වන්දනාවේ ගිය වෑන් රියක් නවතා තිබූ බසයක හැපී වැඩිහිටියෙක් මරුට

0
48

අනුරාධපුර සිට කළුතර බලා ගමන් ගනිමින් තිබූ වෑන් රථයක් පෙරේදා නාච්චාදුව හන්දිය ආසන්නයේ කාර්මික ‍ෙදා්ෂයක් නිසා නවතා තිබූ බස් රථයක පසුපස ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් 69 හැවිරිදි පුද්ගලයකු මියගොස් තවත් 11 දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි කවරක්කුලම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කැකිරාවේ පදිංචි එච්.එම්. ප්‍රේමරත්න නමැති පුද්ගලයෙකි. වෑන් රථයේ ගමන් ගත් පිරිස කළුතර ප්‍රදේශයේ පදිංචි නෑ පිරිසක් බව පොලිසිය කියයි. ඔවුන් පෙරේදා (04දා) කළුතර සිට අනුරාධපුර අටමස්ථානය වැඳ පුදාගෙන සිය නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ.

මියගිය පුද්ගලයාට අමතරව කුඩා දරුවන් පස් දෙනකුත් කාන්තාවන් සිවු දෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකුත් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. වෑන් රථයේ රියැදුරාද තුවාල ලැබූවන් අතර සිටින අතර ඔහු මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. අනතුරට හේතුව වෑන් රථ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය බව පවසන පොලිසිය ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.

මිහින්තලේ – සුමේධ කරුණාරත්න