හිටපු බිරිඳට එරෙහි නඩුවෙන් සුපිරි හොලිවුඩ් නළු ජොනී ඩෙප් ජය ගනී: ඩොලර් මිලියන 15ක වන්දියක්

0
2260

සුපිරි හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට එරෙහිව ඔහුගේ හිටපු බිරිඳ වන ඇම්බර් හර්ඩ් මාධ්‍ය ඔස්සේ කළ අපහාසාත්මක හෙළිදරව්වකට එරෙහිව පැවති නඩුවෙන් ජොනී ඩෙප්ට වන්දි ගෙවීමට හිටපු බිරිඳට සිදුවී තිබේ.

අදාළ මාධ්‍ය වාර්තාව හරහා ඇය සඳහන් කර තිබුණේ, ජොනී ඩෙප්ගෙන් තමන්ට ගෘහස්ත හිංසන සිදුවූ බව ය.

අදාළ ප්‍රකාශය හරහා තමන්ගේ කීර්ති නාමයට හානියක් සිදුවී ඇති බව ත්, තමන් ඇය හිංසනයට ලක් නොකළ බව ත් ජොනී ඩෙප් අධිකරණය ඉදිරියේ ඔප්පු කර තිබිණි.

ඒ අනුව, ජොනී ඩෙප්ට සිදුවූ අපහාසයට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් ගෙවන ලෙස ඇම්බර් හර්ඩ්ට අධිකරණය නියෝග කළේ ය.

කෙසේ වෙතත්, ජොනී ඩෙප්ට (වයස අවුරුදු 58) එරෙහිව ගොනු කළ ප්‍රධාන චෝදනා තුනෙන් එකක් ජය ගැනීමට ඇම්බර් හර්ඩ්ට (වයස අවුරුදු 36) හැකි වූ අතර ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 2ක් ඇයට ගෙවන ලෙස ජොනී ඩෙප්‌ට නියෝග කෙරිණි.

2017 වසරේදී දික්කසාද වූ හොලිවුඩ් යුවළ පසු කාලීනව ඔවුන්ගේ අඳුරු විවාහ දිවිය පිළිබඳව එකිනෙකාට චෝදනා කර ගත්හ.

මෙම නඩුව අමෙරිකාවේ වර්ජිනියාහි ෆෙයාර්ෆැක්ස් අධිකරණයකදී සති 6ක් පුරා විභාගයට ගැනිණි.