ශ්‍රී ලංකාව IMF වෙතින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක ණයක් ඉල්ලයි

0
275

විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility) හරහා අවම වශයෙන් ඩොලර් බිලියන 3ක ණය මුදලක් ගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කරමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මූලාශ්‍ර උපුටා දක්වමින් එම පුවත් සේවය මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා රජය ජූනි මස මුලදී IMF සමග තව ත් තාක්ෂණික සාකච්ඡා වටයක් පැවැත්වීමට අපේක්ෂා කරන අතර මේ මස අවසන් වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට බලාපොරොත්තු වන බව මූලාශ්‍ර දෙකක් සඳහන් කළ බව රොයිටර්ස් වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත්, එම පුවත් සේවය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගෙන්, මෙරට මුදල් අමාත්‍යංශයෙන් සහ මහ බැංකුවෙන් කරන ලද විමසීමට නිසි ප්‍රතිචාරයක් හිමි වී නැතැයි එහි තවදුරට ත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ 17 වන IMF සැලැස්ම වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සඳහා මුල් බැස ගත් දුර්වලතා නිවැරදි කිරීමට රටවල් ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීම අවශ්‍ය බව එම අරමුදල පෙන්වා දී තිබේ.

සැලැස්ම අනුමත වූ පසු, ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට වසර 4-1/2ක සහන කාලයක් සහිතව මෙම වැඩසටහන් සාමාන්‍යයෙන් වසර තුනක් ක්‍රියාත්මක කෙරෙන බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව ලබා ගැනීමට අපේක්ෂා කරන අමෙරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දීමට නියමිත කොටසෙන් සිව් ගුණයකට ආසන්න බව එහි සඳහන් වේ.

රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දෙන්නේ, “පුළුල්” ප්‍රතිසංස්කරණ පැකේජයක් සඳහා ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරමින් සිටින නමුත් කුමන ආකාරයේ වැඩසටහනක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ දැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර නොමැති බව ය.