දෙයක් වේ නම් යම් – සුදුස්සාටම අයිති විය යුතු

0
150

සර්ව අසුබවාදියා ඕනෑම ඉඩ ප්‍රස්තාවක ඇති අසීරුතාවන් දකී. ශුභවාදියා හැම අසීරු අවස්ථාවකම ඇති ඉඩ ප්‍රස්තාවන් දකී. මේ වින්සන්ට් චර්චිල්ගේ සඳහනකි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙරේදා පාර්ලිමේන්තුවේදී කළ අදහස් දැක්වීම අවසන් කළේ එම සඳහන උපුටා දක්වමිනි. පෙර අවස්ථාවක අග්‍රාමාත්‍යවරයාම රට මුහුණ දී සිටින අසීරු අවස්ථාව ගැන සඳහන් කරමින් බර්ටෝල්ට් බේ‍රෂ්ට්ගේ Der Kaukasiche Kreide Krels නාට්‍යයේ සඳහන් වැල්පාලමේ පුවත උපුටා දැක්වීය.

‘හුණුවටය’ නමින් හෙන්රි ජයසේන සිංහලට නඟා නිෂ්පාදනය කළේ බේ‍රෂ්ට්ගේ ඒ නාට්‍යයයි. නාට්‍යයෙහි අන්තර්ගතය රටක ආර්ථිකය ගැන කියැවෙන්නක් නොවුණත් “දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු” යන න්‍යාය ධර්මය එහි දෙවැනි කොටසින් සනාථ කෙරෙයි. ගෘෘෂා රජමැඳුරේ සේවිකාවකි.

ඈත එක් යුගයක ලෙයින් නැහැවුණු සමයක කව්කාස්කි නම් වූ නගරයේ යුවරජ පදවිය දරමින් සිටි ජෝර්ජ් අබෂ්විල්ලි ජනතාව සහමුලින්ම අමතක කොට රජ පවුලේ සුඛවිහරණය ගැන පමණක් සිතූ අයෙකි. බදු බරින් මිරිකුණු ජනතාව ප්‍රකෝපවී සිටියහ. යුද්ධයට මැදිවන රජ මැඳුරේ සියල්ලෝම සීසීකඩව පලා යති. රජ මැඳුරේ දමා ගිය දරු පැටියා සිහිවුණේ ගෘෘෂාට පමණි.

හුණුවටයේ නාටකයේ වැල්පාලමේ ගීතය උපුටා දක්වමින් අගමැති රනිල් බරපතළ වගකීමක් තමන් අතට ගත් බව කීම යථාර්ථයක් නමුත් මේ රටේ ආර්ථිකය ගැන කියන්නට හුණුවටයේ නාටකය කිසිසේත්ම ගැළපෙන්නේ නැත. එහෙත් චර්චිල්ගේ සඳහන උපුටා දැක්වීමෙහි කිසිදු අනුචිත බවක් නොපෙනෙයි.

රට ගොඩගන්න බැරිය කියා සියල්ල අතහැර දමා නාහෙන් අඬ අඬා සිටීමට වඩා දැන් කළ හැකි දේ මෙන්ම කළයුතු දේ ගැන සැලකිලිමත් වීම අවශ්‍යය. රටේ ආර්ථිකය ගැන බින්දු මාත්‍රයක් හෝ නොදන්නවුන්ගේ හිතුවක්කාර පියවර කිහිපය හේතුවෙන් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට රටට සිදුව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. අගමැති වික්‍රමසිංහ එම අභියෝගයට මුහුණදීමේ දුෂ්කරතාව මෙසේ වචනයට නඟයි.

“මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙන්නේ ප්‍රාතිහාර්යවලින් නොවෙයි. සටන්පාඨවලින් නොවෙයි. මැජික්වලින් නොවෙයි. හැඟීම්වලින් නොවෙයි. බුද්ධිමත්ව සිතා සකස් කරගත් සැලසුම් ක්‍රියාත්මක කරලීම සඳහා වෙහෙසීමෙනි. කැපවීමෙනි.”

අර්බුදය අවබෝධ කරගත් තැනැත්තාට ඊට විසඳුම්ද පෙනී යා යුතුය. බුද්ධිමත්ව සිතා සකසා ගත් සැලසුමක් ලෙස අගමැති රනිල් අදහස් කරන්නේ එයයි. එහෙත් මේ රටේ එවැනි සැලසුම් සකසා අදාළ පාර්ශ්ව වෙත යොමු කළ අවස්ථා කොතෙකුත් තිබිණි. මෑත කාලයේ අර්බුදය තීව්‍ර වන්නට පෙරාතුව පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් පිරිසක් එක්වී ජනගත කළ හරිමඟ වැඩපිළිවෙළ එක් අවස්ථාවකි.

එහෙත් ආණ්ඩුව කළේ නිකමටවත් ඒවා කියවා විමසා බලා ගත හැකි යමක් තිබේ නම් එය ක්‍රියාවට නැඟීම නොවේ. එම සැලසුම් ඉදිරිපත් කළ අයගේ බෙල්ලෙන් අල්ලා ආණ්ඩුවෙන් එළියට ඇද දැමීමය. ආණ්ඩුවේ ආර්ථිකය සැලසුම් කළ ප්‍රධාන නිලධාරියකු සම්බන්ධව ආර්ථික ඝාතකයා යන පටබැඳි නම කරළියට ආවේ ටික කලකට පෙරය. ඒ කාලයේ එවැනි විවේචන මඩ ගැසීම් ලෙස සැලකුවාට දැන්නම් ඒ කතාවල යම් හරයක් ඇති බව සිතන්නට සිදුවී තිබේ.

රටේ ආර්ථිකය ගැන, රට යායුතු ගමන්මඟ ගැන, දේශපාලන ක්‍රියාකාරකම් ගැන තතු දන්නවුන් කියන කතා ගැන කිසිදු අවධානයක් නැතිව අපි තමයි හොඳටම කරන්නේ කියා කීවාට, කරනවාට වඩා කවුරු කවුරුත් කළේ අනා ගැනිල්ලය. දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මේ රටේ වර්තමාන අර්බුදයට විසඳුම් වශයෙන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු පියවර හයක් ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කොට තිබේ. මේ සියලු පියවර කළ හැකි දේවල්ය.

ඒවා ක්‍රියාවට නඟනුයේ කෙසේද යන කාරණය ගැන මිසක ඒ කිසිදු යෝජනාවක වරදක් අපට නොපෙනෙයි. අඩු පාඩුවක් සේ පෙනෙන්නේ මේ යෝජනා හයෙන් පමණක් අර්බුදය විසඳාලීම කිසිසේත්ම කළ හැකි දෙයක් නොවන බවයි. විශේෂයෙන් සහනාධාර ලබාදීම, තට්ටු නිවාස ජනතා අයිතියට පත් කිරීම, ගොවි ණය කපා හැරීම යන ක්‍රියාමාර්ගවලදී ගැටලු පැනනැඟීම වළක්වනු නොහැකිය. ඒ සම්බන්ධව විධිමත් හා නිසි කළමනාකරණයෙන් යුතු වැඩපිළිවෙළක් කල්තබා සකසා ගැනීම අත්‍යවශ්‍යය. පසුගිය කාලය තුළ මේ රටේ ක්‍රියාවට නැඟුණු හැම සහනාධාර වැඩපිළිවෙළකම සිදුරු තිබිණි. අඩුපාඩුකම් කොතෙකුත් විය.

අගමැති රනිල්ගේ අදහස් දැක්වීමේදී අමතක නොකළ වැදගත්ම ක්‍ෂේත්‍රයකි.” රජයේ බොහෝ ආයතනවල විධිමත් මූල්‍ය කළමනාකරණයක් සිදුවන්නේ නැහැ. ඒ නිසා අලුත් ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු වෙනවා.” මේ හොඳම යෝජනාවකි. නිදහසින් පසු ගෙවී ගිය වසර හැත්තෑ හතර තුළම සිදුවුණේ අවිධිමත් මූල්‍ය කළමනාකරණයට. රාජ්‍ය ආයතන ගොදුරු වීමය. අද රාජ්‍ය ආයතන වැඩි ප්‍රමාණයක් ගැන සඳහන් කරනුයේ පාඩු ලබන ආයතන ලෙසටය.

පොදු ජනතාවගේ යහපතට කිසිසේත්ම හේතු නොවන ඇතැම් ඉදිකිරීම් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වැය කොට තිබේ. ඒ මුදල් යළි කිසිදු ආකාරයකින් පියවා ගන්නට පුළුවන්කමක් නැත. රටේ ආර්ථිකය බිමට සමතලා වනතුරුම මේවා ගැන සොයා විමසා බලන්නට කවුරුත් ඉදිරිපත් වුණේ නැත. ඉතිහාසයේ මහා නාස්තිකාරයන්ගේ අත්තනෝමතික ක්‍රියාදාමය හේතුවෙන් කාබාසිනියා වුණේ රටේ ආර්ථිකය පමණක්ම නොවේ. ලොව හමුවේ දැන් අපට දෑත පාන්නට සිදුවී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද කියයි. මේ වෙනස තුළ අවධානය යොමු කළයුතු තවත් වැදගත් කරුණකි. ඒ දූෂණයෙන් හා වංචාවෙන් තොර රටක් ගොඩනැංවීමයි. එය අනිවාර්යයෙන්ම විය යුත්තකි. හොරකමින් තොර සමාජයක්, හොරුන්ට ඉඩක් නැති රටක්, හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීති රීති ඇති පාලනයක් ඇති කළ යුතුය. අරගල බිම ඉල්ලා සිටින්නේත් රනිල් කියන මේ වෙනසය. රනිල්ට හෝ ඒ දේ කළ හැකි නම් ‘රනිල් ගෝ හෝම්’ කියන සටන්පාඨය කරළියට ගෙන ඒම අත්හිටුවන තැනට ඔවුන් කටයුතු කරනවා නිසැකය.