හඬා වැලපෙන්නට කඳුළු ඉතිරිව නැත

0
82

ශ්‍රී  ලංකාව ධර්මද්වීපය, ධාන්‍යාගාරය යන විරුදාවලීන්ගෙන් හැඳින්විය හැකිව තිබූ යුගය අවසනය. දැන් මේ රටේ ධර්මය වෙනුවට අධර්මය රජයන්නට පටන්ගෙනය. ධාන්‍ය කෙසේ වෙතත් තවත් ටික කලකින් එදා වේලවත් හොයාගන්නට බැරි වෙන තැනට කටයුතු යෙදිලාය. මේ අප කියන්නට යන්නේ රටට සිදුව ඇති විපත ගැනම නොව රටේ ජීවත්වන මිනිසුන්ගේ පපු කැවුතුවලට සිදුව තිබෙන වින්නැහිය ගැනය. මිනිසුන්ගේ කීවට සමාවෙන්න. නොමිනිසුන්ගේය. අපරාධකාරයන්ගේය. රටට තබා ජීවිතයටවත් ආදරය නොකරන තිරිසනුන්ගේ, පාහරයන්ගේ ඩෙඟා නැටිල්ල ගැනය මේ කියන්නේ.

ෆාතිමා අයිෂා අක්‍රම් නව හැවිරිදිය. ඇය අටුලුගම ගස්සාලි මහ විදුහලේ 04 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටියාය. ඉකුත් මැයි 27දා ඇය නිවෙසට වී සුපුරුදු පරිදි පන්තියේ පාඩම් වැඩක නිරතව සිටියාය. ඉගෙනීමට හපන්කම් පෑ දැරියකව සිටි ෆාතිමාට අඬ ගසා දහවලට උයන්නට කුකුළු මස් ටිකක් ගෙන එන්නැයි ඇගේ මව ඇය අසල කඩයකට යවා ඇත. අපේක්ෂා කළ පරිදි නියමිත වේලාවට ඇය ආපසු ගෙදර ආවේ නැත. ෆාතිමා දැරියගේ ඉරණම ගැන තීන්දුව ලියවෙන්නේ එතැන්පටන්ය.

එයින් පසු ෆාතිමාට සිදුවූයේ කුමක්දැයි අද අප පත්‍රයේ තුන්වැනි පිටුවේ සවිස්තරව පළවෙයි. එහෙත් මේ මරණය තවමත් අබිරහසකි. සමහරවිටෙක මේ අපරාධය කළ වුන් කවුරුදැයි මේ සටහන කියවමින් සිටින මොහොතේ හෙළිවෙමින් තිබිය හැකිය. අපරාධකරුවාට වැඩිකල් සැඟවී  සිටින්නට නොහැකිය. නව තාක්ෂණයේ සාක්ෂිකරුවා ඊට ඉඩප්‍රස්තා සලසන්නේ නැත. ඇසූ දුටු සාක්ෂි නැති අපරාධ වුවද හෙළිදරව් වන කාලයකි මේ.

සවිමත් විය යුත්තේත් විධිමත් විය යුත්තේත් නීතියයි.

මේ රටේ ම්ලේච්ඡ ඝාතකයන්ගේ ගොදුරු බවට පත්වූයේ ෆාතිමා පමණක් නොවේ. මෙබඳු කුරිරු ඝාතන කිහිපයක වරදකරුවෝ මේ සටහන ලියන මොහොතේත් එල්ලා මැරිය යුතුය යන අධිකරණ නියෝගය ලබා තවමත් සිපිරි මැදිරිවල කල් ගෙවති. එහෙත් පුදුමය ඒ ගොඩට එකතුවන්නට තවත් අය සූදානම්ව සිටීමය. විය යුත්තේ මේ කුරිරු අපරාධ මිහිපිටින් තුරන්ව යෑමය. කනගාටුව එය සිදුවන දිනය තව තවත් පස්සට යෑමය.

අතීත සිදුවීම් එමටය. එයින් දෙකක් පමණක් පුනරාවර්ජනය කරන්නේ මේ බිහිසුණු විපත් දැන් දැන් බොහෝ දෙනාට අමතකව ඇතැයි සිතෙන බැවිනි. 1999 ඔක්තෝබර් 08දා අට හැවිරිදි සදීප ලක්ෂාන් කුරිරු ලෙස ඝාතනය කළේය. ඝාතකයා ප්‍රේමයෙන් පරාජය වී, තමා මැරයකු බව අහිමි පෙම්වතියට හඟවන්නට ලක්ෂාන් බිල්ලට ගත්තේය. ඒ කුරුලු පිහාටු දෙන බව කියා රවටාගෙන කැටුව ගිහින්ය.

2005 වර්ෂයේ සැප්තැම්බර් 11දා සේයා සදෙව්මි පස් හැවිරිදි දැරිය ඝාතනය කරන්නේ තවත් කුරිරු මුරුගයෙකි. දැරියගේ මව කෙරෙහි කාමාතුරව ඇයගේ විරෝධතාවට ප්‍රතිචාර දක්වනුයේ සේයා දැරිය පැහැරගෙන ගොස් මරා දැමුවේද අමු තිරිසනෙකි. දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකයට පාත්‍රව අත්අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන් සිද්ධියට හවුල්වෙලාවත් නැත. ඒ මේ රටේ එවකට අපරාධ පරීක්ෂණ කටයුතුවල නියුක්තව සිටි උදවියගේ දුර්වලතාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි වගකිවයුතු රාජ්‍ය ආයතනවල වගකිවයුතු දක්ෂ නිලධාරීන් නියෝජනය විය යුතු වන්නේ එය මේ රටේ සමස්ත පුරවැසියන්ගේ ජීවිත සමඟ කරන බරපතළ ගනුදෙනුවක්ම ඇති නිසාය.

ෆාතිමා ඝාතන සිද්ධියේ අපරාධකරුවන් වහා නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා කඩිනමින් පියවර ගැනීමේ වැදගත්කම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේද අවධානය යොමු වී තිබේ. මේ මොහොත පටු වාද භේද අකා මකා දමා කවුරු කවුරුත් එකාවන්ව කටයුතු කළ යුතු මොහොතකි. දැරිය අතුරුදන්ව ඇති බව දැනගත් මොහොතේ සිට බණ්ඩාරගම පොලිසිය කළ කැපවීම ප්‍රදේශයේ බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍රව තිබේ. මේ මොහොතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද සිද්ධිය සම්බන්ධයෙන් යුහුසුලුව පරීක්ෂණ කටයුතු මෙහෙයවති. අපට දැනට කියන්නට ඇත්තේ මේ මරණය අබිරහසක් බවය.

ෆාතිමා දැරියගේ මරණය ඝාතනයක් බවට පොලිසිය හා ජනතාව සැකකරන නමුත් ඒ සම්බන්ධව නිසි තොරතුරු හෙළි කරගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුවය. ඊයේ මෙම සටහන ලියන මොහොත වන විටත් එහි ප්‍රතිඵල ලැබී තිබුණේ නැත. කෙසේ වෙතත් අදාළ පරීක්ෂණය අද දක්වා කල් දමා ඇති බවද වාර්තා වී තිබිණි.

දැරිය කුකුළු මස් ගෙන එන්නට ගිය කඩේ ළඟ සිට නිවෙසට පැමිණෙන මාර්ගය අනුව මළ සිරුර හමුවන්නේ එයින් පිටස්තර කැලෑබද වගුරු බිමකින්ය. මළ සිරුර එහි ගිල්වා සඟවා තිබිණි. දරුණු කුරිරු අපරාධයක් බවට සලකුණු බොහෝය.

අපරාධකරුවාගේ අරමුණු හෙළිදරව් කරගන්නට තවත් කල්ගත විය හැකිය. එහෙත් අපරාධකරුවා වහා සොයාගත යුතුව ඇත. ඔහුට සැඟවෙන්නට හෝ පලායන්නට ඉඩ නොතැබිය යුතුය. සොඳුරු මල් කැකුළක් තළා පෙළා පොඩිකොට, මඩ ගොහොරුවක යටකර දමන්නට තරම් කුරිරුකම් පෑ සාහසිකයාට ගැලවී යන්නට ඉඩ නොතැබිය යුතුය. මෙබඳු අපරාධකරුන් වහා මිහිපිටින් අතුගා දමනතුරු සාමකාමී නිදහස් රටක් බිහිකිරීම සදාකාලික සිහිනයක් වනු නොවැළැක්විය හැකිය.