ආණ්ඩු පක්‍ෂ රැස්වීමේ දී හෙළි කළ  ජනපතිගත්  අසීරු තීන්දුව

0
117

21 ගැන ආණ්ඩු පක්ෂ සංවාදයේදී බැසිල් මුනිවත රකී

විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නවාද නැද්ද යන්න ගැන පොහොට්ටු පක්ෂය තුළ යම් මතභේදයක් ඇති කරන්නට ලොකු උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වේ. උත්සාහය දරන්නේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ බවට රහසක් නැත. පසුගිය 30 වැනිදා රාත්‍රි ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම්  රැස් කර තිබුණේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මත විමසීමටය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු,  බැසිල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු වැඩි පිරිසක් සහභාගි වූහ.

මෙහිදී ජනාධිපති ගෝඨාභය, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ, ආචාර්ය චරිත හේරත්, සරත් වීරසේකර, නිමල් ලන්සා, චින්තක මායාදුන්න, ජගත් කුමාර, නාලක ගොඩහේවා ඇතුළු මන්ත්‍රිවරු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් දැක්වූහ. විශේෂත්වයක් වූයේ බැසිල් රාජපක්ෂ මෙහිදී කිසිවක් කතා නොකිරීමයි. කණ්ඩායම් රැස්වීමේදී දේශපාලනය හා ආර්ථිකය ගැන හොඳ විශ්ලේෂණයක් කළ පොහොට්ටු මන්ත්‍රිවරයකු මේ ලියුම්කරුට කීවේ බැසිල් කතා නොකළත් ඔහුට අවශ්‍ය දේ කියවා ගන්න කටවල් කිහිපයක් පාවිච්චි කළ බවයි. ඒ කටවල් වුණත් කාරණය හරියට විග්‍රහ කරගන්න බැරිව හොරගල් ඇහිලුවායිද ඔහු කීවේය.

19ට දුන්නෙත් නෑ – 21ට දෙන්නෙත් නෑ. වීරසේකර කියයි

ව්‍යවස්ථා සංශෝධනයට කෙළින්ම විරුද්ධව අදහස් දැක්වූයේ සරත් වීරසේකර මන්ත්‍රිවරයායි. “මම එදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් විරුද්ධ වුණා. යෝජිත 21 වැනි සංශෝධනයටත් ඡන්දය දෙන්නේ නෑ. සමස්ත ඡන්දදායකයන්ගේ බහුතරයෙන් පත්වූ විධායක ජනාධිපතිවරයකුගේ බලතල ජාතික ලැයිස්තුවෙන් පත්වූ අගමැතිවරයකු අතට පත්කරනවාට මම විරුද්ධයි” ඔහු කීවේය. එවැන්නකුට වෙනම පළාත් සභා නවයක් බිහි කිරීමට බලය දීමට වීරසේකර මන්ත්‍රිවරයා විරෝධය පළ කළේය.

චින්තක මායාදුන්න මන්ත්‍රිවරයාද ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අදහස් දක්වමින් මන්ත්‍රිවරුන් මේ අවස්ථාවේ විඳින දුක් ගැහැට, ජීවිත තර්ජන ගැන කතා කරමින් “මේ වෙලාවේ මන්ත්‍රිවරු ඉන්නේ ප්‍රශ්න ගොඩක. තවත් සමහරු ඉන්නේ හැංගිලා. අපේ බෙල්ලට පිහිය තියලා බය කරලා 21 වැනි සංශෝධනයට සහාය ගන්නද හදන්නේ. ආර්ථික වශයෙන් මන්ත්‍රිවරුන්ටත් ප්‍රශ්න තියෙනවා. ඒවා ගැනත් සොයා බලන්න ඕනෑ”යි කීවේය.

ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් දෙකම එකක්

ආචාර්ය චරිත හේරත් ගැඹුරුව දේශපාලන විග්‍රහයක යෙදෙමින් කීවේ දේශපාලන අර්බුදය හා ආර්ථික අර්බුදය කියන්නේ දෙකක් නොව එකක් බවයි. එය ස්වරූප දෙකකින් කරළියට ඇවිත් තියෙනවා. රටේ දේශපාලන ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑම සඳහා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි දේශපාලන ප්‍රතිසංස්කරණ, අවශ්‍ය බව කීය. ඔහු කීවේ ආර්ථිකය හුදෙකලා කරන්න බැරි බවය. “රටේම ජනතාව පෝලිම්වලට ගියාම දේශපාලන වශයෙන් ගමනක් යන්න වෙනවා. ඒ නිසා දේශපාලන වශයෙන් ප්‍රතිසංස්කරණවලට යන්නේ නැත්නම්, ආණ්ඩුවක් ලෙස හරියට අපි ජොබ් එක කරලා නෑ කියන එකයි කියන්න තියෙන්නේ. දැන් අපිට තීරණයක් ගන්න වෙලා තියෙනවා.”

“ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරය නැතිවෙනවායි මතයක් දරනවා. එහෙම දෙයක් වෙන බව මම පිළිගන්නේ නෑ. එහෙනම් අපි ඡන්දය දෙන්න යන්නේ ජනාධිපති ධුරය අහෝසි වෙන එකකටද? මේ දෙකම වැරැදියි. ආර්ථිකය සංවර්ධනය කරන්න නම් දේශපාලනය සමඟ එකට යායුතු බවද හේරත් මහතා කීවේය.

එහෙම යන්න බැරි නම් ගෝඨාභයටත් යන්න වේවියි ද ඔහු සඳහනක් කළේය.

මම අගමැතිකම ඉල්ලුවේ නෑ. මට බලෙන් දුන්නා

සරත් වීරසේකර හිටපු ඇමැතිවරයා රනිල් අගමැති  තනතුරට පත්වීම ගැන කළ විවේචනයට, අගමැති රනිල් සුළු පිළිතුරක්ද දුන්නේය. රනිල් කීවේ “මම අගමැති ධුරය දෙන්නැයි ඉල්ලීමක් කළේ නෑ. ජනාධිපතිතුමා මට අගමැති තනතුර භාරගන්නැයි ඉල්ලීමක් කළා. මට එම තනතුර බලෙන් ගන්න පුළුවන්කමක් නෑ. එම ඉල්ලීමෙන් පසුව මම සැලැස්මක් හදලා වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාට දුන්නායි” රනිල් කීවේය.

ව්‍යවස්ථාවෙන් පිට බල පෙරළියක්

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි නාලක ගොඩහේවා කීවේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු විසඳීමේදී ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ අවශ්‍යතාව විශේෂ බවයි. මීට මාසයකට පමණ පෙර රටේ පැවැති තත්ත්වය දිහා ආපසු හැරී බැලුවොත් අපිට ප්‍රධාන ගැටලු දෙකක් තිබුණා. පළමුවැන්න අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හා නිරන්තර මිල ඉහළ යෑම. මේ නිසා ජනතාව විශාල පීඩාවකට පත්වී බරපතළ සමාජ, ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. දෙවැන්න තමයි සමහර මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම නිසා ආණ්ඩුවට සරල බහුතරයක් නැතිවන තත්ත්වයක් තුළ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් තිබීම. මේ ගැටලු දෙකට විසඳුම් සොයන්න තමයි බොහෝ දෙනෙක් ජාතික එකඟතා ආණ්ඩුවක අවශ්‍යතාව පෙන්වා දුන්නේ.

මැයි 9 වැනිදා වූ භීෂණය ගැන කරුණු දැක්වූ ගොඩහේවා මන්ත්‍රිවරයා අගමැතිතුමා පත්වෙලා මසකට කිට්ටු වුණත් කැබිනට් මණ්ඩලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති මේ උවදුර ගැන සාකච්ඡා නොවීම ගැන කනගාටුව පළ කළේය.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය විධිමත් දැයි ප්‍රශ්න කළ මන්ත්‍රිවරයා යම් පිරිසක් යළිත් වතාවක් මීට පෙර දෙවතාවක් උත්සාහ කළ බවත් භීෂණය රට පුරා පතුරුවා ව්‍යවස්ථාවෙන් පිට බලපෙරළියකට උත්සාහ කළොත් එය වළක්වා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ කොහොමදැයි තවත් ප්‍රශ්නයක් මතු කළේය.

මන්ත්‍රිවරයා මෙසේද කීය.

මන්ත්‍රිවරුන්ගේ ඔළු ගෙඩි ගණනින් ජනමතය මනින්න එපා

“ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, 21 වැනි සංශෝධනය වගේම මෙයත් ඔබතුමන්ලා සාකච්ඡා කළ යුතු දෙයක්. බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟන්න ජනතාවට සහන දෙන්න දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි කියලා අපි හැමෝම පිළිගන්නවා. ඒත් මේ ප්‍රශ්නය ව්‍යවස්ථා සංශෝධනයකට ලඝු කරන්න එපා. ඊට එහා යන බරපතළ උවදුරක් යටින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මම ඔබතුමන්ලාට මේ අවස්ථාවේ විසඳුම් යෝජනා කරන්නේ නැහැ. නමුත් මේක කඩිනමින් තේරුම් අරගෙන කැබිනට් මණ්ඩලය තුළ ගැඹුරින් සාකච්ඡා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.” යැයි පැවැසීය.

පොහොට්ටු ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන නිමල් ලාන්සා මන්ත්‍රිවරයාද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අදහස් දැක්වීය. “පක්ෂ කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රිවරු 100-150 සහභාගි වුණාට රටේ ප්‍රශ්න නැතැයි කියලා හිතන්න එපා. මන්ත්‍රිවරුන්ගේ ඔළු ගෙඩි ගණනින් රටේ මිනිසුන්ගේ බලය තියෙනවා යැයි හිතන්න එපා. දේශපාලන ප්‍රතිසංස්කරණ මේ වෙලාවේ අවශ්‍යයි. ජනතාවගේ ඉල්ලීම් ඉවත දමන්න බෑ.”

ජගත් කුමාර මන්ත්‍රිවරයා අදහස් දැක්වූයේ තරමක ආවේගයකිනි. “අද රටේ ජනතාවට මුහුණ දෙන බරපතළ ප්‍රශ්න තියෙනවා. තෙල්, ගෑස් පෝලිම්. ඒවායේ මිල වැඩියි. ජනතාව ප්‍රකෝප වෙලයි ඉන්නේ. අපි මේවාට විසඳුම් දෙන්න ඕන. පාකිස්තානයේ කළා වගේ මහ පාරේ මන්ත්‍රිවරයෙක් ගහලා මරයි කියලා මම මීට පෙර පැවැති කණ්ඩායම් රැස්වීමේදී කිව්වා. අපේ මන්ත්‍රිවරයකු එසේ මරා දැම්මා. දේශපාලන වශයෙන් රටේ ප්‍රතිසංස්කරණ ඉල්ලනවා. ඒවා ඉටුකරන්න යම් කාලරාමුවක් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මහතා අපේ අගමැතිවරයෙක් නොවෙයි. අවශ්‍යතාව තිබෙන්නේ රටේ පවතින ජනතා ප්‍රශ්න කඩිනමින් විසඳෙන්නයි. ඒ සඳහා අගමැතිවරයාට අපි කොන්දේසි විරහිතව සහාය දෙනවා”යි ජගත් කුමාර කීවේය.

ජනතාව ප්‍රතිසංස්කරණ ඉල්ලනවා නම් දිය යුතුයි

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ඇතැම් මන්ත්‍රිවරුන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අදහස් දක්වද්දී ජනාධිපතිවරයා පැකිළීමක් නැතිව කීවේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ තමාගේ කැමැත්ත ඇතිව බවයි. මේ තමා රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළ බවත් කී ජනාධිපතිවරයා 1988, 89 සහ 1971 වසරවල ඇති වූ කැරලිකාර තත්ත්වයන් නිසා විශාල තරුණ පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. රට තුළ එවැනි කලබල තත්ත්වයක් ඇතිවීමට මම ඉඩ තබන්නේ නැතැයිද පැවැසුවේය.

ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජනතාව කියනවා නම් ඒවාට ඉඩදෙන්න ඕනෑයිද ජනාධිපතිවරයා පවසා ඇත.

මෙහිදී ජනාධිපතිවරයා තරමක දුකක් උපදවන ප්‍රකාශයක්ද කළේය. ඒ ඔහුගේ සහෝදර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගැනයි.

මගේ දේශපාලන ජීවිතයේ ගත් අසීරුම තීන්දුව මහින්ද අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ තීන්දුව බවයි. දේශපාලනයේදී බේරෙන්නට හෝ දේශපාලන ප්‍රතිපත්ති බේරා ගන්නට හෝ බොහෝ විට කවුරුන් හෝ ප්‍රබලයකු බිලිදෙන්නට සිදුවෙයි. ගෝඨාගෝගම, මයිනාගෝගම සමඟ ගෝඨා ගෝ හෝම්  කියන හඬට කන්නොදී සිටින්නට පුළුවන්කමක් නැත. ජනාධිපතිට දේශපාලන  වශයෙන් අයියා බිලිදෙන්නට වූයේ ඒ නිසා විය හැකිය. 

අනාගත එජාප ආණ්ඩුවක් සඳහා අඩිතාලම දමන තීරණ

එජාප නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය බදාදා (01දා) සිරිකොත පක්‍ෂ මූලස්ථානයට එජාප මධ්‍ය කාර්යාංශයේ විශේෂ රැස්වීමක් කැඳවා තිබිණි. සාකච්ඡාව කැඳවීමේ අරමුණ වූයේ පක්‍ෂයේ සංවිධාන කටයුතු වේගවත් කිරීමයි. රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන, අකිල විරාජ්, නවීන් දිසානායක, සාගල රත්නායක හා ශමල් සෙනරත් මේ සාකච්ඡාවට පැමිණ සිටියහ. පක්‍ෂයේ ලේකම් රංගේ බණ්ඩාර තරමක අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් නොපැමිණි බව සිරිකොත විධායක නිලධාරි ශමල් සෙනරත් සභාවට දැනුම් දුන්නේය.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ රැස්වීම ආරම්භයේදීම වර්තමානය වන විට රට මුහුණපා ඇති දැවැන්ත සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්නවලින් රටත් ජනතාවත් මුදාගැනීම සඳහා ජාත්‍යන්තර හා ජාතික වශයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිවෙත ගැන මධ්‍ය කාර්යාංශයේ සාමාජිකයන් දැනුවත් කළේය. එජාපය නියෝජනය කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා රනිල් වුවත් දැන් ඔහු රටේ අගමැතිවරයා බැවින් එවැනි විස්තරයක් කරන්නට දැන් හැකියාවත්, බලයත් තියෙන්නේ ඔහුට බැවින් එජාපයේ අය පමණක් නොව රටේ ජනතාවද දැනුවත් කිරීම ඔහුගේ යුතුකමය. ලබන සතියේ ඔහු පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරන්නට යන්නේද මේ සාධකය මතයි.

රනිල්ගේ මේ කරුණු දැක්වීමට අනුව එජාපය යළිත් බලයට ගෙන ඒමේ දේශපාලන ව්‍යාපාරයකටද අත ගසා තිබීම ගැන කරුණු කී පක්‍ෂ සභාපති වජිර පසුගිය කාලයේ ආරම්භ කළ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක මට්ටමකට පැමිණ තිබීම ගැන සතුට පළ කෙරිණි. ඒ කටයුතු තවත් වර්ධනය කර ගනිමින් අලුතින් සිතා අලුත් මාවතක් ඔස්සේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් සහිත පක්‍ෂයක් බවට එජාපය පත්කර ගත හැකි බව ඔහු කීවේය.

ශ්‍රී  ලංකාව අර්බුදයෙන් මුදා ගැනීමට රකිමු ජයතු ලංකා

පක්‍ෂයේ සභාපති වජිර පසුගිය සඳුදා කොළඹදී විද්වත් වෘත්තිකයන් අතර විශේෂ හමුවක් පැවැත්විණි. නිර්මාණාත්මක වෘත්තීයවේදීන්ගේ සංගමය සහ රකිමු ජයතු ලංකා සංවිධානයට අයත් වෘත්තීයවේදීන් රැසක් මෙයට සහභාගිවීමේ නිමිත්තක් වූයේ පසුගිය සිකුරාදා කොළඹ ශ්‍රී  ලංකා පදනම් ආයතනයේදී එම ආයතන දෙකේ සංවිධානත්වයෙන් “ශ්‍රී  ලංකා ද්විත්ව අර්බුදය” යන මැයෙන් පැවැති සමුළුවට වජිරට ආරාධනයක් කිරීමටය. රකිමු ජයතු ලංකා සංවිධානයේ සභාපති හිරාන් ද සිල්වා සමුළුවේ අරමුණ පැහැදිලි කරමින් වජිරට සමුළුවට සහභාගි වන ලෙස ආරාධනා කළේය. මේ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

මෙවැනි සමුළුවක් පැවැත්වීමේ අරමුණ කුමක්දැයි වජිර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිරාන් ද සිල්වා, “දිනෙන් දින විනාශය කරා ගමන් කරන රට ඉන් මුදා ගැනීම සඳහා තම සංවිධාන දෙකේ සැලසුම් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර රට භාර ගන්නා ලෙස එතුමාට ආරාධනා කිරීමට” බව කීවේය.

රට පත්ව ඇති විපතින් ගොඩගෙන ජනතාවට යහපත් අනාගතයක් උදාකරදීමට හැකි අත්දැකීම, පලපුරුද්ද, දර්ශනයක් හා නිසි වැඩපිළිවෙළක් තිබෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බැවින් රටේ වෘත්තීයවේදීන් මෙන්ම රටේ සියලු දෙනාම එතුමන්ට සහයෝගය දැක්විය යුතු බව රනිල් පසුපස යන ඡායාව වූ වජිර කීවේය.

මේ දේශපාලන සුදුව නැවැත්විය යුතුයි.

වජිරගේ ඒ ප්‍රකාශයෙන් පසු වෘත්තීයවේදී නියෝජිත පිරිසක් ඇසුවේ ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට මොකද වෙන්නේ කියායි. වජිර එයට තරමක් දිගු පිළිතුරක් දෙමින් කීවේ මෙවැනි කතාවකි.

“මේ මොහොතේ වඩා වැදගත් කුමක්ද? මේ මොහොතේ ඕන 19ද, 20ද නැතිනම් 21ද? කමක් නෑ 21 ඉදිරිපත් කළාම එදා අර සමගි ජන බලවේගයේ කණ්ඩායම ප්‍රකාශ කළා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එපා කියලා.

පසුගිය 27 තිබුණු සාකච්ඡාවේදී අපි දැක්කා ඔවුන් එකඟ වුණා. ඊට පස්සේ ආපහු කිව්වා එකඟ නෑ කියලා. දැන් ආපහු කියනවා EPDP එක එදා සහභාගි වෙලා හිටියේ නෑ. අනෙක් ද්‍රවිඩ පක්‍ෂ TNA එක සහභාගි වෙලා හිටියේ නෑ. ඒ අය සමඟ සාකච්ඡා කරලා තීරණයකට එනවා කියලා.

මම හිතනවා මේ දේශපාලන සූදුව නැවැත්විය යුතුයි. මේ රටේ ජනතාවට ප්‍රධාන ප්‍රශ්නය ඩීසල්, පෙට්රල්, භුමිතෙල්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. දැන් ඒවා ලැබෙනවාද ඔය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්? ඒ නිසා 20 තිබුණත්, 19 තිබුණත්, 21 තිබුණත් ආර්ථිකය හසුරුවන්න පාර්ලිමේන්තුව නොනිදා එක දිගටම පවත්වලා සියලු දේශපාලන පක්‍ෂ රට ගොඩගැනීම සඳහා තමන්ගේ තිබෙන ලියවිල්ල ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

පාර්ලිමේන්තු කැන්ටිමෙන් 1500ක් දවල්ට කනවාලු

පාර්ලිමේන්තු කැන්ටිමේ මන්ත්‍රිවරුන්ට අඩු මුදලට ආහාර සපයන බවට දේශපාලන කරළියේ පවතින විවේචනය පිළිබඳව පසුගියදා මන්ත්‍රිවරුන් කණ්ඩායමක් එම කැන්ටිමෙන් ආහාර ලබාගැනීම අත්හිටුවන බවට කථානායකවරයාට දැනුම් දීමක් කර තිබිණි. ඒ අනුව එම මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තු කැන්ටිමෙන් ආහාර ලබාදීම නතර කළ බවටද මාධ්‍ය මඟින් පුවතක් පළ කර තිබිණි.

මේ ප්‍රශ්නය දැන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී ද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සාකච්ඡා විය. සාමාන්‍යයෙන් දිනකට පාර්ලිමේන්තු කැන්ටිමෙන් 1500කට ආසන්න පිරිසක් කෑම ලබාගන්නා අතර, ඒ පිරිසෙන් මන්ත්‍රිවරුන් වන්නේ 225ක් පමණි. එසේ වුවත් මුළු මන්ත්‍රිවරුන්ගෙන් කැන්ටිමෙන් ආහාර ලබා ගන්නේ 50-60ත් අතර පිරිසකි. එසේ වුවත් රටේ පැතිර ගොස් තිබෙන්නේ මන්ත්‍රිවරුන් වෙනුවෙන් කෑම සඳහා මසකට දස ලක්ෂ ගණනක් වැයවන බවකි.

පක්ෂ නායක රැස්වීමේදී කථානායක පවසා තිබෙන්නේ වෙළෙඳපොළේ පවතින මිලගණන්වලට පාර්ලිමේන්තුවේ මිලගණන් නංවන බව හා කැමැති මන්ත්‍රිවරුන්ට පිටතින් ආහාර ගෙන ඒමට හැකි බවයි.

එසේ කථානායකවරයා පොඩි පහේ අනතුරක් ද කළේය. හැබැයි අමතක කරන්න  එපා පාර්ලිමේන්තු බෝම්බය ගෙනාවෙත් කෑම පාර්සලයක හංගාගෙන යන්න කථානායකගේ පිළිතුර විය.

රාජ්‍ය ඇමැති තනතුරු 30ත් 40ත් අතර ගණනක් ළඟදීම

වර්තමාන ආණ්ඩුවේ තවමත් පත්කර නැති රාජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 30-40ත් අතර වනු ඇතැයි වාර්තාවේ. තොරතුරුවලට අනුව සමගි ජන බලවේගයෙන් 6 දෙනකුද, ශ්‍රී ලනිපයෙන් දෙදෙනකු සහ ඉතිරි පිරිස ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගෙන් පත්කරන්න යයි.

නව රාජ්‍ය ඇමැතිවරුන් පත් කරන්නට යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව බවද දැනගන්නට ඇත.

මේ වන විට එම සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවල නායකයන් සමඟත්, ස්වාධීන මන්ත්‍රි කණ්ඩායම් හා පක්‍ෂ 11 මන්ත්‍රි කණ්ඩායම සමඟත් ජනපති, අගමැති හා අධිකරණ ඇමැතිවරයා සාකච්ඡා පවත්වා ඇත.

හෙට (06දා) පැවැත්වීමට නියමිත  කැබිනට් මණ්ඩල රැස්වීමේදීද සංශෝධනය ගැන සාකච්ඡා කොට අනුමැතිය ලැබීමෙන් පසුව ලබන 7 වැනිදා අඟහරුවාදා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ද්විත්ව පුරවැසියන්ට වළ කපන 21 වැනි සංශෝධනය

රට ආර්ථික වශයෙන් ලෙල්ලටම වැටෙමින් තිබෙද්දී මේ දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම සාකච්ඡාවට ලක්ව තිබෙන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු දේශපාලනය අකැප කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය  ගැනයි.

සමගි ජන බලවේගය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන පසුගිය දිනවල මොනවා කීවත්, දැන් ඒ ප්‍රකාශ යටපත් වී ඇති බවක් පෙනේ. සජබ නායක සජිත්, විධායකය අහෝසි කරන පළමු පියවර සඳහා කටයුතු කළ යුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්න කටයුතු කරනවා. 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවටයි රටටයි මුලින්ම ඉදිරිපත් කෙළේ අපි. අපේ පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් පෞද්ගලික යෝජනාවක් ලෙස බව කීවේය.

එහෙම කී සජිත් එහෙම එකේ අපි මොකටද මේකට විරුද්ධ වන්නේ යැයි ප්‍රශ්න කළේය.

රාජපක්ෂලා රකින ලුම්පන් කල්ලිය

ඔහු තවත් ප්‍රශ්නයක් මතු කරමින් මේ රටේ ජනතාවගේ ඉල්ලීමට පිටුපාන ඒවාට කොන්දේසි විරහිතව සහාය දෙන්න කියලද මේ අය කියන්නේයි ඇසුවේය.

රටේ අරමුණ හා ඉල්ලීම රාජපක්ෂලා ගෙදර යැවීම. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. හැබැයි ලුම්පන් කල්ලියක අරමුණ වන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීම බවද සජිත් කීවේය. ඔහු මෙහිදී ලුම්පන් කල්ලිය ලෙස හැඳින්වූයේ පොහොට්ටු කල්ලියට නම් විය නොහැකිය.

රට වැටී තිබෙන  අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සජබ මන්ත්‍රිවරු හා නායක සජිත් අතර ගෙවී ගිය සතියේ දිගු සාකච්ඡාවක් විය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මේ සාකච්ඡාවේදී අශෝක් අබේසිංහ කීවේ පඩි ගෙවන්නත් සල්ලි නැති නිසා ටි්‍රලියනයක මුදල් අච්චු ගහන්න යනවා කියායි.

මුදල් ඇමැති ලෙස රනිල්, රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නත්, රජයේ පරිපාලන කටයුතු සඳහාත් අවශ්‍ය මුදල් ලබාගැනීමට රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු යොදා තිබේ. මේ මුදල් අච්චු ගැසීමට සජිත් දුන් අර්ථකථනය වූයේ. ඒ මුදල් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්න වෙන්නත් පුළුවන් යන්නයි.

රාජ්‍ය බැංකු කෝටි ගණන්ණය කපා හැරලා

සජිත්ගේ කතාවට අලගු තැබූ ගයන්ත කරුණාතිලක ‘ඒක ඇත්ත රාජ්‍ය බැංකුවලට පොලු තැබූ ධන කුවේරයන් ඉන්නවා. ආණ්ඩුව මුදල් අච්චු ගහන්නට යන්නේ ඔවුන්ගේ ණය කපා දමන්නට වෙන්න පුළුවන්’ බව කීවේය.

රජයේ බැංකුවලින් කෝටි ගණන් ණය ගත් මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් එම ණය නොගෙවීම නිසා කල්පැනු ණය ලෙස ඒවා පොතෙන් කපා හරින්නට කටයුතු කරමින් සිටින බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

රටේ ආර්ථික අර්බුදයට හේතු දක්වමින් කතා කළ හෙක්ටර් අප්පුහාමි, ආහාර හිඟයක් ඇති වුණේ ගොවි ජනතාවට සිදු කළ අගතිය නිසා අස්වැන්න බරපතළ ලෙස පහළට බැහැලා. මේ අර්බුද හටගන්නේ අත්තනෝමතික තීන්දු නිසා බව කීය.   විශේෂයෙන් කාබනික පොහොර හඳුන්වා දෙන්නට ගත් හිතුවක්කාර තීන්දුව රටේ ගොවිතැනට වැදුණු ලොකුම පහර බව දැන් කීමෙන් පලක් නැත. වියයුතු සියල්ල සිදුවී ගොවියා හතර ගාතෙන් වැටී සිටින බැවිනි. අදටත් යල කන්නයට අවශ්‍ය රසායනික පොහොර දෙන්නට කෘෂි අමාත්‍යාංශය තවමත් ෆේල් වී සිටී.

රනිල් පටන් ගත්තේම ලෙලි යන්න බදු ගහලා

කවදත් ටිකක් සැරට අදහස් දක්වන චමින්ද විජේසිරි දැන් ආණ්ඩුව ගන්න කොට සමහරු කිව්වේ රට ගොඩදාන මැෂිම තමයි මේක කියලා පටන් ගත්තේම ලෙලි යන්න බදු ගහලයි කීවේය.

තරුණ මන්ත්‍රිවරයකු වන කාවින්ද ජයවර්ධන, එදා කිව්වේ මොළ හතානෝ රට කරයි කියලා අද මොළහතානෝ කරන හැටි පේනවා නේදැයි කී විට කාටත් සිනහ ගියේය.

සජබේ ආර්ථික විශේෂඥයා ලෙස සැලකෙන හර්ෂ අනාවැකියක් පළ කරමින් “මොන විධියට ගියත් ඉස්සරහට එන්න තියෙන දවස් අනුව හරිම භයානකයි. ගොඩක් දේ වෙන්න පුළුවන්. රට තියෙන්නේ බරපතළ අර්බුදයකයි” පැවැසුවේය.

මෙහෙම ගියොත්ව වන්න වෙන්නේ රැවුල විතරයි

දැන් ආණ්ඩුවයි, ජනාධිපතියි නිදහසට කාරණා ලෙස කියන්නේ එපා වවන්න කියලායි. රෝහණ බණ්ඩාර කළ ප්‍රකාශයකට නලින් බණ්ඩාර වර්තමාන තත්ත්වය ගැන සඳහනක් කරමින් ගොවි ජනතාව ළඟට ගිහිල්ලා බලාගෙන සෙල්ලම් කරන්න එපා කියලා තග දාලා, හමුදාව දාලා හරි ගොවිතැන් කරවනවා කියලා කියපු ජනාධිපති අද හතට අටට නැමිලා කියනවා අනේ වවන්නට කියායි කීය.

හර්ෂණ රාජකරුණා වැවිල්ල ගැන මෙහෙම කතාවක් කීවේය. “පොහොර නෑ, තෙල් නෑ. ඒ නිසා ගොවිතැන් කරන්න  නම් බෑ. ඔය කියන විධියට වවන්න වෙන්නේ රැවුල විතරයි.”

හරීන් වෙනුවට නලීන්

සමගි ජන  බලවේගයේ කැපී පෙනුණු ප්‍රධානියකු වූ හරින් ප්‍රනාන්දු ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් ලබා ගැනීමෙන් පසු ඔහු දැරූ තනතුරු දෙකකට සජබෙ වෙනත් දෙදෙනකු පත්කිරීමට කටයුතු කර තිබේ.

හරින් ප්‍රනාන්දු පත්ව සිටි වත්තල ආසනයේ සජබ සංවිධායක තනතුරට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ නියෝමාල් පෙරේරාත් පක්ෂයේ නව මෙහෙයුම් ප්‍රධානි ලෙස නලින් බණ්ඩාරත් පත් කරනු ලැබ සිටිති.

හරින් රූපවාහිනි දේශපාලන වැඩසටහන්වලට සහභාගි වෙමින් කීවේ සජබ පිහිටුවන්න තමා පෞද්ගලිකව වෙහෙසක් දැරුවා පමණක් නොව  පක්ෂය පවත්වාගෙන යන්නට පෞද්ගලිකව සිය ධනයද වැය කළ බවත්ය.

දයාසිරි රාඝවන්ට ලුණු ඇඹුල් ඇතිව දෙයි

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු තනතුරක් ලැබ පසුගියදා කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසුව රාජ්‍ය ඇමැති ධුරයක් ලැබ දැන් එයත් අහිමිව සිටින රාඝවන් මන්ත්‍රිවරයා ආණ්ඩුවේ කෙරුමකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නම නොකියා එල්ල කළ ප්‍රහාරයක් එම රැස්වීම උණුසුම් තත්ත්වයකට පත්කර තිබේ.

ඒ උණුසුම් තත්ත්වය හමුවේ දයාසිරි මන්ත්‍රිවරයා එම රැස්වීමෙන් නැඟිට රාඝවන් මන්ත්‍රිවරයාට හොඳවායින් දෙකක් තුනක් කියා රැස්වීමෙන් පිටව ගොස් ඇත.

රැස්වීම පැවැතියේ පසුගිය 1  වැනිදායි. මේ රැස්වීම පැවැත්වෙන බව හා එදිනට එයට සහභාගි වන ලෙස අගමැති කාර්යාලයෙන්ද ආණ්ඩු පක්ෂයෙන්ද දයාසිරි මහතාට දැනුම් දී ඇත. ඒ අනුව ඔහු, ෆයිසර් මුස්තාපා මන්ත්‍රිවරයා සමඟ එම රැස්වීමට සහභාගි වීමට ගොස් ඇත. ඔහු එහි යන විට ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර මන්ත්‍රිවරුද රැස්වීමට සහභාගි වීමට ගොස් සිටියහ.

රැස්වීමේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ අදහස් ප්‍රකාශ කරන්නට සූදානම් වෙද්දී රාඝවන් මන්ත්‍රිවරයා මේක ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් නේ දැයි ප්‍රශ්න කරමින් විපක්ෂයේ අය එන්නේ කොහොමද? මොකක්ද මේ කරන වැඩේ තේරුම යැයි ප්‍රශ්නයක් මතු කොට ඇත.

රාඝවන් මන්ත්‍රිවරයා ඒ ප්‍රශ්නය කෙළින්ම එල්ල කළේ ශ්‍රී ලනිප ලේකම්වරයාට බව පැහැදිලි වීමේදී දයාසිරි මන්ත්‍රිවරයා රාඝවන් මහතාට ඔහුගේ දේශපාලන ඉතිහාස ගැන ලුණු ඇඹුල් ඇතිව වචන කිහිපයක් කියා රැස්වීමෙන් නැඟිට පිටව ගියේය. එසේ යෑම වැළැක්වීමට කෙහෙළිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් උත්සාහයක් ගත්තත් එය සාර්ථක වූයේ නැත. 

ඇමැතිකම් ගත් ශ්‍රීලනිප ලොක්කෝ පක්ෂයෙන් පන්නයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවේ ඇමැති ධුර භාර නොගත යුතු බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදී එයට පටහැනිව ක්‍රියා කරමින් ඇමැති තනතුරු භාර ගත් අයට පක්ෂයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දෙන්නැයි පසුගිය 1 වැනිදා ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හා ආසන සංවිධායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී දැනුම් දී තිබේ.

මෛත්‍රිපාල සිරිසේනගේ කොළඹ නිවෙසේ පැවැති මෙම රැස්වීමට රංජිත් සියඹලාපිටිය දුෂ්‍යන්ත මිත්‍රපාල, ෂාන් විජයලාල් ද සිල්වා ආසන සංවිධායකවරු සහභාගි වූ මේ රැස්වීමේදී ඔවුන් සියලු දෙනාම පැවැසුවේ ඇමැති තනතුරු ගැනීමට විරුද්ධ බවත් ඔවුන්ට වහාම පක්ෂයෙන් ඉවත්ව යන්නයි දැනුම් දිය යුතු බවත්ය.

සිරිමා බණ්ඩාරනායක මැතිනියද පක්ෂ නායිකාව ලෙස සිටියදී පක්ෂයට විරුද්ධව ක්‍රියාකළ එතුමියගේ පුතාත්, චන්ද්‍රිකා දුවත් පක්ෂයෙන් ඉවත් කළ බව මෙහිදී දිස්ත්‍රික් සංවිධායකවරයකු සිහිපත් කර ඇත.

කෙනෙහිලිකම් ගැන දයාසිරි ආඩපාළි කියයි

ආණ්ඩුවකට සම්බන්ධ වනවා නම් එම පක්ෂයට ඇමැතිවරුන් නම් කිරීමේ වගකීම තිබිය යුතු බවත් 2019දී ශ්‍රීලනිප වෙනුවෙන් ඇමැතිවරු පත් කිරීමේදී පක්ෂයට බලයක් නොතිබූ බවත් මෙහිදී පෙන්වා දී ඇති ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, එතැනින් පසුව පක්ෂයට අවශ්‍ය ජාතික මන්ත්‍රි ලැයිස්තු මඟින් මන්ත්‍රිවරු පත්කර ගැනීමට පවා නොහැකි වූ බවත් මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී 58 දෙනකුගේ නම් ඉදිරිපත් කළත් නාමයෝජනා ලැබුණේ 26 දෙනකුට පමණක් බවත් කියා ඇත.

මෙහිදී ජනාධිපතිවරයා නාමයෝජනා අස්සන් කිරීම මෙන්ම මහින්ද අමරවීර, කාල්ටන් නිවෙසට ගොස් නාමයෝජනා අස්සන් කිරීම වරදක් ලෙස පෙන්වා දුන් ජයසේකර ඇතැම් අය ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පක්ෂයේ අනුමැතියක් නොමැතිව ඇමැති ධුර  භාරගෙන තිබෙන අතර මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා ඇමැති ධුර භාරගෙන තිබෙන්නේ ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා අනුව බවද චෝදනා කර ඇත. පෞද්ගලිකව ගිහින් තනතුරු ගත්තා මිස පක්ෂයක් ලෙස පක්ෂය ලැබිය යුතු අයිතිය වෙනුවෙන් සටන් කර නැතැයිද ඔහු චෝදනා මුඛයෙන් ප්‍රකාශ කර තිබේ.

පෞද්ගලිකව දේශපාලන ගනුදෙනු කිරීම නොව පක්ෂයක් ලෙස කටයුතු කරන වැඩපිළිවෙළක් සාදා ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

බෙනට් රූපසිංහ