අත්භූත කතා මවන මිනිසුන් මවිත කරන ඇවිදින පාෂාණ

0
707

ඇමෙරිකා එක්සත් ජනපද හි කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති Death Valley නම් ශුෂ්ක කාන්තාරමය ජාතික උද්‍යානය ලෝකයාට එක්තරා ප්‍රවෘත්තියක නිමිත්තක් වුණා. ඒ දශක කිහිපයකට පසු පෘථිවි මතුපිටින් වාර්තා වූ අංශක 50 ඉක්ම වූ ඉහළ උෂ්ණත්වයක් ඒ ප්‍රදේශයේ පෙන්නුම් කිරීමයි.

මේ රචනාවට ප්‍රස්තුත කරගන්නේ ඊට වඩා පැරණි නො-විසඳුණු ආශ්චර්යවත් සිදුවීමක් යැයි විශ්වාස කළ කාරණයක් අරබයා වන ප්‍රහේලිකාවකට ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සම්බන්ධයෙනි.

මෙම ශුෂ්ක කාන්තාරමය නිම්නයේ ඇති සමහර ගල් යම්කිසි හේතුවක් නිසා මේ පොළොව මත සටහන් තබමින ලිස්සා යමින් තිබෙනවා. එසේ අඩි සිය ගණන් ලිස්සා ගොස් ඇති අවස්ථා ඇත. එවැනි සමහර ගලක් රාත්තල් 700ක් පමණ වෙනවා. මිනිසුන් මේ සංසිද්ධිය වටා විවිධ අද්භූත ප්‍රබන්ධ, ප්‍රවාද ගොඩනඟා තිබෙනවා.

ඊට අමතරව මේ සිදුවීම්වලට හේතුව පිටසක්වළ ප්‍රාණීන් පර්යේෂණ පවත්වන රහස් වැඩ බිමක් නිසා බවද සමහර ප්‍රබන්ධකයන් මීට තවත් මානයක් එකතු කළා. මුල් වකවානුව තුළ විද්‍යාඥයන් මේ සම්බන්ධව විවිධ අනුමාන, විග්‍රහ කිරීම ඉදිරිපත් කර තිබුණත් ඒවා පිළිගත හැකි මට්ටමක  ප්‍රමාණවත් පැහැදිලි කිරීම් වූයේ නැහැ.

මේ වාලුකා නිම්නයේ විටින් විට හමන දැඩි සුළං කුණාටු, බරැති ගලක් වුවත් පෙරළා දැමිය හැකි තරම් බලවත් වුවත් ඉරිතැළුණු රළු මතුපිටකදී නම් මේ ආකාරයේ එලෙස ලිස්සා යෑමේ ඉඩක් නැති බව විද්‍යාගාර ආදර්ශ පරීක්ෂණ මඟින් විද්‍යාඥයන් පෙන්වා දුන්නා. මක්නිසාද රළු පෘෂ්ඨයකින් ඇතිකරන ඝර්ෂණ ප්‍රතිරෝධය වැඩියි.

ඊට අමතරව යම්කිසි චුම්බක බල ක්ෂේත්‍රයක බලපෑමකට මේ පාෂාණ හසුවීම හේතුකොට ගෙන මෙවැනි චලනයක් සිදුවිය හැකිද යන්න විද්‍යාඥයන් අනුමාන කළත් එවැනි චුම්බක ක්ෂේත්‍රයකට ප්‍රතික්‍රියා දක්වන ආකාරයේ පාෂාණමය සංයුතියක්, රසායනික සංයුතියක් මේ ගල්වල නොමැති බව ඔවුන් තහවුරු කර ගත්තා.

ඒ අනුව මේ ප්‍රහේලිකාව විසඳීම සඳහා වෙනත් මානයකට යොමු වීමට විද්‍යාඥයන්ට සිදුවුණා.

වසර 2006දී එක්සත් ජනපද NASA (අභ්‍යවකාශ අධ්‍යයන ඒජන්සිය) ආයතනයේ විද්‍යාඥයකු වූ රැල්ෆ් ලොරේන්ස් වෙනත් ආකාරයේ පරීක්‍ෂණයකට යොමුුවුණා. ඔහු කල්පනා කළා මීට යම් කාලගුණික සංසිද්ධියක් පාදක විය හැකිය කියා. ඔහු මේ සඳහා පර්යේෂණාගාර තුළ ආදර්ශ පරීක්ෂණ කිහිපයක් සැලසුම් කළා. මෙම Death Valley හි භූගෝලීය තත්ත්වය, සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් (Titan) නම් උප ග්‍රහයාගේ හයිඩේ‍රා් කාබනික සංයුතියක් ඇති විලක තත්ත්වයට සමාන යැයි අනුමාන

කළා. ශීත සෘතුවේදී වාතයේ ඇති ජලවාෂ්ප ඝනීභවනය වීමෙන් ඇතිවන පිනි/ජලවාෂ්ප ගල් මත පතිත වී ඒවා පහතට බේරී අනතුරුව මෙම ගල් වටා තැනෙන අයිස් ආස්තරණයක් නිසා (Ice bounded, Ice embedded rocks) බාහිරින් යෙදෙන සුළං ප්‍රවාහයකට වුව අපහසුවකින් තොරව තල්ලුකොට දැමිය හැකි බව පැහැදිලි වුණා. මෙම අයිස් ආස්තරණය (ඝර්ෂණ ප්‍රතිරෝධය අවම කරන) ලිහිසි බවක් මේ ගල්වලට අත්කර දෙන බව මේ ආදර්ශ පරීක්ෂණවලින් පැහැදිලි වුණා.

රළු පෘෂ්ඨයක් මතදී වුවත් එම පෘෂ්ඨය ස්පර්ශ වන සීමාවේ තිබෙන අයිස් ආස්තරය නිසා එම බර වස්තුවට මේ රළු පෘෂ්ඨය මත පාවී යෑමේ හැකියාව (Buoyancy) අත්වන බව ඔහු පෙන්වා දුන්නා.

තවද, ශීත සෘතුවේ මෙම නිම්නයේ මතුපිට පෘෂ්ඨය මත වැටෙන පිනි නිසා නිර්මාණය වන තුනී මඩ තට්ටුව අතිරේක පහසුවක් සලසමින් අයිස් බැඳුණු බරැති ගල් පවා තල්ලු වී යෑමට ඉඩ සලසයි. ඒ අනුව විටින් විට ඇතිවන බලවත් සුළං ධාරාවන් ලබාදෙන තල්ලුව නිසා පොළොව මතුපිට සලකුණු ඇතිකරමින් ලිස්සා ගොස් ඇති බවට අනුමාන කළ හැකියි.

කෙසේ වුවත් බොහෝ මිනිසුන් වඩා කැමැති වන්නේ අද්භූත යමක් පිළිබඳව කුතුහලය පවත්වාගෙන යෑමටයි. ඒ කුතුහලය හෝ අද්භූත බව වටා වන ප්‍රබන්ධ ලෝකයක සැරිසැරීමටයි. ඒවා ඔවුනට ආස්වාදජනක වස්තුබීජ වෙයි. මෙවැනි විද්‍යාත්මක විග්‍රහයක් හෝ බුද්ධිමය අභ්‍යාසයක් තුළින් අත්කර ගන්නා  දැනුම තුළින් ඔවුනට එවැනි ආස්වාදජනක යමක් අත්නොවෙයි. මෙවැනි පැහැදිලි කිරීමකින් භාර ගැනීම නිසා ඔවුන්ගේ ප්‍රබන්ධ ලෝකය බිඳ වැටෙනවා. මිනිසුන් අතීතයේ සිට අබ්බැහි වූ මිථ්‍යා ලෝලීත්වය එසැණින් විද්‍යාත්මක පැහැදිලි කිරීම් තුළින් නිෂ්ප්‍රභ නොවන්නේ ඒනිසයි.

මිථ්‍යා ලෝලීත්වය, මිථ්‍යා අබ්බැහිය සමඟ ජීවත්වීම යනු කෙනකුට තම දදය කැසීම වැනි තාවකාලික එහෙත් ඵල රහිත සැනසීමකි. එහෙත් ඉන් ගැලවීම යනු තම මායා ලෝකය බිඳ හෙළා (ගල් ලෙන බිඳ ලෙන් දොර හැරපියා) කළ යුතු “ඇඟ රිදෙන” අභ්‍යාසයකි. ඉතිං එවැනි “ඇඟ රිදෙන” දේවල් මක්කෙටයි ඇතැමුන් සිතනවා ඇත.

තාරක වරාපිටිය