ලොක්කන්ගේ රථ ගායට තිත තබනු

0
109

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව, මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පත්කරගත්තේ ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා විධිමත් නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමට නොවේ. පවතින අර්බුදය හමුවේ ලෝකය පුරා ඩොලර් හිඟමනේ යෑමට වඩාත් සුදුසු සිඟන්නා ලෙස ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ පිළිබඳව විශ්වාසය තැබූ නිසාය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ‘සිඟමන් ව්‍යාපෘතිය’ මේ වන විට මුළුමනින්ම අසාර්ථක වී තිබේ. ලෝකයේ කිසිදු රටක් බංකොලොත් ශ්‍රී ලංකාවට ණය දීමට ඉදිරිපත් වන්නේ නැත. තව නොබෝ දිනකින් එළැඹෙන පොසොන් උත්සවයේදී වෙනත් අවුරුදුවල මෙන් බෞද්ධ කොඩි වනා කැඳවා තුන්වේල බත් දන්සල් දීම මෙවර සිදු නොවනු ඇත. තවමත් අර්බුදය නහයෙන් උඩට ගොස් නැති නිසා මෙවර හකුරු සමඟ බෙලිමල් දන්සල් පමණක් දැකිය හැකි වනු ඇත. රනිල්ගේ සිඟමන් ව්‍යාපෘතියටද මේ වන විට අත්ව තිබෙන්නේ එම ඉරණමය. අපේක්ෂා කළ පරිදි ඩොලර් ලැබුණේ නැත.

ඊයේ (7දා) පාර්ලිමේන්තුවට ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ප්‍රාතිහාර්ය, සටන් පාඨ, හැඟීම් පමණක් ප්‍රමාණවත් නොවන බව පැවැසීය. සාම්ප්‍රදායික මතවාද පසෙක තබා රට ගොඩනැඟීම සඳහා සියල්ලන් අත්වැල් බැඳගත යුතු බව පැවැසූ හෙතෙම දැන් ඩොලර් ගැන කතා කරන්නේ නැත.

ශ්‍රී ලංකාව සතුව ගෑස් සහ ඉන්ධන තිබෙන්නේ සති තුනකට සෑහෙන ප්‍රමාණයක් බවට අගමැති රට දැනුවත් කළේය. ජනතාව බලශක්ති පරිභෝජනයේදී අරපරෙස්සම් සහගත විය යුතු බවද අගමැති අවධාරණය කළේය. අගමැතිගේ ඉල්ලීම සාධාරණය. බැලූ බැල්මට එහි වරදක් නොපෙනේ.

එහෙත් ආණ්ඩුවේ භාවිතාව කියන තරම් අවංක හෝ සුන්දර හෝ නැත. කොටින්ම එය සමාන කළ හැක්කේ කකුළුවා ඇදයට ගමන් කරන ගමන් පැටවුනට කෙළින් යන්නට උපදෙස් දෙන කතාවටය. ඉන්ධන පාවිච්චියේදී ආණ්ඩුවේ කිසිදු කැබිනට් ඇමැතිවරයකු, රාජ්‍ය නිලධාරියකු යහපත් ආදර්ශයක් පෙන්වා නැත. ඔවුන් තවමත් දුවන්නේ ලීටරයට කිලෝමීටර් තුන හතරක් දුවන පෙට්රල්, ඩීසල් බොන වාහනවලය. මැයි 9 වැනිදායින් පසු ආණ්ඩුවේ ලොක්කන්ගේ බොරු සෝබන වැඩි වූවා මිස අඩු වී නැත.

පසුගියදා ගම්පහ මහාධිකරණයේ පැවැති මල්වාන නිවෙස පිළිබඳ නඩුවට පෙනී සිටීමට හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පැමිණ තිබුණේ වාහන 20කට අධික සංඛ්‍යාවක් පිරිවරාගෙනය. එය අධිකරණයේ නීතිඥවරුන්ගේද උදහසට හේතුවී තිබිණි. නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග විත්තිකරුවකු ලෙස දඬුවම් ලැබූ නඩු විභාගයට පැමිණ තිබුණේද රාජ්‍ය නිලධාරීන් කැටුව වාහන රැසක් පිරිවරාගෙනය. රට බරපතළ ඉන්ධන අර්බුදයක සිරව තිබියදී බලධාරීන්ගේ මේ නින්දිත හැසිරීම මිනිසුන් දිගින් දිගටම ඉවසා දරා සිටී යැයි සිතන්නේ නම් එය මුළාවකි.

අර්බුදයට මුහුණදීම සඳහා අරපිරිමැස්මෙන් කටයුතු කරන්නට අවංක වුවමනාවක් තිබේ නම් එය ජනතාවට දැනෙන අන්දමින් ආණ්ඩුව ඉහළ තැනින් පටන් ගත යුතුය. නාස්තිය, දූෂණය ඉහවහා යමින් තිබියදී කිසිදු කැපවීමක් නොකොට ජනතාවට වේලක් කන්න පුරුදු වෙයල්ලා යි ආණ්ඩුවේ ලොක්කන් කරන ප්‍රකාශ හැඳින්විය හැක්කේ ඇවිළෙන ගින්නට පිදුරු නොව පෙට්රල් දැමීමක් ලෙසය.

ඉදිරි මාස කිහිපය සඳහා සහල් මෙටි්‍රක් ටොන් මිලියන 2.4ක් අවශ්‍ය නමුත් දැනට සහල් සංචිත පවතින්නේ මෙටි්‍රක් ටොන් මිලියන 1.6ක් පමණක් බවද හෙතෙම පැවැසීය. ආණ්ඩුව ගොවීන්ට දෙන බවට පොරොන්දු වූ වන්දි, පොහොර, බීජ කිසිවක් දුන්නේ නැත.

ජනාධිපති, අගමැති, කෘෂිකර්ම ඇමැති, මහ බැංකු අධිපති වරින් වර නැවත නැවත ප්‍රකාශ කරන්නේ සාගතය අත ළඟ බවය. නමුත් ඒ සඳහා මුහුණදීමට විකල්ප වැඩසටහනක් මේ දක්වා ඉදිරිපත් කර නැත. ශ්‍රී ලංකාවේ මිලියන 22ක ජනතාවට ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ පෙම් කෙළින කකුළුවන් බවට පත්ව තිබේ.