තාලිස පත්‍ර-තිප්පිලි රසකිඳ-නෙල්ලි ඇතුළත් රාවණ යුගයේ සිට එන සෙම නසන ඔසු වට්ටෝරුවක්

0
89

නිරන්තරයෙන් සෙම බහුල අයකුට පුරාණ හෙළ ආයුර්වේදය තුළින් විසදුම් යම් පුද්ගලයෙකුගේ ශරීරය තුළ පවතින ප්‍රකෘතිය අනුව ශරීර උෂ්ණය අඩු වැඩි බව හෝ සෙම අඩු වැඩි බව තීරණය වෙනවා.

රෝගියෙක් සමඟ බුද්ධිමත් වෛද්‍යවරයකු සිදුකරන සාකච්ඡාව හා නාඩි පරීක්ෂාව මඟින් එම රෝගියාගේ උපතින් හිමි වන ප්‍රකෘතිය හ¾දුනාගත හැකියි.

එසේම ආයුර්වේදීය හෝ දේශීය ඔෟෂධ භාවිතය මඟින් සෙම වැඩි කරන බව සමාජයේ පුහු මතයක් පවතින නමුත් විචක්ෂණශීලී  බුද්ධියෙන් කටයුතු කරන ආයුර්වේද වෛද්‍යවරයාට සෙම් ධාතුව වර්ධනය නොවන අයුරින් ඔෟෂධ ප්‍රයෝග කිරීමට හැකියාව පවතී. එවිට සෙම වැඩිවන්නේ නැත.

සෙම අඩු නොවී නිරන්තරයෙන් පවතින අයට, ඇදුම රෝගය එනම් ආයුර්වේදයේ සඳහන් තමක ශ්වාසය – නියුමෝනියාව – උදෑසන පීනස හෝ දියරාකාරයෙන් සොටු දියර පහවීම – සෙම්ගෙඩි – උගුර, කන් හා ඇස් කැසීම – හිසරදය හා නළල ආශ්‍රිත වේදනාව – නිදිමත, අලස ගතිය – ඇඟ කැසීම – නිරතුරුව ළා උණ ගතියක් පැවතීම – ඇඟ නොවෙහෙසවා දැනෙන මහන්සිය – හිස බර ගතිය – කෑම අප්‍රියතාවය ආදිය ඇතිවිය හැකියි.

මේ සඳහා රාවණ යුගයේ සිට පැවත එන හෙළ දේශීය ආයුර්වේදයේ සඳහන් ඔෟෂධ වට්ටෝරුවක් පහතින් දක්වමි.

තාලිස පත්‍ර – කළං 02

වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි, රසකිඳ, වැල්මී, නෙල්ලි – කළං 01 බැගින්

වෙන වෙනම ගෙන හොඳින් වේලා කුඩුකර මිශ්‍රකර මී පැණි සමඟ දිනකට වරක් තේ හැඳි 01 ක් ලේහ කිරීම නැතහොත් ස්වල්පය බැගින් දිවේ ගෑමෙන් අනතුරුව උණු වතුර පානය කිරීම හොඳයි.

ඇදුම – රාත්‍රී කැස්ස පවතින අයකුට බුලත් කරටි ඉස්ම, මී පැණි වෙනුවට යොදා ගැනීමෙන් අපහසුතා මඟහරවා ගත හැකියි.

තවද සෑම විට සෙම පවතින අයට ඉන්දියානු කේරලිය ප්‍රතිකාර විධිද අපට යොදාගත හැකිය.

ඔෟෂධ පත්‍ර තම්බා දුම් ඇල්ලීම ඔබ කවුරුත් දන්නා ප්‍රත්‍යක්ෂ ක්‍රමයක්. නමුත් දෙහි කොළ වැනි දෙයක් යොදා වෛද්‍ය උපදෙස් නොතකා කරන දුම් ඇල්ලීමේදී සමහර විට සෙම තව තවත් අවහිර වීමට හැකියාව පවතිනවා.

තැවිලි පොට්ටනිවලින් නළල තැවීම, ඔෟෂධීය තෙල් වර්ග යොදා කෙරෙන ශිරෝධාරා – ධූම පාන විධි – පිචු යෙදීම වැනි විශිෂ්ට කේරලිය ප්‍රතිකර්මයන් අපට යොදාගත හැකිය.

සමහර රෝගීන් විවිධ ඔෟෂධීය පානයන්ටද සෙම අවම කරගැනීමේ අපේක්ෂාවෙන් යොමුවෙනවා. නමුත් අමු සෙම ඇති අයෙක් කොත්තමල්ලි වැනි දෙයක් තම්බා බොනවිට කබලේ බැදගත් කොත්තමල්ලි ඒ සඳහා යොදාගත යුතුයි. 

එදිනෙදා සිදුකරන ක්‍රියාකාරකම්වලින්ද සෙම අඩුකරගත හැකියි. පිහිනීමෙන් ඇදුම හා සෙම අඩුවන බව ඔබ දන්නවාද?

එසේම ඔබ කිසියම් තැවිලි පොට්ටනියකින් නළල තැවීම සිදුකරන්නේ නම් හිස ආශ්‍රිතව සිදුවන වියළීම වළක්වා ගැනීමට සෙම් ධාතුව වැඩි නොවන අයුරින් නිසි වෛද්‍ය උපදෙස් පරිදි හිසට තෙලක් යෙදීමට සැලකිලිමත් වන්න. 

සෙම අඩුකර ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර යොදාගැනීමට ඔබ බිය විය යුතු නැත. කළ යුත්තේ නිසි ක්‍රමවේදය අනුගමනය කිරීමයි. සිංහල බෙහෙත් තුළින් කිසිම විටක රෝගයක් වැඩිකර අඩුකරන්නේ නැත. සිදුවන්නේ රෝගයේ මූලික අවස්ථාව පවා මුලිනුපුටා දැමීමයි. ඉතින් ඔබ බියවන්නේ කුමකටද?

විජිත කේ. පතිරණ

වෛද්‍ය

එන්. දිල්හාරා ඩයස්

D.A.S.N. (Hons)

M.Ac.F (SL) I.F.A.S.Sc Chandigarh (India)

Q.C.O.P. (India)

ස්වර්ණහංස ආයුර්වේදය ගම්පහ

0778075452