අය වැය වෙනුවට උත්පාදන ආකෘතියක්

0
77

අලුත් අය වැයක් ගැන සාකච්ඡා කෙරෙමින් තිබේ. 2022 වසරට ඉදිරිපත් කර ක්‍රියාත්මක වෙමින් තිබුණු යෝජනා වලංගු නැති බව ආණ්ඩුවේ ප්‍රකාශය වී ඇත. ක්‍රමය අසාර්ථක වීම සම්බන්ධ බරපතළ විරෝධයක් රට පුරා පවතී. ආණ්ඩුව කරගෙන ගිය ආකාරය පමණක් නොව ආර්ථික අර්බුදය ද ජනතාවගේ නොසතුටට හේතු විය. ආදායම බිඳවැටී ඇති අතර වියදම දැවැන්ත ලෙස ඉහළ නැඟ ඇත. ආසියානු කලාපයේ දියුණු වෙමින් පැවැති, ලෝක ප්‍රජාවගේ අවධානයට ලක්ව තිබුණු රටක් ණය ගෙවාගත නොහැකි තැනට පත්ව ඇති අතර ආසියානු කලාපයෙන් මෙවැනි සිදුවීමක් වාර්තා වන පළමු අවස්ථාව බව දැක්වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ ආර්ථික සහන වැඩපිළිවෙළක් ඉන්දියාව ප්‍රකාශයට පත්කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට සූදානම්ය. ජපානය පුළුල් සහයෝගිතාවක් ඇති කරන බව කියැවේ. යුරෝපා රටවල් සහාය දෙන බව දක්වා ඇත. චීනය සිය ණය අය කරගන්නා ආකාරයත්, රටට දෙන සහාය ගැනත් අධ්‍යයනය කරමින් සිටින බව ජාත්‍යන්තර වාර්තා අධ්‍යයනය කරන විට නිරීක්ෂණය කළ හැකිය. ඉන්ධන නැවක්, ගෑස් තොගයක් මිලදී ගන්නට පමණක් නොව අත්‍යවශ්‍ය ඔෟෂධ සඳහා පවා විනිමය රහිත තැනකට පත්ව ඇති අවස්ථාවක පසුවන අතර ජාත්‍යන්තරයෙන් ලැබෙන බව කියැවෙන එහෙත් ආපසු ගෙවිය යුතු ණය කවර ආකාරයකින් හෝ රටට ආශීර්වාදයක් නොවන බව දැක්විය යුතුය.

අර්බුදය ගැන සඳහනක් කරන අලුත් ආණ්ඩුව

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා රට මුහුණ පා ඇති අර්බුදය ගැන කරුණු දැක්වීය. එය දේශීය හා විදේශීය වශයෙන් ආකාර දෙකකි. අභ්‍යන්තර ව්‍යුහය සලකන පසු රජයේ ආදායම රුපියල් බිලියන 2,300ක් වශයෙන් ඉලක්ක කර ඇති නමුත් එය රුපියල් බිලියන 1,600කට සීමා වනු ඇති බව ප්‍රකාශ කර තිබේ. රජයේ වියදම රුපියල් බිලියන 3,300ක සිට රුපියල් බිලියන 4,000 දක්වා වැඩිවනු ඇතැයි අනාවරණය කර ඇත. අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට දහතුන ඉක්මවනු ඇති අතර හිඟය පියවා ගැනීම සඳහා අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමේ බලය බිලියන 1000කින් වැඩි කරන්නට කැබිනට් අනුමැතිය ලැබී ඇත. නැවත වටයකින් උද්ධමනය ඇතිකරන මෙම පියවර තවත් අනතුරුදායක බව නිසැකය. සියයට තිස් දෙක ඉක්මවා ඇති වාර්ෂික උද්ධමන අනුපාතිකය සියයට හතළිහ දක්වා නංවනු ඇත.

දෙවැනි පැත්ත ජාත්‍යන්තර තත්ත්වයයි. ශ්‍රී ලංකාවේ නිල සංචිත සෘණ ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට ආසන්න බව දැක්වේ. 2019 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.7ක නිල සංචිත තිබුණ ශ්‍රී ලංකාව ඒවා වියදම් කරගෙන ඇති අතර රන් සංචිතයෙන් කොටසක්ද විකුණා ඒවායෙන්ද ආනයන වැය පියවා ගෙන ඇත. මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයටද බාධා මතු වී තිබේ. ඉන්ධන, ගෑස්, ඔෟෂධ ඇතුළු ද්‍රව්‍ය හිඟයටද බලපා තිබේ. කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවලට අවශ්‍ය ආනයනික ද්‍රව්‍ය පාලනය කරන්නට සිදුවී ඇති අතර එය නිෂ්පාදනය පහත වැටෙන හේතුවකි. අපනයනය අංශවලට බාධාවක් වී ඇත. විනිමය හිඟය මත

අධි ඉල්ලුමක් නිර්මාණය වූ අතර අද පවතින විනිමය අනුපාතිකය එයට සාක්ෂියකි. මාස කිහිපයක් තුළ විනිමය අනුපාතිකය දෙගුණ වන එය ජීවන වියදමට බලපා ඇති ආකාරය පවතින ආර්ථික අර්බුදයෙහි ප්‍රතිඵලයකි.

වාණිජ වෙළෙඳපොළ අතර හැර ද්විපාර්ශ්වික ණය

විදේශ සම්පත් හිඟය හේතු කොට ගෙන විදේශ ණය පොලිය හා වාරික ගෙවන්නට අසමත්ව ඇත. විශේෂයෙන් සංවර්ධන බැ¾දුම්කර පියැවීම දුෂ්කර වී තිබේ. ශ්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටුවන අතර ඒවා ආපසු ගෙවන අලුත් ක්‍රමවේද සම්බන්ධ උපදේශක සේවා සැපයීම සඳහා ජාත්‍යන්තර සමාගමක් පත්කරගෙන ඇත. මෙරට ණයවලින් සියයට හතළිහක් වාණිජ ණය බව සැලකේ. මේවායේ වාර්ෂික පොලිය සියයට හය ඉක්මවයි. ණය ගෙවන්නට ණය ගනිමින් සිටි ශ්‍රී ලංකාව එයින් බැහැරවීමෙන් පසු වාණිජ වශයෙන් ණය ගැනීමට ඇති අවස්ථා සම්පූර්ණයෙන්ම ඇහිරී ඇති බව දැක්විය යුතුය.

කෙසේ වෙතත් ද්විපාර්ශ්වික ණය ගැනීමේ ක්‍රියාවලිය නතර කර නැත. ඉන්දියාව ප්‍රධාන සැපයුම්කරු බවට පත්ව ඇත. ඉන්දියාවෙන් ණය සහන, ඉන්ධන සඳහ අරමුදලක් ගැනීම ගැන ඇතැම් වියත්හු හෙළා දකිති. එතැනදී කියැවෙන කරුණු දෙකක් තිබේ. එකක් ඉන්දියානු ආධිපත්‍යයකට හෝ ආක්‍රමණයකට වක්‍රාකාරයෙන් නතු වීමය. අනෙක ආර්ථිකය බිංදුවට වැටී නැඟෙන ජන අරගලයෙන් පසු රාජපක්ෂ කඳවුර පලවා හැරීමට තිබුණු අවස්ථාව අහිමි වීමය. ඉන්දියාවට නතුවීම හෝ රාජපක්ෂ පාලනය පෙරළා දැමීම වෙනම කාරණයකි. මෙම අවස්ථාවේදී දුක්විඳින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සැපයුම් සඳහා පියවර ගත යුතු බව අවධාරණය කළ යුතුය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කුලුනු හතරකින් යුතු වැඩපිළිවෙළක් හ¾දුන්වා දී තිබේ. ණය ආධාර එයින් එකකි. ආයෝජන හා සංචාර අවස්ථා පාදා ගැනීම බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ වගකීමකි. නවදිල්ලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කරුණු දැක්වීම අනුව මෙම ණය පහසුකම් ප්‍රතික්ෂේප කිරීම හෝ එහි න්‍යාය පත්‍රය හ¾දුනාගැනීමට කලින් දුප්පත් ජනතාව ජීවත් කළ යුතුය. බලය අල්ලා ගැනීම වෙනුවට දැවෙන -තැවෙන ජීවිතවලට සහනයක් විය යුතුව ඇත.

බංග්ලාදේශය රටට ආධාර කර ඇත. චීනය, ඉන්දුනීසියාව, ජපානය ඇතුළු රටවල් ණය සහ සහන වැඩපිළිවෙළකට ඉදිරිපත් ව ඇත. බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර දුරකථන සාකච්ඡාවකදී ආධාර ගැන ප්‍රකාශ වී තිබේ. යුරෝපා සංගමය, ඇමෙරිකාව තවදුරටත් ශ්‍රී ලංකාවට ආධාර හා ණය සැපැයිය යුතු අතර එය කෙරෙහි නැඹුරුවක බව ප්‍රසිද්ධ කරයි. මෙම ආධාර රටට සහනයක් වන නමුත් ණය ආපසු ගෙවිය යුතුය. ඒවා ගෙවන්නට නම් ආපසු ඩොලර් උපයාගෙන ශක්තිමත් ආර්ථික සැලැස්මකට ගමන් කළ යුතුය.

විසි එක වෙනුවටට ආර්ථිකය ගොඩනඟන බළකායක්

මෙම තීරණාත්මක අවස්ථාවේදී බලය ගැන දැවැන්ත සංවාදයක් ඇත. පාර්ලිමේන්තුවටද නොඑසේ නම් විධායක ජනාධිපතිවරයාටද යන්න සාකච්ඡා කෙරේ. බලය තිබිය යුතු ජනතාවට හැර අනෙකකුට නොවේ. ජනතාව සිය බලය පවරන්නේ රට සුඛිත මුදිත කරන්නටය. සංවර්ධනය සඳහා තීරණ ගැනීමටය. නොයෙක් හේතු මත සංවර්ධන සැලසුම් පසුගිය කාලයේ ක්‍රියාවට නොනැඟිණි. ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කරන විට විපක්ෂය එකහෙළා විරුද්ධය. එම විපක්ෂය බලයට පත් වූ පසු කලින් ආණ්ඩුවේ යෝජනා ආපසු හරවයි. අලුතින් සැලසුම් හදයි. යහපාලන ආණ්ඩුවේ කෙටි කාලය හා දැන් පවතින ආණ්ඩුවේ කෙටි කාලය සම්පූර්ණයෙන් වැය කරන්නේ පැරණි දේ වෙනස් කර අලුත් දේ යෝජනා කරන්නටය. රට තුළ කිසිවක් සිදුවූයේ නැත.

දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානවල විරෝධතා තවත් පැත්තකි. කිසිම සංවර්ධන යෝජනා ක්‍රමයකට ඉඩ නොදෙන පරිදි දැවැන්ත පවුරක් වී ඇත. වෘත්තීය සමිති විරෝධතා හෝ සිවිල් සංවිධානවල මතිමතාන්තර එරෙහිවීම ආණ්ඩු විරෝධයක් බවට හරවා ගැනීම වරදකි.

ඇමෙරිකානු ආධාර වැඩසටහන ප්‍රතික්ෂේප කළ එයින් විශාල විනාශයක් වන බවට කරුණු දැක්වූ ඇතැම් විද්වත්හු අද පොදු ප්‍රවාහනය නංවන්නටත් එයට සහන දිය යුතු බවටත් යෝජනා කරති. දුම්රිය නැංවීම යහපත් අදහසකි. කෝච්චියක් ගන්නට විනිමය නැත. මේවා කරන්නේ කෙසේද? සැහැල්ලු දුම්රිය යෝජනාවක් සඳහා ණය සපයන්නට ජපානය ඉදිරිපත්ව සිටියේය. එය වසර හතළිහකට පසු ගෙවිය යුතු අඩුම පොලියක් සහිත ව්‍යාපෘතියකි. එය එපා කී මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් අද පත්ව ඇති ඉරණම ගැන වගකිවයුතුව තිබේ. විනිමය හිඟයක් එන බව මැනැවින් අවබෝධ කරගෙන සිටි මහ බැංකුවේ මූල්‍ය පාලන මණ්ඩලයේ සිටි ඇතැම් චරිත ඒ බව නොසලකා ගත් තීරණ අද විශාල අවහිරයකි. දේශපාලනඥයන්ට ගරහන අතරවාරයේ නිලධාරීන්ගේ හා අනුවණ උපදේශකයන්ගේ වැරදි ගැන නොසලකා හැරීම සුදුසු නැත. මේවා ගැන පශ්චාත්තාපයකින්, පාපෝච්චාරණයකින් පසු නැවත අලුත් සැලැස්මකට යා යුතුය.

ව්‍යවස්ථා අවශ්‍යය. ඒවායේ වෙනස්කම් ප්‍රජාතන්ත්‍රවාදයට ශක්තියකි. 1994 වසරේ සිට ව්‍යවස්ථා සංශෝධනය කරන්නට මහන්සි වූ දේශපාලනය ආර්ථිකය ගොඩනඟන බලවේගයක් වශයෙන් එක්සත් කළ යුතුව තිබිණි. එවැනි පරිසරයකින් ශ්‍රී ලංකාව ඉහළ ආදායම් මට්ටමක් ඇති රටක් වනු ඇති අතර අද පවතින

දුෂ්කරතා පිටුදකින බව නිසැකය. අභාග්‍යය අලුත් පැති නොදැකීම වන අතර හණ මිටි කර ගසාගෙන යන සුළු පිරිසකට මුළු මහත් සමාජයක් මුළා කළ හැකිව තිබේ.

විසර්ජන පනතකින් ණය ගන්නා ආණ්ඩුව

පසුගිය වසරේ අය වැය යෝජනා හා සසඳන විට මතු වී ඇති ආදායම් හිඟය පාලනය කිරීම පහසු නැත. අගමැතිවරයා පුනරාවර්තන ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. රු. බිලියන 695ක ඇස්තමේන්තුවක් බව සඳහන්ය. සති දෙකකට කලින් රු. බිලියනයක මුදල් අච්චු ගහන්නට අවසර ගන්නා ආණ්ඩුව මෙම අවුරුද්දේ ඉතිරි කාලයේ දී රුපියල් බිලියන හයසිය අනූපහක් අතිරේක වියදමක් දරන්නට සූදානම්ය. මෙම ධනය ලැබෙන්නේ කොතැනින්ද? උත්පාදනයක් රහිත ආර්ථිකයකින් පැවැත්මක් නැත. රටට ආධාර කරන රටවල්, ණය දෙන ආයතන බලන්නේ රට ගොඩනඟන වැඩපිළිවෙළ ගැනය. ලෝකයේ වෙනත් රටකින් සැලැසුම් හදන්නට කලින් අපට ගැළපෙන සැලැස්මක් හදාගැනීම වැදගත්ය.

දැනට වාර්තාවන පරිදි ආදායම් බදු වැඩි කෙරේ. බදු නංවනු ඇත. වැට් බද්ද වැඩි කරන්නට යෝජනා වී ඇති බව දැක්වේ. විදුලි සන්දේශ බදු නංවනු ඇති අතර සූදු බදු ඉහළ දමනු ඇත. කැබිනට් මණ්ඩලය එයට අනුමැතිය පළ කර ඇත.

වැට් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට අටක පමණ ප්‍රතිශතයක් දක්වා පහළට වැටී ඇත. එය සියයට 15 දක්වා නංවා ගැනීම අවශ්‍ය බව දැක්වේ. බදු සියයට සියයකින් නංවන පසු පාරිභෝගිකයන්ට අත්වන ඉරණම කුමක්ද? අතුරු විපාකවලට ගොදුරු වෙන්නේ සාමාන්‍ය ජනී ජනයා බව නොරහසකි. 2021 අවුරුද්දේ අය වැය හිඟය සියයට 12.5කි. 2022 අය වැය හිඟය සියයට දහතුනක් විය හැකි බව දැනට ප්‍රකාශ වී තිබේ. මෙම හිඟය පියවන්නට බදු අය කරන පිළිවෙළ වෙනුවට ධනය උත්පාදනය කරන සැලැස්මක් රටට අවශ්‍යය.

අලුත් ආණ්ඩුව කළ යුතු පරිවර්තන යෝජනා

ක්‍රමයෙහි පරිවර්තනයක් අවශ්‍යය. රට තුළ කර්මාන්ත හා ව්‍යාපාර බහුල කරන ක්‍රියාවලිය ආරම්භ කළ යුතුව තිබේ. නිෂ්පාදනයට උපකාරී වන සහ ආයෝජන දිරිගන්වන යෝජනා රටට ඉදිරිපත් කිරීම අවශ්‍යය. සංචාරක කර්මාන්තය ඉක්මනින් විනිමය උපයන අංශයකි. ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් එහි නිරතය. දේශීය නිෂ්පාදන හා ශිල්පීන්ට කෙළින්ම ආදායමක් ලැබෙන එකකි. පසුගිය මාසයේ රටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය නවසියයකි. එය කිසිසේත් වටිනා ඉලක්කමක් නොවේ. රට තුළ පවතින තත්ත්වය සංචාරක කර්මාන්තයට සුදුසු නැත. විරෝධතා, කැරලි හා අහිතකර ප්‍රචාර සංචරණය වළකයි. එය රටට අහිතකර ක්‍රියාවලියක් බව දැක්විය යුතුව තිබේ.

දෙස් විදෙස් ව්‍යවසායකයන්ට ධනය යොදවා ව්‍යාපාර ආරම්භ කළ හැකි පරිදි අලුත් නීති සකස් කර දිය හැකිය. රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබියදී වාණිජ බැංකු අත්පත් කරගෙන ඇති ලාභ දෙස බලන්න. බිලියන ගණනින් ලාභ ඉහළ නැඟ ඇත. මෙම ලාභයෙන් සුපිරි කොටසක් රජයට අත්පත් කර ගන්නට අය වැයෙන් යෝජනා කළ බව මතක තිබිය යුතුය. මෙම බද්ද ආයෝජන දිරිගන්වන එකක් නොවේ. වාණිජ බැංකු සිය වත්කම්වලින් ප්‍රතිශතයක් නැවත ආයෝජනයට වෙන් කරන්නට අවශ්‍යය. එය අලුත් රාමුවකින් ආර්ථිකය ප්‍රසාරණය කරනු ඇති අතර රටට වැදගත් මෙවැනි පියවරකට යොමු කිරීමය. ලාභය ආණ්ඩුවට පවරාගෙන ජනතාවට සහන බෙදාදීම නුසුදුසුය. එවැනි තීරණ සඳහා ආණ්ඩුව අලුත් අණ පනත් සම්මත කිරීම වහාම ගත හැකි පියවරකි.

ශාමින්ද වත්තේගෙදර