හානා හීය පානා අඬහැරෙන් දැනේ

0
126

යල කන්නයේ වගාව අත්හරින්නට එපා කියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑතකදී කීවේය. ඒ කියන විටත් යල කන්නයේ මාස තුනක්ම ගෙවී ගොස් තිබිණි. යල කන්නය මාර්තු මාසයෙන් ආරම්භ වී සැප්තැම්බර් මාසයෙන් අවසන් වේ. අපට යල කන්නයෙන් ඉතිරිව තිබෙන්නේ මාස තුනහමාරක් වැනි කෙටි කාලයකි. මේ කාලය තුළ වී වගාව සම්බන්ධව අපට කළ හැකි දේ කුමක්ද?

මහ කන්නය ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වී ඊළඟ වර්ෂයේ මාර්තු මස මැද භාගයෙන් අවසන් වේ. මේ ජුනි මාසයයි. අදට එහි සතියකුත් ගෙවී ගොසිනි. දැන් ඉතින් අප සූදානම් වන්නේ කොයි කන්නයටද? කුමන කන්නයට හෝ අවශ්‍ය පොහොර ටික, සෙසු අවශ්‍යතා හා පළිබෝධනාශක සූදානම්ද? මේ කිසිත් නැතිව දැන් යෝධ වගා සංග්‍රාමය ආරම්භ කොට තිබෙන බව කියයි.

ආහාර බෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරම්භ කිරීමේ උත්සවය ඉකුත් 4දා පැවැත්විණි. ඊට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ලේකම් කාර්යාල භූමියේ පස්සා ‍ෙදාරෙන් පලා ගිය බවට පුවතක් පළවිණි. ඉදිරි ‍ෙදාරටුව අසල ගොවි විරෝධයකි. ගොවීන්ගේ අවශ්‍යතා කිසිවක් ඒ වන විටත් විසඳී තිබුණේ නැත. එවැනි පසුබිමක වගා සංග්‍රාම ආරම්භ කිරීම විහිළුවක් නොවේද?

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී වගාකටයුතුවල නිරත වන සියලු රාජ්‍ය සේවකයන්ට සතියේ සිකුරාදා නිවාඩු ලබාදෙන බව කීවේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනය. යෝජනාව නම් කදිමය. එහෙත් රාජ්‍ය සේවකයා උන්හිටිගමන් ගොවිතැන් කටයුතුවල යොදවන්නේ කෙසේද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර හා පළිබෝධනාශක තහනම් කිරීමට ගත් තීරණයත් මේ තීරණයත් අතර වැඩි වෙනසක් නැත.

1948 වර්ෂයෙහි මෙරටට නිදහස ලබාගත් පසු ශ්‍රී  ලංකාවේ කෘෂි කර්මාන්තයට අදාළව ක්‍රියාත්මක කළ අමනෝඥම තීරණය පොහොර ආනයන තහනමේ තීරණය බව මහාචාර්ය බුද්ධි මාරඹේ කියයි. මේ තීරණයේ ප්‍රතිවිපාක වශයෙන් මහ කන්නයේ අස්වැන්න සියයට පනහකින් අඩු වී තිබේ. බඩඉරිඟු අස්වැන්නද පහත වැටිණි. තේ අපනයන ආදායමද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය. 2022 වර්ෂයේ මුල් කාර්තුවේ තේ අපනයනයෙන් ලද ආදායම ඊට පෙර වසරේ ලද ආදායම හා සසඳන කල ඩොලර් මිලියන 52ක අඩුවක් වාර්තා කොට ඇත.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියන්නේ පොහොර ප්‍රශ්නයට මේතාක් කිසිම ආකාරයක විසඳුමක් ලැබී නැති බවය. ඉන්දියාවෙන් පොහොර මෙටි්‍රක් ටොන් 65,000ක් අප රටට ලැබෙනවාය කියන කතාවද අමූලික බොරුවක් බව ඔහු කියයි. තෙල් _ ගෑස් ටික කලට වෙලාවට මිලට ගන්නට ඩොලර් නැතිව රට රටවලට හා මූල්‍ය ආයතනවලට පින්සෙන්ඩු වෙමින් සිටින මොහොතක මේ රටේ පොහොර ප්‍රශ්නයට අත ගසන්නට යම් රටක් ඉදිරිපත් වේ නම් සැබැවින්ම ආශ්චර්යයකි.

ඉකුත් තුන් වැනිදා කොළඹ පදනම් ආයතනයේදී දෙසුමක් පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසුවේ අපගේ ආහාර සැපයුම් ප්‍රමාණවත් වන්නේ එළැඹෙන සැප්තැම්බර් _ ඔක්තෝබර් දක්වා පමණක් බවය. විදේශ ණය ගනුදෙනු පිළිබඳ බරපතළ අවිනිශ්චිත තත්ත්වයක සිටින අප රටට දැන් ස්වයංපෝෂිත ආර්ථිකයක් පිළිබඳව සිතන්නට සිදුවී තිබේ. දැනටමත් බොහෝ දේ ප්‍රමාද වැඩිය. ඉකුත් සමයේ අපට වැරැදුණේ කොතැනද? සියල්ල නිවැරදි කරගෙන ඉදිරියට යායුතුව තිබේ. බරපතළ ව්‍යසන තත්ත්වයකට මුහුණ දුන් බොහෝ රටවල් නැඟී සිටිමින් ලෝකයට පාඩම් උගන්වා ඇත. බරපතළ යුද අරගලවලට මැදි වී බිඳ වැටුණු රටවල් අළු ගසා දමා නැඟිටගෙන නූතන අභියෝගවලට මුහුණ දෙමින් සිටී.

අර්බුදයකදී යථාර්ථය වටහා ගැනීම, සත්‍ය වසන් නොකිරීම,  පටු අරමුණුවලින් විනිර්මුක්තව දේශහිතෛශීව කටයුතු කිරීම අවශ්‍යමය. කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී ඩලස් අලහප්පෙරුම මෙසේ කියයි. ‘අද අප මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය විනාශකාරී නිඟයක් නිසා ඇති වූ දුර්භීක්ෂයක් නොව ඇතැම් දේශපාලන නායකයන් සහ තීරණ ගන්නා තලයේ නිලධාරීන් අතළොස්සක් විසින් අත් නොහැරි උද්ධච්චකම, උඩඟුකම සහ කෑදරකම විසින් මිලියන විසි දෙකක ශ්‍රී  ලාංකිකයන් වෙත ලබාදී ඇති විසකුරු දායාදයකි.’

ඩලස් අර්බුදයේ යථාර්ථය එසේ පැහැදිලි කරයි. එහෙත් කවුරුන් කෙසේ මේ අර්බුදය නිර්මාණය කළත් දැනටමත් එය විස¼දාගන්නට ප්‍රමාද වූවා වැඩිය. කල් මරා මරා කයි කතන්දර කිය කියා සිටීමෙන් පලක් නැත. සියල්ල අනුුන්ගෙන් ලැබෙන තුරු බල බලා සිටීමෙන් අර්බුදය තවදුරටත් ඔඩුදුවනු ඇත.

දැනටමත් මේ රටේ විහාරස්ථාන සතු ඉඩකඩම් වගා භූමි බවට පත් කරන්නට කටයුතු යොදා ඇති බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී  සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ ප්‍රකාශ කරති. සියලු විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් මුල් වී ග්‍රාමීය ප්‍රදේශවලද ජනතා සහභාගිත්වයෙන් වගා කටයුතු  ආරම්භ කළ යුතු බව උන්වහන්සේ තවදුරටත් පෙන්වා දෙති. සැබැවින්ම මෙය යහපත් වැඩපිළිවෙළකි. ශ්‍රී  ලංකාවේ කෘෂි කර්මාන්තය සුරැකීම සඳහා සැකසූ යෝජනාවලියක් මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීමට සරසවි මහැදුරු පිරිසක් කටයුතු යොදා තිබිණි. අර්බුදයෙන් ගොඩ එන්නට කළයුතු තවත් බොහෝ දේ තිබේ. රටට අවශ්‍ය පොහොර හා පළිබෝධනාශක මේ රටේම නිෂ්පාදනය කිරීම සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් දියත් කළයුතුව තිබේ.

මෙයින් පනස් වසරකට පෙර එනම්, 1972 වසරේදීද මේ රට බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දුන් බව කියයි. ඒ කාලයේ  ආහාර නිෂ්පාදනය ගැන පමණක් නොව ආහාර සුරක්ෂිතතාව ගැනද ආණ්ඩුවේ අවධානය යොමුව තිබිණි. අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පවා මේ රටේ නිපදවීමේ පර්යේෂණ එකල සිදුවිය. කෘෂිකර්මය පමණක් නොව කර්මාන්ත ක්‍ෂේත්‍රයද දැන් බිඳ වැටෙමින් තිබේ.  ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය සියලු යන්ත්‍ර සූත්‍ර තවමත් ආනයනය කරන්නේ වෙනත් රටවලිනි. අෑත අතීතයේ මේ රටේ ගුවන් යානා පවා නිපද වූ බවට නීලගිරි විහාර සෙල් ලිපි  සාක්ෂි දරයි.

දැන් ලෝකයට අත පාන්නට සිදු වී තිබෙන්නේ එහෙව් රටකටය. ආණ්ඩුවේ වැඩකටයුතු කෙසේ වෙතත් බුලත්කොහුපිටිය පැත්තේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව කොස් මදුලු විජලන ක්‍රියාවලියක් දැනටමත් ආරම්භ කොට ඇති බව වාර්තා වෙයි. ඒ වෙනුවෙන් රුවන්වැල්ල ප්‍රදේශයේ නිෂ්පාදන සමාගමකින් නිර්මාණය කළ විජලන යන්ත්‍රයක්ද සියලු ගම්වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා නොමිලේ ලබාදී ඇති බවක්ද දැන ගන්නට ඇත. මේවා රටට ආදරය කරන මිනිසුන්ගේ වැඩය. අර්බුදය ජය ගන්නට සැබැවින්ම අපට බැරිකමක් නැත. අවශ්‍ය වන්නේ සබුද්ධික සාමූහිකත්වය හා අවංක කැපවීමය.