හාස්කම් පිරුණු  ලංකාවෙ පුංචිම පුංචි  දේවාලය සොයා ‘මව්බිම’ ගිය ගමන

0
167

පැරණි සිරිලක ඇතැම් රජවරුන් දඹදිවින් ගෙන්වා ගත් කුමාරිකාවන් තම අගමෙහෙසි තනතුරෙහි තබාගත් බවද ඔවුන්ට වන්දනාමාන කිරීම සඳහා දේවාල ඉදිකළ බවද කියැවේ. කල්යත්ම මෙරට බෞද්ධයන් අතරද දේව වන්දනාව ප්‍රචලිත වූයෙන් නොයෙක් දෙවිවරුන් උදෙසා දේවාල ඉදිවිය.

අද ආගම් භේදයකින් තොරව බොහෝ දෙනකු වන්දනාමාන කරන ප්‍රධාන දේවාල කිහිපයක් වෙයි. කතරගම රුහුණු මහා දේවාලය, රත්නපුර මහ සමන් දේවාලය, අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය, නවගමුව පත්තිනි දේවාලය, කැලණිය විභීෂණ දේවාලය, බෙල්ලන්විල විෂ්ණු දේවාලය සහ හලාවත මුන්නේශ්වරම් දේවාලය ඒ අතරින් වඩාත් ප්‍රචලිතය.

මහජනයා අතර ප්‍රචලිතව නැතත් ප්‍රධානතම දේවාල අතරින් මුල් තැන්හි ලා සැලකිය හැකි තවත් සුවිශේෂී දේවාලයක් මා ඔය අසබඩ පිහිටා ඇත. ඒ වූ කලී මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩගහපත්තුව කෝරලයේ මදුරුපිටියේ, කෙටේවත්ත ටැම්පිට සත් පත්තිනි දේවාලයයි.

ගල් කණු මත පිහිටුවා ඇති, නුවර යුගයට අයත් බව කියන දේවාලය උසින් අඩි 8ක් පමණද දිගින් අඩි 7ක් පමණද පළලින් අඩි 5ක් පමණද වෙයි. මෙහි පාදම සකසා ඇත්තේ ලීයෙනි. බිත්ති නිමවා ඇත්තේ, මැටියගනේ ප්‍රදේශයෙන් ගෙන ආ බව කියන විශේෂ මැට්ටකිනි.

දේවාලයේ උළුවස්සේ එය පුරාවිද්‍යා ස්මාරකයක් බව සටහන් කර ඇත.

මේ දේවාලයේ ඉතිහාසය වළගම්බා සහ ගජබා රජ සමය දක්වා අෑතට දිව යයි. වංකනාථ තිස්ස රාජ සමයේ (ක්‍රි.ව. 109-112) ඇති වූ සොළී ආක්‍රමණයේදී කරිකාලන් නමැති සොළී රජ සිංහලයන් 12,000 දෙනකු ඉන්දියාවට රැගෙන ගිය බව සඳහන්ය. ක්‍රි.ව. 112-135 අතර කාලයේ මෙරට රජකම් කළ ගජබා රජු ඉන්දියාවේ මදුරාපුරයට ගොස් සිංහලයන් 12,000 දෙනාට අමතරව සොළීන් 12,000 දෙනකු ලංකාවට ගෙන ආ බවත් එසේ පැමිණි පිරිවර සමඟ පත්තිනි සලඹ ඇතුළු දේව ආභරණ, දේව රූප, දේව පිළිම ආදියද රැගෙන ආ බවත් කියැවේ.

මදුරාපුරයේ සිට පැමිණි පිරිස අනුරාධපුර ජය ශ්‍රී  මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි මහ සෑ රදුන් වන්දනාමාන කිරීමෙන් අනතුරුව දේව බඩුබාහිරාදිය ද රැගෙන රුවන්වැලි මහ සෑ රදුන්ගේ දකුණු පස දොරටුවෙන් පිටත් වූ බව පුරාවෘත්තවල කියැවේ. මෙසේ පිටත් වූ පිරිස ගංගා, ඇළ, දොළ පසුකරමින්  මොරුගම, පඹදෙණිය, පරමාඋල්ල, රෑනගල, ගල්වාරම ආදී ස්ථානවල නවාතැන් ගෙන ඒ ඒ ස්ථානවල දේවාල ඉදිකර තිබේ.

යත්තල්ගොඩ ප්‍රදේශයේ පන්සලකද මේ පිරිස නවාතැන් ගෙන ඇති බව කියැවේ. අධික වර්ෂාවක් පැවැති බැවින් ඔවුන්ට මාස තුනක් පමණ යත්තල්ගොඩ රැඳී සිටීමට සිදුව ඇත. පන්සල් වත්තේ තිබූ ඔරුවක ආකාරයෙන් වූ කුඹුක් ගසක් කපා එයින් ඔරුවක් සාදා එහි නැඟී කෙටේවත්ත තොටුපොළට පැමිණ එහි නවාතැන්ගෙන ඇති බවද කියැවේ. මා ඔය අසබඩ පිහිටි මනස්කාන්ත ගල් තලාව මත මේ පිරිස නවාතැන් ගෙන රාත්‍රි ආහාරයද ගෙන ඇත. ලංකාවේ පහළට ගෙන යෑමේ අදහසින් වැඩම කර වූ පත්තිනි සලඹ මෙම ස්ථානයේ තිබූ කඩුම්බේරියා ගසක සකස් කරන ලද මැස්සක තැම්පත් කර ඇති බව ජනප්‍රවාදයේ එයි.

පසුදින අවදි වී බලන විට පත්තිනි සලඹ කඩුම්බේරියා ගසට පෑහී ඇති බව ඔවුන් දැක ඇත. මේ පුදුමය දැක වික්ෂිප්ත වූ පිරිසට දේවතාවකු නුඹලා මෙහි සලඹ තැම්පත් කර යා යුතු බව කී බැවින් මෙම ස්ථානයේ කුඩා දේවාලයක් ඉදිකර සලඹ එම ගල්තලාවේ තැම්පත් කළ බවද කියැවේ. ඔරුවෙන් ගෙනා කෙටේරියකින් කඩුම්බේරි අත්ත කපා සලඹ ගැනීම නිසා මේ ස්ථානයට කෙටේවත්ත යන නම බැඳී තිබේ.

එදා ගජබා රජු සමඟ මදුරාපුරයෙන් පැමිණි පිරිස නතර වූ ප්‍රදේශය මදුරුපිටිය නම් වූ බව පැරැන්නන්ගේ විශ්වාසයයි. “ම” යන්නෙන් වාසගම පටන් ගැනෙන මංචනායක රාලලාගේ, මංචනායක පතිරත්නෙහෙලාගේ, මදුරප්පෙරුම, මදුරප්පුලිගේ ආදී වාසගම් ඇති අය අදද මේ ප්‍රදේශයේ වෙසෙති.

මදුරුපිටිය, කෙටේවත්ත සත් පත්තිනි දේවාලයෙහි වර්තමාන භාරකාරත්වය දරන ධර්මසේන පතිරණ කපුමහතා අපට මෙසේ පැවැසීය.

“ඒ කාලේ මේ දේවාලය පූජනීයත්වයෙන් සලකලා තියෙනවා. අපි කරන්නේ දෙවියන්ගේ පිහිට ලබාගැනීමට කන්නලව් කිරීමයි. දවසක් දෙයියෝ මට ඔයටම විසි වෙන්න ගැහුවා. ඒ දවස මට හොඳට මතකයි. මම දේවාලෙට එන ගමන් හිටියේ. ඒ වෙලාවේ මඟ හිටිය ගැහැනු කෙනෙක් මට කිව්වා, එයාගෙ ළමයට නූලක් දාගන්න ඕනෑ කියලා. මම දේවාලෙට ඇවිල්ලා නූල හරි ගස්සලා දුන්නා. ඒ ගෑනු කෙනා කිව්වා, කපුමහත්තයාම නූල දානවා නම් හොඳයි කියලා. මම ඊට පස්සේ නූල දානකොට පොඩි අමුත්තක් දැනුණා. මට එදා කියන්න බැරි අසනීපයක් හැදුණා. මම නූල දාලා ආවට පස්සේ මට දැනගන්න ලැබුණා කලින් දවසේ ඒ ගෙදර මල්වර උත්සවක් තිබුණු බව. මම දැනගත්තා මාව කිල්ලට අහුවෙලා කියලා. ඉතින් මම ඇවිත් දේවාලේ පහන් තියලා යන්න හැදුවා විතරයි, මට වේගයෙන් අදෘශ්‍යමාන පහරක් එල්ල වුණා. මම පෙරළිලා ගිහිල්ලා ඔය පල්ලමට පෙරළුණා. ගොඩක් තුවාලත් වුණා.

මාස 5ක් ගිහිල්ලා කිල්ල ඇරෙනකං තුවාලේ හොඳ වුණේ නෑ. මේක තමයි මට දුන්න පළමු දඬුවම.

ඒ වගේ මෙතැන හාස්කම් සිදුවෙන තැනක්. මනුස්සයෙක් ඇවිත් මෙතැන නුග වැලක් කපලා තිබුණා. ඒ මනුස්සයට නුග වැලෙන් බහින්න ලැබිලා නෑ. මැරිලා වැටිලා තියෙනවා.

සමහර ආතුරයෝ මෙතැනට එන්නේ හූ කියාගෙන. මම දෙහි ටිකක් කැපුවාම සනීපයි. මහත්තයෝ මේ භූමියේ ඉන්නවා කියන්නේ ගිනි කාලි මෑණියෝ. එයා බොහොම සැරයි.

මෑතකදී සිදුවුණු හාස්කමක් ගැනත් මම කියන්නම්. මධ්‍යම අධිවේගී මාර්ගය හදනකොට ගල් විදින කටුවක් ගලේ හිරවෙලා තියෙනවා. එකේ තියෙන්නේ දියමන්තියක්ලු. මේක ගන්න යන්ත්‍රසූත්‍ර බර ගානක් ගෙන්නුවා. වැඩකාරයොත් ගෙනාවා. ඒත් වැඩක් වුණේ නෑ. ඊට පස්සේ ගමේ අය ඉන්ජිනේරු මහත්තයට කියලා තියෙනවා කෙටේවත්ත දේවාලයට යන්න කියලා. එයා ආවා. මම තදින් යාතිකා කරලා පඬුරක් ගැට ගැහුවා. එදා හැන්දෑවේ ඒ මහත්තයා ආයෙත් දේවාලයට ඇවිල්ලා  මට වැඳලා කිව්වා විදින කටුව ගන්න පුළුවන් වුණා කියලා. එයලා එතැන පාලම  හදලා මට සඩංගම් පූජාවක් තිබ්බා. ඒ මහත්තයා කිව්වා මම කොහේ ගියත් වැඩ පටන් ගන්නෙ දේවාලෙ මතක් කරලා කියලා.”

මේ දේවාලය ලෝකයෙන්ම කුඩා දේවාලය බව පුරාවිද්‍යා සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. මේ ළඟදිත් විශ්වවිද්‍යාලයකින් කට්ටියක් ආවා. එයාලා මේ දේවාලය මැන්නා. මැනලා කිව්වා මේක තමයි කුඩාම එක කියලා. මේක ලෝක උරුමයක් හැටියට නම් කළ යුතුයි. දේවාලයට එන අය මෑණියන්ට ගරු කිරීමක් හැටියට ඔළුව පාත් කරලා යන්න ඕනෑ නිසයි උළුවස්ස කුඩා කරල හදල තියෙන්නෙ. පුරාවිද්‍යාවෙන් මේ දේවාලයේ වහල සකස් කරලා තියෙනවා. පුරාවිද්‍යා සලකුණුවල හැටියට දේවාලේ වර්ගඵලය හතරැස් අඩි 40යි. මේ දේවාලය ස්මාරකයක් හැටියට තමයි නම් කරලා තියෙන්නේ. මේ දේවාලේ පාලනය කරන්න භාරකාර මණ්ඩලයක් ඉන්නවා.”

හන්දුරුමුල්ල ප්‍රදේශයේ සිට දෙවි පිහිට පතා පැමිණි ඩී.ඒ. සුමනදාස (63) මහතා අපට මෙසේ කීවේය.

අපි මේ දේවාලේ ගැන අහලා තියෙන්නේ පත්තිනි කන්නලව්වෙන්. මේ දේවාලය ගොඩක් හාස්කම් තියෙන තැනක්. මගේ පුතාට රැකියාවක් නැතිව හිටියේ. අපි ඒකට බාරයක් වුණා. මාසයක් යනකොට පුතාට රැකියාවක් හම්බවුණා. දැන් පුතා ඉන්නේ කොරියාවේ. ඊට පස්සේ අපි වාහනයක් ගන් බාරයක් වුණා. අපිට දෙයියන්ගේ පිහිටෙන් මේ වාහනය ගන්න පුළුවන් වුණා. අපි ඒ වාහනෙන් තමයි අද බාරේ ඔප්පු කරන්න ආවේ.

මාදුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ගොවිමහතකු වන නිහාල් මහතා අප සමඟ මෙසේ පැවැසීය.

“ඇත්තටම මේ දේවාලයේ හාස්කම් තියෙනවා. ඉස්සර කාලේ ඔය දේවාලේ කැලේට යට වෙලා තමයි තිබිලා තියෙන්නේ. අපේ මහප්පා වත්තේ වැඩ කරලා වැස්සට දේවාලෙ ලෑලි තට්ටුව උඩ ඉඳගෙන ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ මහප්පා කියලා තියෙනවා අද දෙයියෝ නෑ කරවල ගේන්න මන්නාරම් ගිහිල්ලා කියලා. මහප්පා එදා හැන්දෑවේ ගෙදර ආවා විතරයි නැඟිටින්න බැරුව බඩඑළිය ගියා. පස්සෙ අන්තිමට අත්තා දේවාලයට බාරයක් වුණහම තමයි සනීප වෙලා තියෙන්නේ.”

කෙටේවත්ත  සත් පත්තිනි දේවාල භාරකාර මණ්ඩලයේ සභාපති චන්ද්‍රසේන මංචනායක මහතා මෙසේ පැවැසීය.

වරින් වර කපුමහත්වරු වෙනස් වුණත් භාරකාර මණ්ඩලය වෙනස් වුණේ නෑ. මේ දේවාලය ගැසට් කළා කිව්වට තවම අපිට මේ පිළිබඳව කිසිම ලියැවිල්ලක් ලැබිලා නෑ.

මදුරුපිටියේ නිවැසි විශ්‍රාමික බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන ඩබ්ලිව්.එස්. වකාපොල මහතා මෙසේ පැවැසීය.

“මේ දේවාලය අනුරාධපුර සමයේ ගෝඨාභය රාජ්‍ය පාලන කාලයේ සිට පැවැත එන්නක්. උතුර – දකුණ යා කෙරෙන මාර්ගය  දඹදෙණිය, අටුපොත්දෙණිය, වල්බෝතලේ අත්තනගල්ල, කැලණිය හරහා වැටිලා තියෙනවා. අද ඔය දේවාලය තියෙන තැන මංකඩට කෙටේවත්ත මංකඩ කියලා කියනවා. ශ්‍රී  වික්‍රම රාජසිංහ රජු ඉංගී්‍රසීන්ට යටත් වූවායින් පස්සේ ඉංගී්‍රසීන් ඔහු මා ඔය ඔස්සේ රැගෙන විත් කෙටේවත්ත මංකඩෙන් කොළඹට රැගෙන ගිය බව එවකට ඉංගී්‍රසි ආණ්ඩුකාර ජෝන් ඩොයිලිගේ දින පොතක සටහන්වෙලා තියෙනවා. මේ දේවාලය මදුරුපිටියට පමණක් නොවෙයි මුළු රටටම අයිති දේවාලයක්.

මේ දේවාලයේ පිහිට පතා එන්නන් අතර රෝගාබාධයන්ට ලක් වූවෝද දරුපල නොමැති කාන්තාවෝද වෙති. මේ අයට අවශ්‍ය කරන සේවාවන් ලබා දීමට පුදබිම නිරවුල්ව පැවැතිය යුතුය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ඇතුළු වගකිවයුත්තන්ට දන්වා ඇත. තවමත් නිසි ප්‍රතිචාරයක් නොමැති බව ධර්මසේන කපු මහතා කීවේය.

පසුගියදා ඇති වූ මහා වර්ෂාව නිසා දේවාලය ආසන්නයටම මා ඔයේ ජල කඳ පැමිණ ඇති අතර දේවාලය දෙවියන්ගේ හාස්කමකට දෝ බේරී ඇති බව දේවාලයේ කපුමහතා වන ධර්මසේන කපුමහතා අප සමඟ ප්‍රකාශ කළේය. මෙවැනි ඓතිහාසික වටිනාකමක් ඇති මේ දේවාලය සංරක්ෂණය සඳහා රජය මැදිහත් වී කටයුතු කළ යුතුව ඇත. දේවාලයට ඇති පිවිසුම් මාර්ගය වැටී ඇත්තේ පෞද්ගලික ඉඩමක් මැදිනි. මේ මාර්ගය සම්බන්ධයෙන් අර්බුද පැනනැඟී ඇත. පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සටහන් කළ පුවරුවක් මෙහි සටහන් වී තිබුණද මෙම දේවාලය සංරක්ෂණ කටයුතු සඳහා කෙරෙන පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ දායකත්වය අල්ප බවත් බලධාරීන් මේ ලෝක උරුමය රැක දීමට ඉදිරිපත් වන්නේ නම් එය අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන මහඟු සේවාවක් බවත් ධර්මසේන පතිරණ මහතා කියා සිටියේය.

මේ දේවාලයට මාර්ග කිහිපයකින්ම පැමිණිය හැකිය. මීරිගමින් හා ගිරිඋල්ලෙන් එන්නේ නම් කණ්ඩලම හන්දියට පැමිණ වරකාපොළ පාරේ මීටර් 50ක දුරක් ගොස් වමට හැරී නවතල්වත්ත හරහා අලව්ව පාරේ මදුරුපිටියේ හන්දියෙන් වමට හැරී මීටර් 300ක දුරක් ගොස් දකුණු පැත්තේ ඇති පැරණි ගේට්ටුවෙන් විශාල පොල්වත්තකට ඇතුළු වී මීටර් 900ක් පමණ ගිය විට දේවාලය හමුවේ.

අලව්වේ සිට පැමිණෙන්නේ නම් නව තල්වත්ත හරහා මීරිගම පාරේ මදුරුපිටියේ පාසල් හන්දියට පැමිණිය හැකිය.

වරකාපොළ සිට පැමිණෙන්නේ නම් අඹේපුස්ස දුම්රිය ස්ථානය පසුකර පිරිස්යාල පන්සල් හන්දියෙන් වමට ඇති මදුරුපිටිය හරහා මීරිගම පාරේ මදුරුපිටිය හන්දියට පැමිණිය හැකිය.

නිට්ටඹුව  – මනෝජ් පතිරණ