කුරේ ගැන  මෙතෙක් නොතැබු හෘදයංගම  සටහනක්

0
81

සිරිසේන කුරේ යනුවෙන් ජනප්‍රියව සිටි බුලත්සිංහලගේ සිරිසේන කුරේ මහතා අද වන තෙක් ජීවත්ව සිටියේ නම් මේ වසරේ අප්‍රේල් 29 වැනි දිනට වයස අවුරුදු 91ක් වන්නට තිබිණි. 2021 නොවැම්බර් 30 වැනි දින ඉතාමත් අනපේක්ෂිත ලෙස මේ මහා පුරුෂයා අපෙන් සමුගත්තේය. ඔහු මට නැවත හමුවූයේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ටික කලක්  කටයුතු කර කොළඹ පුරපති ධුරයට තරග කිරීමට ආපසු පැමිණීමෙන් පසුවයි.

සෑමවිටම දේශපාලනයේ උණුසුම් තෝතැන්නක් මෙන්ම උදාසීනත්වයෙන් හා වැඩනොකරන  සේවකයන්ගෙන් පිරි කොළඹ මහ නගර සභාව ඔහු විසින් ස්ථිර නමුත් මෘදු හස්තයකින් මෙහෙයවමින් පෙර නොවූ විරූ ලෙස හොඳින් ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කෙරිණි. ඔහුගේ නව්‍ය නායකත්ව භූමිකාව නිසා ඛෙත්තාරාම (ආර්. ප්‍රේමදාස) ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට හැකි විය. ප්‍රථමවරට රාත්‍රි ක්‍රිකට් සඳහා එහි විදුලි පහන් සවි කිරීමේ වගකීමද ඔහු සාර්ථක ලෙස ඉටු කළේය.

එකල නිවාස අමාත්‍යාංශය, විවිධ ආයතන විස්සකට අධික සංඛ්‍යාවක් සහිත විශාල ආයතනයක් විය. නිවාස, නාගරික සංවර්ධන, ජලසම්පාදන, මලාපවහන, ඉඩම් ගොඩ කිරීම, ඉදිකිරීම් සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය වැනි විවිධ වගකීම් එම අමාත්‍යාංශයට පැවරී තිබිණි. කැප වූ සහ කාර්යක්ෂම වෘත්තිකයන් සහ කළමනාකරුවන් මෙන්ම හැකියාවන් පෙන්වා ඇති නිලධාරීන් සමූහයක් අපි එක් කර ගත්තෙමු.

ඒ අතර මයිකල් ජෝකිම්, කොන්රඩ් ද තිසේරා, ටී.බී. මඩුගල්ල, සුසිල් සිරිවර්ධන, විලී මෙන්ඩිස්, සරත් ඔබේසේකර, ප්‍රසන්න ගුණවර්ධන, ගැමුණු සිල්වා, එන්.ඩී. පීරිස්, මයිකල් පෙරේරා, සිරි හත්තොටුවේගම, ඒ.සී.ඒ. ජබාර්, ටී. රත්නසභාපති, මණික් නාගහවත්ත, තිලක් හේවාවසම් සහ බී. දන්වත්ත ආදීහු වූහ. විශ්වාසයෙන්, අවබෝධයෙන් සහ අනේ‍යාන්‍ය සහයෝගයෙන් සමීපව බැ¾දුණු කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ අපට සියලු ඉලක්ක  සපුරා ගැනීමට හැකි වූයේය.

මාලිගාවිල බුදු පිළිමය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මිරිසවැටිය චෛත්‍ය ප්‍රතිසංස්කරණය වැනි වරින් වර නිවාස අමාත්‍යාංශයට  පැවරුණු දුෂ්කර කාර්යයන් සම්බන්ධීකරණය කරමින් සිරිසේන කුරේ ඉටුකළ කාර්යභාරයද බොහෝ දෙනා දනිති. එවැනි තවත් ජනතාවාදී නවෝත්පාදන ව්‍යාපෘති කිහිපයක් මඟින් ජාතික සංවර්ධනයට ඔහු විසින් දෙන ලද දායකත්වය  විශාලය.

නවීකරණ ව්‍යාපෘති අතරින් පළමුවැන්න නම් ජපන් අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ලද ඉතා පුළුල් හා සංකීර්ණ වැඩසටහනක් වූ “කොළඹ ඇළ සංවර්ධන සහ ගංවතුර පාලන” ව්‍යාපෘතියයි. එහි අරමුණ වූයේ නගරය තුළ අවහිර වී ඇති ඇළ මාර්ග විශාල ප්‍රමාණයක් පිරිසුදු කර, ජලය ගලායෑම සක්‍රිය කිරීම, අවහිර ඉවත් කිරීම හා ජලය එකතැන පල්වීම අවම කිරීමයි.

එහෙත් මෙහි වඩාත් වැදගත් හා සංකීර්ණ අංගයක් වූයේ වසර ගණනාවක් තිස්සේ ඇළ ඉවුරු ආශ්‍රිත පැල්පත්වල සහ තාවකාලික නවාතැන්වල ජීවත් වූ දිළිඳු පවුල් විශාල සංඛ්‍යාවක් ඒ ස්ථානවලින් ඉවත් කර නැවත පදිංචි කර වීමයි. මෙම පදිංචිකරුවන් ඇළ මාර්ග තුළට ඉදි කරමින්, අපද්‍රව්‍ය බැහැර කරමින්, ඇළ මාර්ග අවහිර කරමින්  හා පරිසරය දූෂණය කරමින් ජීවත් වූ අයයි. එවැනි පවුල් 8000ක් පමණ නැවත පදිංචි කිරීමට නියමිතව තිබිණි. මෙය විශාල වාරිමාර්ග යෝජනා ක්‍රම යටතේ නැවත පදිංචි කළ පවුල් ගණන හා සැසඳිය හැකි සංඛ්‍යාවකි.

ප්‍රධාන ජයග්‍රහණය වූයේ දුර බැහැර ගම්මානවලට සහ කුඩා නගරවලට පානීය ජලය සහ සනීපාරක්ෂාව සැපයීම සඳහා (නිවාස වැඩසටහනේදී එය ඉතා සාර්ථක වූ) සහභාගීත්ව මූලධර්මය භාවිතයට ගැනීමයි. බොහෝ දුරබැහැර ප්‍රදේශවල පානීය ජලය ප්‍රමාණවත් ලෙස ලබාගත නොහැකි වීම  නිසා  නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ද දුෂ්කරතා පැනනැඟිණි. ප්‍රතිලාභී පවුල් සහ ඔවුන්ගේ ප්‍රජාව සහභාගී වීමේ මූලධර්මය මත පදනම් වූ ප්‍රජා ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතියක්  1992දී සකස් කරන ලද අතර තිලක් හේවාවසම් එහි

අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. ලෝක බැංකුව අරමුදල් සැපයූ මෙම ව්‍යාපෘතිය මඟින් විශේෂයෙන්ම දුරබැහැර ග්‍රාමීය ප්‍රජාවන්ට ජලය සැපයීම සහ සනීපාරක්ෂාව පිළිබඳ සුසමාදර්ශීය වෙනසක් සනිටුහන් කළේය. මෙම ව්‍යාපෘතිය මඟින් එහි පළමු අදියරේදී දළ වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල 650,000ක ජනතාවකට සෙත සැලසූ තිරසර ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රම ස්ථාපිත කරන ලද අතර, ගම්මාන 3,800ක සනීපාරක්ෂක යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරිණි. බදුල්ල, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් 3,000 පමණ ආවරණය වන පරිදි පාසල් සනීපාරක්ෂාව වැඩසටහනක්ද  ක්‍රියාත්මක කරන ලදී.

නිවාස අමාත්‍යාංශය මඟින් ඕස්ට්‍රේලියානු ආධාර මත කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්සියගම නිවාස ව්‍යාපෘතියේ නියමු පදනම මත සූර්ය ගම්මානයක්  මේ වන විටත් ස්ථාපිත කර තිබිණි. සූර්ය බලශක්තිය භාවිතය එතරම් ජනප්‍රිය නොවූ කාලයක ක්‍රියාත්මක වූ මෙම නියමු ව්‍යාපෘතිය මඟින් පවුල් 500කට  ගමේ පවුලක අවම විදුලි අවශ්‍යතාව වන පහන් 4-6ක්, ගුවන්විදුලියක් සහ කුඩා රූපවාහිනියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලි බලය සූර්ය බලශක්තියෙන්  සපයන ලදී. නියමු ව්‍යාපෘතියේ අත්දැකීම් සමඟ, සිරිසේන කුරේ යටතේ නිවාස අමාත්‍යාංශය මඟිින් 1991දී, වඩා පුළුල්, වඩා නව්‍ය සහ වඩා ප්‍රබල සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ඉන්දියාවේ බුද්ධගයාවේ ආදර්ශ ගම්මානයක් ස්ථාපිත කිරීමේදී සිරිසේන කුරේ මහතා විසින් ලබාදෙන ලද නායකත්ව කාර්යභාරය ගැන මෙහිලා සඳහන් කිරීම මගේ යුතුකමකි. ජනාධිපති ප්‍රේමදාස මහතා බුද්ධගයාවේ සංචාරයක නිරත වූ අවස්ථාවක ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ ජීවත්වන අන්ත දිළිඳු සහ අසරණ වූ ප්‍රජාවේ දුක්ඛිත ජීවන තත්ත්වය දැක, ඉන්දීය රජයේ එකඟතාව ඇතිව ඔවුන් සඳහා ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වූ සහභාගීත්ව ක්‍රියාවලිය යටතේ ආදර්ශ ගම්මානයක් ඉදිකිරීමට පියවර ගන්නා ලදී. මේ සඳහා “සෙවණ අරමුදලින්” මුදල් ලබාදුන් අතර  එයට සහභාගි වූ පවුල්වලට වාරික වශයෙන් මුදල් ගෙවීම සිදු විය.

මෙහිදී  ඉලක්කය වූයේ දින 110කින් නිවාස සියයක් සහ ප්‍රජා  මධ්‍යස්ථානයක් ඉදිකර අවසන් කිරීමයි. ව්‍යාපෘතියේ වගකීම පෞද්ගලිකව භාරගත් සිරිසේන කුරේ නිවාස අධිකාරියේ තරුණ ගෘහ නිර්මාණ ශිල්පියකු වූ අනුර දසනායක ප්‍රමුඛ තෝරාගත් වෘත්තිකයන් කණ්ඩායමක් සමඟ ඉන්දියාවට ගියේය. ඔහු ඇතුළු කණ්ඩායම ව්‍යාපෘතියේ වැඩි කාලයක් ජීවත්වූයේ බුද්ධගයාවේ වන්දනාකරුවන් සඳහා වූ විශ්‍රාම ශාලාවකයි.

ඔහු පුද්ගලිකව ඉන්දියානු රජය, ප්‍රාන්ත රජය සහ ප්‍රාදේශීය බදු ආයතන සමඟ සබඳතා ඇති කර ගත් අතර සියලුම නිල නීති රීති සහ දේශීය විධිවිධාන සමනය කරමින්  කටයුතු කිරීමට සමත් විය. නිවාස ඉදිකිරීම් සඳහා අවශ්‍ය  අරමුදල් බෙදා දීම, ගොඩනැඟිලි ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සහ ප්‍රවාහනය, නිවාස සැලසුම් කිරීම සහ සහභාගි වන්නන්ගේ පවුල් සංවිධානය කිරීම සහ පුහුණු කිරීම වැනි සියලු අවශ්‍යතා සිරිසේන කුරේ ඇතුළු කණ්ඩායම විසින් සපුරන ලදී.

සිරිසේන කුරේ, මට මෙතෙක් හමු වූ ආදරණීයම මිනිසුන්ගෙන් කෙනෙකි. කාරුණික, සංවේදී, සන්සුන්, නොකැලඹෙන, දැඩි අධිෂ්ඨානශීලී කෙනකු වූ ඔහු සාමාන්‍ය දේශපාලනඥයකුට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් විය. තමාගේ අපරිමිත දායකත්වය සහ ඉටුකළ දුෂ්කර කාර්යයන් වෙනුවෙන් දේශපාලන වාසියක් ලබා ගැනීමට  මෙන්ම ප්‍රසිද්ධියට අකැමැතිව සිටි ඔහු ඇත්ත වශයෙන්ම, දේශපාලනයට අකැමැති වූ දේශපාලනඥයෙකි.  ජීවිතයේ සරල දේ භුක්ති විඳිමින් ඉතා සාර්ථක පවුල් ජීවිතයක්  ගත කළ කුරේ මහතා  ඕපාදූපකරුවන් සහ එහෙයියන් ළංකර නොගත් කෙනෙක් විය.

ඩබ්ලිව්. ඩී. අයිලප්පෙරුම