21 රකින්න අනුර මැදිහත් වෙයි

0
111

ඉදිරිපත් කර ඇති 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජවිපෙ යෝජනා කිහිපයක් ඉදිරිපත්  කිරීමට  සූදානම්  බවත්. එය හුදු රැවටිල්ලක් බවට පත්වන සංශෝධනයක් වීමට ඉඩ නොදෙන බවත්  එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර  දිසානායක  අවධාරණය කළේය

පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී පක්ෂයේ සංශෝධන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බවද ජවිපෙ නායකයා පැවැසීය. “බල සූදුවේ එක් එක් අවස්ථා වෙනුවෙන් එක් එක් වගන්ති වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වුවත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අප හමුවේ තිබෙනවා.  විවිධ අවස්ථාවල කෑලි කපා අමුණා අටවා තිබෙන මෙම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කොට පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ගෙන ආ යුතුයි. නමුත් මේ පාලකයන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව අපි දන්නවා.

පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේ අධිකරණ ඇමැතිවරයාත් ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළේ වසරක් ඉකුත්වීමට මත්තෙන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවයි. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඉල්ලනවා වගේ මේ පාලකයන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න උත්සාහ නොකරන බව අපිට පැහැදිලියි. ඒ අනුව තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගැනීමේ දිශාවට සංශෝධනයක් ගෙන එන්නේ නම් අපි පක්ෂපාතී වනවා.

දැන් 21 වැනි සංශෝධනය ගෙන එන විටත් ගෝඨාභය රාජපක්ෂගේ බලය තහවුරු කර ගැනීමේ වුවමනාව පැහැදිලියි. ඒ නිසා අපේ යෝජනාව වන්නේ 19 වැනි සංශෝධනයේ තිබූ පරිදිම ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධුරයක් දැරීමට නොහැකි විය යුතුයි. ඒ වගේම මන්ත්‍රිවරුන් එක් පක්ෂයකින් තේරීපත් වී තවත් පක්ෂවලට මාරුවීම විසින් විශාල වියවුලක් නිර්මාණය කර තිබෙනවා. එයද වෙනස් විය යුතුයි.

ජනාධිපතිවරයාට සමාව දීමේ බලය ලබාදීම, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණු, මන්ත්‍රිවරුන්ගේ වත්කම් විගණනයට භාජන වීම ඇතුළු කරුණු ඒ වගේම 21 වැනි සංශෝධනය හරහා ලැබෙන අතිරේක බලයක් දරන අග්‍රාමාත්‍යවරයෙක් ලෙස වගකීම් දැරීමේ අයිතියක් නැහැ. ඒ නිසා මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී අන්තර්කාලීන විධිවිධානයක් ලෙස වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධ සීමාවක් ඇතුළත් කළ යුතු බව ඇතුළත් කර මේ පාර්ලිමේන්තුවේ ධුර කාලය කෙටි කළ යුතුයි වගේම අමාත්‍යාංශ ලේකම්වරුන් ව්‍යවස්ථා මණ්ඩලය මඟින් පත්කළ යුතුයි කියන යෝජනාව ඇතුළු  යෝජනා ගණනාවක් 21වැනි සංශෝධනයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ යෝජනා මූලික කරගනිමින් තවත් යෝජනා පිළිබඳව අපි සාකච්ඡා කරමින් තිබෙනවා. 21 වැනි සංශා්්ධනය සම්බන්ධයෙන් අපේ මේ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා” යැයිද මන්ත්‍රිවරයා  වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත්