අතුරුදන් වූ දෙදරු මවගේ සිරුර මහවැලි ගඟේ

0
23

දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලි ගඟේ තිබී පෙරේදා (30දා) හමු වූ බව නාවලපිටිය පොලිසිය පැවැසීය.

මහවැලි ගඟේ තිබී මෙසේ හමුවූයේ නාවලපිටිය ගෝනාවල පතන ප්‍රදේශයේ පදිංචි නිරංජලා දමයන්ති නමැති 38 හැවිරිදි දෙදරු මවගේ සිරුරයි. මියගිය දෙදරු මව ඉකුත් 27දා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන සිය මව බැලීමට යන බව පවසා නිවෙසින් බැහැර වී ඇති බවත් නැවත ඇය නිවෙසට නොපැමිණි නිසා පවුලේ ඥාතීන් මේ පිළිබඳව නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මහවැලි ගඟේ නාවලපිටිය කිතුල්කොට ප්‍රදේශයේ නාඳුනන කාන්තා මළසිරුරක් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරක් මත නාවලපිටිය පොලිසිය සිරුර ගොඩගැනීමෙන් පසු එය අතුරුදන්ව සිටි කාන්තාවගේ සිරුර බව ඥාතීන් විසින් හඳුනාගන්නා ලදහ.

ගොඩගත් සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් නයනානන්ද අලුත්ගමගේ මහතා ස්ථාන පරීක්ෂාව කිරීමෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නාවලපිටිය පොලිසියට නියෝග කළේය.

නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි