VAT බදු වැඩිවීම මත්පැන් මිලට බලපාන හැටි

0
859

ඊයේ (මැයි 31) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අගය මත බද්ද (VAT) වැඩි කිරීම හේතුවෙන් මත්පැන් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා පවසයි.

Mawbima.lk කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, ඇතැම් සමාගම් මත්පැන් බෝතලයක මිල රුපියල් 520 කින් සහ බියර් කෑන් එකක මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙලෙස වැට් බදු වැඩි කිරීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යන බව ත් එම ඉහළ යන ප්‍රමාණය නිෂ්පාදකයා නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ මගින් පාරිභෝගිකයාගෙන් අය කළ හැකි බව ත් ය.

මෙය අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් හේතුවෙන් අදාළ ආයතනවලට විකුණුම් මිල තීරණය කිරීමේ නිදහස ඇති අතර ඊට නියාමන ආයතනයක අවසරයක් අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළේ ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දැක්වූ කපිල පෙරේරා මහතා මෙසේ පැවසීය.

“මේ වගේ වැට් බදු වැඩි කරහම නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා නිෂ්පාදකයට පුළුවන් ඒ වැට් බද්ද නිසා වැඩි වූ මිල ඕන ම පාරිභෝගිකයාගෙන් වැඩි කර ගන්න. නැත්නම් කොටසක් අය කරගන්න නැත්නම් අය නොකර තමන් විසින් පාඩුව විඳ දරාගන්න. කැමති නම් පාරිභෝගිකයට එය පටවන්න පුළුවන් නිසා තමයි ඒකට කියන්නේ වක්‍ර බද්ද කියලා. මේ ස්වභාවය නිසා ඒ ඒ ආයතනවල ප්‍රතිපත්තිය අනුව කීයකින් වැඩි කරයිද කියලා”