටම ඇදවැටෙන එක අහන්නට දෙයක්ද?

කලෙක සිට විදුලිබල මණ්ඩලයටද ඉන්ධන අර්බුදයට මුහුණ දෙන්නට සිදුවී තිබේ. ඩීසල් බලාගාර සඳහා ඉන්ධන මිලට ගැනීම බරපතළ ගැටලුවක්ව ඇති බව අමාත්‍ය කංචනද අවධාරණය කරයි. නැප්තා සහ දැවිතෙල් නොමැතිව බලාගාර කිහිපයක් දැනටමත් ඇනහිට තිබේ. ඛනිජ ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක බලාගාර සඳහා ඉන්ධන සපයා ගැනීම බරපතළ ගැටලුවක්ව තිබේ. 2022 මැයි මස මුල පැවැති ඉන්ධන මිල ගණන් අනුව ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක විදුලිබලාගාර මඟින් විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා යන වියදම ලක්විජය බලාගාරය සඳහා රුපියල් 41.80ක් වුවද කැලණිතිස්ස Frame VGT බලාගාරය  සඳහා රුපියල් 182.80කි. සෙසු බලාගාර සඳහා ඒ අතරමැදි මිල ගණන් වැය වෙයි. එහෙත් සුළං, හිරුඑළිය හා ජලය බලශක්ති ප්‍රභව ලෙස යොදා ගනිමින් ඉතා අඩු පිරිවැයකින් විදුලි බලය නිපදවිය හැකි බව දැනටමත් ප්‍රත්‍යක්ෂව ඇති කාරණයකි. තත්ත්වය මෙසේ තිබියදී වගකිවයුත්තන් ඒ පිළිබඳව උනන්දු නොවීම පිටුපස කුමක් හෝ නොපෙනෙන නොදැනෙන කළු අරමුණු රැසක් ගොනු වී ඇති බව නොසිතා සිටින්නට බැරිය.

රට අඳුරට ඇද දමනු වෙනුවට සියල්ල විනිවිද බවක් ඇතිව කඩිනමින් ක්‍රියාවට නැඟීමට පමා විය යුතු නැත. වැඩේ වරද්දාගෙන නාහෙන් අඬ අඬා ළතැවීමට වඩා බුද්ධිමත් තීරණ ගැනීම වඩාත් හොඳය. අඳුරේ අත පත ගාමින් සිටිනු වෙනුවට එක ඉටිපහනක් හෝ දල්වා ගැනීම අගනේය.