‘ලොකී  මල්ටිවර්ස්  අතර  යුද්ධයකට  මඟ පාදයිද?

0
221

අපේ ලොකී කියන්නේ උපන්නේ රජ සැප විඳින්නමයි කියලා පම්පෝරි ගහන, දඟකාරකමටයි අධිපති දෙයියා. “විශ්වාසය තිබෙන්නේ පොඩි උන්ටයි බල්ලන්ටයි” කියලා නිතරම තෝර්ගේ විශ්වාසය කඩපු දුෂ්ටයා. තෝර් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකරපු නිසා ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයෙන් රසික  හදවත්වල නොමැකෙන වීරයෙක් වුණ ලොකීව අපට අන්තිම වතාවට හමුවුණේ එන්ඩ්ගේම් චිත්‍රපටයේ කාලතරණ දර්ශනයෙන්. එතැන් පටන් කුමක් සිදුවන්නට ඇතිද? නොවිසඳුණු රසික මත ගණනාවකට විසඳුම් ලොකී ටීවී සීරීස් එක ඔස්සේ ලැබුණා.

ටෙසරැක්ට් එකත් එක්ක ලොකීට තිබෙන්නේ ආධ්‍යාත්මික බැඳීමක් නොවැ. ටෙසරැක්ට් එක පාවිච්චි කරලා කාලතරණය කරපු ලොකියාට අන්තිමට නතර වෙන්න සිද්ධ වුණේ TVA සිරමැදිරියේ. මිඩ්ගාර්ඩ්වල (පෘථිවියේ) බලය අල්ලගෙන පස්සේ ඇස්ගාර්ඩ්, අන්තිමට රාජධානි නවයමත් යටත් කරගෙන පාලනය කරන්න සිහින මැව්ව ලොකී, ජීවිතයේ මුල්ම වතාවට “බහුවිශ්වීය සංකල්පය” (මල්ටිවර්ස්) අත්විඳිනවා. මේ අගක් මුලක් නැති මහා විශාල බහු විශ්වයේ තමන් කොයිතරම් නම් පුංචි කෙනෙක්ද, මහා බලගතු ඉන්ෆිනිටි ගල් කියන්නෙත් කඩදාසි සුළඟේ යනවාට තියෙන බරක් වගේ බලයක් නැති දෙයක් කියලත් ලොකී තේරුම් ගන්නවා.

හා හා පුරා කියලා තෝර්ගේ සෙවණැල්ලෙන් මිදෙන ලොකී “තමන් තරම් නිවැරැදි කෙනෙක් නෑය” කියලා ඔප්පු කරන්න වෙනත් විශ්වයන්වල ඉන්න තමන්ගේම අනිත් ස්වරූප ලුහුබැඳීමේ ක්‍රියාන්විතය කථාංග හයක් පුරාවට දිගහැරෙනවා. Throg, ලේඩි සිෆ්ගේ කොණ්ඩ කැපීම වගේ කොමික් කතාවල කියවෙන ලොකීගේ යටගිය තතු, මැරෑටිකම්වලින් කතාවට අමුතු ජීවයක් වගේම විනෝදයක් ලැබෙනවා. ඒ වගේ දේවල් නොතිබුණා නම් සංකීර්ණ කාල තරණ සංකල්පවලින් පිරුණු ලොකී කතාමාලාව රසිකයන් මේ තරම් ආදරයෙන් වැලඳගන්නේ නෑ.

Madness of Multiverse චිත්‍රපට හේතුවෙන් “මල්ටිවර්ස්” හෙවත් “බහුවිශ්වය” ගැන කුතුහලයෙන් හිටපු රසිකයන්ට මල්ටිවර්ස් එකක් කියන්නේ මොකක්ද, මල්ටිවර්ස් අතර යුද්ධ ඇතිවෙන්නෙ ඇයි, ටයිම් ලයින් කියන්නේ මොනවාද, ඒවා පවත්වාගෙන යන්නේ කවුරුන්ද, ටයිම් ලයින් කැඩුණොත් ඇති වන කලබගෑනිවල බරපතළකම මොකක්ද වගේ දැවෙන ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ ප්‍රශ්නවලට ලොකී කතාමාලාව හරහා උත්තර බඳින්නට මාවල් ආයතනය කටයුතු කළා.

ලොකී ඉපදිලා තිබෙන්නේම දඟකාරකම් කරන්න, කලබල ඇතිකරලා පැනලා යන්න විතරක්ම නම් ලොකීලා ගොඩක් එකතු වෙච්ච තැන එකම අවුල් ජාලයක් වෙන්න එපායැ! ලොකී කතාවෙන් “ලොකී, ජනාධිපති ලොකී, පම්පෝරි ලොකී, ළමා ලොකී, කිඹුල් ලොකී, සාම්ප්‍රදායික ලොකී වගේම ලොකීගේ කාන්තා ස්වරූපය” වගේ ස්වරූප ගණනාවක් දැකගන්න, හා ඒ ස්වරූපවල අධ්‍යාත්මයට එබිලා බලන්නත් පුළුවන්. “ස්පයිඩර් මෑන්ලා” පිරුණු “ස්පයිඩර්වර්ස්” චිත්‍රපටයට වඩා ලොකීලා පිරිච්ච ලොකී කතාව ත්‍රාසය, විනෝදය, කුතුහලයෙන් රසිකයන්ව පුරවා දමනවා.

ටොම් හිඩල්සන්, සොෆියා ඩී. මාර්ටීනෝ, ඔවන් විල්සන්, Jonathan Majors වගේ නළු නිළියන් ගොඩකගේ දායකත්වයෙන් හැඩවැඩ වෙච්ච ලොකී දෘශ්‍ය ප්‍රයෝග වැනි විවිධ පැතිකඩවල්වලින් සම්මාන දිනාගත්ත, තවත් සම්මාන තොගයකට නිර්දේශ වෙච්ච IMDb 8.2ක අගයක් ලබාගත් ක්‍රියාදාම, ෆැන්ටසි, විද්‍යා ප්‍රබන්ධ වර්ගයට අයිති ටෙලිකතාවක්.

ලොකී කතාවෙන් ජීවිතයට ගන්න තිබෙන හොඳම ආදර්ශය තමයි කවුරු නැතත් තමන් තමන්ටම ආදරය කරන්න ඕන කියන එක.  ඒත් ලොකී දිගක් පළලක් නැතුව තමන්ට ආදරය කරන නිසා ටයිම් ලයින් එකට මොන වගේ වින්නැහියක් වෙයිද? ලොකී… මල්ටිවර්ස් අතර යුද්යකට මඟ පාදයිද?

ඒ ප්‍රශ්නවලට උත්තර ඉස්සරහට එන්න තියෙන මාවල් චිත්‍රපට සහ ලොකී දෙවැනි කතාමාලාවෙන් ලැබෙනතුරු විනෝදයෙන් පිරි ලොකී කතාව නරඹන්න…. මේ අමාරු කාලේ ඔයා මොනවා කළත්, මොන තත්ත්වයක සිටියත් “තමා තමාටම ආදරය කරන්න (Love Yourself)” ඕනෑ කියන එක අමතක කරන්න එපා!

ඉතින් දැනට ආරංචි වෙන විදියට නම් Loki Season 2 වල Production ලබන මාසෙ එහෙම නැත්නම් ජූනි මාසෙ 6 වෙනිදා ලන්ඩන් වලදි පටන් ගන්න සියල්ල සූදානම් කියල Production Crew එකෙන් තහවුරු කරලා තිබෙනවා.

සෙව්මිණී බණ්ඩාරනායක – (සහස්‍රා)