මේ මොහොතේ පාර්ලිමේන්තුවේ තිබෙන්නේ විකෘතියක්

0
57

රටට මොකද වෙන්නේ?

මේ රට අඳුරෙන් අඳුරට ගමන් කරන බවක් තමයි පෙනෙන්නේ. තවම අපි ගමන් කරන ආගාධයේ පතුල පෙනුණේ නැහැ. මගේ විග්‍රහයට අනුව ජුනි මාසේ අග වන විට අතිශය නරක තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. මේ දවස්වල පෙට්රල්, ඩීසල් පෝලිම් තිබෙන්නේ ඒවා අඩුවෙන් හරි ගන්න තිබෙන නිසා. නමුත් ඉදිරියේදී තෙල් නැත්තටම නැතිවීමේ අවදානමක් තිබෙනවා.

සැප්තැම්බර්වලින් පසුව කන්නවත් නැති වෙයිද?

ආණ්ඩුවේ පණ්ඩිතයෙක් මාධ්‍ය ඉදිරියට ඇවිත් කිව්වනේ ලංකාවේ සහල් තිබෙන්නේ සැප්තැම්බර් වෙන තෙක් පමණයි කියලා.

ඒකෙන් වුණේ මිනිස්සු මාස 2-3කට සෑහෙන්න සහල් මිලදී ගැනීම. පොරකකා සහල් ගොඩගහ ගැනීමේ ප්‍රතිඵලයක් විධියට ලබන මාසය වන විටම සහල් අවසන් වෙන්න පුළුවන්. දෛනික ආදායම් උපයන මිනිස්සු කොහොමද එහෙම මාස 2-3ට මිලදී ගන්නේ. මේ වන විට බෙහෙත් වර්ගත් බොහොම හිඟයි. අපේ රටේ මිනිස්සු සිටියා දවසට අවශ්‍ය බෙහෙත් පෙත්ත විතරක් මිලදී ගන්න. ඒ අයට දැන් බෙහෙතුත් නැහැ. තව ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒකයි මම කිව්වේ පහළට වැටෙමින් සිටිනවා. නමුත් පතුල තවම පෙනුණේ නැහැ කියලා.

කාලයක් තිස්සේ හැමෝම නැහැ බැහැ කියමින් එකිනෙකාට චෝදනා නඟමින් ඉන්නවා මිසක, කාටවත් මේ ප්‍රශ්නවලින් ගොඩ එන විසඳුමක් නැහැ?

ඔව් ඇත්ත. මේ දක්වා ආණ්ඩුවෙන් හෝ විපක්ෂයේ අයගෙන් කිසිවෙක් රට ගොඩගැනීමේ ක්‍රමවේදයක් යෝජනා කරලා නැහැ.

අදටත් තිබෙන්නේ මාර්තු 2දා අපේ පක්ෂ 10 එකමුතුව යෝජනා කරපු හරි මඟ වැඩපිළිවෙළ පමණයි. ඒ හැර කාගෙවත් අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු නොවීම ඇත්තටම කනගාටුවක්. මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කරනතුරු විදෙස් රටවල් අපිට උපකාර කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.

ඒ කියන්නේ අපිට ජාත්‍යන්තරයෙන් උදවු ලැබෙන්නෙත් නැහැ?

ශ්‍රී  ලංකාව මේ වන විට ණය ගෙවන්න බැහැයි කියලා ප්‍රකාශ කරලා ඉවරයි. ණය ගෙවන්න බැරි රටකට ණය දෙන්න මොන රටක්වත් කැමැති වෙන්නේ නැහැ. ඒ ඒ රටවල නායකයෝ ණය විධියට දෙන්නේ ඒ අයගේ පෞද්ගලික ධනය නෙවෙයි මහජන මුදල්. ණය ගෙවාගන්න බැරි රටකට මහජන මුදල් දෙන රාජ්‍ය නායකයන්ව ජනතා උදහසට ලක්වෙයි. ග්‍රීක බැඳුම්කරවල ශ්‍රී  ලංකාවේ මුදල් ආයෝජනය කළා කියලා එවකට සිටි මහ බැංකු අධිපතිට දේශපාලකයෝ පවා චෝදනා කළා. මේ වෙලාවේ අපේ රටට උදවු කරන රටවල්වලට වෙන්නේ ඒක.

මේ වන විට බොහෝ රටවල් ක්‍රමිකව අපේ රටේ පවතින ආර්ථික අර්බුදයට සමාන තත්ත්වයකට පත්වෙමින් සිටිනවා. එවැනි තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සිහිනයක්ම වෙයිද?

ඇත්තෙන්ම මේ වන විට රටවල් 71ක් අපේ රට පැමිණි ගමන්මඟේ වේගයෙන් පැමිණෙන බව පෙනෙනවා. නුදුරු අනාගතයේ රටවල් ගණනාවක් අපේ වගේ විශාල අර්බුදයකට මුහුණ දේවි. අපි කුමන හෝ වැඩසටහනක් හදලා ඉක්මනින් ජාත්‍යන්තර සහයෝගය නොගතහොත් රටවල් ගණනාවක් අතරේ බෙදුණු සොච්චමක් පමණක් අපිට ලැබේවි. ඉන්දියාවේ ප්‍රාන්ත 11ක් මේ වන විට විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටිනවා. ඉදිරියේදී ඒ රට තුළත් අපේ වගේම මහජන උද්ඝෝෂණ සිදුවේවි. තවදුරටත් ඉන්දියාව අපිට උපකාර කළොත් ඒ රටේ ජනතාව අසයි අපේ රට මෙතරම් අමාරුවක වැටී තිබියදී ඇයි ලංකාවට උදවු කරන්නේ කියලා. අපි ඉන්නේ ගිනි ගොඩක් මත. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සමාජයේ කිසිම සංවාදයක් නැහැ. ඒ වෙනුවට අපිට පෙනෙන්නේ විධායක ජනාධිපති බලතල කපන්නේ කොහොමද, අගමැතිගේ බලතල වැඩි කරන්නේ කොහොමද වගේ කාරණා. මේවා නෙවෙයි රටේ ප්‍රමුඛ ප්‍රශ්න. දේශපාලන අර්බුදවලට කලින් ආර්ථික අර්බුදයට පිළියම් සෙවිය යුතුයි.

ආණ්ඩුව දැන්වත් නිවැරදි මාර්ගයකට පැමිණෙයි කියලා ඔබ සිතනවාද?

ඕනෑම ආණ්ඩුවකට මෙවන් මොහොතක ජනප්‍රිය නොවන තීන්දු 5ක් ගන්න සිදුවෙනවා. බදු වැඩි කිරීම, සහනාධාර කප්පාදුව, පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය, පිරිවැය නිරූපිත මිල ක්‍රමයක් ජලය, විදුලිය, තෙල්, ගෑස් වැනි භාණ්ඩ සඳහා හඳුන්වාදීම, රාජ්‍ය සේවය කප්පාදු කිරීම තමයි ඒ පහ. මේවා අතිශය ජනප්‍රිය නොවන තීන්දු. ආණ්ඩුව ජනතා කෝපයට ලක්වෙන තීන්දු 5ක්. රෝගියකුගේ ජීවිතය බේරා ගන්න කකුල කපන්න වෙනවා නම් කපන්නම වෙනවා. මෙවැනි තීන්දු ගන්න ආණ්ඩුව බයයි. නමුත් රට ගොඩගන්න සැබෑ වුවමනාවක් තිබෙනවා නම් මේ මොහොතේ සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සෑදිය යුතු බව අපි පැවැසුවා. මේ තිත්ත ඇත්ත දැනගෙනයි අප්‍රේල් 8 අපි මේක රටට කිව්වේ.

දැන් ඔබ බදු වැඩි කිරීම ගැන කතා කළාට එදා ඔබලාගේ ආණ්ඩුව තමයි අසීමාන්තික බදු සහන දීලා මේ තත්ත්වය තවත් සංකීර්ණ කළේ?

අනිවාර්යයෙන්ම ඔව්. ඒ මෝඩ තීරණය ගත්තු ඇමැති මණ්ඩලයේ මා නොසිටීම ගැන අද මම සතුටු වෙනවා. නමුත් එය මෝඩ තීන්දුවක් කියලා බය නැතිව කියන්න ඕනා.

1980දී ලංකාවේ රාජ්‍ය ආදායම ජාතික ආදායමෙන් 24%ක්. 2021දී එය 8%ක්. මෙය එකවර ඇතිවූ කඩා වැටීමක් නෙවෙයි. 2019දී දුන්නු බදු සහන බරපතළ වරදක්. ඒ වගේම 80 දශකයේ සිටම රාජ්‍ය ආදායම් අහිමි කරගෙන ආපු ගමනත් වැරැදියි. බෝම්බය පත්තු වන විට පාර්සලය තිබුණේ මේ ආණ්ඩුව අතේ තමයි. නමුත් ශ්‍රී  ලංකාව මෙයට තල්ලු වීමට අපි 1977 සිට අනුගමනය කරපු වැරදි ප්‍රතිපත්තිත් හේතුවක්.

ඔබ බලශක්ති ඇමැතිකමේ සිටියදී කරගන්න බැරි වුණු දේවල් කංචන ඇමැතිවරයා අර්බුදකාරී වටපිටාවක් තිබිලත් සාර්ථකව කරනවා කියලා ජනතාව කියනවා?

ලංකාවට ගෙනෙන බොර තෙල්වලින් 47%ක්ම නිෂ්පාදනය වෙන්නේ දැවිතෙල් සහ නැප්තා. වසර අග ඇති වූ දැවැන්ත වර්ෂාවත් සමඟ දැවිතෙල් සහ නැප්තා මිලදී ගැනීම විදුලිබල මණ්ඩලය නතර කළා.

අපි බොහොම අමාරුවෙන් ඩොලර් සොයාගෙන තෙල් ගෙනැවිත් එයින් 47%ක් ටැංකිවල තබනවා භාවිත නොකර. ඒ අතර කන්ටේනර් දහස් ගණනක් ගෙවන්න ඩොලර් නැති නිසා වරායේ හිරවෙලා. තෙල් ගෙනාපු නැව් මුහුද මැද නතර කරන් සති ගණන් බලන් ඉන්නවා. ඒ අතරේ අපි පාවිච්චි නොකරන දෙයකට මුදල් ගෙවනවා. ඒ අනුව තමයි අපි බොරතෙල් වෙනුවට නිමි තෙල් ගේන තීන්දුව ගත්තේ. නමුත් ජනවාරි මාසේ සිට පායන්න ගත්තා. දැවි තෙල්වලට සහ නැප්තාවලට ඉල්ලුම ඇති වූ නිසා නැවතත් පිරිපහදුව ආරම්භ කළා. පිරිපහදුව නැවත වැහුණේ මාර්තු 20 කියලා බොහෝ දෙනෙක්ට මතක නැහැ. මම ජනවාරි මාසයේ නැවත පිරිපහදුව පටන් ගත් බවත් මාර්තු 20 පිරිපහදුව නැවත වැසුණු බවත් මාර්තු 3දා මාව ඇමැතිකමෙන් ඉවත් කළ බවත් අද බොහෝ දෙනකුට මතක නැහැ. මාස 2ක් මා වසා තිබුණේ මා ඇමැතිකම දරන විට යැයි ප්‍රචාරය කිරීම බොරුවක්. එය මාගේ සතුරන් කරන ප්‍රචාරයක්.

නමුත් ඔබට සපයන්න බැරි වුණු පෙට්රල් ටික ඩීසල් ටික නව ඇමැතිවරයා මාර්තු, අප්‍රේල් මාසවල අමාරුවෙන් හරි සැපයුවා නේද?

ඔය කතාව කියන බොහෝ දෙනෙක්ට අමතක වෙනවා ගම්මන්පිලට බොහොම පින් කියන්න.

මොකක්ද ඔබට පින් කියලා කියන්න වෙන හේතුව?

මම මැදිහත් වෙලා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගත්තේ නැත්නම් මාර්තු, අප්‍රේල් මාසවලට රටට තෙල් බින්දුවක්වත් ගේන්න ලැබෙන්නේ නැහැ. මම ඒ ණය පහසුකම ගත්තේ නැතිනම් අපේ රටේ තෙල් හිඟය ඇතිවෙන්නේ මාර්තු මාසේ සිටයි.

ඊට අමතරව ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වීමෙන් ලබා ගත් බවත් මම සිහිපත් කරනවා. ඊට අමතරව ශ්‍රී  ලංකාව මූල්‍ය අර්බුදයක සිරවී සිටින හෙයින් සැපයුම්කරුවන් අත්පිට මුදලට මිස ණයට තෙල් සැපයීම ප්‍රතික්ෂේප කරන විට මම චීන තානාපතිවරයාට කතා කළා. එතුමා සමඟ මගේ තිබෙන සමීප සබඳතාව නිසා පෙට්‍රො චයිනා සමාගම ඩොලර් මිලියන 450ක් වටිනා ඛනිජ තෙල් මාස 6න් ගෙවීමට ලබාදුන්නා. දැන් ඒ මාස 6 නම් අවසන්. අපි තවම මුදල් ගෙවා නැහැ. නමුත් බැංකුවේ ස්ථාවරත්වයට හානියක් වන නිසා චීනය එම මුදල් තවමත් නීති මාර්ගයෙන් ඉල්ලා නැහැ.

ඔබ මීට පෙර පැවැසුවා ඉදිරියේදී අපේ රටට කිසිම විදෙස් රටක් ණය දෙන්න ඉදිරිපත් නොවේවි කියලා?

ඔව්. මම එයට හේතුව සැකෙවින් පැහැදිලි කළා.

නමුත් ජාත්‍යන්තරයත් සමඟ යහපත් සබඳතා පවත්වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කුමක් හෝ සිදුකොට යම් විසඳුමක් ලබා දෙයි කියලා ඇතැමුන් පවසනවා?

එතුමා අගමැතිකම භාර ගන්න ඇත්තේ එතුමාට පුළුවන් නිසා වෙන්න ඇති. එතුමාගේ හැකියා, නොහැකියා ගැන මම විග්‍රහයක් කරන්න යන්නේ නැහැ. මොකද කවුරු ඔය පුටුවේ වාඩිවුණත් අපි මේ මොහොතේ දේශපාලන මතිමතාන්තර පසෙකලා රට බේරාගන්න උදවු කරනවා. එනිසා ඔය පුටුවේ කවුරු වාඩි වුණත් රට ගැන සිතා අපේ සහයෝගය දෙනවා.

නමුත් ඔබලාම නේද ඔහුගේ ජාත්‍යන්තර සබඳතා සහ ආර්ථික ප්‍රතිපත්තිවල අඩු ලුහුඬුකම් පෙන්වමින් එදා ඔහුට විවේචනය කළේ. දැන් ඔහුගේ යම් න්‍යාය පත්‍රයක් සහ ජාත්‍යන්තර සබඳතා ගැන ප්‍රශ්නයක් නැද්ද ඔබලාට?

අපි යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ පමණක් නෙවෙයි සුමන්දිරන් සහ රිෂාඩ් බදියුදීන් වැනි අයත් සිටිනනවා. අර්බුදයෙන් ගොඩ එන තුරු අපේ දේශපාලන මතභේද පසෙකලා ආණ්ඩුවට සහයෝගය දීමට අපි සූදානම්.

පසුගිය කාල වකවානුවේ නිතරම ක්‍රියාකාරීව හැසිරුණු ස්වාධීන පක්ෂ එකමුතුව දැන් වැඩිය පේන්න නැහැ. මොකක්ද මේ නිහඬ බවට හේතුව?

අපි නිහඬ නැහැ. අපිටත් පුළුවන් ඕන නම් තෙල් නැහැ, ගෑස් නැහැ, අරවා නෑ මේවා නැහැ කිය කියා හැම එකටම විරුද්ධ වෙවී කෑ ගහලා ලකුණු දා ගන්න. නමුත් කරන මිනහට උදවු කරනවා මිසක කකුලෙන් අදින එක නෙවෙයි උත්තරය.අපි මේ ආණ්ඩුවේ නැහැ. වැඩිම තරහක් තිබෙන්නේ අපිට. මේ ආණ්ඩුව බිහි කරපු අපි ආණ්ඩුවේ වැරදි පෙන්නුවම අපේ කනෙන් ඇදලා එළියට දැම්මා. නමුත් අපි අපේ දේශපාලන මතිමතාන්තර විසඳගන්න මේක අවස්ථාවක් කර ගන්නේ නැහැ. ඒ නිසා මේ අර්බුදවලින් ගොඩයන්න මේ ආණ්ඩුවට උදවු කරන්න අපි තීරණය කළා.

ස්වාධීන හවුල්කාර පක්ෂ එකමුතුවේ එකමුතුකම දැන් සීසීකඩ වෙලාද? අපි දුටුවා පක්ෂ එකමුතුව නියෝජනය කරපු ඇතැම් පිරිස් ඇමැතිකම් භාර ගන්නවා?

අපි පක්ෂ එකමුතුවක් ලෙසින් කටයුතු කළාට අවසාන වශයෙන් ඒ ඒ පක්ෂවල මධ්‍යම කාරක සභාව තමයි තීරණ ගන්නේ. අපි බොහෝදුරට උත්සාහ කරනවා අපේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව පක්ෂ අතර ඇති වූ පොදු එකඟතාව තම තම පක්ෂවලට දැනුම් දීමට. නමුත් අවසාන වශයෙන් ගත් කල සෑම පක්ෂයකටම අයිතියක් තිබෙනවා තමන්ගේ පක්ෂයේ ඉදිරි ගමන කුමක් දැයි තීරණය කිරීමට. ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂය පමණක් නෙවෙයි ශ්‍රී  ලංකා මහජන පක්ෂයත් තීරණය කළා ඇමැති ධුර ලබාගත යුතු බවට. අපි එම පක්ෂවල තීරණවලට ගරු කරනවා. එය ස්වාධීන පක්ෂ එකමුතුව සීසීකඩ යෑමක් ලෙස දකින්නට බැහැ. ටිරාන් අලස් මැතිතුමා රටට වැඩක් කරන දක්ෂ අමාත්‍යවරයෙක් වෙයි කියන විශ්වාසය අපට තිබෙනවා. දැනටමත් එතුමා දේශපාලන නිර්දේශ මත පත් කළ පොලිස් ස්ථානාධිපතිවරු පරීක්ෂණයකින් පසුව ඉවත් කිරීමට තීරණය කොට තිබෙනවා. එය එතුමා හොඳ ගමනක් යන බවට ඉඟි පළ කරන සුබ ලකුණක් සේ මා දකිනවා.

බැසිල් රාජපක්ෂගෙන් වියුක්ත ආණ්ඩුවක ඇයි ඔබ, විමල් සහ වාසුදේව යන අය ඇමැතිකම් ලබා නොගත්තේ?

සීමිත ඇමැති ධුර වෙනුවෙන් අසීමිත ඉල්ලුමක් ඇතිව තිබෙනවා. සමහරු ඇමැති ධුරයක් ලැබෙයිද නැද්ද කියන එක බලලා තමයි ආණ්ඩුවට සහාය දෙනවද නැද්ද කියන එකත් තීරණය කරන්නේ. අපි ඇමැති ධුරවලට කෑදර නොවී ආණ්ඩුවට සම්පූර්ණ සහාය ලබා දෙනවා. පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාව හරහා ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවලටත් සහාය ලබා දීමට අපි එකඟයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ අලුතෙන් බිහිවන ආණ්ඩුව අධීක්ෂණය කරන කමිටු හරහා ක්‍රියාකාරීව දායකත්වය දෙන්නත් අපි සූදානම්. ඇමැතිකම් නොදුන්නොත් සහාය දෙන්නේ නැහැ කියන පිරිසත් මෙයට දායක කරගත යුතුයි. එනිසා සීමිත ඇමැතිකම් ටිකත් අපි අරගෙන අර කණ්ඩායමේ සහයෝගය නැති කරගන්නවාට වඩා හොඳයි ඔවුන්ට ඇමැතිකම් දීලා ඔවුන්ගේ සහාය ලබා ගැනීම.

ඔබලා ජනාධිපතිවරයාට භාර දුන් යෝජනාවලියට මොකද වෙන්නේ. ඉදිරියේදී යෝජනා 11න් කිහිපයක් හෝ ක්‍රියාත්මක වෙයිද? නැත්නම් පැත්තකට විසිවෙයිද?

අපි ලබාදුන් යෝජනාවලියේ යෝජනා 11ටම ජනාධිපතිවරයා එකඟ වුණා. නමුත් අවාසනාවකට වගේ එතුමා දැනටමත් යෝජනා 2ක්ම කඩා කරලා අවසන්.

මොනවද ඒ යෝජනා?

අගමැතිවරයාව තීරණය කළ යුත්තේ පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවකින් යන යෝජනාවට ජනාධිපතිවරයා එකඟ වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා තෙක් එය කිසිදු පක්ෂ නායකයෙක් දැන සිටියේ නැහැ. අනෙක් කාරණය තමයි තාර්කික පදනමක් මත අමාත්‍යාංශ වෙන් කිරීම. අපි ඉතිහාසය පුරාම එය දුටුවේ නැහැ. මේ වතාවේදී තාර්කික පදනමක් මත ඇමැතිකම් වෙන් කරන්න ජනාධිපතිවරයා  එකඟ වුවත් මේ වතාවෙන් එය සිදුකොට තිබෙන්නේ කේක් සහ ලුණු මිරිස් වැනි නොගැළපෙන සුසංයෝග ඇතිවයි.

ක්‍ෂණික තීරණයක් මත රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පුටුවේ වාඩි වීම රාජපක්ෂ-වික්‍රමසිංහ ගජමිතුරු හවුලේ ඩීල් එකක් වෙන්න බැරිද?

ජනාධිපතිතුමා එකඟ වූ ආකාරයට පක්ෂ නායකයන්ගේ එකඟතාව මත නෙවෙයි අගමැතිවරයා පත් වෙන්නේ. එතුමා පත් කරන නිර්දේශය ආවේ පක්ෂ නායකයන්ගේ අනුදැනුමකින් තොරව බව නම් පැහැදිලියි. නමුත් ඒ නම නිර්දේශ කළේ රාජපක්ෂ පවුලේ අයද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. එයට පිළිතුරු දන්නේ ජනාධිපතිතුමාම පමණයි.

රෝහිණී කවිරත්න මන්ත්‍රිවරියට නියෝජ්‍ය කථානායක ධුරය ලබා නොදී පොහොට්ටු පාර්ශ්වයෙන් කෙනකු ඒ සඳහා පත්කොට ගත්තා. මෙය පිටුපස සිටින්නේ ඔබලා නම් තැබූ අවලස්සන ඇමෙරිකානුවා බව පැවැසෙනවා?

තවමත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ පොහොට්ටුවට. පොහොට්ටුවේ නායකයා බැසිල් රාජපක්ෂ. ඔහු තමයි තවමත් පොහොට්ටු පක්ෂය මෙහෙයවන්නේ. ජනාධිපති සහ අගමැති, සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුකරණයට යොදා ගැනීමේ ප්‍රතිඵලයක් විධියට ජනපති සහ අගමැති විපක්ෂයේ රෝහිණී කවිරත්න මන්ත්‍රිවරියට නියෝජ්‍ය කථානායක තනතුර ලබාදීමට යෝජනා කළා. නමුත් පොහොට්ටුවෙන් එය ප්‍රතික්ෂේප කොට නියෝජ්‍ය කථානායක ධුරය තම පක්ෂයේ කෙනකුට ලබාදුන්නා. එමඟින් තවමත් බලය තිබෙන්නේ අවලස්සන ඇමෙරිකානුවා මතයි කියන එක පෙන්වා දුන්නා. මම මේ පිළිබඳව වෙනත් මාධ්‍යයක පැවැසූ පසුව බැසිල් රාජපක්ෂ මා අමතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළා. නමුත් මෙය මගේ පෞද්ගලික විග්‍රහය.

කවුරු ඉදිරිපත් කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතටද ස්වාධීන පක්ෂ එකමුතුවේ සහයෝගය ලැබෙන්නේ?

පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයක් කෙදිනකවත් මේ දක්වා ව්‍යවස්ථාවට එකතු වී නැහැ. සාමාන්‍යයෙන් එවැනි ක්‍රියාවලියකට වසරක් පමණ ගතවෙනවා. නමුත් මේ වන විට විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා තමන්ගේ කෙටුම්පත ඉල්ලා අස්කොටගෙන තිබෙනවා. මේ දිනවල සංවාදයට බඳුන්වන්නේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත. තව තිබෙනවා රංජිත් මද්දුමබණ්ඩාරගේ කෙටුම්පතකුත්. එහි අරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ආණ්ඩුවේ කෙටුම්පතේ අරමුණ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා ද්විත්ව පුරවැසියන් දේශපාලන සහ රාජ්‍ය අංශයේ විධායක තනතුරු දැරීම තහනම් කිරීම. මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන්නේත් අපේ සහයෝගය හිමි වෙන්නේත් ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතටයි. අපි රංජිත් මද්දුමබණ්ඩාරගේ කෙටුම්පතට විරුද්ධයි.

මොකක්ද විරෝධයට හේතුව?

අපේ ස්ථාවරය විධායක ජනාධිපති ක්‍රමය පැවැතිය යුතු බව. මෙතැනදී මා ඉදිරිපත් කරන්නේ පිවිතුරු හෙළ උරුමයේ අදහස මිස ස්වාධීන පක්ෂ 9ම අදහස නෙවෙයි. නමුත් අපි සියලුදෙනාම සිටින එක ස්ථාවරයක් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් මැතිවරණ ක්‍රමයත්, පළාත් සභා ව්‍යුහයත් වෙනස් විය යුතුයි. වර්තමාන සමානුපාතික ක්‍රමය විසින් ස්ථාවර පාර්ලිමේන්තු බිහි කරන්නේ නැහැ. ශ්‍රී  ලංකාවේ පළාත්  සභා වෙන්වීමට උත්සාහ දැරුවොත් සහ ඓතිහාසික පුරාවස්තු විනාශ කිරීමට උත්සාහ කළොත් ඒවාට ක්‍ෂණිකව ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. ඇමැති මණ්ඩලයකට එවැනි ක්‍ෂණික තීන්දු ගැනීමේ හැකියාවක් නැහැ. බොහෝවිට ආණ්ඩු ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල සහයෝගය මත යැපෙන නිසා එවැනි තීන්දු ගැනීමට හැකියාවකුත් නැහැ. මේ පසුබිම නිසා පළාත් සභා සම්බන්ධ බලතල ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරලා විධායක ජනාධිපති ධුරය අහෝසි කළත් ඒ බලතල ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවැරිය යුතුයි. මෙන්න මේ කොන්දේසි දෙක ඉටුවෙනවා නම් පමණයි විධායක ජනපති ධුරය අහෝසි කරනවා නම් අහෝසි කළ යුත්තේ. නමුත් මේ කාරණා ගැන නිසි අවධානයක් ලක් නොකොටයි රංජිත් මද්දුම බණ්ඩාරගේ කෙටුම්පත ඉදිරිපත් වෙන්නේ.

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හරහා ජනාධිපතිවරයාට වඩා අගමැතිවරයාගේ බලතල වැඩිවන බව පැවසෙනවා. මෙහි සත්‍යතාවක් තිබෙනවාද?

ඇත්තෙන්ම අගමැතිවරයාට ලැබෙන්නෙ ඇමැතිවරුන් සම්බන්ධ බලතල පමණයි. නව සංශෝධනයේදී අමාත්‍යාංශවල විෂය පථය තීරණය කිරීමේදී සහ ඇමැතිවරුන් පත්කිරීමේදී, ඉවත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයා සමඟ එකඟතාවෙන් කටයුතු කළ යුතුයි. ඊට අමතරව අගමැතිවරයාට ස්වාධීන කොමිෂන් සභා පත්කරන මණ්ඩලය වන ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් 5ක් විපක්ෂ නායකයාගේ එකඟතාව සමඟ පත්කිරීමේ හැකියාව තිබෙනවා. මේ මොහොතේ පාර්ලිමේන්තුවේ තිබෙන්නේ විකෘතියක්.

ස්වාධීන පක්ෂ එකමුතුව විමල් වීරවංශව නායකත්වයේ තබාගෙන වෙනම දේශපාලන ගමනක් යන්න හදනවා කියන්නෙ ඇත්තද?

අපි කොහොමත් වෙනම සන්ධානයක් තමයි.

ඒක හරි. නමුත් මෙතෙක් කල් නොසිටි නායක භූමිකාවක් එකවිටම කරළියට ගේන්නෙ මොකක් හෝ අනාගත දේශපාලන අරමුණක් තබාගෙනද?

අපේ සන්ධානය තුළ ප්‍රධානම පක්ෂය ජා.නි.පෙ. එතුමව නායකත්වයට පත්කරන්න තීරණය වෙන්නෙ කිසිදු යටි අරමුණක් තබාගෙන නොවෙයි. මේ මොහොතෙ අපේ සන්ධානයේ ප්‍රධාන පක්ෂය ජා.නි.පෙ. ඒ අනුව එහි නායකයා සන්ධානයේ නායකයා බවට පත්වෙනවා. ඕනෑම සන්ධානයක ක්‍රියාවලිය සිදුවන්නෙ ඒ අයුරින්. නමුත් අපේ සන්ධානයේ නායකත්වයට විමල් වීරවංශ මැතිතුමා පත්වීම සමාජ සංවාදයක් වුණේ ඇයි කියන්න මම දන්නෙ නෑ.

මේ යන විධියට අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලැබෙයිද?

අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3-4 අතර මුදලක් ලැබේවි. හැබැයි ලැබෙන්න නම් අපි අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි. අපි කොහොමද ගන්න ණය ගෙවන්නෙ. ඒ සඳහා ආණ්ඩුවට සිදුවෙනවා ගත යුතුම අමිහිරි තීන්දු කිහිපයක් ගන්න. මම මීට පෙර ඒවා මොනවාදැයි පැවසුවා. නමුත් ඒවා ගැන මේ රටේ සංවාදයක් නෑ. ආණ්ඩුව රටේ ජනතාවට මේ දක්වා ඒ ගැන කතා කරලා නෑ. එනිසා ඒ වැඩපිළිවෙළ හදලා ඉදිරිපත් කරන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරක් නෙවෙයි, වෙනත් කිසිදු මූල්‍යායතනයක් හෝ වෙනත් කිසිම රටක් ලංකාවට උදවු කරන එකක් නෑ.

සාමාන්‍ය වසරක ලංකාවේ ආනයන වියදම ඩොලර් බිලියන 20යි. අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. ඩොලර් බිලියන 8ක පරතරයක්. අපිට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7ක් ලැබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4ක් ලැබෙනවා. ඒ අනුව 8 පරතරයට ඩොලර් බිලියන 11ක් ලැබෙනවා. අනෙක් පුංචි ලැබීම් ගෙවීම් අමතක කළොත් ඩොලර් බිලියන 3ක අතිරික්තයක් අපිට තිබෙනවා. වෙනත් වචනවලින් කිව්වොත් අපිට ණය ආපසු ගෙවීම සඳහා වෙන් කිරීමට ඩොලර් බිලියන 3ක් තිබෙනවා. නමුත් අපිට වාර්ෂිකව ගෙවන්න තිබෙනවා ඩොලර් බිලියන 5-7 අතර ප්‍රමාණයක්. එහෙම නම් අපිට පුළුවන් වෙන්න ඕනා ලෝකයෙන් ඉල්ලන්න මේ 7 තුන දක්වා අඩුකොට දුන්නොත් අපිට මේක ගෙවන්න පුළුවන් කියලා.

කොහොමද එය 3 දක්වා අඩු කරන්නෙ?

ණය ගෙවන කාලය දිගු කළාම වසරකට ගෙවන්න තිබෙන ප්‍රමාණය අඩුවෙනවා. මෙන්න මේ සැලසුම අපි හදන්න ඕනා. අපේ ආනයන-අපනයන අතර තිබෙන පරතරය නිසයි අපි ආයෙත් පරණ වළේ වැටෙන්නෙ. ආණ්ඩුවේ ආදායම ජාතික ආදායමෙන් 8%ක් දක්වා පහත මට්ටමක තිබෙන නිසයි. ආණ්ඩුවේ බොරු වියදම් කපලා පුද්ගල කේන්ද්‍රීය වුණු බදු සහන ඉවත්කරලා ආණ්ඩුව නැවත ප්‍රතිව්‍යුහකරණයට ලක් කළ යුතුයි. මේවා කරලා අපි දැන් වැරැදි නිවැරැදි කරගෙන නැඟිටින්න සූදානම් කියන පණිවුඩය ජාත්‍යන්තරයට දුන්නොත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින්  උදවු ලැබෙයි. එහෙම නොකියා අනේ අපි කළුවරේ, අපිට තෙල් නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ, දරුවන්ට කිරිපිටි නෑ කියලා කිව්වට කවුරුත් අපිට සල්ලි දෙන්නෙ නෑ.

මේ අගාධයෙන් ගොඩඑන්න අපි කෙටි කාලීනව සහ දිගුකාලීන වශයෙන් මොනවද කළ යුතු?

කෙටිකාලීනව ගත්තොත් අපි වවන්න පුළුවන් සෑම දෙයක්ම වැවිය යුතුයි. ඉඩකඩ තිබෙන අය සේම ඉඩකඩ සීමිත අය පවා බඳුන්ගතව හෝ වෙනත් විකල්ප ක්‍රම භාවිත කොට හෝ වගා කළ යුතුමයි. මල් වෙනුවට එළවළු, අල වර්ග සහ ධාන්‍ය, පලා වර්ග වවන්න. ගමේ නගරේ දෙකේම වවන්න වෙනවා. මොකද තෙල් නැතිවුණොත් ගමේ හැදෙන එළවළු ටික නගරෙට එන්නෙ නෑ. ඊගාව එක තමයි අපි අපේ දේශීය වෙදකම්, අත්බෙහෙත් ක්‍රම, බෙහෙත් වට්ටෝරු එළියට ගත යුතුයි. අසනීප සහ අනතුරු වළක්වගන්න, කෑමෙන් සහ ක්‍රියාකාරකම්වලදී ප්‍රවේශම් විය යුතුයි. පරම්පරාවෙන් වෙදකම් සම්බන්ධ පුස්කොළ පොත්, බෙහෙත් වට්ටෝරු ලැබුණා නම් ඒවා එළියට අරගෙන භාවිතයට ගතයුතු කාලයක් තමා මේ එළැඹී තිබෙන්නෙ.

දිගුකාලීන විසඳුම් යෝජනා මොනවද?

ආනයන ආදේශන කර්මාන්ත ඇති කළ යුතුයි. අපනයන ප්‍රවර්ධනයට කටයුතු කළ යුතුයි. ලංකාව තිබෙන්නෙ ආසියාවේ හරි මැද. නමුත් අපි මෙතෙක් මේ පිහිටීම පාවිච්චි කරලා අපේ රට නාවික, ගුවන් හා වාණිජ  කේන්ද්‍රස්ථානයක් විධියට දියුණු කරන්න උත්සාහ කොට නැහැ. ලංකාව වගේ නව ගුණයක් විශාල සුවිශේෂී ආර්ථික කලාපයක මුහුදක් අපට තිබෙනවා. එහි මසුන් මැරීමේ අයිතිය තිබෙන්නෙත් අපිට පමණයි. ඒ අයිතිය බලපත්‍ර නිකුත්කොට විදේශගත කළොත් එයිනුත් ආදායමක් ඉපයිය හැකියි. අපේ රටට රට මෙන් 23 ගුණයක් විශාල මහද්වීප තටාකයක් හිමියි. ඒ මුහුදේ ඕනෑම අයෙක්ට මසුන් ඇල්ලිය හැකියි. නැව් යා හැකියි. නමුත් මුහුද යට තිබෙන තෝරියම් සහ ඛනිජ සම්පත් අයිති අපිටයි. ඒවා ගොඩගන්න අපිට හැකියාවක් නැතිවුණත් හවුල් ව්‍යාපාර සහ විදේශ ආයෝජන හරහා, බලපත් විකිණීම හරහා මේ සම්පත් ගොඩ ගත හැකියි. මේවා සම්බන්ධයෙන් ආයතනයක්වත් රටේ නෑ. මෙතෙක් කල් මේවා නොකරපු නිසා තමයි අපි අර්බුදයක් දක්වා පැමිණ තිබෙන්නෙ. ගෙවුම් ශේෂයේ තිබෙන දැවැන්ත හිඟය පියවා ගැනීමටත් අපි කටයුතු කළ යුතුයි.

අපේ රටේ ප්‍රධාන වශයෙන්ම ගෙවුම් ශේෂයේ ප්‍රධාන හිඟයන් තිබෙන්නෙ චීනය, ඉන්දියාව, ජපානය, මැදපෙරදිග යන රටවල් 4 සමඟ. ඒ රටවල්වලට විකුණන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් අපි ඒ රටවල්වලින් ගන්නවා. මිලදී ගන්නවා හා සමානවම ඒ රටවල්වලට අපේ දේවලුත් විකුණනවා නම් ඩොලර් ප්‍රශ්න එන්නෙ නෑ. මේ රටවල්වලට අපේ බඩු මිලදී අරගෙන අපිට සහාය වෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. ලෝකය පුරාම අද ලංකාව ගැන කනගාටුවෙන් කතා වෙනවා. ධ්ර්ජ් ප්‍රධානීන් පවා කියනවා අපේ රට ගැන පුදුම දුකක් තිබෙන්නෙ කියලා. නමුත් ඔබ කඳුළු සැලුවට, කනගාටු වුණාට අපේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. ඔබ ඇත්තටම අපේ රටට ආදරෙයි නම් හැකිතාක් ලංකාවේ දේවල් මිලදී ගන්න කියන ඉල්ලීම අපි කරනවා. හැකිතාක් අපේ රටේ ආයෝජනය කරන්න. අඩුම ගානෙ ජීවිතයේ එක වතාවක් හෝ ලංකාවේ සංචාරය කරන්න එන්න. එවිට ඔබේ කඳුළු වෙනුවට අපිට ඔබේ ඩොලර්ස් ලැබෙයි.

අරුණි මල්ලවආරච්චි